subscribe

සේඛ බල වැඩෙන ආකාරය ප‍්‍රත්‍යවේක්‍ෂා කරමු…

සේඛ බල වැඩෙන ආකාරය ප‍්‍රත්‍යවේක්‍ෂා කරමු…

පි නිවන් මඟ හඳුනාගන්ට ඕනැ. නිවන් මඟ හඳුනාගෙන, ඒ නිවන් මඟ පුරුදු කරන්නට අපි දක්ෂ වෙන්ට ඕනැ. ඒ නිවන් මඟ හඳුනාගන්නටත්, ඒ හඳුනාගත් නිවන් මඟ පුරුදු කිරීම පිණිසත්, අපිට බොහෝ උපකාරීවන දෙයක් තමයි ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීම. අපි පුරුදු කරන්නා වූ දෙය, පුරුදු කළයුතු දෙය හඳුනා ගන්නටත්, ඒ පුරුදු කළයුතු දෙයම පුරුදු කරනවාද කියල තහවුරු කරගන්නටත්, අපිට උපකාරී වන දෙයක් තමයි ප‍්‍රත්‍යවේක්‍ෂාව. ඒ නිසා අපි නිවන අවබෝධ කරන්නට කැමති අය විදියට, ආරම්භයේ පටන්ම, ඒ පුරුදු කරන දේ පිළිබඳව නුවණින් විමසල බලන්නට, ප‍්‍රත්‍යවේක්‍ෂා කරන්නට පුරුදු වෙන්ට ඕනැ.

බණ භාවනා කරන අය විදියට, ඒ බණ භාවනා කිරීමෙන් අපි අපේක්ෂා කරන අවසන් ඉලක්කය කුමක්ද? චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධ ඥාණය පරිපූර්ණ කරගැනීම. ඒ සදහා තමයි අපි මේ බණ භාවනා කරනනේ. ඒ සඳහා තමයි අපි ධර්ම ශ‍්‍රවණය, ධර්ම සාකච්ඡා, සමථ, විදර්ශනා, කියන මේ අංග හතර පුරුදු කරනනේ.එතකොට ඒ ප‍්‍රඥාව පරිපූර්ණ කරගැනීම පිණිස සුදුසු මඟ කුමක්ද කියන කාරණාව අපි දැන ගන්නට ඕන. ඊළගට ඒ සුදුසු මඟ අපි පුරුදු කරන්නත් ඕනැ. ඒ සුදුසු මග පුරුදු කරනකොට, අපි ඒ මඟ හරියට පුරුදු කරනවද? කියල දැනගන්නත් ඕන. ඒ සඳහා ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීම බොහෝ උපකාරවන දෙයක්.

යම් කෙනෙක් ප‍්‍රත්‍යවේක්‍ෂා කරන්නට අදක්ෂ වුණොත්, ඒ ගැන හොඳින් තේරුනේ නැතිනම්, එය හොඳින් නොකළොත්, නිවන් මඟ පරිපූර්ණ කරගන්ට නොහැකි වෙන්ට පුළුවන්. නිවන් මඟට පිවිසෙන්ටවත් නොහැකි වෙන්ට පුළුවන්. නිවන් මඟට පිවිසුණත්, අපි ප‍්‍රමාදයට හසුවෙන්ට පුළුවන්. යම් කෙනෙක් ප‍්‍රත්‍යවේක්‍ෂා කරන්නට දක්ෂ වුණොත්, ප‍්‍රමාදයට නොවැටී අප‍්‍රමාදී බව උපදවාගන්ට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීම පිළිබඳව තේරුම්ගෙන, හොඳින් කිරීමට පුරුදු වෙන්න.

දැන් අපි කතා කලා, බණ භාවනා කරන කෙනාගේ පරමාර්ථය වන්නේ ප‍්‍රඥාව පරිපූර්ණ කරගැනීමයි කියලා. ඒ කියන්නේ, ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය පරිපූර්ණ කරගැනීම. ඒක නේද අපේ ඉලක්කය වන්නෙ? එතකොට ප‍්‍රඥාව පරිපූර්ණ කරගන්නට නම්, සමාධිය පරිපුර්ණ වෙන්ට ඕන. සමාධිය පරිපූර්ණ කරගන්න කෙනාට, ප‍්‍රඥාව පරිපූර්ණ කරගන්ට පුළුවන්. එතකෙට සමාධිය පරිපූර්ණ වෙන්ට නම්, සීලය පරිපූර්ණ වෙන්න ඕන. දැන් වැටහෙනවා නේද කාරණාව? එතකොට ප‍්‍රඥාව පරිපූර්ණ වීමෙන්, නිවන් මග පරිපූර්ණ වෙනවා. ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය යම් කලයකදී අංග සම්පූර්ණ වෙනව නම්, අපි නිවන අවබෝධ කරල නේද? එහෙමනම් ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය පරිපූර්ණ කරගැනීම තමයි අපේ අපේක්ෂාව, කැමැත්ත විය යුත්තේ. අපේ ඉලක්කය වන්නේ ඒකයි. එහෙනම් ඒ ප‍්‍රඥාව පරිපූර්ණ වෙන්ට නම්, සමාධිය පිරෙන්ට ඕන. සමාධිය පරිපූර්ණ වෙන්ට නම්, සීලය පරිපූර්ණ වෙන්න ඕන. එතකොට සීලය පරිපූර්ණ කරගැනීම ආරම්භයේදීම කළ යුතු විශේෂ කරුණක්. සීලය පරිපුර්ණ වෙන්ට නම්, මොකක්ද කරන්ට තියෙන්නෙ? සීලය පිරෙන්නේ කුමක් පිරීමෙන්ද? සේඛ බල පිරීමෙන් තමයි සීලය සම්පුර්ණ වෙන්නෙ. සේඛ ධර්ම පරිපූර්ණ වෙන්නේ, ආභිසමාචාරික සීලය පරිපුර්ණ වීමෙන්. ආභිසමාචාරික සීලය පරිපුර්ණ වෙන්නේ ගරු සරු ඇතිව වාසය කිරීමෙන්.

එතකොට පටන් ගන්නෙ කොතනින්ද? එකිනෙකා කෙරෙහි ගරු සරු ඇතිව වාසය කරන්ට පුරුදුවීමෙන්. ඒ ගරු සරු ඇතිව වාසය කරන්ට පුරුදු වෙන්නේ කොතනද? කල්‍යාණ මිතුරු ඇසුරේ. කල්‍යාණ මිතුරු ඇසුරේ යම් කෙනෙක් ඉන්නවනම්, එයාට ශ‍්‍රද්ධාව, හිරි ඔතප්, වීර්ය, ප‍්‍රඥාව කියන සේඛ බල පිරෙන්ට පටන් ගන්නවා. සේඛ බල පිරෙන කෙනා තුළ, සීලය පිරෙන්ට පටන් ගන්නවා. සීලය පරිපුර්ණ වෙන්න පටන්ගන්නවා. සීලය පරිපුර්ණ වෙන්න වෙන්න සමාධිය පරිපුර්ණවෙනවා. සාමාධිය පරිපුර්ණ වෙන කෙනා තුළ ප‍්‍රඥාව පිරෙනවා. මේක තමයි නිවන් මග. එහෙනම් අපි ඒ නිවන් මග ඉගෙන ගන්න ඕනැ, හඳුනා ගන්න, පිළිගන්න, තේරුම්ගන්නට ඕනැ. එසේ ඒ පිළිගත් මග පුරුදු කරගන්න අපි කැමති වෙන්නට ඕනැ. එසේ කැමතිවන කෙනා නිවන් මග පුරුදු කරනව. අන්න ඒ නිවන් මග පුරුදු කරන කෙනා ”මම ඒ නිවන් මග පුරුදු වෙනවද? පුරුදු කරනවද? කළ යුතු දේ කරනවද?” කියල හොයල බලන්ට ඕනැ. ආන්න එතකොට එයාට ප‍්‍රමාදයට වැ‍ටෙන්න තියෙන ඉඩ අහුරගන්ට පුළුවන්, අප‍්‍රමාදී බවට එන්න පුළුවන්කම තියෙනව.

එහෙම නම් ඒ නිවන් මග ආරම්භ කරන්නේ කොතැනින්ද? කල්‍යාණ මිත‍්‍ර ඇසුරේ, එකිනෙකා කෙරෙහි ගරු සරු ඇතිව වාසය කිරීමෙන් තමයි ආරම්භ වන්නේ. අන්න ඒ විදියට වාසය කරන කොට, එයාට සංවරභාවය ඇතිකරගන්ට පුළුවන්කම තියෙනව. ඒ සංවර වෙන කෙනා තුළ සේඛ ධර්ම වැඩෙනවා. සේඛ ධර්ම පිරෙනවා. ඒ සේඛ ධර්ම ඇතිවෙන්නෙත්, සේඛ ධර්ම පිරෙන්නෙත්, අර මුලික කරුණු සිදුවුණොත් නේද? කල්‍යාණ මිත‍්‍ර ඇසුරේ, එකිනෙකා කෙරෙහි ගරු සරු ඇතිව, එකිනෙකාට උපකාර කරමින් වාසය කරනකොට තමයි, සේඛ ධර්ම ඇති වෙලා ඒවා පිරෙන්නේ. එතකොට යම් කාලෙකදී අපට ඒ කල්‍යාණ මිත‍්‍ර ඇසුර මග හැරුණොත්, ගරු සරු දක්වන ස්වභාවය මග හැරුණොත්, එකිනෙකාට උපකාර කිරීම් මග හැරුණොත්, සේඛ ධර්ම පිරෙන එකට මොකද වෙන්නෙ, ප‍්‍රමාද වෙනව නේද?

යම් තැනක ශ‍්‍රද්ධා, හිරි ඔතප්, වීර්ය, ප‍්‍රඥා කියන මේ සේඛ ධර්ම වැඩන්නේ නැත්නම්, එතන සීලයට මොකද වෙන්නේ. සීලය පිරෙන්නෙ නැ. එතකොට සමාධියට මොකද වෙන්නේ. සමාධිය පිරෙන්නෙත් නෑ. එතකොට ප‍්‍රඥාව සම්පුර්ණ වෙන්නෙත් නෑ. ඒක අපි තෝරා බේරා ගන්ට ඕනැ. මම කල්‍යාණ මිත‍්‍ර ඇසුරේ, හොඳින් වාසය කරනවාද? එකිනෙකා කෙරෙහි ගරු සරු බව මම පුරුදු කරනවාද? කියල අපි සොයල බලන්ට ඕනැ. හොයල බැලූවොත් තමයි අපිට තේරෙන්නේ, ”මා තුළ ගරු සරු බව තියෙනවද? කල්‍යාණ මිත‍්‍ර ඇසුරේ මම ඉන්නවද? එකිනෙකාට ගරුසරු ඇතිව උපකාර කරනවද?” කියන දේ. අන්න එතකොට එයා තුළ සේඛ ධර්ම පිරෙනවා. සොයල බැලූවොත් තේරෙයි තමා තුළ ශ‍්‍රද්ධාව පිරෙනවද? පවට ලැජ්ජාව, බය තියෙනවද කියල. හොයල බැලූවෙ නැත්නම් එයාට තෝරා බේරා ගන්න බෑ.

බලන්න ප‍්‍රත්‍යවේක්‍ෂාව කියන එක කොතරම් නම් අපි තුළ වැටහීමක් ඇතිකරල දෙන දෙයක්ද කියල, ප‍්‍රත්‍යවේක්‍ෂාව කියන එක හොඳට පේන ඇස් දෙකක් වගේ. ඇස් නැති කෙනාට ඇඟිල්ලෙන් ඇනල පෙන්නුවත්, පේනවද? නෑ. එහෙනම් ප‍්‍රත්‍යවේක්‍ෂාව කියන්නේ ඇස් දෙකකටත් වඩා අපට ලෝකය පෙන්වා දෙන දෙයක්. ඒකටයි නුවණැස කියල කියන්නෙ. මේ ඇගේ තියෙන එකට කියන්නේ මසැස කියලනේ… නේද? නුවණැස තියුණු කර ගත්තොත්, අපේ ගමන වේගවත්.
එහෙනම් බණ භාවනා සඳහා අපි තුළ වීර්ය තියෙනවද කියල බලන්න. වීර්ය අඩුනම්, ඒ ඇයි කියල බලන්න. අපිට ආරම්භයේදී වීර්ය තිබුනද? නැද්ද? කියල බලන්න. ආරම්භයේදී තිබුන වීර්ය දැන් අඩුද? වැඩිද? බලන්න. දැන් ඒ වීරිය වැඩිවෙලානම්, ඒක අපේ දියුණුවක් නේද? සේඛ ධර්ම පිරීමක් නේද? වීරිය අඩු වෙලානම් තියෙන්නේ සේඛ ධර්ම පිරෙනවද? තිබුන ටිකත් පිරිහෙනව නේද? කලින් වීර්ය තිබුණා. ඒ කියන්නේ කලින් සේඛ ධර්ම ඇතිවෙමින් තිබුණා. දැන් මොකද වෙන්නේ? වීරිය අඩුවෙලා. ඒ කියන්නේ සේඛ ධර්ම වැඩෙන්නෙ නෑ පිරිහිලා නේද? තමා ගැන තමා ම නුවණින් කල්පනා කරල බැලූවොත් තමන්ට තේරෙනවා, මගේ සේඛ ධර්ම දැන් වැඩෙන්නෙ නෑ. පිරිහිලා. ඇයි වීර්ය වැඩෙන්නේ නැත්තෙ? හිරි ඔතප්, වැඩෙන්නෙ නැති නිසා. ඇයි හිරි ඔතප් වැඩෙන්නෙ නැත්තෙ. ශ‍්‍රද්ධාව වැඩෙන්නෙ නැති නිසා. එතකොට ශ‍්‍රද්ධාව වැඩෙන්නෙ නැත්නම්, හිරි ඔතප් වැඩෙන්නෙත් නෑ. විර්ය වැඩෙන්නෙත් නෑ. එහෙනම් ප‍්‍රඥාවට මොකද වෙන්නෙ, වැඩෙයිද? වැඩෙන්නෙ නෑ. එතකොට සේඛ ධර්ම වැඩෙන්නෙ නෑ නේද? දැන් එතකොට සීලය රැකෙයිද? ශීලය රැකෙන්නෙ නෑ. ටික කාලයක් සීලය රැකෙයි. ශීලය පරිපූර්ණ වෙන්නෙ නෑ. සේඛ ධර්ම පිරුනෙ නැත්නම් සීලය කළිටි නොවෙන තත්වයට පත්වෙන්නෙ නෑ. යම් කලක එයාගෙ සිල් පද කැඩෙන්ට පුළුවන්. කිළිටි වෙන්න පුළුවන්. නමුත් සේඛ ධර්ම පිරුණොත්, එයාගෙ සීලය කිලිටි වෙන්නෙ නෑ, සීලය පිරෙනවා. ශීලය පිරුණු කෙනාගේ, සමාධිය පිරෙනවා. සමාධිය පිරුණ කෙනාගේ, ප‍්‍රඥාව පිරෙනවා.

එතකොට අපි තුළ සේඛ ධර්ම වැඩෙනවද? පිරිහෙනවද? කියල තේරුම්ගන්නෙ කොහොමද? ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් නේද? හොයල බැලූවොත් නේද දැනගන්ට පුළුවන්වෙන්නේ? අපේ ශ‍්‍රද්ධාව වැඩෙනවද? පිරිහෙනවද? අපේ හිරි ඔතප් වැඩෙනවද? පිරිහෙනවද? වීර්ය වැඩෙනවද? පිරිහෙනවද? නුවණ වැඩෙනවද? පිරිහෙනවද? කියල. තමාම නේද තේරුම්ගත යුත්තේ. වෙන කෙනෙකුට පුළුවන්ද පෙන්නල දෙන්ට? වෙන කෙනෙකුට පෙන්නල දෙන්ට බෑ. තමා ම තමාගේ සේඛ ධර්ම වැඩෙනවද? නැද්ද? කියල තෝරා බේරා ගත යුතුයි. අන්න ඒ විදිහට තෝරා බේරාගත හැක්කේ ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන්.

නුපන් කුසල් උපදවාගන්ට කැමැත්ත තියෙන කෙනා වීර්ය කරනවා. අපි, අපි ගැන ම හොයල බැලූවොත්, අපිට තේරුම් ගන්ට පුළුවන් කම තියෙනවා, ”අපි සේඛ ධර්ම දියුණු කරගන්නවද? නැද්ද?” කියන එක. ඉතින් අපිට අපේ සේඛ ධර්ම දියුණු කරගන්න පුළුවන් වුණොත් අපි නිවන් මග පුරුදු කරනවා. යම් කෙනෙක් තේරුම් ගත්තොත්, මම සේඛ ධර්ම පුරුදු කරන කෙනෙක්, දියුණු කර ගන්න කෙනෙක් කියල, එයා සතුටු සිතින් වාසය කරනවා. ඇයි ඒ? එයා දන්නවා, ”මම නිවන් මගයි පුරුදු කරන්නේ” කියල. එයා දන්නවා ”මම දුකින් නිදහස්වෙන්ට මග පුරුදු කරන්නේ කියල. මම පරිපූර්ණ සැපය ඇති කරගන්න පුළුවන් මග ඉන්නේ” කියල. මෙතන අද්භූත දෙයක් නෑ නේද? මේක ප‍්‍රායෝගිකව තමන්ට තේරුම්ගන්ට පුළුවන් දෙයක්. මේකට අකුරු සාස්තරේ ඕනද? ”මම විභාග පාස් නෑ, මට බෑ” කියල එහෙම එකක් තියෙවද? නෑ නේද? ” මට කටපාඩම් නෑ. මට ගථා පාඩම් නෑ, ඒ නිසා මට සේඛ ධර්ම තේරුම්ගන්න බෑ” කියල එකක් තියෙනවද? නෑ. එහෙම එකක් නෑ…

මේ ධර්මය අසා දැනගෙන, ඒක පිළිගත්ත කෙනාට, නුවණින් තේරුම්ගන්න පුළුවන්, මම ලඟ ශ‍්‍රද්ධාව තියෙනවද? ශ‍්‍රද්ධාව දියුණු වෙනවද? පවට බය, පවට ලැජ්ජාව, තියෙනවද? ඒක දියුණු වෙනවද? වීර්ය තියෙනවද? ඒ වීර්ය දියුණු වෙනවද? මේ ආදී වශයෙන් තෝරා බේරාගන්න තමාට ම පුළුවන්. එසේ තෝරා බේරාගත හැක්කේ නුවණින් කල්පනා කිරීමෙන්.
සියලූ දෙනාටම මේ උතුම් දහම තේරුම් ගැනීමේ භාග්‍යය උදාවේවා.

නාවලපිටියේ අරියවංශ හිමි

‘බුදුසරණ’ පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්

Related Posts Plugin for WordPress, Blogger...

4 Comments

  1. නමෝ බුද්ධාය!
    කරුණාකර පංච සේක බල සහ මෙම ලිපියේ සඳහන් සේක බල අතර වෙනස පෙහෙදිලි කරන්න.මේ දෙකම එකක්ද නැතිනම් දෙකක්ද?

  2. නමෝ බුද්ධාය!කලණ මිතුරු ඇසුර නිතර ලැබේවා

  3. Sadu , Sadu Sadu..Deunu wena sekabala thawathwath deunu weemata mema lipiya bohoupakarayakmai

  4. Namo buddhaya!

    ane sadu..sadu.sadu…….!!! uthum kalyanamithrayan wahanselage asura maha sepahakmai. shanthiyakmai. uthum kalyanamith uththamayan wahanselage asuramai watinne. sada wasanawakmai. godak pin. Namo buddhaya!

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: