subscribe

නිදහස් විය යුතු ‘ජරා – මරණ’ දුක

නිදහස් විය යුතු ‘ජරා – මරණ’ දුක

බු දුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමෙන්, මේ ලෝක සත්වයාට වෙනත් කිසිම කිසි කෙනෙකුගෙන් අසා දැනගන්නට බැරි ලෝකය පිළිබඳ අවබෝධය, ලෝකය පිළිබඳ දැනුම, සත්‍යය, දැනගන්ට පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි බුදු කෙනෙක් පහළ වීමෙන් අපට ලැබෙන මහා ලාභය. අපි කවදාවත් අහල නැති, වෙනත් කෙනෙකුගෙන් අසා දැන ගන්නට බැරි, අපේ ජීවිතයේ සැඟවිලා තිබෙන දේ අපට දැන ගන්නට ලැබෙන්නේ, බුදු රජාණන් වහන්සේගෙන්.

අපි මේ ලෝකයේ මොන දේ ඉගෙන ගත්තත්, මොන තරම් හැකියා තිබුණත්, මේ ලෝකයේ නොපෙනෙන දේවල්, අපිට දැනගන්න බැරි දේවල් තමයි බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගෙන, අපට කියා දෙන්නේ. බුදු රජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් තමා අපට කියා දෙන්නේ, අති දීර්ඝ සංසාරයක් පුරා නොයෙකුත් දුක් විඳිමින් ආපු ගමනක් අපට තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමකින් තොරව මේ ලෝක සත්වයාට තමන්ගේ ජීවිතයේ සැඟවිලා තිබෙන ඇත්ත දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.

ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනු මොහොතේදී, උන් වහන්සේ සිත යොමු කරනවා අතීත ජීවිත විමසා බලන්නට. ඉතිං උන්වහන්සේට අවබෝධ වෙනවා, පටන් ගැන්මක් හොයන්ට බැරි තරම් අති දීර්ඝ කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනක් තිබෙනවා කියලා. ඒ විදිහට අවබෝධ කරගෙන ප‍්‍රකාශ කරන තෙක්, අපිට මේ ලෝකයේ සැඟවිලා තිබුණ ඒ සත්‍යය දැනගන්නට ක‍්‍රමයක් තිබුණේ නෑ.

ඒ වගේම තමයි, බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන මොහොතේදී, උන්වහන්සේ විමසා බැලූවා, මිය යන අයට මොකද වෙන්නෙ කියලා. එතකොට උන් වහන්සේට අවබෝධ වුනා, මේ ජීවිතය ගත කරන කොට යහපත් දේ කරන අය, මිය ගියාට පස්සේ සැප සහිත තැන් වලත්, අයහපත් දේ කරන අය, කය බිඳිලා මළාට පස්සේ දුක් සහිත තැන්වලත් උපදින බව. මේ සත්වයා දීර්ඝ සංසාර ගමනක් පැමිණි බව, නැවත නැවතත් නොයෙකුත් ආකාරයේ ජීවිත ලබමින් මේ සසර ආයේ යන්න සිද්ධ වෙන බව, බුදු කෙනෙක් පහළ වීමකින් තොරව අපට ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. බුදු රජාණන් වහන්සේ පහළ වීමෙන් ම අපට අපගේ ජීවිතයේ සැබෑ තත්වය දැන ගැනීමේ භාග්‍යය උදාවෙනවා. සත්වයාගේ සැඟවිලා තිබෙන, කාටවත් සොයා ගන්ට බැරිවුන, ඒ සත්‍යය දකින විට බුදුරජාණන් වහන්සේට සියලූ සත්වයන් කෙරෙහි මහා කරුණාවමයි ඉපදුනේ. ඒ මහා කරුණාවෙන් තමයි උන්වහන්සේ අවබෝධ කළ ධර්මය දෙවි මිනිසුන්ගේ යහපත පිණිස දේශනා කළේ.

බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ පහළ වෙන්නේ, මේ ලෝකයේ ජරාවට පත්වීමක්, මරණයට පත්වීමක් තිබෙන නිසා, අතීතයේ කෙළවරක් නැති ජීවිතවල ඉපදි ඉපදි ජරාවට පත් වුනා. මරණයට පත්වුනා. ඒ වගේම තමයි මේ ගමන ආයෙමත් ඉපදෙමින්, ජරාවට පත් වෙමින්, මරණයට පත් වෙමින් කෙළවරක් නැතිව යන්ට සිද්ධ වෙනවා, ඒ සංසාර ගමනේ අපට විඳින්ට තිබෙන දුක් ගැහැට මෙතෙක් යැයි ප‍්‍රකාශ කරන්නටත්, හිතන්නටවත් පුළුවන්කමක් නෑ. ඒ තරම් දුක් සහිත ස්වභාවයක් තමයි ඒ සංසාර ගමන තුළ තිබෙන්නේ. ජරාවට පත්වෙන ස්වභාවයෙන් යුක්ත වෙමින්, මරණයට පත් වෙන ස්වභාවයෙන් යුක්ත වෙමින්, කෙළවරක් නැතිව යන මේ සංසාරයෙන් නිදහස් වීම පිණිස, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දුකින් නිදහස් වීම පිණිස කියා දුන් ධර්මය අපේ ජීවිත වලට ගලපා ගන්නට කල්පනා කල යුතුයි. උත්සාහ කළ යුතුයි.

අපි අතීතයේ නොයෙකුත් ජීවිත වල, ඉපදිලා, වයසට ගිහින්, මරණයට පත්වෙලා, නිරයේ ගිහින්, ආයේ ඉපදීලා මැරිලා ගියපු වාර ගණන කොච්චරද කියලා අපට කියන්න පු`ඵවන්කමක් නෑ. බුදු රජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා, ඒ අතීත ජීවිත වලදී කොපමණ වාර ගණනක් මිය ගියාද කිව්වොත්, මිය ගිය අවස්ථාවලදි, අපේ ශරීරයේ ඇට කටු එකතුකළා නම්, වේපුල්ල පර්වතයට වඩා විශාල ඇට කටු ගොඩාක් එකතු වෙයි කියලා. එතරම් විශාල කාලයක් අපි ඉපදෙමින් මැරෙමින් ඇවිල්ල තියෙනවා. ඉතිං මේ කාරණය බුදු කෙනෙක් පහළ වෙන්න කලින් කිසි කෙනෙක් දැනගෙන හිටියෙ නෑ. ඒ වගේම තමයි බුදු කෙනෙක් පහළ වෙලා ජීවිතයේ සැබෑ ස්වභාවය අවබෝධ කර ගන්නා තෙක් කිසිකෙනෙක් දැන ගෙන හිටියෙ නෑ, මේ උපදින ස්වභාවය දුක් උපදවන දෙයක් කියලා. මේ වයසට යන ස්වභාවය දුක් උපදවන දෙයක් කියලා, මරණයට පත් වන ස්වභාවය දුක් උපදවන, දුක් ඇති කරන දෙයක් කියලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ තමයි මුලින් ම මේ උපදින ස්වභාවය, වයසට යන ස්වභාවය, මරණට පත් වන ස්වභාවය දුක් සහිත බව, දුකට අයිති දෙයක් බව අවබෝධ කරගන්නේ. එසේ අවබෝධ කරගත් ඒ අවබෝධයම යි, මහා කරුණාවෙන් යුක්තව දෙවියන්ට, මිනිසුන්ට කියා දෙන්නේ. මේ ලෝකය සත්‍යය නොදන්නා කම නම් වූ අන්ධකාරයෙන් වැහිල තිබුණ එකක්. ඒ අඳුරු ලෝකය ආලෝකමත් වන්නේ බුදු කෙනෙක් පහළ වීමෙන්ම යි.

බුදු කෙනෙක් පහළ වන්නේ ජරා මරණ වලින් දුක් විඳින සත්වයාට එයින් නිදහස් වීම සඳහා මාර්ගය කියා දීම පිණිස. ජරා මරණ සිදු නොවෙනවානම්, බුදු කෙනෙක් පහළ වීම අවශ්‍යවන්නේ නෑ. ජරා මරණ වලින් නිදහස් වීම අවශ්‍ය වන්නේ, ඒ ජරා මරණ අතිශයින් ම දුක් උපදවන දෙයක් නිසා. නමුත් සත්වයාට, තමා වයසට යන බවත්, දුක් දොම්නස් වලට මුහුණ දෙන්න සිදුවන බවත් පිළිබඳ එයාට වැටහීමක් නැති නිසා ඒ දුකින් නිදහස් වීමක් ඇතිකර ගන්නත් පුළුවන් වෙන්නේ නෑ.

අපි කෙළවරක් නැතිව දීර්ඝ සංසාරයක් ගෙවාගෙන ආවේ, නොයෙක් ආකාරයේ දුක් විඳිමින්. මේ විඳපු දුක ගැන යම් කෙනෙක් දැනගත්තොත්, ඒ ගමන ආයේ යන්නට එයා කැමති වෙන්නේ නෑ. අතීත ජීවිත වල කෙළවරක් නැතිව පෙරේත ලෝක වල, තිරිසන් ලෝක වල, නිරයේ ඉපදිලා ඇති. මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා වයසට ගිහින් දුකට පත්වෙලා, මැරිලා ගිහිල්ල ඇති.

බලන්න, වයසට යන ස්වභාවය අපේ ජීවිතයේ තිබෙනවද, නැද්ද? වයසට යන ස්වභාවය සැප ඇති කරන එකක් ද? දුක ඇති කරන එකක් ද? මරණයට පත් වීෙමි ස්වභාවය සැප ඇති කරන එකක් ද, දුක ඇති කරන එකක් ද? මෙන්න මේ ස්වභාවය අපි තේරුම් ගත්තොත්, ඒ් දුකේ ඇළිලා ඉන්න, දුකේ ම වාසය කරන්න කිසිකෙනෙක් කැමති වෙන්නේ නෑ. ඒ දුකින් නිදහස් වීම පිණිස කුසල් දහම් හි පුරුදු කරන්නට එයා කැමති වෙනවා.

මේ ලෝකයේ උපන් හැම කෙනෙක්් ම වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයට පත්වෙනවා. මේ විදියට වයසට යන්ට සිද්ධ වුණත්, ලෙඩ වීමට සිද්ධ වුණත්, මරණයට පත් වීමට සිද්ධ වුණත්, බොහෝ දෙනෙක් ඒ දේ තේරුම් ගන්නේ නෑ. ඒ නිසා ම ඒ් අයට නැවත වතාවක් ඉපදෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ම ඒ අයට නැවත වතාවක් වයසට යන්ට, ලෙඩ වීමට ගොදුරු වෙන්න, සිද්ධවෙනවා. මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ස්වභාවය තේරුම් ගන්න බැරි වුනොත්, ආයෙම ඉපදෙන්න සිද්ධ වෙනවා. නැවතත් අර දුක් ගොඩට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. යම් කෙනෙක් අපි වයසට යනවා කියලා තේරුම්ගත්තොත්, ඒ වයසට යාම දුක් සහිතයි කියලා තේරුම් ගත්තොත්, අපි ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි, ඒ් රෝගී වීමේ ස්වභාවය දුක ඇති කරන ඵකක්, දුක් සහිත දෙයක් කියලා තේරුම් ගත්තොත්, මරණයට පත්වීම දුක ඇති කරන එකක්, දුක් සහිත දෙයක්, දුකට අයිති දෙයක්, කියලා තේරුම් ගත්තොත්, එයාගෙ සිත සංසිඳෙන්න පටන් ගන්නවා, නිවෙන්න පටන් ගන්නවා, ඒ වගේම ඒ දුකෙන් නිදහස්වෙන්ට කැමතිවෙනවා.

නමුත් මේ ලෝකයේ උපදින බොහා් දෙනෙකුට මේ ඇත්ත ස්වභාවය තේරුම් ගැනීමේ හැකියාවක් නෑ, වයසට යාමේ ස්වභාවය, මරණයට පත් වෙන ස්වභාවය, රෝගී වීමේ ස්වභාවය, ඒ් තමාගේ ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න බොහෝ දෙනෙකුට පුළුවන්වෙන්නේ නෑ. බුදු කෙනෙක් කලාතුරකින් පහළ වෙලා, මේ ධර්මතාවය කියා දෙනකොට, ඉතාමත් ම ටික දෙනෙකුට ඒ් දේවල් තේරුම් ගන්න හැකියාව තියෙනවා.

ඒනිසා අප කාටත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන කියා දුන්න ධර්මය අසන්ට ලැබුණු වෙලාවක දී, ඒ් ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්නට අපි කල්පනා කළ යුතුයි. එහෙම ඇත්ත ස්වභාවය තේරුම් අරගෙන, අපේ සිතේ දුක් උපදවන ස්වභාවය සංසිඳව ගන්නට, නිවාගන්නට අපි කවුරුත් කැමති විය යුතුයි. ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් නොගෙන ඉන්නතාක් සිතේ සංසිඳීමක් ඇති කර ගන්ට පුළුවන්වෙන්නේ නෑ. සිතේ සංසිඳීමක් ඇති කර ගන්ට නොහැකි කෙනාට, නැවත වතාවක් දුක් සහිත තැන්වල ඉපදෙමින් මැරෙමින් දුක් සහිත සංසාරයේ ගමන් කරන්ට සිද්ධවෙනවා.

බොහෝ දෙනා තමන්ගේ ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න දක්ෂ වෙන්නේ නෑ. ඒ ඇත්ත ස්වභාවය පසෙකින් තබලා, බාහිර වූ සැප සම්පත් ඔස්සේ ම හිත මෙහෙයවන්න තරඟයක නිරතවෙලා වාසය කරන්නේ. ”මට ධර්මය පුරුදු කරන්න විවේකය නෑ” ආදී වශයෙන් කල්පනා කරමින්, ජීවිතයේ ලබාගන්න පුළුවන් ලාභය අත්කර නොගෙන ම කාලය නාස්ති කරගන්නා ස්වභාවයක් තමයි දක්නට ලැබෙන්නේ. නමුත් අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ සංසාරයේ දුක් සහිත බව, කෙළවරක් නැතිව විඳින්න ලැබෙන දුක් ස්වභාවය තේරුම් ගත්තොත්, අපි ලාමක වූ සැප ඇති කරන හීන සැප ඇති කරන දේවල් ඔස්සේම දුවන්නේ නැතිව, මේ දුක් ස්වභාවයෙන් නිදහස් වීම පිණිස කටයුතු කරන්න කල්පනා කරනවා. අපිට ජරා මරණ ගැන සිහිකිරීමක් තියෙනවද? කියලා බලන්න. එහෙම නොතිබෙනවානම් අපි දැන්වත් පුරුදු වෙන්න ඕන ඒ ජරා මරණ වල තියෙන භයානක කම ගැන සිහිකරමින්, අපේ ජීවිතයේ තිබෙන භයානක ඉරණම ගැන තේරුම්ගන්න.
භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ ලෝකයේ උපන් මනුෂය්‍යා, ජීවිතයේ සැබෑ ස්වභාවය නොදන්නා නිසා, ඒ ධර්මය පුරුදු නොකරන නිසා ම, එයා වයසට යන ස්වභාවයෙන් සිටිියදී ම, එම ස්වභාවය නිරුද්ධ නොවී තිබියදී ම, වයසට යන අය දැක්කම පිළිකුල් කරනව, අප‍්‍රිය කරනව, පීඩාවට පත්වෙනවා. ඒ වගේම ලෙඩ වුන අය දැක්කම, මරණයක් දැක්කම ඒ දේවල් දැකල හිත පීඩාවට පත් කරගන්නවා, පිළිකුල උපදවා ගන්නවා. ඒ ධර්මය නොදන්නා කෙනාගේ ස්වභාවය. අන්න ඒ විදියට කල්පනා කරන කෙනාට හිතේ උපදින අකුසල් දුරු කරගන්න බැරිව යනවා.

සසරේ බොහෝ කලක් දුක් දොම්නස් විඳිමින් ආපු අපි, මේ ජීවිතයේ දීත් ප‍්‍රමාණ කරන්ට බැරි දුක් දොම්නස් විඳින අපි, ආයිමත් දුක් විඳිමින් සසරේ යනවද? මේ දුකින් නිදහස් වෙලා සදාකාලික සැප ඇති නිවන අවබෝධ කරගන්නවද? බලන්න කල්පනා කරල, උපන් දා ඉඳල මේ දක්වා කොයි තරම් අඬන්ට ඇත්ද? කඳුළු හෙලන්නට ඇද්ද? දුක් පීඩා විඳින්ට ඇත් ද?, සිහිකරල බලන්න. අපට ඒව අමතක යි. වයසට යාමේ දුක විඳින්ට තියෙනවා. ඒ වයසට යාමේ දුක තවමත් අපි විඳල අවසන් නෑ. ලෙඩ විමෙන් ඇති දුක තවමත් අපට විඳින්න තියෙනවා. මරණයට පත්වීමේ දුක තවමත් අපට විඳින්න තියෙනවා. ලෙඩවීමෙන්, වයසට යාමෙන්, මරණයට පත්වීමෙන් ඇති දුක මෙතෙකැයි කියල හිතන්න පුළුවන්ද? මේ විදියට වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම ඉදිරියේ අපට විඳින්න තියෙන දුක සිහිකරන්න. එහෙම සිහිකරද්දී එයා කලබල කරන කෙනෙක් වෙන්නෙ නෑ. එයා සංසිඳෙනවා. එයා වාසනාවන්ත කෙනෙක් බවට පත්වෙනවා. අකුසල් බැහැර කරල කුසල් උපදවා ගන්න දක්ෂ වෙනවා. එයාගෙ ජීවිතයේ ලෙඩවෙන ස්වභාවය, අකුසලට හිත නැමෙන ස්වභාවය ක්‍ෂය වෙලා නිරුද්ද වෙලා යන්න පටන් ගන්නවා. අන්න ඒ විදියට අපි ජීවිතය දියුණු කරගත්තොත් අපි බුදු රජාණන් වහනසේගේ ධර්මයෙන්, උන්වහන්සේගේ මහා කරුණාවෙන් සැබෑම පිළිසරණ ලබාගත්ත අය බවට පත්වෙනවා. ඒ සඳහා ප‍්‍රමාද වෙන්ට එපා.

මේ අතිශය භයානක සසර දුක දුරු කර ගැනීම පිණිස නුවණින් කල්පනා කරන්න පුරුදු වෙන්න. කොහොමද එහෙම කල්පනා කරන්නේ? ”මම වයසට යන කෙනෙක්, ඒ ස්වභාවය ඉක්මවලා නෑ” කියලා කල්පනා කරන්න. ”මම මරණයට පත් වෙන කෙනෙක්”, ඒ ස්වභාවය ඉක්මවලා නෑ කියලා කල්පනා කරන්න. ”මම ලෙඩවෙන කෙනෙක්”, ඒ ස්වභාවය ඉක්මවලා නෑ කියලා කල්පනා කරන්න. ඉතින් මේ ධර්මය බහුල වශයෙන් කල්පනා කරන විට, අපේ හිත මත්කරන යෞවන මදය, ආරෝග්‍ය මදය, ආයුමදය, කියන ති‍්‍රවිධ මදය ම දුරු වෙලා, ක්‍ෂය වෙලා, නිරුද්ධ වෙලා, යනවා. ඒ විදියට ඒ මදයන් නිරුද්ධ වෙලා ගියාට පස්සේ, එයා අතින් දුෂ්චරිතය සිද්ධ වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නෑ. එයාට සුචරිතය පුරුදු කරන්න පුළුවන්. දුෂ්චරිතය නිරුද්ධ වෙලා ගියාට පස්සේ එයාගේ හිතේ පසුතැවෙන ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. සුචරිතය කරන්න කරන්න එයා සංසිඳෙනවා. සුවපත්භාවයට පත්වෙනවා. වයසට ගියත් එයා සැපසේ වාසය කරනවා. ලෙඩ වුණත් එයා සැපසේ වාසය කරනවා. නිරෝගීව සිටියත් එයා සැප සේ වාසය කරනවා. එයා ජීවත්ව සිටියත් සැප සේ වාසය කරනවා. මිය ගියාට පස්සෙත් එයා සැප සේ වාසය කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය කුමක්ද? සැප සේ වාසය කිරීමේ හිතක් හදා ගැනීමයි. ආන්න ඒ සඳහා ජීවිතයේ සැබෑ ස්වභාවය බහුල වශයෙන් සිහි කරන්න ඕන. මේ ධර්මය බහුල වශයෙන් සිහිකිරීමෙන් සසර දුකෙන් නිදහස්වීමේ භාග්‍යය උදාවෙනවා.

බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් අප උදෙසා සිහිකර දී තිබෙන උතුම් ධර්මය සිහිපත් කරලා, තේරුම් අරගෙන, නිතර පුරුදු කරන්න කල්පනා කළොත්, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්න වාසනාව උදා කර ගන්න පුළුවන් කම තිබෙනවා. ඉතින් අපි මේ පින්වතුන්ට ඉතාමත් සෙනෙහසින් ආශිර්වාද කරන්න කැමතියි ජරා-මරණ දුකින් සදහටම නිදහස්වී ලබන සදාකාලික සැපත ලඟාකරගන්න වාසනාව උදාවේවා කියල.

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

4 Comments

  1. KALYANA MITRA SAMPATTHIYA SADA WASANAWAN

  2. වාසනාවන්. සසර දුකෙන් මිදෙන්ට අපට මග කියාදෙන ගරුතර ස්වාමින්වහන්සේට නමස්කාර වේවා.

  3. Sadu sadu, may we will get more advise and Dhamma from this site.

  4. Buddhism is the only way to attain Nibbana

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: