subscribe

ජීවිතය තුළින් ධර්මය දැක ගන්න

ජීවිතය තුළින් ධර්මය දැක ගන්න

භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇති ලෙස දුක ගැන තේරුම් ගත්තොත් අන්න එයා තුළ ශ්‍රද්ධාව උපදිනවා ඒ ශ්‍රද්ධාව ඉපදුන කෙනා තුළ, ශීලය රැකෙනවා. ශීලය රැකෙන කෙනා තුළ, ඒ ශීලය පරිපූර්ණ වෙනවා, ඒ ශීලය පරිපූර්ණ වුණ කෙනා තුළ, පසු තැවෙන ස්වභාවය නැතුව යනවා. පසු තැවෙන ස්වභාවය නැති කෙනාගෙ සිත ප්‍රමුදිත යි. නැවුම්, ඒ ප්‍රමුදිත ව වාසය කරන කෙනා, බණ භාවනා කරගෙන යනකොට සිතේ විවේකය ඇති වෙනවා. නීවරණ දුබල වෙලා සිත විවේකයට පත්වෙනවා. විවේකයෙන් යුක්තව බණ භාවනා කරන කොට පී‍්‍රතිය උපදිනවා. පී‍්‍රතිය උපදින කෙනා පී‍්‍රතිමත්ව බණ භාවනා කරගෙන යන කොට, කය සැහැල්ලු වෙනවා. එයා සුව පහසුවෙන් භාවනාව කරගෙන යනවා. ඒ සිතට සැපය ඇති වෙනවා. ඒ සැපවත් වූ සිතින් බණ භාවනා කරන කෙනා තුළ සමථ, විදර්ශනා සමාධි උපදිනව.

මේ ක්‍රමයෙන් බැහැර ක්‍රමයකින් සම්මා සමාධිය ඇති කර ගන්ට බෑ. ඒක ලෝකයේ කොහේවත් කවදාවත් සිද්ධ වෙන්නෙ නෑ. එහෙනම් අපි බණ භාවනා කරල ඒකෙන් සාර්ථක ප්‍රථිපල අත්කරගන්ට කැමැති අය විදියට, බණ භාවනා කළ යුත්තේ මේ පිළිවෙළට පමණයි.වෙන ක්‍රමයකින් අපිට භාවනාවකින් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද ආර්ය සත්‍යය ඉගෙන ගෙන , ඒ ආර්ය සත්‍යය ජීවිතයට ගලපලා බලමින් වාසය කළොත්, අන්න එයාට තේරෙනවා, මේ ජීවිතයේ ‘දුක’ කියල දෙයක් තියෙනවා කියල. එයා තුළ වාද කරන්ට තියෙන සිත නැති වෙනව. එහෙම නැත්නම් වාද කරකර, අඩු පාඩු හොයා හොයා , විහිළු තහළු කරකර ඉන්න ස්වභාවයක් තමයි අප තුළ තියෙන්නෙ. අන්න ඒ ස්වභාවය අප තුළින් බැහැර නොවුණොත්, භාවනාවක් පටන් ගන්ට බෑ. භාවනාවකින් අපිට දියුණුවක් ඇති කරන්ට බෑ.

ධර්මය තුළ කියාදෙන ආකාරයට ජීවිතයේ දුකක් තියෙනවා කියල තේරුණොත්, එපමණකින් ම එයා ශාන්ත කෙනෙක් බවට පත්වෙනවා. නිහඩ කෙනෙක් බවට පත්වෙනවා. එයා කතා නොකර ඉන්නවද? නෑ. කථා කරනව. එයා හිනා වෙන්නෙ නැද්ද? හිනා වෙනවා, ඒව කරන්ට පුළුවන් එයාට. නමුත් එයා සිහින ලෝකෙක ඉන්නෙ නෑ. ඇයි සිහින ලෝකෙක ඉන්නෙ නැත්තෙ? එයා සැබෑ ලෝකය දන්නව. සැබෑ ලෝකය තමයි, මේ ජීවිතය දුකට අයිතියි කියල එයා දන්නව. මරණින් මේ ජීවිතයේ කෙළවර වෙනවා කියල එයා දන්නව. මැරෙන බව එයා දන්නව. මැරෙන බව දන්න කෙනා අමනාපකම් ගොඩනගා ගන්ට වෑයම් කරන්නෙ නෑ. මනාපකම් ගොඩනගා ගන්ට වෑයම් කරන්නෙත් නෑ. තියෙන මනාපය දියුණු කරගන්ට වෑයම් කරන්නෙත් නෑ. ඇයි එයා දන්නව මේ ජීවිතය දුකට අයිති දෙයක් කියල.

අන්න ඒ විදියට අප මේ ජීවිතයේ ඇත්ත දේ ඉගෙන ගත්තොත්, ඒ ධර්මය ජීවිතයට ගළපමින් සංවර කෙනෙක් බවට පත්වෙනවා. සංවර වෙලා, සිල් පද රැකගන්ට කල්පනා කරනවා. ඒ සඳහා ඉන්ද්‍රිය සංවරය, සති සම්පඤ්ඤය පුරුදුවෙනවා. එවිට එයා තුළ සීලය පිරෙනව. සීලය පිරුණ කෙනා තුළ පසුතැවීමක් නෑ. පසු තැවීමෙන් තොරව වාසය කරනවා, එවිට සිත් නැවුම්. අලුත් සිතක් වගේ ප්‍රමුදිතයි. ඒ ප්‍රමුදිත කෙනා තුළ උපන් වීර්යක් තියෙනවා. උපන් වීරිය නැත්තෙ, අකුසලයෙන් බැට කන හිත තුළ. එයාගෙ හිත තුළ තියෙන්නෙ කාමඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්දච්ච, කුක්කුච්ඡය, ආදි අකුසල් . මේවට තමයි ඇදිල යන්නේ. නමුත් ඒ නීවරණ වලට ආහාර නැති සිත තුළ කුසල් දියුණුකර ගැනීම පිණිසත් අකුසල් දුරුකිරීම පිණිසත් උපන් විරියක් තියෙනව. එයාට කාගෙවත් පෙළඹවීමක් වුවමනා නෑ. එයා නිසි වෙලාවට ගිහින් බණ භාවනා කරනව. සුදුසු වෙලාවට පොත පත බලනව. සුදුසු වෙලාවට ධර්මය දේශණා කරනව. සුදුසු වෙලාවට ධර්ම කතා කරනවා. ඒ උපන් වීරිය තියෙන කෙනා ගෙ ස්වභාවයයි. ඒ උපන් විරිය තියෙන්නෙ කොහොම කෙනා තුළ ද? ප්‍රමුදිත කෙනා තුළයි. ප්‍රමුදිත කෙනාට පස්සෙන් ඉඳල කවුරුවත් ඇඟිල්ලෙන් අනින්ට ඕනෙ නෑ. ආ…..නැගිටින්ට , යන්ට භාවනා කරන්ට ….කියන්ට වුවමනා නෑ. එයා තුළ ම උපන් වුවමනාවක් තියෙනව. ඇයි එහෙම උපන් වුවමනාවක් තියෙන්නෙ? එයා අවදියෙන් වාසය කරන කෙනෙක්. එයාගෙ ජීවිතය ගැන එයා දන්නව. අවදිවෙලා ඉන්නව කිියන්නෙ ඒකයි.

මගේ ජීවිතය වයසට යෑමෙන් දුකට පත්වෙන එකක්. මගේ ජීවිතය ලෙඩ වීමෙන් දුකට පත් වෙන එකක්. පි‍්‍රයයන්ගෙන් වෙන් වීමෙන් දුකට පත් වෙන එකක්. අපි‍්‍රයයන් හා එකතුවීමෙන් දුක ඇතිවෙන එකක් මරණය ඉදිරියේ දුකට බයට ගොදුරු වෙන එකක් කියල එයා දන්නව. එතකොට එයා අවදියෙන් ඉන්නේ. නිදි නෑ. අවදියෙන් ඉන්න කෙනා තුළ, කුසල් දියුණු කරන්ටත්, අකුසල් ප්‍රහාණය කරන්ටත් උපන් වීරියක් තියෙනව. ඇයි උපන් වීරියක් තියෙන්නේ? එයා තුළ උපන් වුවමනාවක් තියෙනවා. දුකෙන් නිදහස් වෙන්ට ඕනෑ කියල. ඒක බලහත්කාරයෙන් කවුරුත් පටවල නෑ. ඒකයි උපන් වුවමනාව කියන්නෙ. තමා තුළ ඉපදිලා තියෙනව වුවමනාවක් මා මේ දුකෙන් නිදහස් වෙන්ට ඕනෑ කියල. ඇයි ඒ උපන් වුවමනාවක් එයා තුළ හටගෙන තියෙන්නෙ? එයා එයාගෙ ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් අරගෙන තියෙන්නේ. කවුරුත් බලෙන් පටවල ද? නෑ. කොහොමද එයා එයාගෙ ඹ්ෂතයේ ඇත්ත ස්වභාවය තේරුම් ගත්තේ? එයා එයාගෙ ජීවිතයට ධර්මය ගලපල බලනව. ආර්ය සත්‍යය තමන්ගෙ ජීවිතයට තමා ම ගලපල බලනව. එතකොට එයාට තේරෙනව තමාගේ ජීවිතයේ ඇත්ත ස්වභාවය. කලින් හිටියෙ සිහින ලෝකෙක. විහිළු කරගෙන, එකිනෙකාට ඇද කුද කියා ගෙන, තමා ඉස්මතු වෙන්ට කල්පනා කරමින්. මෙබඳු සිහින ලෝකයක හිටියෙ. ඒ හිටපු කෙනා ධර්මය ජිවිතයට ගලපල බලනව. බලනකොට එයාට තේරෙනව මේකෙ සිහිනයක් විතරයි තියෙන්නෙ කියල. සිහින ලෝකයෙන් එයා අවදි වෙනවා. එයා ඇත්ත ලෝකයට එනවා.

ඇත්ත ලෝකය මොකක්ද? කොයි මොහොතෙ මා මැරිල යයිද දන්නෙ නෑ. මොකටද මේ වාද බේද? මොනවද මේ උස්පහත් කම් කියල එයා ඒක අත හරිනවා.ඒවා අත් හැරෙනවා, එයා අමනාපකම් ඇති කරගන්ට කල්පනා කරන්නෙ නෑ. ඇයි එයා ඇත්ත ලෝකෙ ඉන්නේ. එයා දන්නව මා මැරිල යනවා කියල. මේ උස් පහත් බේද මේව වැඩක් නැති දේ කියල එයා දන්නව. එයා අහිංසක කෙනෙක් විදියට ජීවිතය දුකින් නිදහස් කරගන්ට කැමැති වෙනවා. ඉතින් එහෙම වෙන්නෙ ධර්මය තමාගෙ ජීවිතයට ගලපල බලන කෙනාටයි. ධර්මය තමාගෙ ජීවිතයට ගලපල බලන කෙනාට කැමැත්තක් උපදිනවා. කුමක් පිණිස ද? මේ දුකෙන් නිදහස් වෙන්ට ඕනෑ කියන කාරණාව ගැන.ආන්න එහෙම දුකින් නිදහස් වෙන්ට ඕනෑ කියන වුවමනාව ඉපදුන කෙනා තුළ වීර්ය උපදිනවා. ඇයි විරිය උපදින්නේ? එයා දුකින් නිදහස් වෙන්ට වෑයම් කරනවා. කැමැත්ත නිසා වෑයම් කරනව. වෑයම් කරන කොට විරිය උපදිනවා.ආන්න එයාට කවුරුත් බල කරන්ට ඕනෙ නෑ. දැන් භාවනා කරන්න යන්න. පොත් බලන්න. සංවර වෙන්න කියල කවුරුත් බල කරන්ට ඕනෙද? ඕනෙ නෑ. තේරෙන්නෙ නැත්නම් අහන්න කියල බල කරන්ට ඕනෙද? නෑ. එයා තේරෙන්නෙ නැත්නම් අහනවා. ඇයි එයාට වුවමනාවක් තියෙනවා. එයා දන්නව අනතුරක් ඉදිරියේයි මා ඉන්නේ කියලා. ඒ අනතුර කොයි මොහොතේ මා කරා එයිද දන්නෙ නෑ කියල. ලෙඩවීම , මරණයට පත්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, මේව කොයි මොහොතෙද? දන්නෙ නෑ. එතකොට එයා හැම වෙලාවෙම අනතුරක් ඉදිරියෙ නේද ඉන්නෙ. එයාට තියෙනවද අර්ථයක් නැති දේ කරකර ඉන්ට වෙලාවක්? කොයි මොහොතේ මැරෙනව ද? කියල දන්නෙ නැති මනුස්සයෙකුට හිස් දෙයක් උදෙසා හිනා වෙවී ඉන්ට වෙලාවක් තියෙනවද? කොයි මොහොතේ ලෙඩ වෙයිද කියල දන්නෙ නැති මනුස්සයෙකුට හිස් දෙයක් උදෙසා හිනා වෙවී ඉන්ට වෙලාවක් තියෙනවද? කොයි මොහොතේ පි‍්‍රයයන්ගෙන් වෙන් වෙන්ට වෙයිද? මැරෙන්ට වෙයිද? ලෙඩ වෙන්ට වෙයිද? කියල කල්පනා කරන කෙනාට, අනුන්ගෙ ඇදකුද හොය හොය ඉන්ට වෙලාවක් තියෙනවද? ඒකෙන් වැඩක් තියෙනවද එයාට? වේලාව තිබුණත් ඒකෙන් එයාට වැඩක් නෑ. එයාට වෙලාව මදි තමන්ගෙ කටයුත්ත කරගන්ට.

මොකක්ද තමන්ගෙ කටයුත්ත? මේ දුකින් නිදහස් වීම පිණිස වුවමනා දේ පුරුදු කිරීම. ඒ නිසා, එයාට වීරිය තියෙනව ධර්මය පුරුදු කරගැනීම පිණිස. අන්න එයා ප්‍රමුදිතව වාසය කරන කෙනෙක්. ඒ ප්‍රමුදිතව වාසය කරන කෙනා සුදුසු වෙලාවට බණ භාවනා කරගන්නවා. ඒ බණ භාවනා කරනකොට, නීවරණ පෝෂණය කරන්නෙ නැති කෙනෙක් නිසා නීවරණ දුබල වෙලා . දැන් ඒ සිත භාවනා අරමුණේ පවත්ව ගන්ට පහසුයි. එහෙම පුරුදු කරන්ට කරන්ට එයාට හොඳින් භාවනාව සිතේ පුරුදුකරන්ට පුළුවන් කලක් එනව. දැන් නීවරණ දුබල වෙලා සිතේ බලවත් විවේකය ඇතිවෙනවා. ඒ විවේකයෙන් එයා භාවනාව කරගෙන යනවා. විවේකයෙන් භාවනාව කරගෙන යනකොට පී‍්‍රතිය උපදිනවා. එයා පී‍්‍රතියෙන් යුක්තව භාවනාව කරගෙන යනවා. එතකොට බලන්ට විවේකය ඇති වෙන්නෙත්, පී‍්‍රතිය ඇති වෙන්නෙත් භාවනාව තුළ යි. ඒක මතක තියා ගන්න. එහෙම නැත්නම් අපි යන එන කොට හිනා වෙන එක නෙමෙයි මෙතනදි පී‍්‍රතිය කියන්නෙ. නැත්නම් සිතනව කට්ටියක් එකතු වෙලා හිනාවෙවී ඉන්න එකයි මේ පී‍්‍රතිය කියන්නෙ කියල . නෑ ඒක නෙමෙයි. මෙතනදි පී‍්‍රතිය කියන්නෙ භාවනා කරනකොට භාවනා කරන කෙනාට උපදින දෙයක්.

කලක දී ඒ පී‍්‍රතිය නැති වෙලා කය සැහැල්ලු වෙනව. දැන් එයා ඉතා සුව පහසුවෙන් භාවනාව කරගෙන යනව. ඒ සුව පහසුවෙන් භාවනාව කරගෙන යන කෙනාගෙ සිතේ සැප ඇතිවෙනව. දැන් එයා සැප සේ භාවනා කරනව. ඉතාම සැප සේ භාවනා කරනව. ඒ සැපෙන් යුක්තව වාසය කරමින් භාවනා කරන කෙනාගෙ සිත එකඟ වෙන්ට පටන් ගන්නව. එයාට තමයි සමථ විදර්ශනා ධර්මයන් පහළ වෙන්නෙ.

එහෙනම් අපි කවුරුත් බණ භාවනාවක් තුළින් සාර්ථක ප්‍රතිඵලයක් අපේක්‍ෂා කරනවා නම්, භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද විදියටයි කටයුතු කළ යුත්තේ. ඒ නිසා අප පටන් ගත යුත්තේ කොතනින්ද? දුක අවබෝධ කර ගන්ට කැමැති වෙන්ට ඕන. දුක අවබෝධ කරගන්ට නම් සද්ධර්මය ජීවිතයට ගලපල බලන්ට ඕන. සද්ධර්මය ජීවිතයට ගලපල බලන්ට නම්, ඒ සද්ධර්මය කෙරෙහි පැහැදීමක් තියෙන්ට ඕන විශ්වාසයක් තියෙන්ට ඕන. සද්ධර්මය කෙරෙහි විශ්වාසයක් තියෙන්ට නම්, මට මේ ධර්මය වටහා ගන්ට ඕනෑ කියන අදහසින් ධර්මය අහන්ට ඕනෑ. ඒ සද්ධර්මය අහන්ට නම් ඒ විදියට කළ්‍යාණ මිත්‍රයා ගරුසරු ඇතිව ඇසුරු කරන්ට ඕන. ආන්න ඒ කෙනාට භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ඇතිකරගන්ට අවකාශයක් ඉපදෙනව. සියලු දෙනාට ම ජීවිතේ යහපත් පැත්ත දියුණු කරගන්ට වාසනාව ධෛර්ය උදාවේවා කියල අපි ආශිර්වාද කරන්නෙමු !

තෙරුවන් සරණයි.

නාවලපිටියේ අරියවංශ හිමි

‘බුදුසරණ’ පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්

Related Posts Plugin for WordPress, Blogger...

3 Comments

  1. නමෝ බුද්ධං

    අනේක දුක් ඇති මේ සංසාර කතරෙන් මිදීමට මග කියා දුන් අප ලොවුතුරා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
    අප වෙත ශ්‍රී සද්ධර්මය සුභාෂිතයෙන් දේශණා කල ගෟරවණිය අති පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි වෙත වහ වහා නිවන් අවාබෝධ වේවා!!
    තව තවත් ධර්මය ‍අප වෙත කරුණාවෙන් දේශනා කරත්වා

  2. Namo Buddhaya,
    e bhagya watun wahanse sebawinma aascharyayai
    unwahanse wadala sri saddarmayada ramaneeyai
    budu maga wadi e aaryan wahanselada babalana rathna meni

    sadu..sadu..sadu…
    mewan anushasana apata asannata lebimata upakara kala pinwath swaminwahanseta mage namaskaaraya wewa…..

  3. Namo buddhaya!

    Thunlowatama agravu uthum vu shestra vu matama seameevu magema budupiyananvu magema budumeniyan vu e Bhgyawath vu arahath vu sammma sambudu weerayananwahanseta mage namaskaraya wewa! sadu..sadu..sadu..!

    sadu..sadu..sadu..! apage jivitha walata pramana rahitha vu uthum labhyak labagannata upakarayak vu me lokaye agravu uthum sri saddharmayata mage namaskaraya wewa!
    ithamath karunawen mthsithin anukampawen apage yahapatha kemethi uththama kalyanamithra uththamayan wahanselata mage namaskaraya wewa! sadu..sadu..sadu…!

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: