subscribe

ඉන්ද්‍රිය සංවරය බලවත් කරගනිමු

ඉන්ද්‍රිය සංවරය බලවත් කරගනිමු

පි දහම් මගෙහි අප‍්‍රමාදී බව ඇතිකරගත යුතුයි. අප‍්‍රමාදී බව ඇතිකර ගැනීම කවද ඉඳන් ද කළ යුත්තේ? ධර්මය ඇසූ මොහොතේ ඉඳන්ම අප‍්‍රමාදී බවට එන්ට බලන්න. අප‍්‍රමාදී බවට එන්නෙ ධර්මය කෙරෙහි පැහැදීම ඇතිකරගැනීමෙන්.

යමෙක් ධර්මය අහල ඒ ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගත්තොත්, ඒ වෙලාවෙ ඉඳන් එයා ඒ ධර්මය පුරුදු කරන්ට කැමැතියි. අන්න එතනයි අප‍්‍රමාදී බව උපදින්නෙ. ඒ අප‍්‍රමාදී බව උපදින්නෙ ඒ ධර්මය පුරුදු කරන්ට එයා තුළ ඇති කැමැත්ත නිසා. කැමැත්ත උපදින්නේ ඒ ධර්මයට ඇති පැහැදීම නිසා. එයා පිළිගන්නව ඒකාන්තයෙන් මේ නිවන් මඟ කියල. එයාට ඒ නිවන් මඟ පිළිබද විශ්වාසයක් තියෙනව. නිවන් මඟ කෙරෙහි විශ්වාසයක් ඇතිවුන කෙනාගෙ ස්වභාවය තමයි එයා ඒ මඟ පුරුදු කරනව.

නිවන් මඟ පිළිබඳ විශ්වාසය නැති කෙනා මොකද කරන්නේ? එයා තව තව හොයනව, පුරුදු කරන්නෙ නෑ. බලමු තව දිහාවක, බලමු තව දෙයක් කියල හොයනව. ඒක හරියට මේ වගේ. කඳු මුදුනට නඟින්ට ඕනැ කෙනා මොකක්ද කළ යුත්තෙ? එයාට මුදුනට නඟින්ට කැමැත්තක් තියෙන්ට ඕනැ. සමහර විට මුදුන පෙනෙන්නෙ නෑ. දැන් සිරීපාදෙ නඟින්ට කෙනෙක් කැමැති වෙනව. එපමනකින්ම සිරිපාදෙ පද්මෙ පේනවද? නෑ පේන්නෙ නෑ. එයා මොකක්ද කරන්නෙ? කන්ද නඟින්න පටන් ගන්නට ඕනැ. පටන් ගන්නෙ නැති කෙනා කන්ද වටේ කැරකි කැරකි ඉන්නව. එයාට කවදාවත් කන්දට නඟින්ට බෑ.

ඒ නිසා, භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය ඇහුවාම ඒක නිවන් මඟ කියල පැහැදුන කෙනා ඒ ධර්මය පුරුදු කරනව. පුරුදු නොකරන කෙනා හොය හොය ඉන්නව. එයාට කවදාවත් නිවන කරා යන්ට බෑ. එයා අන්තිමට වාද කරන, තර්ක කරන, දැණුම ප‍්‍රදර්ශනය කරන්ට උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙයි. එයා කන්දෙ අඟලකටවත් නඟින්ට හිතල නෑ. හැබැයි කන්ද නැඟල බැස්ස කෙනා වගේ කතා කරන්නෙ. අන්න එතෙන්ට වැටෙන්ට එපා. අපි භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දුන් ධර්මයක් ඇහුවාම ”මේ ඒකාන්තයෙන්ම නිවන් මඟ යි” කියල අපි පිළිගත යුතුයි. එසේ පිළිගත් කෙනා ඒ මග පුරුදුකරනවා. පුරුදු කරන කෙනා යම් දවසක නිවන කරා යනවාමයි. පුරුදු නොකරන කෙනා කොයි තරම් ධර්මය ඇහුවත් නිවනට යන්ට බෑ. ඇයි එයා කන්ද වටේ කැරකි කැරකි ඉන්නව වගේ. දේශනා කියවනව කියවනව, කතා කරනව මුකුත් පුරුදු කිරීමක් නෑ.

ඒ නිසා මතක තියා ගන්න, මේ ධර්මය ප‍්‍රායෝගිකව පුරුදු කරන එකක්. අපි ප‍්‍රායෝගිකව පුරුදු නොකර කොයි තරම් දේශනා ඇහුවත් වැඩක් නෑ. කොච්චර පොත පත කියෙව්වත් වැඩක් නෑ. ඒ අහන ධර්මය පුරුදු කරන්න. පුරුදු කරන්ට නම් විශ්වාසයකට එන්ට ඕනැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාල හැම ධර්මයකම නිවන් මඟ තියෙනවා කියල අපි පිළිගත්තොත්, ඒකයි ශ‍්‍ර‍්‍රද්ධාවෙන් අදහා ගන්නව කියල කියන්නෙ. ඉස්සෙල්ලම කරන්නෙ මෙතන ඒකාන්ත වශයෙන් නිවන් මඟ තියෙනවා කියල ශ‍්‍රද්ධාවෙන් අදහා ගන්න එකයි. අන්න එහෙම අදහා ගත්ත කෙනාගෙ ස්වභාවය තමයි එයා පුරුදු කරනව. පුරුදු කරන කොට අදහා ගත්ත දේ එයාට ප‍්‍රත්‍යක්‍ෂ දෙයක් බවට පත්වෙනව. තමාටම දැනෙන දෙයක් බවට පත්වෙනව. ඇත්තයි කියල තමන්ටම තේරෙනව. අන්න එදාට එයාට අදහා ගත්ත දේ වෙනස් නොවෙන, තමා තුළම පිහිටි විශ්වාසයක් බවට පත්වෙනව. ඒක කාටත් වෙනස් කරන්ට බෑ. ඒ ප‍්‍රසාදය වෙනස් වෙන්නෙ නෑ. එහෙම නොවෙන්නෙ පුරුදු කරන කෙනාට. පුරුදු නොකරන කෙනාට එබඳු විශ්වාසයක් එන්නෙ නෑ. දැන් බලන්න ඉන්ද්‍රිය අසංවර වුණහම දුක සේ වාසය කරන්ට සිද්ධ වෙනව. ඉන්ද්‍රිය සංවර වුණහම සැප සේ වාසය කරන්ට පුළුවන්කම තියෙනව කියන කාරණාව. ඒක තව කෙනෙක් තුළින් නෙවෙයි දකින්නෙ. තමන්ම දැකිය යුතුයි. ධර්මය තමා තුළින් දකිනවා කියල කියන්නෙ ඒකට. ධර්මය පුරුදු නොකර අපිට මේ දේවල් තේරුම්ගන්ට බෑ.

ඉන්ද්‍රිය අසංවර වුණහම දුකට පත්වෙන්ට වෙනව කියල යමෙක් තේරුම් ගත්තොත්, ඒ වගේම ඉන්ද්‍රිය සංවර කර ගත්තාම එයා තුළ මහත් වූ සැප සතුට උපදිනව කියල එයාම තේරුම් ගත්තොත්, එයා ඒ ධර්මයට පහදිනවද? නැද්ද? පහදිනව. ඇයි? දුකට කව්ද කැමති වෙන්නෙ. සිහි බුද්ධිය තියෙන, නුවණ තියෙන කිසි කෙනෙක් දුකට කැමති වෙන්නෙ නෑ. සැප පහසුවට කැමතියි. ඉතින් ඉන්ද්‍රිය අසංවරය තුළින් දුක් පීඩා උපදිනව කියල එයා දැක්කොත්, ඉන්ද්‍රිය සංවරය තුළින් ඒ දුක් පීඩා දුරු වෙලා සැප පහසුව ඇති වෙනව කියල දැක්කොත්, එයා ඒ ඉන්ද්‍රිය සංවරය කියන උතුම් දහම අත හරියිද? කවදාවත් ඒ ධර්මය අතහැරල වෙන හීන දේවල් කරයිද? කිසි දවසක එයා වෙන එකක් කරන්නෙ නෑ. ඒකයි අචල ප‍්‍රසාදයට පත් වෙනවා කියල කියන්නෙ.

ඒ විදියට ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමකට එන්ට නම්, අපි මුලින් ම ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය ඒකාන්තයෙන් සත්‍යක් කියල අදහා ගන්ට ඕනැ. ඒ අදහා ගත්ත කෙනා ඒ ධර්මය පුරුදු කරනව. ඒ ධර්මය පුරුදු කරන කෙනාට ප‍්‍රතිඵල ඒකාන්ත වශයෙන්ම ලැබෙනවාමයි. ඇයි? මේ ධර්මය අකාලිකයි. පුරුදු කරපුවාම ප‍්‍රතිඵල තියෙනව. ඒ නිසා අපි ඒ විදිහට ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගෙන, ධර්මය පුරුදු කරන්න බලන්ට ඕනැ.

ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්ට මහන්සි වෙන්න. උනන්දු වෙන්න. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්ට නම්, ඉන්ද්‍රිය අසංවර වීමෙන් ඇති වෙන හානිය, දුක් පීඩාවන් තේරුම් ගන්ට ඕනැ. ඉන්ද්‍රිය අසංවර වුණ ගමන් රාග ගින්නට ඇදගෙන වැටෙනවා. එතකොට සිතත් කයත් ඒ ගින්නෙන් දැවෙනවා. ඒ නිසා හිතට ගිනි තියා ගන්ට එපා. හිතට ගිනි තියා ගන්ට කැමතිද? හිසට ගිනි තියා ගත්තොත් නම්, කවුරුහරි කෙනෙක් ඇවිල්ල ඒ ගින්න නිවයි. හිතට ගිනි තියා ගත්තොත් එයාට බේරෙන්ට බෑ. ඒ නිසා කිසි දවසක හිතට ගිනි තියා ගන්ට එපා.

කොහොමද හිතට ගිනි තියා ගන්නෙ? ඉන්ද්‍රිය අසංවර වුණ ගමන් එයා හිතට ගිනි තියා ගන්නව. එයාට රාගය කියන ගින්නෙන් දැවෙන්ට වෙනව. අසංවර වූ ඉන්ද්‍රියන්ගෙන් යුක්තව වාසය කරන කෙනාට ඒ රාග ගින්න නිවා ගන්ට බැරි වෙනව. ඒ නිසා හිතට ගිනි ඇවිලෙන දේ අත් හරින්ට පුරුදු වෙන්ට කැමති වෙන්න. ඒ විදියට හිත ගිනි ගත්තොත් එයාට බේරෙන්ට බැරුව යනව. ඒ නිසා කවදාවත් ඒ වගේ දුක් සහිත ඉරණමක් අත් කරගන්ට කැමති වෙන්ට එපා.

මේ ධර්මය අද්භූත දෙයක් නෙවෙයි කියල දැන් තේරෙනවද? ප‍්‍රායෝගිකව කළ හැකි දෙයක් කියල කල්පනා කරන්ට පුළුවන් නේද? ඉන්ද්‍රිය සංවර කර ගත්තාම එපමණකින්ම මේ සිත කෙලෙසන දේවල් හිතට එන එක මඟ හැරිල යනව නේද? අපි අන්න එතනින් පටන් ගන්ට ඕනැ. ඉන්ද්‍රිය සංවරය ඇතිකරගන්නෙ නැතුව පැය ගණන් භාවනා කරන්ට උත්සාහ කළත් අපිට කවදාවත් සිත දියුණු කර ගන්ට බෑ.

ඒ නිසා සමාධිය උපදව ගන්ට කැමති කෙනා මොකක්ද කළ යුත්තේ? ඉන්ද්‍රිය සංවර කරන්ට පටන් ගන්න. ඉන්ද්‍රිය සංවරය කරන කෙනාට සමාධිය උපදව ගන්ට පුළුවන් කම තියෙනව. ඒක බැරි වෙන්නෙ නෑ. ඉන්ද්‍රිය සංවරය කරන කෙනාට සමාධිය උපදිනවා කියන එක සිද්ධ වෙනවාම යි. ඉන්ද්‍රිය සංවර කරන්නෙ නැතුව එයා පැය ගණන් මහන්සි වුණත් භාවනා කරන්ට, සමාධිය උපදව ගන්ට, පුලූවන්ද? කවදාවත් කරන්ට බෑ. ඇයි ඒ? එයාගෙ හිත කෙලෙස් වලින් තෙමිල ගිහිල්ල. ප‍්‍රමුදිත භාවය උපදින්නෙ නෑ. ප‍්‍රීතිය ඇති වෙන්නෙ නෑ. එහෙම කෙනා තුළ සමාධිය උපදින්නෙ නෑ. සමාධිය උපදවා ගන්ට කැමති කෙනා විසින් කළ යුත්තේ ඒ හිත කෙලෙස් වලින් තෙමිල යන ස්වභාවය වලක්වා ගන්ට ඕනැ. ප‍්‍රමුදිත භාවය ඉපදෙන විදියට අපි ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්ට ඕනැ. අන්න එයාට සමාධිය ඉපදෙනව. ඒක වලක්වන්ට බෑ. ඒ නිසා සමාධිය උපදව ගන්ට කැමති කෙනා, ඒ නිවන් මඟ පාද ගන්ට කැමති කෙනා, ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්න කැමති වෙන්ට ඕනැ. ඒ ඉන්ද්‍රිය සංවරය පිටස්තර තැන්වලදි පමණක් නෙවෙයි තම තමන් ඉන්න තැන් වලදීත් කරන්නට පුරුදුවිය යුතුයි.

ඉතින් අපි ආශිර්වාද කරනවා කාටත් ඒ හිතට දුක් උපදින හිත ගිනි ගන්න ස්වභාවයන් වලක්වා ගෙන මහත් වු සැප උපදවල දෙන ඒ ධර්මයන් උපදවා ගැනීම පිණිස ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්ට කාටත් කැමැත්ත ඉපදේවා කියල.

නාවලපිටියේ අරියවංශ හිමි

‘බුදුසරණ’ පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්

Related Posts Plugin for WordPress, Blogger...

7 Comments

  1. ආශ්චර්ය වුත්, අත්භූත වුත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා!! ඒ උතුම් ලොව්තුරු සැපතට පත් වෙන්නට සියලු දෙනාට වීර්ය උපදීවා.!!

  2. sadu sadu.. mevan vatina darmaya kiya dena oba vahanseta vaha vaha pathana bodiyakin nirvanayama sakshath veva.

  3. samatama indriya sanwaraya athi wewa!

  4. සාදු සාදු සාදු, සම්බුදු ධර්ම්ය ප්‍රායොගිකව යොදවීමෙන් යහපත සලසගමූ.

  5. නිවන් ම‍ෙග් යෑමට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගනිමු.

  6. Sadu..sadu..Sadu..

  7. සාදු සාදු සාදු !

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: