subscribe

මඟ දුටු අයගේ ස්වභාවය

මඟ දුටු අයගේ ස්වභාවය

එතකොට යම් කෙනෙකුට මේ බුද්ධ වචනයට, බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධයට පහදින්න පුළුවන් නම් එයා තුළ කලබලයක් හට ගනියිද, එහෙම නැත්නම් ඉවසීම හට ගනියිද? ඒක ධර්මතාවයක්. එයාට කලබලයක් එන්න හේතු නෑ. ඇයි කලබලයක් එන්න හේතු නැත්තේ…? උවමනා දේ මුණ ගැහිලා. අපට යමක් ද උවමනා කරන්නේ ඒ උවමනා කරන දේ මුණ ගැහුණ නම්, එයාට කලබල වෙන්න හේතුවක් නෑ.

අපිට දුකින් නිදහස් වීම උවමනායි නම් ඒ උවමනා කරන මඟ ලැබුණ නම්, මඟ දැක්ක නම් එයාට කලබල වෙන්න දෙයක් තියෙනවද? එයාට ශෝක කරන ස්වභාවයෙන් නිදහස් වෙන්න උවමනායි නම්, ඒ උවමනාවට අදාළ මඟ ලැබුණ නම්, මුණ ගැහුණ නම්, කලබල වෙන්න දෙයක් තියෙනවද? නෑ… එයාට සිත පිරිසුදු කරගන්න උවමනයි නම්, ඒ උවමනා කරන මඟ ලැබුණ නම්, මුණ ගැහුණ නම්, දැන් එයාට කලබල වෙන්න දෙයක් තියෙනව ද? නෑ. එයාට මේ ඤාණය ඇති කරගන්න උවමනයි නම්, ඒ සඳහා උවමනා කරන මඟ මුණ ගැහුණ නම්, ලැබුණ නම්, දැන් එයාට කලබල වෙන්න දෙයක් තියෙනව ද? නෑ.

එයාට නිවන අවබෝධ කරන්න උවමනයි නම්, ඒ උවමනා කරන මඟ මුණ ගැහුණ නම්, දැන් එයාට කලබල වෙන්න දෙයක් තියෙනව ද?… නෑ. දැන් ඔබ පිළිගන්නව ද සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයට එන කෙනා, සතිපට්ඨානයට පහදින දෙනා කලබල වෙන්නෙ නෑ කියන කාරණාව….?

එහෙනම් අපිට කලබලයක් තියෙනවා නම් ඒකෙන් ගම්‍ය වෙන්නේ මොකක්ද? සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් නැහැ කියන එකයි. සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් තියෙනවා නම්, ඒකෙන් ගම්‍ය වෙන්නේ මොකක් ද? බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය අදහගත්තා කියන එකයි. සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඒකෙන් ගම්‍ය වන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය කෙරෙහි විශ්වාසයක් නැත කියන එක. බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය කෙරෙහි විශ්වාසයක් තියෙනවා නම් ඒකෙන් ගම්‍ය වෙන්නේ මොකක්ද? ශ්‍රද්ධාව තියෙනවා කියන එක.

බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය කෙරෙහි විශ්වාසයක් නැත්නම්, ඒකෙන් ගම්‍ය වෙන්නේ මොකක් ද? ශ්‍රද්ධාව නැත කියන එක. දැන් තමා, තමා කෙරෙහි තීන්දුවකට එන්න පුළුවන් නේ ද? යම් කෙනෙක් කලබල වෙනවා නම් (ධර්මය පුරුදු කිරීම සම්බන්ධ ව) ඒකෙන් ගම්‍ය වෙන්නේ මොකක් ද? ශ්‍රද්ධාව නැත කියන එක. යම් කෙනෙකුට ඉවසීම තියෙනවා නම් (ධර්මය පුරුදු කිරීම සම්බන්ධ ව) ඒකෙන් ගම්‍ය වෙන්නේ මොකක් ද? ශ්‍රද්ධාව තියෙනවා කියන එක.

දැන් යම් කෙනක් හිතුවොත් ‘මෙහෙ නම් මේක බෑ. මං දුවන්න ඕන කැලේ’ කියලා, ඒකෙන් ගම්‍ය වන්නේ් කුමක් ද? ඉවසීම නැත කියන එක. ඉවසීම නැත්නම් එතන තියෙන්නේ් මොකක් ද? ශ්‍රද්ධාව නැතිකම. දැන් අපිට මේ අපි ගැන යම් නිගමනයකට එන්න හොඳ පණිවිඩයක් නේ ද මේක…? දැන් එතකොට අපි එහෙ මෙහෙ ගියා කියලා ශ්‍රද්ධාව උපදවා ගන්නවත් මඟ සොයාගන්නවත් අපට පුළුවන් ද? බෑ.

එහෙනම් අපි ශ්‍රද්ධාව ඇති කරගන්නටත් එහෙම නැත්නම් මග සොයාගන්ටත් අප විසින් කළ යුත්තේ කුමක් ද?… සතිපට්ඨානය කෙරෙහි පැහැදීම ඇති කර ගැනීම යි. සතිපට්ඨානය කෙරෙහි පැහැදීම ඇති වන්නේ කුමක් මුල් කරගෙන ද? බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය අදහාගැනීමෙන්. අන්න ඒ විදියට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්න පුළුවන් වන්නේ කුමක් මුල් කරගෙන ද? (අවබෝධය අදහාගැනීම නේ ශ්‍රද්ධාව කියන්නේ) ඉතින් ශ්‍රද්ධාවට එන්න පුළුවන් වන්නේ කුමක් මුල් කරගෙනද? නුවණින් කල්පනා කිරීමෙන්. යෝනිසෝමනසිකාරය උපදවා ගැනීමෙන්.

යෝනිසෝ මනසිකාරයට පැමිණීමෙන්. යෝනිසෝ මනසිකාරය පැවැත්වීමෙන්. යෝනිසෝ මනසිකාරයට එන්න පුළුවන් වන්නේ කුමක් මුල් කරගෙද? සද්ධර්ම ශ්‍රවණයෙන්. සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ කොහෙන් ද? කල්‍යාණ මිත්‍ර ඇසුරෙන්.

කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරනවා කියන්නේ මොකක් ද? කල්‍යාණ මිත්‍රයා යමක් ද කියන්නේ ඒක ඇත්ත යි, සත්‍යයි කියලා පිළිගන්නවා. ධර්මයට අනුව ගලපා බලනවා. ධර්මයේ තියෙන දේ තමයි කල්‍යාණ මිත්‍රයා කියන්නේ. ඒක පිළිගන්නවා. ඊට පස්සේ ඒ පිළිගත් දේ කියා දුන් දේ පුරුදු කරනවා. අන්න ඒ විදියට තමයි කළ්‍යාණ මිත්‍රයා ගේ ඇසුරට යන්නේ.

කල්‍යාණ මිත්‍රයා අප කෙරෙහි අනුකම්පා සහගත යි කියන අදහස අපට තියෙන්න ඕන. ඒ කල්‍යාණ මිත්‍රයා මගේ දියුණුවට කැමැති යි කියන අදහස අපි ළග තියෙන්න ඕන. එයා අපට කරන්නේ අනුශාසනාවක්. අවවාදයක් කියල අපි පිළිගන්න ඕන. කල්‍යාණ මිත්‍රයාගේ වචන ටිකක් සැර වුනත් එය හොඳ අවවාදයක් නම් ඒ සමඟ ගැටෙන්න හොඳ නැහැ. කල්‍යාන මිත්‍රයා අපට අනුකම්පා සහගතයි. අපේ දියුණුවට කැමැති යි. අපට අවවාද අනුශාසනා කරන්නේ’ කියලා අපි පිළිගත්තොත් අපි එයා ඇසුරු කරනව. ඒ ඇසුරේදී අපට සද්ධර්මශ්‍රවනය ලැබෙනවා.

ඒ ධර්මයට අනුව කල්පනා කරනකොට යෝනිසෝමනසිකාරය උපදිනවා අපට පුළුවන්කම ලැබෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ දේ කෙරෙහි විශ්වාසය ඇතිකරන්න. ශ්‍රද්ධාව උපදවා ගන්න අවස්ථාව අපට උපදිනවා. එමගින් අපට අවස්ථාව උදාවෙනවා සතිපට්ඨානය කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න. දැන් ඔබලාට සතිපට්ඨාන දේශනාව මුණ ගැහුණ ද නැද්ද? කොච්චර කලකට කලින් ද? බොහෝ කලකට කලින් නේ ද? අපට තාමත් මේ ඉවසීමේ ගුණය කියන එක තියෙනව ද? එහෙමනම් අපි විසින් සකසාගත යුතු දේ මොකක් ද? කල්‍යාණ මිත්‍ර ඇසුර. කල්‍යාණ මිත්‍ර ඇසුර අප විසින් දියුණු කරගත යුතු යි. අන්න එතකොට සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා.

මේ කල්‍යාණ මිත්‍ර ඇසුර කියන එක අතිශයින් ම දුෂ්කර ව ගොඩනගාගත යුතු එකක්. දුෂ්කර යි කියන්නේ, හරි ම කලාතුරකින් කෙනෙකුගේ ජීවිතයට බද්ධ වන දෙයක්. මං හිතන්නේ එක තමයි ලෝකයේ තිබෙන විරල ම කාරණාව. කලාතුරකින් සිදුවන දේ මොකක් ද? කල්‍යාණ මිත්‍ර ඇසුර ජීවිතයට සම්බන්ධ වීම. ලෝකයේ කලාතුරකින් සිද්ධවන දෙයක්.

ඒ නිසා ම තමයි නියපොත්තේ පස් ටික වගේ ටික දෙනෙක් මේ ධර්මය අවබෝධ කරන්නේ. විශාල පිරිසක් ධර්මය අහයි. විශාල පිරිසක් ධර්මය පාඩම් කරයි. විශාල පිරිසක් ධර්මය කියයි. ඒ දහම අවබෝධ කරන්නේ නියපොත්තේ පස් ටික වගේ ටික දෙනයි. හේතුව මොකක්ද? කල්‍යාණ මිත්‍ර ඇසුර කියන එක අතිශයින් සියුම් කාරණාවක් වීම. ඒක ලෝකයේ විරල ව සිදුවන කාරණාවක්. ලෝකයේ සුලභ නෑ ඒ සිද්ධිය. කල්‍යාණ මිත්‍රයා මුණ ගැහෙනවා කියන කාරණාව, කළ්‍යාණ මිත්‍රයා ගේ ඇසුරට පත් වෙනවා. කියන කාරණාව, ලෝකයේ සුලභ ව සිදු වන්නේ නෑ. අතිශයින් කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. අන්න ඒ කලාතුරකින් සිද්ධ වෙන දේ සිද්ධ කරගන්ට කල්පනා කරන්න වෑයම් කරන්න.

අන්න එතෙන්ට අපට පිවිසෙන්න පුළුවන්කම ලැබුණොත් මේ ජීවිතේ කවදා හරි දවසක ඒක විශාල ලාභයක්. ඒක මේ ජීවිතෙන් පස්සේ කරන්න කල්පනා කරන්න එපා. ඒ නිසා අපි කල්පනා කළ යුතු යි මේ ජීවිතේ ඇතුළත කොහොම හරි කල්‍යාණ මිත්‍ර ඇසුරට එන්න ඕනෑ කියලා. අන්න එතකොට එයාට සද්ධර්මය ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය කියන මේ කාරණා තමන් ගේ ජීවිතය තුළ දියුණු කරගන්න අවස්ථාවක් ලැබෙනවා.

එයාට ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි පැහැදීම ඇති කර ගැනීමට අවකාශය උපදිනවා. පෑදෙනවා. අන්න එයාට සතිපට්ඨානය කෙරෙහි පහදින්න පුළුවන්කම තියෙනවා. අවස්ථාවක් උදාවෙනවා. අන්න එයා නිතැතින් ම ඉවසීම තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉවසීම තියෙන කෙනා ගේ ස්වභාවය තමයි සකසලා බණ භාවනා පුරුදු කිරීම ඉවසීම නැති කෙනා අර වේල්හතකින් බඩගින්නේ හිටපු කෙනාට කෑමක් ලැබුණ වගේ.

අත් දෙකෙන් ම පුළුවන් නම් කකුල් දෙකත් ළං කරල ඒ කෑම එක කටේ ඔබා ගන්න බලනවා. අන්න ඒ වගේ් තමයි ඉවසීම නැති කෙනා ගේ ස්වභාවය ‘දැං ඉතින් මං කරන්නං’ කියල පටන් ගන්නවා. අන්තිමට ටික දවසකින් අතහරිනවා. ‘මේක හරියන්නේ නෑ. කියන දේ නෑනේ… කියල අන්තිමට කියනවා.

ඉවසීම තියෙන කෙනා සකසලා කටයුතු කරනවා. පිළිවෙළකට කරනවා. තෝර බේරාගෙන කරන්න උත්සාහ කරනවා. අසා දැන ගනිමින් ඒ ගැටලු නිරාකරණය කරගෙන ඒක පුරුදු කරන්න වෑයම් කරනවා. ඒක ඉවසීම තියෙන කෙනා ගේ ස්වභාවය. ඇයි ඉවසීම තියෙන කෙනාගේ සිතේ ප්‍රසාදයක් තියෙනවා.

එයා තුළ ප්‍රමුදිත බවක් තියෙනවා. එයා තුළ නැවුම් බවක් තියෙනවා. එයා කණස්සල්ලෙන් වාසය කරන්නේ නෑ. ඇයි ඒ…? එයාට විශ්වාසයක් තියෙනවා කුමක් පිළිබඳව ද? එයාට ආරක්ෂාවක් තියෙන බව, ආරක්ෂිත තැනක් මුණ ගැහුණ බව එයා දන්නවා. ආරක්ෂිත දෙයක් මුණ ගැහුණ බව දන්න නිසා ම එයා තුළ බය සැක දුරු වෙනවා. ශ්‍රද්ධාවත් එක්ක යි එහෙම වෙන්නේ. පැහැදීමත් එක්ක ඒක යි වෙන්නේ.

නාවලපිටියේ අරියවංශ හිමි

‘බුදුසරණ’ පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්

Related Posts Plugin for WordPress, Blogger...

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: