subscribe

සෘජු මාවත හඳුනා ගන්න

සෘජු මාවත හඳුනා ගන්න

භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය පුරුදු කරගැනීම පිණිස අප තුළ උනන්දුවක්, කැමැත්තක් ඇති විය යුතු යි. ඒ කැමැත්ත ඇතිවීම පිණිස අප තුළ සසර කෙරෙහි බිය ඉපදිය යුතු යි. සසර දුක් සහිත යි කියල අපිට තේරෙන්ට ඕනැ. සසර කෙරෙහි බිය උපදින කොට, සසරෙහි දුක් ස්වභාවය ගැන වැටහීමක් ඇති වෙනකොට, ඒ සසර කෙරෙහි කළකිරීම උපදිනවා. මේ සසර ගමන හිස් දෙයක්, අර්ථ රහිත දෙයක් කියල වැටහීම ඇතිවෙනකොට, ඒ වැටහීම තුළින් කැමැත්තක් උපදිනවා මේ අර්ථ ශූන්‍ය වූ, අර්ථ රහිත වූ සසර ගමනින් නිදහස් වෙන්ට ඕනෑ කියල. අන්න එයා කැමති යි පරිපූර්ණ වශයෙන් ම නිදහස් බව උපදවාගන්න.

මෙසේ සසර ගමනින් නිදහස් වෙන්ට ඕනෑ කියල කැමැත්තක් ඉපදුනොත්, එයාට මේ ගමන නතර කිරීමට වුවමනා කරන පුහුණුව ඇතිකර ගන්ට පුළුවන්කම තිබෙනවා. අපිට මේ දීර්ඝ සංසාර ගමන පුරාවට ම බැරිවුනේ මොකක් ද? මේ සසර කෙරෙහි කළකිරීම උපදවා ගන්න. එසේ සසර කෙරෙහි කළකිරීම උපදවාගන්න පුළුවන් වුනා නම්, නිදහස් වීමට වුවමනා වැඩපිළිවෙලට අපි එනවා. එහෙනම් අපි නිදහස් වෙලා.

අපි මේ සංසාරෙ පුරාවට ම දීර්ඝ කාලයක් නොයෙකුත් ආත්මවල ඉපදුනා, සමහරවිට අපි ධර්මය ඇහුව, සමහර විට පැවිදිවෙලා ඉන්ටත් ඇති. උපාසක පිරිස් විදිහට ඉන්ට ඇති. නමුත් අපිට මේ සසර කෙරෙහි කළකිරීම උපදවගන්ට බැරිවුනා. ඒ නිසා සසර කෙරෙහි කළකිරීම උපදවා ගන්න අපිට පුළුවන් වුනොත්, මේ ධර්මය පුරුදු කරන්න අපි පෙළඹෙනවා. සසර කෙරෙහි කළකිරීම උපද්දවල දෙන, ඒ ධර්මය පරිපූර්ණ වශයෙන් පුරුදුකිරීම පිණිස උපකාරවන ධර්මයන් අඩංගු කෙටි දේශනාවක් සිහිපත් කරල දෙන්ට අපි කල්පනා කළා.

අංගුත්තර නිකාය 03 ග‍්‍රන්ථ රත්නයේ තිබෙනවා ”නිබ්බිදා සූත‍්‍රය” කියල කෙටි දේශනාවක්. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළේ සැවැත්නුවර දී. මේ දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දෙනවා ”පංචිමේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලීකතා ඒකන්ත නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තතී” පින්වත් මහණෙනි, මේ ධර්මයන් පහක් තිබෙනවා, භාවිත කළ යුතු යි. ඒ කියන්නේ පුරුදු වෙන්ට ඕනැ. ”බහුලීකතා” ඒ කියන්නේ බහුල වශයෙන් පුරුදු කරගන්ට ඕනැ. එසේ බහුල වශයෙන් පුරුදු කිරීමෙන්, ඒකන්ත නිබ්බිදාය, ඒකාන්ත වශයෙන් ම අවබෝධයෙන් කළකිරීම ඇතිකරවනවා. එතකොට අපිට සසර පුරාවට ම කරගන්ට බැරිවුනේ ඒක නේ ද? සසර ගැන අවබෝධයකින් යුක්තව කළකිරීම ඇති කරගන්ට අපිට බැරි වුනා. එසේ හැකිවුනා නම් නිදහස් වෙන පැත්තට අපේ හිත නැමෙනවා. එහෙම නම් අපිට සසර කෙරෙහි අවබෝධයෙන් යුක්ත කළකිරීම ඇතිවුනා නම්, අපි දිනනවා නේද?

භාග්‍යවතුන් වහන්සේ ධර්මයන් පහක් පෙන්වා දෙනවා. ඒ ධර්මයන් පහ බහුල වශයෙන් පුරුදු කළොත් ඒ පුහුණුව ඒකාන්ත වශයෙන් ම අවබෝධයෙන් කළකිරීම පිණිස පවතිනවා. ඒ වගේ ම විරාගය පිණිස පවතිනවා කියල අපිට කියාදෙනව. එසේ නම් අවබෝධයෙන් කළකිරීම ඇති වුනොත්, විරාගය ඇතිවෙනවා. ඒ කියන්නේ රාගය දුරුවෙනවා, ඇලීම් නැතුව යනවා. ඇලීම් නැති වෙන කොට මොකද වෙන්නේ? කෙලෙස් නිරුද්ධ වෙනවා. කෙලෙස් සහිතව වාසය කරනකොට හිතේ කළබලය, චංචල බව, සැළෙන ගතිය පවතිනවා. හිතේ ඇති කෙලෙස් නිරුද්ධ වෙන කොට හිතේ චංචල බව නැතුව යනවා. කම්පා වෙන බව නැතුව යනවා. හිත නිශ්චල දෙයක් බවට පත්වෙනවා. සිත සංසිදෙනවා. ඒකට කියනවා ‘උපසමාය’ කියල.

අන්න එහෙම නිශ්චල දෙයක් බවට පත්වුනාම එයාට තේරෙනවා, දැන් හිත නිශ්චල යි කියල. මේ සිත නිශ්චල වුනේ ඇයි? මේ සිතේ කෙලෙස් නිරුද්ධ වුනා. ඇයි කෙලෙස් නිරුද්ධ වුනේ? රාගය දුරු වුනා. සිත පිරිසිදු වුනා. පිරිසිදු වූ සිත ක‍්‍රම ක‍්‍රමයෙන් නිශ්චල වෙනවා, සංසිදෙනවා, නොසෙල් වෙන දෙයක් බවට පත් වෙනවා. නොසෙල් වෙන සිතෙන්, කම්පා රහිත සිතෙන් එයාට තේරෙනවා, මා තුළ යම් කෙලෙස් තිබුන නම්, ඒව දැන් නිරුද්ධ වෙලා. හිත දැන් චලනය වෙන්නේ නෑ. දැන් සිත කම්පා වෙන්නේ නෑ කියල. ඒක තමා තුළ උපන් විශේෂ ඤාණයක්.

අන්න ඒ විදිහට සිත නිශ්චල වුනාම, එයාට තේරුම් ගන්ට පුළුවන්, එයාගෙ සිතින් විශේෂ වූ අවබෝධයක් ඇතිකර ගන්ට පුළුවන් කියල. අන්න ඒ වගේ සංසිඳුණු සිතින් ඇති කර ගන්නාවූ, ඇති වන විශේෂ අවබෝධය තමයි ‘අභිඤ්ඤාය’ කියල කියන්නේ. එලෙස විශේෂ අවබෝධයකින් යුක්තව වාසය කරනකොට, එයාට මේ තමයි දුක, මෙයයි දුකේ හටගැනීම, මෙයයි දුකේ නැති වීම, මේ තමයි දුක නැති කරන මාර්ගය කියන උතුම් ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කරගන්ට පුළුවන්.

‘සම්බෝධාය’ කියන්නේ, ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීම. ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් තේරුම් ගැනීමත් එක්ක එයාගෙ සිත ආශ‍්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. මේ කාම ආශ‍්‍රව, මේ භව ආශ‍්‍රව, මේ අවිද්‍යා ආශ‍්‍රව වශයෙන් ආශ‍්‍රව තේරුම් ගැනීමෙන්, ආශ‍්‍රවවලින් සිත නිදහස් වෙන්ට පටන් ගන්නව. එයා නිවන අවබෝධ කරගන්නව. නිවනෙහි සිත පිහිටනවා. ආශ‍්‍රව ක්ෂය වීමත් සමඟ සිත නිවනෙහි පිහිටීමට කියනව ”නිබ්බානාය” කියල.

ඒසා මහත් වූ ප‍්‍රතිලාභයක් අත්වන්නේ ඒකාන්ත වශයෙන් ම අවබෝධයෙන් කළකිරීම ඇතිවෙලා, රාගය දුරුවෙලා, කෙලෙස් නිරුද්ධවෙලා, සිත පරිපූර්ණ වශයෙන් සංසිඳිල, ආර්ය සත්‍යය අවබෝධ කරගෙන, නිවන අවබෝධ කිරීම දක්වා ඒ උතුම් ප‍්‍රතිලාභයන් සියල්ලක් ම අත්කර ගන්ට පුළුවන් වුනේ ධර්මයන් පහක් පුරුදු කිරීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන්.

අපිට මෙන්න මේ ධර්මයන් කෙරෙහි, මේ භාග්‍යවතුන් වහන්සේගේ ප‍්‍රකාශය කෙරෙහි අප තුළ පැහැදීමක් ඇතිවෙන්ට ඕනැ. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීමක් ඇතිවුනොත්, ඒකට තමයි ශ‍්‍රද්ධාව කියල කියන්නේ. අන්න එබඳු පැහැදීමක් එයා තුළ ඇතිවුනොත්, එයා සොයමින් සිටි දේ එයාට මුණ ගැහුන වෙනව. එයා සොයමින් සිටියේ දුකින් නිදහස් වෙන්ට නම්, දුකින් නිදහස් වීමේ මාර්ගය නම්, අන්න ඒ සොයන කෙනාට මේ ධර්මයන් අහන කොට මඟ තේරෙනවා. මඟ සොයන කෙනාට, මඟ කියන කොට මඟ ගැන පහදිනවා, සතුටු වෙනවා. මේ ධර්මයන් අහන කොට, කියන කොට එයා තුළ පී‍්‍රති ප‍්‍රමෝදය ඇතිවෙනවා. ඇයි එසේ පී‍්‍රති ප‍්‍රමෝදය ඇති වෙන්නේ? එයා සොයමින් සිටි, එයාට උවමනා දේ ලැබුන. එයා මහත් වූ ප‍්‍රීති ප‍්‍රමෝදයට පත්වෙනවා. ශ‍්‍රද්ධාව ඉපදුන කෙනා තුළ නිර්භය බව උපදිනවා කියල කියන්නේ ඒකයි. එයා තුළ බය නැති බව උපදින්නේ ඇයි? එයාට දුකින් නිදහස් වෙන මඟ තේරෙනවා. ඒ මඟ එයාට මුණගැහුනම එයා තුළ බය දුරුවෙන්ට පටන් ගන්නවා.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, මොනවද ඒ ධර්මයන් පහ කියල, ”ඉධ භික්ඛවේ භික්ඛු අසුභානුපස්සී කායේ විහරති” පින්වත් මහණෙනි, භික්ෂුව කය අසුභ ලෙස බලමින් වාසය කරනවා. ”ආහාරේ පටික්කූල සඤ්ඤී” ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරනවා. ”සබ්බලෝකේ අනභිරත සඤ්ඤී සියලූ ලෝකය කෙරෙහිම ඇල්ම දුරුවීම පිණිස, නොඇල්ම ඇතිකර ගැනීම පිණිස උපකාරවන සංඥාව පුරුදු කරනවා. ”සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී” සියලූ සංස්කාර ගැන අනිත්‍යය වශයෙන් දකිමින් වාසය කරනවා. ”මරණසඤ්ඤා ඛෝ පනස්ස අඡ්ඣත්තං සූපට්ඨිතා හෝතී” මරණ සංඥාව හොඳින් හිතේ පවත්වමින් වාසය කරනවා. මරණ සංඥාව කියන්නේ, තමා මැරෙන්ට පුළුවන් ආකාරය ගැන හිතේ හොඳින් ඒ අදහස පවත්වගෙන වාසය කරනවා.

නිබ්බිදා සූත‍්‍රයේ තිබෙන භාවනාවන් පුරුදු කරන ආකාරය ගැන ඉදිරි ලිපිවලින් විස්තර කරන්ට බලාපොරොත්තු වෙනවා. එතකොට මෙන්න මේ ධර්මයන් පහ පුරුදු කරගෙන, බහුල වශයෙන් භාවිත කිරීමෙන් තමයි ඒකාන්ත වශයෙන් ම කළකිරීම උපදවන්නේ. අන්න ඒ විදිහට සසර කෙරෙහි කළකිරීම ඉපදීමෙන් විරාගය ඇතිවෙනවා. විරාගය ඇතිවන කෙනා තුළ කෙලෙස් නිරුද්ධ වීම සිද්ධ වෙනවා. කෙලෙස් නිරුද්ධ වීමෙන් සිත සංසිදෙනවා. සිත සංසිදුන කෙනා තුළ විශේෂ ඤාණය උපදිනවා. විශේෂ ඤාණය උපදින කෙනා තුළ ආර්ය සත්‍ය අවබෝධය උපදිනවා. ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධය ඉපදුන කෙනාගෙ සිත නිවනේ පිහිටනවා.

තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: