subscribe

ඉවසීමෙන් වැඩිය යුතු නිවන් මග

ඉවසීමෙන් වැඩිය යුතු නිවන් මග

මේ  ජීවිතේ සැප ඇතිකර ගැනීම පිණිස, මතු ජීවිතේත් සැප ඇතිකර ගැනීම පිණිස, නිවන් සැප උපදවා ගැනීම පිණිස ඒකාන්තයෙන් ම උපකාර වන්නා වූ, භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ පිරිසිදු නිර්මල ධර්මය අපි යම් පමණකින් ඉගනගෙන තිබෙනවා. මේ ඉගෙන ගත්ත ධර්මය අපිට පුරුදු කරගන්ට නොහැකි වුනොත් මේ ජීවිතේ දී අපිට අත් කරගන්ට තිබෙන, අත්කරගන්නට හැකියාවක් තිබිය හැකි ඒ මහා ප‍්‍රතිලාභය අපිට අහිමිවෙන්ට පුලූවන්. බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය මුලූමනින් ම පුරුදු කළ යුතු දෙයක්. පුහුණු විය යුතු දෙයක්. පුරුදු වීමකින් තොරව පුහුණු වීමකින් තොරව මේ ධර්මයෙන් පිහිටක් පිළිසරණක් ලබා ගැනීම ගැන කතා කරන්ට පුලුවන් කමක් නෑ.

මේ ලෝකෙ වෙනත් විෂයන් ගත්තොත් පුහුණුවකින් තොරව ඒ විෂයන් තුලින් අත්කර ගන්ට පුලූවන් ප‍්‍රතිලාභ උපදවාගන්න ආකාරය සමහරවිට අපි දැකල තියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිට ලබන්න නම් ඒ ධර්මය පුහුණු කළ යුතුමයි. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයින් කියල කියන්නේ ධර්මය පුරුදු කළ, පුරුදු කරන අය. ඒ නිසාම තමයි ඒ ශ‍්‍රාවකයින් කොටස් දෙකක් විදිහට සිටින්නේ. ධර්මය පුරුදු කරන අය විදිහටත් ධර්මය පුරුදු කළ අය විදිහටත්. සේඛ ශ‍්‍රාවක පිරිස විදිහටත් අසේඛ ශ‍්‍රාවක පිරිස විදිහටත් අප ඉගනගෙන තිබෙන්නේ ඒ ශ‍්‍රාවකයින් කාණ්ඩ දෙක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයින්ට තමා ධර්මයේ පිළිසරණ තියෙන්නේ. පිහිට පිළිසරණ කියල කියන්නේ සැබැවින්ම සතුටින් වාසය කරන්ට පුලූවන් ජීවිතයක් උපදවා ගැනීම. සොම්නසින් වාසය කරන්ට පුලූවන් ජිවිතයක් උපදවා ගැනීම. අපිට සතුටින් වාසය කරන්ට පුලූවන්කම නැත්නම් සොම්නසින් වාසය කරන්න පුලූවන්කම නැත්නම් අපි ධර්මයෙන් පිහිටක් පිළිසරණක් ලබා ගත්ත ද කියන කාරණාව අපම කල්පනා කර බැලිය යුතුයි.

ධර්මය ඉගෙන ගන්න තරම් පුරුදු කිරීම පහසු දෙයක් නෙමේ. මෙතනදී ඉගෙන ගන්නවා කියල සඳහන් කළේ අනෙකුත් දේ වගේ පොත පතින් බලල, ශ‍්‍රවනය කරල ඉගෙන ගැනීමටයි. ඒ ආකාරයට ඉගෙන ගැනීම අද යුගයේ ඉතාම පහසුයි. අකුරු සාස්තරේ දන්න කෙනෙකුට ටික කලකින් බොහෝ ධර්මයන් ඉගෙන ගන්න අද අවකාශයක් තිබෙනවා. අකුරු සාස්තරේ නොදැන සිටියත් කනෙන් අහන්න පුලූවන් නම් අද බොහෝ ධර්මයන් අහන්නට අවකාශ තිබෙනවා. නමුත් ඒ විදිහට කෙටි කලකින් අපි ධර්මය ඉගෙන ගත්තත් ඒ ඇසු ධර්මය ඒ ධර්මයේ තිබෙන ආකාරයට පුරුදු කිරීම කියන එක කෙටි කලකින් පුලූවනි කියල අපි අපේක්ෂා නොකළ යුතුයි. එහෙම පුලූවන් වෙන්නත් පුලූවන්. මොකද මේ ධර්මය පුරුදු කිරීම සම්බන්ධයෙන් මෙපමණයි කියල නිශ්චිත කාලයක් අපිට පනවන්න පුලූවන් කමක් නෑ. ඇතැමෙක් ඉතා සුලූ වෙලාවකින් මේ ධර්මය පුරුදු කර අවසන් කරන්ට ඉඩ තිබෙනවා. ඇතැමෙක් ටික කලකින් ඇතැමෙක් මද කලකින් ඇතැමෙක් යම් දීර්ඝ කලකින් තමයි මේ ධර්මය පරිපූර්ණ වශයෙන් පුරුදු කරල අවසන් කරන්නේ.

මීටර දහදාහේ රේස් එක දුවන කෙනා ආරම්භයේදී උපරිම ජවයෙන් පටන් ගන්නවද? එහෙම කළොත් එයාට මොකද වෙන්නේ? එයාට ආරම්භ කර ගන්නවත් ලැබෙන්නේ නෑ. නමුත් අපි කෙටි දුර දුවන කොට ආරම්භයේදී උපරිම ජවයෙන් පටන්ගත යුතුයි. නමුත් මේක කෙටි දුර දුවල සම්පූර්ණ කර ගන්න පුලුවන් එකක් නෙමේ. මේක හිතන්ට බැරි විස්තර කරන්ට බැරි ඉතාම දීර්ඝ සංසාරයක්, දකින්න බැරිතරම් ඈත දීර්ඝ කලක් සංසාරය පුරාවට අතිශය දුක් පීඩා විදිමින් සොයා ගන්න බැරුව, තේරුම් ගන්න බැරුව, අවබෝධ කර ගන්න බැරුව, පැටලි පැටලි ආපු ගමනක් නිරවුල් කරගන්ට තියන අවස්ථාවක්.

නමුත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාල බොහෝ කලක් ගත වී තිබෙන අද වැනි යුගයක, මිනිසාගේ බුද්ධිය හීන වෙමින් පවතින යුගයක, ප‍්‍රඥාව දුබල වෙමින් යන යුගයක, ධර්ම අවබෝධය පිණිස අනුපකාරයන් බහුල වශයෙන් පවත්නා යුගයක, උපකාරයන් හීන වෙමින් පවත්නා යුගයක, වේගයෙන් ධර්මය පුරුදු කරනවා කියන කතාව ගැන අපි කල්පනා නොකළ යුතුයි. නමුත් මේ ධර්මය පුරුදු කළ හැකි දෙයක් බව අපි තරයේ බලවත් සේ විශ්වාස කළ යුතුයි. ධර්මය පුරුදු කළ හැකි දෙයක් ඒ වගේම ධර්මය පුරුදු කළ යුතු දෙයක් කියල අපි පිළිගත යුතුයි. ඒ අදහසට පැමිණිය යුතුයි. නමුත් අපි නොපැමිණිය යුතු අදහස මොකක්ද? වේගයෙන් පුරුදු කරගෙන යන්නම් කියන අදහස.

මේ ධර්මය අපි ඉතාම ප‍්‍රවේශමේන්, ඉතාම නුවණින් පුරුදු කළොත් අපිට අපේ වේගය තේරෙන කලක් එනවා. ඒක හරියට මීටර දහදාහේ රේස් එකක් දුවනව වගේ. මීටර දහදාහේ රේස් එක දුවන කෙනා ආරම්භයේදී උපරිම ජවයෙන් පටන් ගන්නවද? එහෙම කළොත් එයාට මොකද වෙන්නේ? එයාට ආරම්භ කර ගන්නවත් ලැබෙන්නේ නෑ. නමුත් අපි කෙටි දුර දුවන කොට ආරම්භයේදී උපරිම ජවයෙන් පටන්ගත යුතුයි. නමුත් මේක කෙටි දුර දුවල සම්පූර්ණ කර ගන්න පුලුවන් එකක් නෙමේ. මේක හිතන්ට බැරි විස්තර කරන්ට බැරි ඉතාම දීර්ඝ සංසාරයක්, දකින්න බැරිතරම් ඈත දීර්ඝ කලක් සංසාරය පුරාවට අතිශය දුක් පීඩා විදිමින් සොයා ගන්න බැරුව, තේරුම් ගන්න බැරුව, අවබෝධ කර ගන්න බැරුව, පැටලි පැටලි ආපු ගමනක් නිරවුල් කරගන්ට තියන අවස්ථාවක්. අපකාරය අපි වටා බොහෝ සේ තිබෙන කාරණාවක්. එය නිරවුල් කර ගැනීම පිණිස උපකාර ඉතාම අඩුයි. අන්න එබඳු දෙයක් කෙටි, හදිස්සියෙන් කළ හැකි ඉලක්කයක් බවට පත්කර නොගත යුතුයි. ඒක තමයි අපි මේ පින්වතුන්ට දෙන ඉතාම ලෙන්ගතු වූ අවවාදය. ධර්ම අවබෝධය ඇති කර ගැනීම ඉතාම වගකීම් සහිත ඉලක්කයක්.

සමහර ඉලක්ක තියෙනව වගකීමක් නෑ. ඉටුවුනත් එකයි නැතත් එකයි. නමුත් සමහර ඉලක්ක තියනවා වගකීම් සහිතයි. ඒ ඉලක්කය වැරදුනොත් විශාල අයහපතක් තමාටත් සමාජයටත් ඇතිවෙනව. ඒ ඉලක්කය ඉටු කර ගත්තොත් ඒකෙන් තමාටත් සමාජයටත් විශාල යහපතක්. අන්න එබඳු ඉලක්ක වලට කියනව වගකීම් සහිත ඉලක්ක කියල. අපි අන්න ඒ විදිහට මේ ඉලක්කය තෝර බේර ගත යුතුයි. මොකක්ද ඒ ඉලක්කය? සසර ගමනින් නිදහස්විය යුතුයි කියන ඉලක්කය. ඒක වගකීම් සහිත ඉලක්කයක්. මේ ඉලක්කය අපි වරද්ද ගත්තොත් තමාටත් තවත් බොහෝ දෙනාටත් විපත පිණිස පවතිනවා. ඒ නිසා ඒ ඉලක්කය බලවත් එකක්. එබඳු බලවත් වගකීම් සහිත ඉලක්කයක් අත්කර ගන්න වෑයම් කරන කෙනෙක් ඉතාම සිහි නුවණින් කල්පනාවෙන් එය කළ යුතුයි.

ඒ නිසා ආරම්භයේදී උපරිම ජවයෙන් පටන් නොගත යුතුයි. ආරම්භයේදී අපි අවම වේගයෙන් පටන් ගන්ට ඕනැ. හැබැයි අපි අවම වේගයෙන් පටන් ගත්ත කියල අද ටිකක් කරල හෙට නොකරන එක නෙමේ. තව සතියකින් තව මාසෙකින් කරන එක නෙමේ. මීටර දහදාහ දුවන කෙනා ආරම්භයේදී අවම වේගයෙන් පටන් ගත්තට අඛණ්ඩව ඒ කටයුත්ත කරගෙන යනව නේද? එතකොට මොකද වෙන්නේ? ඒ ගමන ගැන තමා තුළම විශ්වාසය ඇති වෙනවා. ඇයි තමන් ඉතාම සෝදිසියෙන්, උනන්දුවෙන් මේක කරගෙන යන්නේ. තමා තුළම විශ්වාසය ඇති වෙනවා. බාහිරිනුත් උපකාර ලැබෙනවා. වීරිය උපදිනවා එතකොට මොකද වෙන්නේ විශ්වාසය ඇතිවෙනවා එතකොට වේගය වැඩිවෙනවා.

අපි කාටත් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මය ඇසීමේ භාග්‍යය උදාවුනා. ඒ සඳහා අපිට විශාල පිනක් තිබුන. පින නිසා අපිට මේ ලෝකෙ තිබෙන අතිශයින් දුර්ලභ දේ ලැබුනා. වටිනා දේ ලැබුනා. පිනෙන් ලැබුන දේ රැුක ගැනීම පිණිස කුමක්ද තිබිය යුත්තේ? ඒ සඳහා අපිට නුවණ තියෙන්ට ඕනැ. ඒ නිසා අපිට ඉතාම තියුණු නුවණක් උපදවාගන්න පුලූවන් වුනොත් මේ ලැබුනු මහා ලාභය අපි අහිමි කර ගන්නේ නෑ. ඉතා තියුණු නුවණක් තියෙන කෙනාගේ ස්වභාවය තමයි එයා ලඟ බලන්නේ නෑ. එයා දුර බලල කටයුතු කරන කෙනෙක්. එයා ගොඩක් ඉවසීම තියෙන කෙනෙක්. ලඟ බලන කෙනාට ඉවසීම නෑ. දුර බලන කෙනාට ඉවසීම තියෙනවා. ඉවසීම තියෙන නිසාම එයා හැකිතාක් යහපත අත්කරගන්ට වාසනාවන්තයෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට ධර්මය බහුල වශයෙන් ඉතා පිරිසිදු ලෙස දැන් ලැබිල තියනවා. මෙතරම් ලාභයක් ලැබුන වෙලාවක ඉතාමත් දක්ෂ විදිහට තියුණු විදිහට කල්පනාව මෙහෙය වන්ට පුලූවන් වුනොත් අපිට මේ ලෝකේ වාසනාවන්තම පිරිස බවට පත්වෙන්ට පුලූවන්කම තිබෙනවා. ඒ නිසා මේ පින්වත් පිරිස ඉතාම ඉවසීමෙන් යුක්තව නුවණ පාවිච්චි කරන්ට පුලූවන් අය බවට පත් වෙන්ට ඕනැ. ඒ සඳහා ඉගෙන ගන්න ධර්මය අපි මොන ආකාරයට ද පාවිච්චි කරන්නේ කියන කාරණාව දැන ගන්ට ඕනැ.

ඔබ පිළිගන්නව නේද ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ස්වාක්ඛාතයි කියල. ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සනදිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ෙක්‍දුහි කියන ඒ ධර්මයේ ගුණ ඔබ පිළිගන්නව නේද? ඒ ධර්මයේ ගුණ පිළිගන්න. ඒ ධර්මයේ ගුණ පිළිගත්තොත් ඒ ධර්මයේ ගුණ තේරුම් ගැනීම පිණිස අපි කටයුතු කරනවා. ධර්මයේ ගුණ පිළිගන්න කෙනා ඒ ධර්මයේ ගුණ තේරුම් ගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. ස්වාක්ඛාත වූ ධර්මයක් අපිට මුන ගැහුන වෙලාවකදී අපි කල්පනා කළ යුතුයි ඉතාම පරිස්සමේන් ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න.

බලවත් වූ දෙයකින් ප‍්‍රයෝජන ගන්න නම් ඒ කෙනත් බලවතෙක් වෙන්ට ඕනැ. බලවත් දෙයකින් බලවත් දෙයක් කරන්ට පුලූවන් නේද? සොල්දාදුවට ඉතාම දියුණු ආයුධ ලැබෙනවා. ඒ සොල්දාදුවට ඒ නවීන ආයුධ පරිහරණය කරල යුද්දෙන් දිනන්ට නම් ඒ සොල්දාදුවා දක්ෂයෙක් විය යුතුයි. අදක්ෂ සොල්දාදුවට අතිශයින් බලවත් අවි ලැබෙනවා. සොල්දාදුව නැසෙනවා. කිරි දරුවට තියුණු ආයුධ හම්බවෙනවා. එයා ආයුධයෙන් තමාට යහපත කරගන්නේ නෑ. තමා නසා ගන්නවා. ඒ කිරි දරුව කියල කියන්නේ නොපැසුනු බව නොමේරූ බව. ඒ නිසා අපි නොපැසුනු නොමේරූ අය බවට පත් වුනොත් මේ අතිශයින් බලවත් වූ ධර්මයෙන් පිහිටක් ලබන්ට බැරුව යනවා. අපි කල්පනා කරල බලමු මේ ධර්මයට අපි කොහොමද පිවිසෙන්නෙ, මේ ධර්මය අපේ ජීවිතයට ගලපාගෙන මෙයින් උපරිම ප‍්‍රයෝජන ලබාගන්නේ කොහොමද කියල. ඒ සඳහා අවකාශ, ඉඩකඩ තිබෙනවා. මොකද මේ ධර්මය ස්වාක්ඛාත වූ දෙයක් නිසා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, ”පින්වත් මහණෙනි, මා ධර්මය මැනවින් කියලයි තිබෙන්නේ, ඉතා හොඳින් විස්තර කරල තිබෙන්නේ, මිථ්‍යා දෘෂ්ඨික කඩමාලූ ඉරා දමලයි තිබෙන්නේ, මේ විදිහට මා ධර්මය ඉතා හොඳින් පෙන්වා තිබෙද්දිත් මැනවින් පෙන්වා තිබෙද්දිත් විවෘත කරල තිබෙද්දිත් එයම ප‍්‍රමාණවත් වීරිය උපදවා ගැනීම පිණිස” කියල. යම් කෙනෙකුට වීරිය උපදවා ගන්ට ඕනෑ නම් එයා මුලින් උපදවාගන්ට ඕනැ දේ කුමක්ද? ඒ තමයි ”ධර්මය ස්වාක්ඛාතයි” කියන වැටහීම. එසේ දැන ගන්න කෙනාට එපමනකින් ම වීරිය උපදිනවා. ඒ නිසයි මා කිව්වෙ අපි ධර්මයේ ගුණ පිළිගන්ට ඕනැ. ඒ පිළිගත් ගුණ තේරුම් ගන්ට ඕනැ. අන්න එහෙම තේරුම් ගත්තොත් එයා තුළ වීරිය උපදිනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. මේ ධර්මය ජීවිතයට පමුණුවා ගැනීම පිණිස අපිට තිබිය යුත්තේ වීරිය. වීරිය නැති නිසා තමයි අපිට ධර්මයට පිවිසෙන්ට බැරි වෙන්නේ. ඒ ධර්මය පුරුදු කරගැනීම පිණිස උවමනා කරන වීරිය ඇති වන්නේ ධර්මය ස්වාක්ඛාතයි කියල ඇතිවන වැටහීමත් එක්ක.

මේ ධර්මය පුරුදු කළ හැකි එකක්, මේ ආකාරයෙනුයි මේ ධර්මය පුරුදු කරන්නේ කියල අපිට නිවැරදි වැටහීමක් ඇතිවුනොත් අපි තුළ වීරිය හට ගන්නවා. අපිට තේරෙන්නෙ නැත්නම් කොහොමද මේක කරන්නේ, කොහොමද මේක ගලපගන්නේ කියල අපිට වීරිය හට ගන්නේ නෑ. හටගත්තා වූ වීරියක් තිබුනොත් ඒකත් දුබල වෙලා යනවා. ඇයි කොහොමද කරන්නේ කියන එක පිළිබඳ නිශ්චිත බවක් නැති නිසා. කොහොමද මොන ආකාරයෙන්ද කියල අපිට වැටහීමක් එන්නේ ධර්මය ස්වාක්ඛාත බව තේරුම් ගැනීමත් සමග මයි.

අපි ධර්මය අපේ ජීවිතයට පුරුදු කර ගත්තොත් අපිටත් මේ ධර්මයෙන් පිහිට පිළිසරණ ලබාගැනීමේ ඉඩකඩ තාමත් තියනවා කියල තේරෙයි. ඒ සඳහා අපි ඉතාම ප‍්‍රවේශමෙන් යුක්තව, නුවණ පාවිච්චි කරමින් ටික ටික පුරුදු කරන්න කල්පනා කළ යුතුයි, පුරුදු විය යුතුයි. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා කලක් යනකොට මේ ධර්මය තුළ ස්ථාවර වූ අය බවට පත්වෙන්න.

සියලු දෙනාට ම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: