subscribe

ජීවිතය එය කුමක් ද..? (පළමු කොටස)

ජීවිතය එය කුමක් ද..? (පළමු කොටස)

ජීවිතය කියා කියන්නේ එදා මෙදා තුර ලෝකයේ ජිවත් වූ බොහෝ දෙනෙකුට කිසිදා නො විසඳුනු ගැටළුවක්, තවත් පැත්තකින් අභිරහසක්. මේ ජීවිත ගැටලුවට විසඳුම් සොයා ගිය මිනිසුන් නොයෙක් දෘෂ්ටි මතවාද සහ සංකල්ප තුළ පැටලුණා. ඒවා තුළ ම ගිලෙමින් ඉප‍දෙන මැරෙන සංසාරයට ම ඇද වැටී මහපොළොවට පස් එකතු කරමින් තෙරක් නොපෙනන ගමනක, ඉතා අවාසනාවන්ත ලෙස ඇවිද යන්නට ඒ අයට සිදු වුණා. අදත් ඒ ගමන එහෙම ම යි.

මින් වසර දෙදහස් හයසිය ගණනකට පෙර අප ගේ සිද්ධාර්ථ ගෞතම මහබෝසතාණන් වහන්සේ ත් ජීවිතය තුළ තිබෙන ජාති ජරා මරණ ගැටළුවට විසඳුම් සෙවීම පිණිස, “අනුත්තර වූ ශාන්ත වරපදය” සොයා ගිහි ගෙයින් නික්මී ගියා. උන්වහන්සේ ඒ ආර්ය පර්යේෂණය උදෙසා ගිහි ගෙයින් නික්ම ගියේ එක් ජීවිතයක දී පමණක් නොවෙයි. පෙරුම් දම් පුරමින් පැමිණි සසරේ අප්‍රමාණ ජීවිතවල දී මහබෝසතාණන් වහන්සේ ජීවන ගැටලුවට විසඳුම් සෙවීමේ අටියෙන් කාම සම්පත් හැර දමා නික්ම ගියා. එම අවස්ථාවල දී උන්වහන්සේට සනාතන විසඳුමක් නො ලැබුණත් ඒ ව්‍යායාමයන් මතු දිනෙක සිය උත්තරීතර අරමුණ ශාක්ෂාත් කර ගැනීම උදෙසා පාරමී බවට පත්වුනා.

අවසානයේ දී තමන් වහන්සේ සොයමින් පැමිණි අනුත්තර වූ ශාන්ත වර පදය, ඒ පරමෝත්තම විමුක්තිය, ගුරු උපදේශ රහිතව ම තමන් වහන්සේ ගේ ම විශේෂ ඥානයෙන් පසක් කරන්නට මහ බෝසතාණන් වහන්සේ සමත් වුණා.

සත්‍යාවබෝධයෙන් පසු බුදු නෙතින් ලෝකය දෙස බැලූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් හට ගත් නොයෙක් දුක් සන්තාප නිසා දැවෙන තැවෙන පීඩා විඳින අනන්ත අප්‍රමාණ සත්ව ප්‍රජාවකු යි. ස්පර්ශයට ම ගැති වූ සත්වයා රෝගයකට ආත්මය කියා කියන බව භාග්‍යවතුන් වහන්සේ දුටුවා..

ඉන් පසු ගම් නියම් ගම් සිසාරා වැඩම කරමින්, පුරා වසර හතලිස් පහක් මුළුල්ලේ ම තථාගතයන් වහන්සේ සිය බුද්ධ කෘත්‍යයෙහි නිරත වුනේ ‍ලෝක සත්වයින් ගේ ඒ සංසාර දුක දුරු කිරීමේ අටියෙනු යි.

එහි දී නොයෙක් ක්‍රමයන් ගෙන්, අනන්ත අපරිමාණ වචන වලින්, ජීවිත යථාර්ථය අන් අයට අවබෝධ වන අයුරින් ධර්මය දේශනා කරන්නට තථාගතයන් වහන්සේ කටයුතු කළා. එය සම්මාසම්බුද්ධත්වයේ එක්තරා විශ්මිතභාවයක්. ඒ අයුරින් අනන්ත අප්‍රමාණ පදව්‍යංජනයන්ගෙන් සහ නොයෙක් ක්‍රමවලින් ජීවිත යථාර්ථය ‍මතුකොට පෙන්වා දෙමින්, විග්‍රහ කරමින්, ඉස්මතු කරමින්, බෙදා දක්වමින් දම් දෙසන්නට හැක්කේ බුදුවරයෙකුට ම යි.

සත්වයන් ගේ ජීවිතයේ ස්වභාවය, පටිච්චසමුප්පාදය ඇසුරින්, පංච උපාදානස්කන්ධයන් ඇසුරින්, ධාතු ඇසුරින්, ආයතන ඇසුරින් සහ තවත් විවිධ ක්‍රම ඇසුරින් බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළා.

ඉතින් අප අතරිනුත් යමෙක් ඒ භාග්‍යවතුන් වහන්සේ සොයාගත් විමුක්තියේ සුවය ලබන්නට කැමැති වනවා නම්, උන්වහන්සේ වදාළ ඒ උතුම් ධර්මයන් යම් පමණකට හෝ දැන ඉගෙන ගැනීම ඔහුට නිශ්චිතව ම වැදගත් වනවා.

එයට උපකාර වශයෙන් තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ අනන්ත කැපකිරීම් සිදු කොට සොයා ගත් උතුම් ධර්ම කොටස් ඇතුළත් කරමින් මේ ලිපි පෙළ ඔබ වෙත ගෙන ඒමට අප උත්සාහ කරන්නේ.

ඒ යටතේ මුලින් ම අප කල්පනා කළා පංචඋපාදානස්කන්ධ ධර්මයන් ගැන බුදු රජාණන් වහන්සේ වදාළ දහම් කරුණු ඔබ වෙත ගෙන එන්නට. පඤ්ච උපාදානස්කන්ධ ධර්මයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ බොහෝ දහම් කරුණු පළමු ධර්ම සංගායනාවේ දී ඒකරාශී කොට, සංයුත්ත නිකායට ඇතුළත් කරනු ලැබුවා. ඒවා සංයුත්ත නිකායේ ඛන්ධ සංයුත්තය යන කොටසට තමයි සංගීතිකාරක මහරහතුන් වහන්සේලා විසින් ඇතුළත් කරනු ලැබූයේ. ඊට අමතරව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල පඤ්ච උපාදානස්කන්ධ ධර්මයන් පිළිබඳ විස්තර අපට මුණ ගැසෙනවා.

ඉතින් ඒවා අප විසින් ඉගෙන ගත යුතු වන්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, ආර්ය සංඝයා කෙරෙහි සිතපහදවා ගැනීම පිණිස වගේ ම ඒ ඉගෙන ගත් දෙය තුළින් සංසාර දුකට විසඳුම් සපයා ගැනීමේ අදහසින් ම යි. හුදෙක් දැනුම වැඩි කරගැනීමේ හෝ වෙනත් අදහසකින් හෝ නම් නොවෙයි.

එනිසා මේ ධර්මයන් ලෝ සතුන් ගේ සසර දුක් නිවාලීමට ම උපකාර වේවා..!!!


භාග්‍යවතුන් වහන්සේ, මේ ජීවිතය නොයෙක් අයුරින් බෙදා විස්තර කළ බව අප මුලින් පැවසූවා. එහි දී අප විසින් දැඩිව මම මගේ මගේ ආත්මය කියා අල්ලාගෙන සිටින, එසේත් නැතිනම් උපාදාන කරගෙන සිටින මේ ජීවිතය කොටස් පහකට බෙදා විග්‍රහ කිරීමට තථාගතයන් වහන්සේ කටයුතු කරනු ලැබුවා.

ඒ මේ විදියට යි..

1. රූප – අපට රූපයක් තිබෙනවා. එසේත් නැත්නම් සරළව කීවොත් ශරීරයක්. එසේ ම අතීතයේත් අපට රූප තිබුණා. ඒ සියල්ල ධර්මය තුළ දැක්වෙන්නේ රූප යන වචනයෙන්.
2. වේදනා – අපට නොයෙකුත් විඳීම් ඇති වෙනවා. සැප විඳීම් දුක් විඳීම් ඒ වගේ ම සැප දුක් රහිත විඳීම්. ඒවා වේදනා යන වචනයෙනුයි දැක්වෙන්නේ.
3. සඤ්ඤා - අපි විවිධ දේවල් හඳුනා ගන්නවා. මෙය නිල්පාටයි, මෙය රතුපාටයි. මෙය ගසක්, මෙය මිනිසෙක් ආදී වශයෙන්. මේ විදියට අපේ ජීවිතයේ හඳුනාගැනීම් රාශියක් තිබෙනවා. එය සඤ්ඤා යන වචනයෙනුයි දැක්වෙන්නේ.
4. සංඛාර - අප තුළ චේතනා ඇති වෙනවා. අපි චේතනා පහළ කරමින් අපේ ජීවිතය නොයෙක් අයුරින් හසුරුවනවා. ක්‍රියාත්මක කරවනවා. එසේ ඇතිවන චේතනා සංඛාර ලෙස දැක්වෙනවා.
5. විඤ්ඤාණය - අප තුළ දැන ගැනීමේ ස්වභාවයක් තිබෙනවා. අපි මේ දහම් කරුණු ගැන ගැන කථා කරන්නේ, ‍ඉගෙන ගන්නේ පවා අප තුළ දැනගැනීම නම් වූ ස්වභායක් ඇති නිස යි. අපි මෙය තිත්තයි කියා දැන ගන්නවා. මෙය ඇඹුල් කියා දැන ගන්නවා. මෙය මිහිරියි කියා දැන ගන්නවා. මෙය කටුකයි කියා දැන ගන්නවා. ඒ අයුරින් අප තුළ තිබෙන දැන ගැනීමේ ස්වභාවය විඤ්ඤාණය ලෙස යි හැදින්වෙන්නේ. (දල වශයෙන් දැක්වූ මේව ගැන අපි පසුව විස්තර වශයෙන් ඉගෙන ගනු ලබනවා.).

ස්කන්ධ කියා කියන්නේ ඇයි..?

ඉතින් මේ කාරණා පහ ධර්මයේ දැක්වෙන්නේ “ස්කන්ධ” යන වචනයත් සමග යි. ස්කන්ධ කියන වචනයේ සාමාන්‍ය අර්ථය තමයි රාශිය, සමූහය කියන එක.

නමුත් රූප වේදනා සඤ්ඤා සංස්ඛාර විඤ්ඤාණ කියා අප ඉහත දැක්වූ ඒ ධර්මතාවයන්ට ස්කන්ධ කියා කියනු ලබන්නේ ඇයි ද යන වග භාග්‍යවතුන් වහන්සේ විසින් ම පැහැදිලි කොට දී තිබෙනවා. ඒ සුවිශේෂී පැහැදිලි කිරීමට අපට මුණ ගැසෙන්නේ මහාපුණ්ණම නම් වූ සූත්‍ර දේශනාව තුළ යි.

එහි දී එක් ස්වාමීන් වහන්සේ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා..

‘‘කිත්‌තාවතා පන, භන්‌තෙ, ඛන්‌ධානං ඛන්‌ධාධිවචනං හොතී’’ති?

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ස්කන්ධයන්ට, ස්කන්ධ යන අධිවචනය (සමාන විශේෂ වචනය) යෙදෙන්නේ, කොපමණකින් ද..?”

එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට‍ මෙසේ වදාළා.

“යං කිඤ්‌චි, භික්‌ඛු, රූපං – අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්‌තිකෙ වා – අයං රූපක්‌ඛන්‌ධො. යා කාචි වෙදනා – අතීතානාගතපච්‌චුප්‌පන්‌නා අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා, ඔළාරිකා වා සුඛුමා වා, හීනා වා පණීතා වා, යා දූරෙ සන්‌තිකෙ වා – අයං වෙදනාක්‌ඛන්‌ධො. යා කාචි සඤ්‌ඤා – අතීතානාගතපච්‌චුප්‌පන්‌නා…පෙ.… යා දූරෙ සන්‌තිකෙ වා – අයං සඤ්‌ඤාක්‌ඛන්‌ධො. යෙ කෙචි සඞ්‌ඛාරා – අතීතානාගතපච්‌චුප්‌පන්‌නා අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා, ඔළාරිකා වා සුඛුමා වා, හීනා වා පණීතා වා, යෙ දූරෙ සන්‌තිකෙ වා – අයං සඞ්‌ඛාරක්‌ඛන්‌ධො. යං කිඤ්‌චි විඤ්‌ඤාණං – අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්‌තිකෙ වා – අයං විඤ්‌ඤාණක්‌ඛන්‌ධො. එත්‌තාවතා ඛො, භික්‌ඛු, ඛන්‌ධානං ඛන්‌ධාධිවචනං හොතී’’ති.”

“භික්ෂුව, අතීත අනාගත වර්තමාන කාලයන්ට අයත්, තමාගේ හෝ තමාගෙන් බාහිර හෝ, රළු හෝ සියුම් හෝ, හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ ඇති යම් රූපයක් තිබෙනවා ද, මෙය රූපස්කන්ධය යි.

අතීත අනාගත වර්තමාන කාලයන්ට අයත්, තමාගේ හෝ තමාගෙන් බාහිර හෝ, රළු හෝ සියුම් හෝ, හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ ඇති යම් වේදනාවක් තිබෙනවා ද, මෙය වේදනා ස්කන්ධය යි. අතීත අනාගත වර්තමාන කාලයන්ට අයත්………………යම් සඤ්ඤාවක් තිබෙනවා ද, මෙය සඤ්ඤා ස්කන්ධය යි. අතීත අනාගත වර්තමාන කාලයන්ට අයත්………………යම් කිසි සංස්කාරයන් තිබෙනවා තිබෙනවා ද, මෙය සංස්කාර ස්කන්ධය යි.

අතීත අනාගත වර්තමාන කාලයන්ට අයත්, තමාගේ හෝ තමාගෙන් බාහිර හෝ, රළු හෝ සියුම් හෝ, හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ ඇති යම් විඤ්ඤාණයක් තිබෙනවා ද, මෙය විඤ්ඤාණ ස්කන්ධය යි.

භික්ෂුව මෙපමණකින් ස්කන්ධයන්ට ස්කන්ධ යන අධිවචනය යෙදෙන්නේ වේ..” (මහා පුණ්ණම සූත්‍රය- මජ්ඣිම නිකාය උපරිපණ්ණාසකය)

කාලය සහ අවකාශයේ ජීවිත පැවැත්ම..

මෙහි දී භාග්‍යවතුන් වහන්සේ ආකාර එකොළහක් ඇසුරිනුයි ස්කන්ධ යන වචනය පෙන්වා දෙනු ලබන්නේ. එය අපට මෙසේ දක්වන්නට පුලුවන්.

1. අතීතයේ නිරුද්ධ වී ගියදෙයක් විය හැකි යි.

2. වර්තමානයේ හට ගත් එකක් විය හැකි යි.

3. හටනොගත් අනාගතයට අයත් එකක් විය හැකි යි.

4. තමා ගේ යැයි ගනු ලැබූ එකක් විය හැකි යි.

5. තමාගෙන් බාහිර එකක් විය හැකි යි.

6. රළු ස්වභාවයෙන් යුතු එකක් විය හැකි යි.

7. සියුම් ස්වභාවයෙන් යුතු එකක් විය හැකි යි.

8. හීන වූ දෙයක් විය හැකි යි.

9. ප්‍රණීත වූ දෙයක් විය හැකි යි.

10. දුර තිබෙන්නා වූ දෙයක් විය  හැකි යි.

11. ළඟ තිබෙන්නා වූ දෙයක් විය හැකි යි.


මෙහිදී අතීත අනාගත වර්තමාන කියා ප්‍රකාශ කිරීමෙන්, සෑම කාලයක් ම එයට අන්තර්ගත වෙනවා. දුර හෝ ළඟ හෝ කියා යෙදීමෙන්, එය අපට සමීපයේ වේවා, අපෙන් දුරස්ව වේවා, අවකාශයේ කුමන හෝ තැනක පැවතිය හැකි දෙයක් බව අර්ථවත් වෙනවා. එසේ ම අධ්‍යාත්මික හෝ බාහිර කියා යෙදීමෙන්, එහි සම්මත අයිතිය පිළිබඳව ඇඟවෙනවා. එසේ ම රළු-සියුම් සහ හීන-ප්‍රණීත භාවයෙන් ඒවායේ ස්වභාවය අර්ථ ගැන්වෙනවා.

එවිට අපට පැහැදිලියි භාග්‍යවතුන් වහන්සේ මෙහි දී ස්කන්ධ යන වචනය භාවිතා කළේ, සාමාන්‍ය අර්ථයකින් නොවන බව. විශේෂ අර්ථයන් සමූහයක් කැටිකොට තමයි, සත්වයින් ගේ රූප වේදනා සඤ්ඤා සංස්ඛාර සහ විඤ්ඤාණ උදෙසා භාග්‍යවතුන් වහන්සේ එම වචනය භාවිතා කරනු ලැබූයේ. එනිසා මින් ඉදිරියට අපි කිසියම් අවස්ථාවක ස්කන්ධ යන වචනය භාවිතා කරනවා නම්, එයින් ඉහත සියලු අර්ථයන් කැටිකොට දැක්වීමක් සිදු වන බව මතක තබා ගැනීම අවශ්‍ය යි..

—-මතු සම්බන්ධ යි….

Related Posts Plugin for WordPress, Blogger...

9 Comments

  1. Sadu Sadu

  2. SADU…..SADU…..SADU…! ! !

  3. Sadu.. Sadu.. Sadu..! Many merits for the simple explanation..! Yes we are waiting for the next article please. May you all attain supreme Nibban in this noble Gautama Buddha Sasana..!

  4. waiting for next article.

  5. නමෝබුද්ධාය..!!!
    තෙරුවන් සරණයි…,බොහොම පින් මේ වගේ වටිනා ධර්මයන් අප වෙත ලැබීමට සැලැස්වීම පිළිබඳව..
    මෙවැනි වටිනා ධර්මයන් අපට දැනගත හැකිවන්නේ සිතක් දියුණු කල උතුම් කෙනෙක්ගෙන් පමණයි.
    මෙවැනි උතුම් ධර්මයන් කියවන මා හට මෙවැනි අදහසක් ඇති උනා.නිවන් මාර්ගයේ ගමන් ගන්නා ,අය වගේම ධර්මයේ හැසිරෙන
    වාසනාවන්ත පින්වතුන් අප අතර සිටිනවා.ඒ අයටත් මෙවැනි ලිපි කියවා දැනුම දියුණු කරගැනීමට අවස්ථාවක් ඇතිනම් කියලා
    සිතුනා.ඒ අයට මෙවැනි දහම් කරුණු හා ස්වාමින් වහන්සේගේ කෙටි දේශනා download කරගත හැකි ආකාරයෙන් සකස් කර දෙන්නේ නම්
    ඔබලාට මෙම මහගු කාර්ය තුලින් තවත් පින් රැස් කර ගැනීමට හැකිවෙනවා.මා කැමතියි මෙම ලිපි මුද්‍රණය කර ඒ අයට බෙදා දෙන්න.
    ඔබලාට බොහොමත්ම පින් සිදු වේවා ..උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා….
    නමෝබුද්ධාය….!!!

  6. Namo buddhaya!

    armbaka kelawarak nopenena me biyakaru sasare api ipidemin meremin anatha dukpeeda vidimin maha sagaraya jalayata wada kadulu hala le helamin apu deeraga sasaraka kathandaraya apata asannata lebune mihipitata mathuuna Gauthama budusamidun avabodayen wadala uthum mihiri sri saddharmaya asanna lebemenui.
    Apage Gauthama budusamidun samma sambudhathwayata pathvi wasara 2600 sapiruna me uthum kalaye ithamathma uththama punyakriyawak. uthum dharma danayak. dukkitha sasarata wetuna minisunta thama thamange nena pamanin sasarata visadum soyagenima pinisa mema agana uthsahaya upakarayakma wewa! mama hadawathinma pin denawa samasthayak washayen mulu web adaviyatama. etharamma pranithai. sundarai. pirisidu uthum dharmayamai uthurayanne.apramana yahapathak. apramana pin. Namo buddhaya!

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: