subscribe

ශ‍්‍රද්ධා බලය උපදවා ගනිමු…

ශ‍්‍රද්ධා බලය උපදවා ගනිමු…

සුගිය ලිපියෙන් අපි කතා කළා අපිට ඒකාන්ත වශයෙන්ම කලකිරීම උපදවා ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව පෙන්වා වදාළ ධර්මයන් පහක් පිළිබඳව. නිවන අවබෝධ කිරීම දක්වා ඒ උතුම් ප‍්‍රතිලාභයන් සියල්ලක් ම අත්කර ගන්ට පුළුවන් වන ඒ ධර්මයන් පුරුදු කර ගැනීම අපි කොතනින්ද පටන් ගත යුත්තේ? භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ දහම ගැන විශ්වාසය උපදවා ගැනීමෙන් තමයි අපි එය පටන් ගත යුත්තේ. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ඒකාන්තයෙන් ම සත්‍යයක්, ඒකාන්ත වශයෙන් ම ප‍්‍රතිඵල සහිතයි, අර්ථ සහිතයි. මේ ධර්මය අකාලික සත්‍යයක් කියන විශ්වාසය ඇතිකර ගැනීමෙන් ම තමයි නිවන දක්වා වූ ඒ ඉතාමත් ම අමාරු දුෂ්කර කටයුත්ත පුරුදු කිරීම පිණිස ආරම්භ කළ යුත්තේ.

මේ ධර්මය කෙරෙහි යම් කෙනෙකුට විශ්වාසයක් ආවෙ නැත්නම්, එයාට මේ ධර්මය පුරුදු කිරීම සඳහා කැමැත්තක් උපදින්නේ නෑ. සමහර විට ටිකක් පුරුදු කරයි. ඒත් එයා විශ්වාසයක් නැතිව දිගටම කරයි ද? නෑ. ටික දවසක් කරල එයා හිතනවා, මට මේ භාවනාව වැඩෙන්නෙ නෑ. අසුභය මට පිහිටන්නේ නෑ. මරණ සතිය මට පිහිටන්නේ නෑ කියල. අසුභය ටිකක් කරල එයා හිතනවා මට අසුභය පිහිටන්නේ නෑ, ඒක නිසා මම මරණ සතිය පුරුදුකරන්ට ඕනැ කියල. මරණ සතිය පටන් අරගෙන හිතනවා, මට මරණ සතිය පිහිටන්නේ නෑ මම වෙන එකක් බලන්ට ඕනැ කියල. බොහෝ අයට මේක වෙන්ට පුළුවන්. විය හැකි දේ වෙන්ට පුළුවන් කියල කිව්වම ඒ උගුලෙන් අපිට ගැලවෙන්න පුළුවන්.

මේ අනතුරෙන් අපිට බේරෙන්න පුළුවන් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන් ම පමණයි. ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි නිවන අවබෝධ කළේ, නිවන ගැන දන්නේ, ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි නිවන අවබෝධ කරන මග සොයා ගෙන පරිපූර්ණ කළේ. ඒ මග ගැන දන්නේත්, කියා දෙන්නේත් භාග්‍යවතුන් වහන්සේ තමයි. ඒ නිසා භග්‍යවතුන් වහන්සේගේ අවබෝධය මත පිහිටා, ඒ අවබෝධය ගැන විශ්වාස කිරීමෙන් පමණමයි මේ ධර්මයන් පුරුදු කිරීම සඳහා අපේ හිතේ කැමැත්ත සහ වීරිය උපදින්නේ.

ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමට තමයි ශ‍්‍රද්ධාව කියල කියන්නේ. ඒ විදිහේ ශ‍්‍රද්ධාවට ආව කෙනා තුළ ලොකු හයියක් උපදිනවා. විශාල ජවයක් උපදිනවා. පුංචි ජවයකින් මේක කරන්ට පුළුවන්ද? බෑ. හීන වීරියකින් සසර ගමන බිඳින්ට පුළුවන් ද? බෑ. මේ ධර්මය හීන වීරියකින් යුතු කෙනාට පුරුදු කළ නොහැකියි. ඒ සඳහා බලවත් වීරියක් උවමනයි. ඒ සා බලවත් වීරියක් උපදින්නේ ශරීරයේ නොවෙයි හිතෙයි. හිතේ මේ සා බලවත් වීරියක් උපදවල දෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන් මයි.

ඒ නිසා කව්රුත් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි බලවත් විශ්වාසය ඇති කරගන්ට ඕනැ. මේ ධර්මය පුරුදු කිරීමෙන් ඒකාන්තයෙන් ම සසර කෙරෙහි කලකිරීම ඇති කරගන්ට පුළුවන් කියන විශ්වාසය උපදවා ගත යුතුයි. තමන් ගැන තමන්ට තියෙන හැකියාවන් ගැන තියෙන විශ්වාසය බැහැර කරන්න. අපි පිරිහෙන යුගයක ඉන්න, ප‍්‍රඥාව දුබල වෙලා යන යුගයක ඉන්න අහිංසක මිනිසුන් කියල කල්පනා කරන්න. ප‍්‍රඥාව දුබල වෙලා යන යුගයේ කාය ශක්තිය පවා ඉතාමත් ම දුර්වල යුගයකයි අපි වාසය කරන්නේ.

මේ ධර්මය පුරුදු කරගැනීම පිණිස අපිට විශාල බලයක් වුවමනයි. ඒ බලය උපදින්නේ ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව උපදවා ගැනීමෙන් පමණමයි. ඒකට තමයි ශ‍්‍රද්ධා බලය කියල කියන්නේ. ශ‍්‍රද්ධාව තිබුනොත්, ඒ ශ‍්‍රද්ධාව මුල් වෙලා එයා තුළ බලය උපදිනවා. වීරිය උපදිනවා. මේ සසරින් නිදහස්වීමට පුළුවන් මගක් තියනව නේද කියන විශ්වාසය එයාට ඇති වෙනවා. ඒ විශ්වාසයට එන කෙනා ඒ මග ටිකෙන් ටික පුරුදු කරනවා. ඒක මේ වගේ. ළමයෙක් දකිනව කෙනෙක් පාරෙ බයිසිකලයක් පැදගෙන යනව. දැක්කහම බයිසිකල් පදින්ට ආස හිතෙනව. එයත් ගන්නව බයිසිකලයක්. ගත්ත ගමන් පැදගෙන යනවද? එහෙම යන්නේ නෑ. ටික ටික පුරුදු වෙනවා.

එදිනෙදා ජීවිතේදි අපි පුංචි පුංචි දේවල් කරන විදිහ බලන්න. අපිට තේ එකක් හම්බවෙනවා. කොහොමද ඉස්සරවෙලාම බොන්නේ? ඒක රස්නෙද කියල බලනව නේද? බලන්නෙ නැතුව බිව්වොත් මොකද වෙන්නෙ? ඒ සැනින් අනතුරට වැටෙනව. ඊලගට මොකක්ද බලන්නේ? ඒක ප‍්‍රමානවත් රසයෙන් යුක්තද බලනව. එකපාරට සම්පූර්ණ කෝප්පෙ පිටින් කටේ හලා ගන්නවද? පොඞ්ඩ පොඞ්ඩ හිමින් තේ එක පානය කරනව. අපිට සීනි බොලයක් හම්බ වෙනව. හම්බවුන ගමන් උගුර පාදල බඩට දාගන්නවද? කවුරුත් එහෙම කරල තියනවද? උපරිම වෙලාවක් එයා ඒක කටේ තියාගෙන ඉන්නව නේද? බලන්න අපි මේ ප‍්‍රායෝගික ලෝකේ කරන දේවල්. මේ සා ඝම්භීර වූ, ඒකාන්ත වශයෙන් ම සියලූ සත්වයා කෙරෙහි පිහිට පිණිස ම පවතින, අතිශය කලාතුරකින් මුනගැහෙන, මේ මහා ලාභය අත්කර ගැනීම පිණිස මේ සරළ වූ ප‍්‍රායෝගිකත්වය ඇයි අපි පාවිච්චි නොකරන්නේ? ඇයි අපි ඒ ප‍්‍රායෝගිකත්වයට එන්නේ නැත්තේ?

අපි කල්පනා කරනවා දේශනාවක් අහල, හරි දැන් මම කරන්නම් කියල. සමහර දේශනා තුළ අපට කියා දෙනවා, පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නව දහවල පිණ්ඩපාතෙ වළඳල ගස මුලක කද ඍජු කරගෙන වාඩිවෙනවා. නීවරණ දුරු කරගන්නව. සමාධිය උපදවා ගන්නව. පළවෙනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි ධ්‍යාන උපදවා ගන්නව. එයා අතීත ජීවිත දකින ඤාණය ඇති කරගන්නව. සත්වයින් ඉපදෙන මැරෙන විදිහ දකින ඤාණය උපදවා ගන්නවා. ආශ‍්‍රව ක්ෂය කරල ආශ‍්‍රව රහිත චිත්ත විමුක්තිය, ප‍්‍රඥා විමුක්තිය උපදවා ගන්නවා කියල. මේ විදිහට තියන දේශනා අපිට මුණ ගැහිල තියනවා නේද?

මේව දැක්කහම මොකක්ද අපිට හිතෙන්නේ. අපි සැනෙකින් මේක කරගන්නම් කියල හිතනව නේද? අන්න ඒ කලබලය බැහැර කළ යුතුමයි. මතක තියා ගන්න අපි සීනි බෝලෙත් රස බල බල හිමින් කෑවෙ කියල. එමනිසා මේසා අතිශය දුෂ්කර, මේසා අතිශය අමාරු ඉලක්කයක් ඉටුකර ගන්න භාග්‍ය සමීපයට ඇවිල්ල තියන කොට නුවණ තියන අය කලබල කරගන්නේ නෑ.

භග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඉපදුනාට පස්සේ එයා බලන්නේ,කොහොමද මේ ධර්මයන් පුරුදු කරන්නේ කියල. මේ කටයුත්ත කළ යුතුයි, කරන්න පුළුවන් කියල වැටහුන කෙනා, ඊට පස්සේ මොකක්ද බලන්නේ? කොහොමද කරන්නේ කියල.එතකොට එයාට සිහිවෙනව නිබ්බිදා සූත‍්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ කියාදුන් කරුණ ‘පඤ්චිමේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලීකතා ඒකන්ත නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තන්ති’ ඒ කි‍යන්නෙ “පිංවත් මහණෙනි, ධර්මයන් පහක් භාවිත ක‍ළොත්, බහුල වශයෙන් භාවිත කළොත් ඒකාන්ත වශයෙන්ම අවබෝධයෙන් කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, ඇල්ම නිරැද්ධ වීම පිණිස, කෙලෙස් සංසිදුවීම පිණිස, වි‍ශේෂ ඥාණය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේය” කියල. එහෙමනම් අපි පළ‍මුවෙන්ම කළ යුත්තේ භාවිතා කිරීමයි. ඊට පස්සෙ තමයි ‘බහුලීකතා’ බහුල වශයෙන් පුරුදු කළ යුත්තෙ. බලන්න මේ පුරුදු කළ යුතු ධර්මය කෙටියෙන් තමයි ඒ දේශනාවේදී කියා දීල තියෙන්නේ, වචන ටිකයි. නමුත් අපිට එක වචනයක් අතහැරුන ගමන් මොකද වෙන්නේ? මාර්ගය අතහැරෙනවා. ඒකයි මේ ධර්මයේ සංශෝධන කරන්න දෙයක් නෑ කියල කියන්නේ. ස්වාක්ඛ්‍යාතයි කියල කියන්නේ ඒකයි. එක වචනයක් මේකෙන් බැහැර වුන ගමන්, ඒ වචනයේ අර්ථය ගත්තේ නැත්නම්, අපිට ධර්මයෙන් ප‍්‍රයෝජන ගන්ට බැරුව යනවා.

එහෙනම් අපිට පළමුවෙන් ම තියෙන්නේ මේ ධර්මයන් භාවිත කිරීම, පුරුදු වීම. යම් කෙනෙක් ගෙදරට විද්‍යුත් උපකරනයක් ගෙනාව කියල හිතමු. ගෙනාව ගමන් ඒක පාවිච්චි කරනවද? නෑ නේද? හැබැයි එහෙම කරන කට්ටිය ඉන්නව. එහෙම කරන අය තමයි ගොඩාක් ඉන්නේ. ඉස්සරලාම අවවාදයක් දීල තියනව නේද, මෙය ක‍්‍රියාත්මක කරන විදිහ කියවන්නෙ නැතුව පාවිච්චි කරන්ට එපා කියල. එහෙනම් පුහුණු නොවී යමක් බහුලව කරන්ට පෙලඹීමේ ස්වභාවය මනුෂ්‍යයා ලඟ තියනවා. අපි ලඟත් ඒක ඇති. ඒ දෙය බැහැර කරගෙන ක‍්‍රමානුකූලව මේ ධර්මය පුරුදු කිරීම පිණිස යම් කැමැත්තක් උපදවා දෙන්ටයි මේ විදිහට කරුණු ගණනාවක් කිව්වේ.

කලබලවීම අනතුරක් කියල මේ පින්වතුන්ට වැටහෙනව නේද? කලබල වුනොත් අපිට මේ ධර්මයෙන් පිහිට ලබාගන්ට තියන අවස්ථාව නැතිවෙලා යනවා. ධර්මය පුරුදු කිරීමේ දී ඔබට ලැබෙන ලොකුම ලාභය තමයි, මේ ධර්මයේ අවම තැනට හරි ආවොත්, සසර දුකින් ගැලවෙන්ට පටන් ගන්නවා. මේ දේශනාව (කලින් ලිපියට සම්බන්ධයි) කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත් එයා තුළ ශ‍්‍රද්ධාව පිහිටනවා. එයින් පෙන්වන්නේ නිවන් මග. නිවන් මග කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත් එයා ආර්ය සත්‍යය කෙරෙහි පැහැදීම ඇති කර ගන්නවා. එහෙනම් මේ දේශනාව කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත් එයා ක‍්‍රමක් ක‍්‍රමයෙන් ක‍්‍රමක් ක‍්‍රමයෙන් නිවන් මගට පිවිසෙනවා. ඉතාම දක්ෂයෙක් වුනොත් නිවන් මගේ බොහෝ දුරක් යයි. අපේ දක්ෂකම අවම නම් ආරම්භයට හෝ එනවා. ශ‍්‍රද්ධානුසාරී කෙනෙක් බවට හරි පත් වෙනවා.

ශ‍්‍රද්ධානුසාරී කෙනෙක් බවට පත් වෙන්ට පුළුවන් වුනොත්, මේ ජීවිතේ දි අපි දිනල. ශ‍්‍රද්ධානුසාරී කෙනෙක් බවට පත් වුනොත් සෝතාපන්න නොවී මිය යන්නේ නෑ. සෝතාපන්න වුන කෙනා උපරිම වශයෙන් භව හතකින් හරි මේ සසර ගමනින් නිදහස් වෙනවා. එයා පරිපූර්ණ ශාන්තිය අත්කර ගන්නවා. ඒ නිසා මේක ඉතාම දුෂ්කර පුළුල් ඉලක්කයක් බව තේරුම් අරගෙන, ඉතාම ප‍්‍රවේසමින් මේ ධර්මය පුරුදු කරන්නට මහන්සි වෙන්න. එතකොට මේ දීර්ඝ කාලයක් පුරා අපි ආව සසර ගමනින් නිදහස්වෙන්ට පුළුවන්කම තිබෙනවා.

නිබ්බිදා සූත‍්‍රයේ පෙන්වා දී තිබෙන භාවනාවන් පහ ගැන කෙටියෙන් ඔබට කියා දෙන්ට බලාපොරොත්තු වෙනවා. කෙටියෙන් කියාදෙන මේ භාවනාවන් පුරුදු කරන්ට ඕනැ. කොහොමද කරන්නේ බහුල වශයෙන් ද? නෑ. ඉස්සර වෙලා පුරුදු කරගන්ට ඕනැ. පුරුදු කරගෙන යනකොට බහුල වශයෙන් පුරුදු කරන්ට පුළුවන් කලක් එනවා. එතකොට බහුල වශයෙන් මේ ධර්මයන් පුරුදු කරන්ට කරන්ට සසර කෙරෙහි අවබෝධයෙන් කලකිරීම උපදිනවා. මේ සසර හිස් දෙයක් අර්ථ රහිත දෙයක් කියන වැටහීම උපදිනවා. පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරීම උපදිනවා. අර්ථ රහිත හිස් දෙයක් බව වැටහෙනවා. අන්න එතකොට මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියන ඇල්ම දුරුවෙන්ට පටන් ගන්නවා. එහෙම දුරුවීමෙන් පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවා. සිත නිදහස් දෙයක් බවට පත්වෙනවා. නිදහස් වූ සිත පූර්ණ වශයෙන් සංසිදෙනවා. නිශ්චල බවට පත් වෙනවා. නිශ්චල වූ නොසෙල්වෙන ස්වභාවයට පත් වූ සිතින් විශේෂ අවබෝධය ඇතිවෙනවා. විශේෂ අවබෝධයෙන් යුක්ත කෙනා තුළ ආර්ය සත්‍යය පිළිබද පරිපූර්ණ අවබෝධය ඇති වෙනවා. ආශ‍්‍රව ක්ෂය වීමෙන් නිවනේ හිත පිහිටනවා. නිවන අවබෝධ කරගන්නවා. ඒ නිසා මේ උතුම් ධර්මය කෙරෙහි මහත් වූ පැහැදීම ඇති කරගන්ට. මහත් වූ පැහැදීම ඇති කරගෙන මේ ධර්මය ටික ටික පුරුදු කරන්න. කලබලයට පුරුදු කරන්ට එපා. මේ ආකාරයට නිශ්චිත වශයෙන් ම එක එල්ලේම ප‍්‍රකාශ කර තිබෙන නිර්භයව ප‍්‍රකාශකර තිබෙන මෙබදු උතුම් ධර්මයන් කෙරෙහි මහත් වූ පැහැදීම ඇතිකරගෙන මේ ධර්මයන් බහුල වශයෙන් පුරුදු කරගෙන සසර කෙරෙහි කළකිරීම ඇතිකරවා ගැනීම පිණිස මේ සියලූ දෙනාටම උතුම් වූ භාග්‍යය උදාවේවා කියල අපි ආශිර්වාද කරනවා.

තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

1 Comment

  1. oba wahanseta me dharma danama pin anumodan wee, pathan bodiyakin niwan magama helipehelo wewa!

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: