subscribe

ධර්මයෙන් සතුටු වෙන කෙනෙක් වෙමු

ධර්මයෙන් සතුටු වෙන කෙනෙක් වෙමු

බු දුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප‍්‍රයෝජනයක් ලබන්ට නම්, ධර්මයෙන් පිහිට පිළිසරණ ලබන්ට නම්, ඒ ධර්මයේ තිබෙන විශ්මිතබව අපිට තේරෙන්ට ඕනැ. මේ ධර්මය විස්මිතයි, අපූරුයි, පුදුමයි, අද්භූතයි කියල අපිට තේරෙනවා නම්, අන්න එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. එයාට අලූත් ජීවිතයක් ඉපදෙනව. යමෙක් තුළ විශ්මය උපදින්නේ, ඊට කලින් නොදුටු දෙයක්, ඊට කලින් නොඇසූ දෙයක්, ඊට කලින් නොදත් දෙයක් දැක්කහම, ඇසුවහම, දැනගත්තහම. එතකොට අපි ධර්මයක් ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා නම්, ” මේක හරි විශ්මිත දෙයක්, අපි නොදුටු දෙයක් දැක්කා, අපි නොඇසූ දෙයක් ඇසුවා, අපි නොදත් දෙයක් දැනගත්තා” කියල එයා විශ්මයට පත්වෙනව. එයා තුළ මහත් වූ ප‍්‍රමුදිත බව, ප‍්‍රබෝධය හටගන්නව. ඒ මොහොතේ පටන් එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. ඇයි එයා සතුටු සිතින් ඒ ධර්මය පිළිගත්ත.

ඒ ආකාරයෙන් ධර්මය පිළිගත්තොත්, එයාගෙ සිත තුළ ඒ ධර්මයට ලොකු ඉඩක් තියෙනව. එතකොට සිත තුළ ධර්මයට ඉඩකඩ වැඩිවෙන්ට, වැඩිවෙන්ට අකුසලයට ඉඩකඩ අඩුයි. සාමාන්‍යයෙන් ධර්මයට හිත තුළ ඉඩකඩ අඩුයි. එතකොට ඒ හිත තුළ ඉඩකඩ තියෙන්නෙ අකුසලයට. කාපු දේවල් වේවා, බීපු දේවල් වේවා, ඇඳපු දේවල් වේවා, මේවා කල්පනාකර කර, කාමයන් ගැන හිත හිත ඉන්න ස්වභාවයක් තමයි සාමාන්‍ය අයගේ හිත් තුළ තිබෙන්නේ. මේ ආදී ස්වභාවයන්ට තමයි හිතේ ගොඩාක් ඉඩ තියෙන්නෙ. ධර්මයකට තියෙන්නෙ පුංචි ඉඩක්. අපි ඒ ඉඩ පළල් කරගන්ට ඕනැ. මේ හිත තුළ වැඩි ඉඩක් ධර්මයට ලබාදෙන්ට ඕනැ. එබඳු ලොකු ඉඩක් හිත තුළ ධර්මයට ලැබෙන්නේ, ඒ අහන ධර්මය වේවා, කියන ධර්මය ගැන වේවා, මහත් වූ සතුටක් අපි තුළ ඉපදෙනවා නම් පමණයි.

දැන් බලන්න අපේ හිත තුළ කාමයට ලොකු ඉඩක් ආවෙ ඇයි? ඒ කාමයන්ගෙන් සතුටුවුන නිසා නේද? පාරෙ යනකොට ලස්සන රූපයක් දැක්ක නම්, ඒ දැකපු රූපයෙන් සතුටු වුනා නම්, අපේ හිතේ ලොකූ ඉඩක් ඒ රූපය ගැන හිතන්න සලසගන්නව. හිටගෙන ඉන්දැද්දි වේවා, ඉඳගෙන ඉන්නවිට වේවා, නිදාගෙන හෝ ඇවිද ඇවිද හෝ වේවා, මේ මුලූ හිතම යොදාගෙන ඒ දැකපු එක කල්පනා කර කර ඉන්නව. ඇයි ඒ? ඒකෙන් සතුටු වුනා, පිනා ගියා. ඒ දැකපු දෙයින් සතුටුවෙන්න අපේ හිතේ ලොකු ඉඩක් ඉපදුනා. එහෙනම් ධර්මය හිතේ පවත්වන්න ඊට වඩා ඉඩක් සළසගන්න ඕනැ. එහෙම වෙන්න නම්, ඒ ධර්මයෙන් සතුටුවෙන්න ඕනැ. සතුටු නොවෙනවා නම්, ඒ ධර්මය හිතේ පවත්වගන්න බෑ. එතකොට ඒ විදිහට සතුටු වෙන්ට පුළුවන් කෙනා, ඒ ධර්මයෙන් මහත් සේ සතුටුවෙනව. එයා විස්මයට පත්වෙනව. අන්න එතැන් පටන් එයා තුළ දියුණුවෙන්නෙ ශ‍්‍රද්ධාවමයි.

ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයින්ට තමයි ධර්මයේ පිහිට පිළිසරණ තිබෙන්නේ. ධර්මයේ පිහිට පිළිසරණ කියල කියන්නේ සැබවින් ම සතුටින් වාසය කරන්ට පුළුවන් ජීවිතයක් උපදවගැනීම, සොම්නසින් වාසය කරන්ට පුළුවන් ජීවිතයක් උපදවගැනීම. අපිට සතුටෙන් වාසය කරන්ට පුළුවන්කම නැත්නම්, සොම්නසින් වාසය කරන්ට පුළුවන්කම නැත්නම්, අපි ධර්මයෙන් පිහිටක් පිළිසරණක් ලබාගත්තද? කියන කාරණය අපි ම කල්පනා කරල බැලිය යුතුයි.

අපි සූත‍්‍ර දේශනා වලින් අහල තියෙනවා නේද භාග්‍යවතුන් වහන්සේ පිරිස් පිරිවරාගෙන ධර්මය කියාදෙනව කියල. ඒ ධර්මය කියා දීල අවසානයේදී, ඒ පිරිස ප‍්‍රකාශකරනව, ”ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ආශ්චර්යයි, අද්භූතයි, පුදුම සහගතයි, නොදත් දෙයක් දැනගත්තා, අඳුරේ සිටි කෙනෙකුට තෙල් පහනක් දල්වල පෙන්නුව වගේ, මං මුලා වූ කෙනෙකුට පාර පෙන්නුවා වගේ” කියල එයාගේ ප‍්‍රසාදය සතුට ප‍්‍රකාශකරනව නේද? ඒ විදිහේ ප‍්‍රකාශ සඳහන්වන දේශනා අපි අහල, කියවල තියෙනව නේද? ඒ අය තුළින් එබඳු ප‍්‍රකාශ එන්නෙ ඇයි? ඒක තමයි ඒ අය තුළ ඒ ධර්මය නිසා උපන් සතුට. එහෙම සතුටක් ඉපදුණ නිසා තමයි එහෙම ප‍්‍රකාශ කරන්නෙ. එයා තුළ උපන් විශ්මය ප‍්‍රකාශ කරනව. ඊළඟට එයා ප‍්‍රකාශ කරනව, ”ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙක් විදිහට මා පිළිගන්නා සේක්වා” කියල. එහෙම නැත්නම් ”මා පැවිදිකරගන්නා සේක්වා” කියල එයා ශ‍්‍රාවකත්වයට පැමිණෙනව.

එතකොට එයා හිත පහදවාගෙන තමයි ධර්මය අහන්නෙ. එතකොට එයා අහන දේ ගැන එයාගෙ විස්මය උපදිනව. එයාට සිහිවෙනව,” මා කාවදාවත් නොඇසූ දෙයක් නේද ඇහුවේ. යට පැත්තට හැරවූ දෙයක් උඩ පැත්තට හැරෙව්වා වගේ. මං හිතපු දේ නෙවෙයි මේ. නොඇසූ දෙයක් මම ඇහුවා කියල” ඒ ධර්මයට එයා පහදිනව.

එතකොට ශ‍්‍රාවකත්වයට පැමිණෙන්න අපිට උදව්වෙන්නෙ මොකක්ද? ඇසු ධර්මය ගැන පැහැදීමක් සතුටක් ඇතිවීමයි. ඒ සතුට මුල්වෙලා ධර්මයෙන් පිළිසරණ ලබන්ට අපේ හිතේ කැමැත්තක් ඇතිවෙනව. දැන් බලන්න අපි කාමයන් දැකල ඒකෙන් සතුටුවෙලා ඒකෙන්ම පිළිසරණක් ලබන්න කැමතිවෙනව නේද? ප‍්‍රිය රූපයක් දැකල ඒකෙන් සතුටුවෙලා, අපි ඒ ගැනම හිත හිතා ඉන්නෙ, ඒකෙන් සැනසීමක් ලබන්නම් කියල. එහෙම නේද? ඒ විදිහටම යමෙක් ධර්මය අහල, ධර්මයට පැහැදුණොත්, එයා කැමතිවෙනව, ඒ ධර්මයෙන් පිළිසරණක් ලබන්න. අන්න ඒ විදිහට ධර්මයෙන් පිළිසරණක් ලබන්න කැමතිකෙනා ශ‍්‍රාවකත්වයට එනව. අන්න ඒ විදිහට අපි මේ ධර්මයන් ඉගෙනගන්නකොට අපි තේරුම් ගතයුතුයි. ඒ හැම අවස්ථාවකමදීම ඒ ධර්මයන් කෙරෙහි අපි පැහැදීම උපදවගන්න ගොඩාක් මහන්සිවෙන්න ඕනැ, කල්පනාව උපදවගන්න ඕනැ.

අපි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගන්ට ඕනෑ. ධර්මයෙන් සතුටුවුන කෙනාට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගන්න පුළුවන්. එතනින් ම තමයි අපි සංසාර ගමනෙන් නිදහස් වෙන්ට පටන්ගන්නෙ. ඒ අවබෝධය අදහාගත්ත ගමන් එයා සද්ධානුසාරී කෙනෙක් බවට පත්වෙනව. අපිට අමාරු ඒක කරගන්ටයි. අපි කොහොම හරි වෑයම් කළොත් අපිට පුළුවන්කම තියෙයි සද්ධානුසාරී කෙනෙක් බවටවත් පත්වෙන්ට. ඒ නිසා මේ ජීවිතයේ ම මහන්සිවෙලා හරි කමක් නෑ උත්සාහ කරන්න, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මයට පහදින්න. ධර්මයට පහදින කෙනා භාග්‍යවතුන් වහන්සේට පහදිනව. එයාට අවස්ථාව තියෙනව සංසාරෙන් නිදහස් වෙන්ට.

ඒ අමාරුම දේ තමයි අපි ඉස්සෙල්ලා ම කරගත යුත්තේ, ඉතුරුටික ඊට පස්සෙ කෙරෙනව. යම් කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට පැහැදුනොත්, ශ‍්‍රද්ධාව ඇතිවුනොත් එයාට ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ධර්මය අවබෝධ කරගන්ට, පුරුදුකරගන්ට කැමැත්ත උපදිනව. කැමැත්ත ඉපදුණ කෙනා, ඒ සඳහා වෑයම් කරනව. ඒ වෑයම් කරන කෙනාට, ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් ද ප‍්‍රකාශ කළේ, ආන්න ඒ පිළිබඳව එයාට වැටහීමක් ඇතිවෙනව. එයාට වීරිය උපදිනව. එයා වීරියෙන් ඒ ධර්මය පුරුදුකරනවා. එයා ඒ ධර්මය අවබෝධ කරනව. එහෙනම් අපි මහන්සිවෙලා කරගතයුතු දේ මොකක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගැනීම.

අපි අප‍්‍රමාණ මිනිස්සු ගැන අහල තියෙනව, රජවරු ගැන අපි අහල තියෙනව, වීරියවන්තයින් ගැන අපි අහල තියෙනව නමුත් භාග්‍යවතුන් වහන්සේට තිබුනු ගුණ කාටවත් තිබුනෙ නෑ. මේ ගුණ දැනගත්තු කෙනා පුදුම වෙනව. ඒ පුදුම වීමත් එක්කම එයාට සිද්ධවෙන දේ තමයි එයාගෙ සිත සංසුන් වෙනව. ”ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කෙරෙහි පහදින කෙනාගේ හිත සංවර වෙනව. ”භාග්‍යවතුන් වහන්සේ මේ මේ විදිහේ ගුණ වලින් යුක්තයි ඒ උතුමන් වහන්සේ කුමක්ද කියාදුන්නේ?” කියල අහන්න හිත නැමෙනව. අන්න එතකොට සද්ධර්මයට අපි ඇහුම්කන් දෙනවා. එතකොට එයා සතුටට පත්වෙනව මේ මේ ගුණයන්ගෙන් යුක්ත භාග්‍යවතුන් වහන්සේ කිව් දේ නේද මේ කියල.

ඉපදුණ මනුස්සයාට, ඉපදුණ දෙවියන්ට, මේ කාටත් තිබෙන ලොකුම අනතුර තමයි, සතර අපායක ඉපදෙන්ට බොහෝ ඉඩකඩක් තිබීම. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ, මැරෙන මිනිස්සුන්ගෙන් නැවත වතාවක් මනුස්ස ලෝකයට, එහෙම නැත්නම් සුගති ලෝකයකට එනව නම්, එන්නේ ඉතාම ටික දෙනෙක් කියලයි. ඒක හරියට නියපොත්තට ගත්තු පස් ටික වගේ ඉතාමත්ම සු`ඵ පිරිසක්. මහ පොළොවෙ පස් වගේ විශාල මිනිසුන් ප‍්‍රමාණයකට මිය පරලොව ගිහිල්ල ආයෙ උපදින්ට සිද්ද වෙන්නේ, සතර අපායේ.. මේක පුංචි අනතුරක් නොවෙයි. නුවණ තිබෙන මනුස්සයාට තිබෙන ලොකුම අභියෝගය මේ සතර අපායෙන් නිදහස්වීම යි. මෙබඳු ස්වභාවයක් අපිට තිබෙනව කියල දැනගන්ට ලැබෙන්නෙ, අපි ඉගෙන ගන්නෙ, බුදු රජාණන් වහන්සේගේ ධර්මය අහල පිළිගත්තොත් විතරයි.

එහෙම නැති වුනොත්, හරියට අද දවස ගැන පමණක් දන්න කෙනා, හෙට ඉර පායනව, හෙට දවසක් එනව කියන කාරණය දන්නෙ නෑ වගේ. අන්න ඒ වගේ අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය නොදන්නව නම්, මරණයෙන් මත්තේ ආයෙ ඉපදෙන්ට ලැබුනොත්, ඉපදෙන ස්වභාවයෙන් යුක්ත වුනොත්, ඉපදෙන විදිහට සකස් වෙලා තිබුණොත්, අපිට ඉපදෙන්ට සිදුවෙනවා කියන දේ දන්නෙ නෑ. බුදු රජාණන් වහන්සේගේ ධර්මය අහන්ට, දැනගන්ට නොලැබුනානම්, ඉපදෙන්ට තිබෙන තැන් කොයි වගේද? කියන කාරණාවත් අපිට දැනගන්ට ලැබෙන්නේ නෑ. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසීමෙන්, ධර්මය ඉගෙන ගැනීමෙන්, අපිට ප‍්‍රමාණ රහිත වූ ලාභයක් මේ වන විටත් ලැබිල තිබෙනව. මොකක්ද ඒ ලාභය? අපේ ජීවිත හමුවේ තිබෙන මහත් වූ අනතුර කුමක්ද කියල දැනගන්ට ලැබෙනව. මෙතරම් ලාභයක් ලැබුන අපි කල්පනා කළ යුත්තේ, මේ ලාභය අත් නොහැරෙන විදිහට අපේ ජීවිතයට සම්බන්ධකර ගන්නට යි.

ඒනිසා අපි අපේ ජීවිතය හැඩගහ ගැනීම පිණිස, සංවර වීම පිණිස කරන දේවල් උනන්දුවෙන් කරන්ට ඕනැ. උනන්දුව ඇතිවෙන්නෙ, ඒවා ගැන හොඳට සසඳල බැලීමෙන්. අපි කලින් කළ දේ සහ දැන් කරන දේවල් ගැන හොඳින් සසඳලා බලන්න ඕනැ. අපිට බුදුකෙනෙක් විසින් කියාදුන්න දෙයක් කරන්ට ලැබීම කොච්චර ලාභයක් ද කියල යම් කෙනෙකුට තේරුණොත්, එයා සතුටු සිතින් ඒව හොඳට පුරුදුකරන්න කල්පනා කරයි.

කල්පනා කරල බලන්න අපිට බුදුරජාණන් වහන්සේ නමක් විසින් කියා දුන් දෙයක් කරන්ට ලැබුන කිව්වහම, ඒක ජීවිතයට පුංචි ආශිර්වාදයක්ද කියල. අපි වගේ කෙනෙකුට හිතාගන්ටවත් බෑ නේද බුදුරජාණන් වහන්සේ නමක් විසින් කියාදුන්න දෙයක් කරන්ට ලැබෙනවා කියන කාරණය අපිට හිතාගන්ටවත් බැරි තරම් භාග්‍යයක් ලැබුනේ. ඒ නිසා නිරන්තරයෙන් ඒ කාරණය සිහිකරන්න. අපි බුදුරජාණන් වහන්සේ විසින් කියා දුන් දෙයක් පුරුදුකරන්ටයි මහන්සිවෙන්නෙ, අපි ඒකයි මේ කරන්නෙ කියල සිහිකරන්න. සිහිකරන වාරයක් පාසා ඔබට සතුට උපදී. ප‍්‍රීති ප‍්‍රමෝදය ඇතිවෙයි. ඒ කටයුතු කලාට පසුවත් හිතන්න බුදුරජාණන් වහන්සේ වදාළ දේ නේද මම කළේ. ඒක නේද මම පුරුදුවෙන්නෙ. බුදුරජාණන් වහන්සේ කියා දුන්න දේ නේද මම පුරුදු වුනේ කියල කල්පනා කරන්ට.

එතකොට සතුටු සිතින් කාටත් ඒ කටයුතු කරන්ට පුළුවන්කම තියෙයි. අපි මේ ධර්මය නොදන්න කාලේ, ධර්මය අහල තිබුනෙ නැති කාලේ, අපිට බුදුරජාණන් වහන්සේ කියාදුන් දෙයක් කරන්ට බැරිවුනානෙ, අපි හරි යි කියල කළේ හිස් දේවල්නෙ, කියල ගළපල බලන්න. එතකොට අපිට ආපහු සැරයක් එබඳු දේ කරන්ට හිත නැමෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ කියාදුන් දේ ම කරන්ට අපේ හිත නැමෙයි. එතකොට අපිට නැවත නැවත ධර්මය අහන්ට, ඒ ධර්මය පුරුදුකරන්ට, මතකතියා ගන්න. එතකොට ධර්මයේ හැසිරෙන්ට කැමත්ත ඇතිවෙයි. එයා තමන් තුළම ඇති උනන්දුවකින් ධර්මය පුරුදුකරයි. එයාට තව කෙනෙකුගේ මෙහෙයවීමක් නැතිව තමන් ම උනන්දුවෙන් කුසල් කරන කලක් ඇති වෙනව. ඒ එන්නෙ ධර්මය ජීවිතයට ගලපල බලනකොට යි.

අපි මේ කරන කියන පින් දහම් ආදී දේවල් හොඳට තේරුම් අරගෙන, ඒ බුදුරජාණන් වහන්සේ කියා දුන් දෙයක් නේද කරන්නෙ කියල තේරුම්ගන්න. ඒත් එක්ක ආර්ය සත්‍යය හොඳට ඉගෙන ගනිමින් ජීවිතයට ගළපමින් බලන්න. ඒ දුක ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් ධර්මය ජීවිතයට ගලපමින් බලන්න. එතකොට අපිට කැමැත්ත උපදී ධර්මයේ හැසිරෙන්ට. මේ ධර්මය විශ්වාස කරන්න. මේක අදහාගන්න. එයාට පුළුවන්කම ලැබෙනව සංසාර ගමන අවසන්කරල දාන්න. අපි කාටත් ආශිර්වාද කරන්ට කැමතියි ඒ භාග්‍යවතුන් වහනසේගේ ශ‍්‍රාවකත්වය බලවත් කර ගැනීම පිණිස සියලූ දෙනාට ම භාග්‍ය උදාවේවා කියල.

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

6 Comments

  1. sadu..sadu..mama sarana giya ea bhagyawathun wahanseta mage namaskaraya wewa

  2. නමෝ බුද්ධාය

    ඇත්තෙම්ම අපගේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ආශ්චර්යයි…………මා සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට, ශ්‍රී සද්ධර්මයට, ආර්ය මහා සඟ රුවනට මාගේ නමස්කාරය වේවා..

  3. Namo Bubbhaya!
    Ekanthayenma lamaka vu kamayangen labana sathutata vada me uthum sri saddharmayen labana sathuta buho uthum…agrai…

    E sathuta apa thula kisida novenasva thabaganu pinisa me uthum dharma danaya sidukarana siyallantama uthum nirvana suvaya pinisama me pinath upakarayak veva…!
    Boho pin raskaraganime vasanava uda veva!!!

    Theruvan Saranai!!!

  4. Dharmaya kiyaadee apava nisi maga yawana oba wahanselaata uthum chathurarya sathya awaboda wewa….
    Sadu…Sadu…Sadu…

  5. නමෝ බුද්ධාය……..

    මේ බුද්ධ සාසනයේ චිරස්තිතිය සඳහා මෙවැනි ලිපි දිගින් දිගටම පල කිරිමට වෙහෙස මහන්සි වෙන සියළුම පින්වත් ස්වාමීන් වහන්සේලාටද, ඒ වෙනුවෙන් ඇප කැප වී සිටින ඒ සියළුම පින්වතුන්ටද ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.

    සාදු! සාදු!! සාදු!!!

  6. sadu..sadu..sadu..!!!!!! rathran miniketa wage karunika avavada anushasana ….ane maha yahpathakmai. sadu………!!!!!sadu..sadu..

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: