subscribe

ද්වේෂය නොමැති තැන ධර්මයේ සුවය ඇත.

ද්වේෂය නොමැති තැන ධර්මයේ සුවය ඇත.

අපි භාග්‍යවතුන්  වහන්සේගේ  අවබෝධය අදහා ගන්ට දක්ෂ වෙන්ට ඕනෑ. එතනින් ම තමයි අපි සංසාර ගමනෙන් නිදහස් වෙන්ට පටන් ගන්නෙ. ඒක ම තමයි අපට කරගන්ට අමාරු. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තොත්, අපි සංසාරෙන් නිදහස් වෙන්ට පටන් ගන්නව. ඒ අවබෝධය අදහා ගත්ත ගමන් එයා සද්ධානුසාරී කෙනෙක් බවට පත්වෙනව. අපිට අමාරු ඒක කරන්නයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගන්න අමාරු හේතුව ඇයි? නුවණ මදිකම. අපි කොහොම හරි වෑයම් කළොත්, ඒ අවබෝධය අදහා ගන්ට අපිට පුළුවන්කම තියෙනවා, සද්ධානුසාරී කෙනෙක් බවට පත් වෙන්ට. ඒ නිසා මුළු ජීවිත කාලයම හරි කමක් නෑ, මහන්සි වෙන්න, උත්සාහ කරන්න ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මයට පහදින්න. එයාට අවස්ථාව තියෙනව සංසාරෙන් නිදහස් වෙන්ට.

අමාරුම දේ තමයි අපි ඉස්සෙල්ලා ම කරගත යුත්තේ, ඉතුරු ටික ඊට පස්සෙ කෙරෙනව. යම් කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට පැහැදුනොත්, ශ‍්‍රද්ධාව ඇති වුනොත්, ඊට පස්සෙ එයාට මොකක්ද ඇති වෙන්නෙ? එයාට ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ධර්මය අවබෝධ කරගන්ට, පුරුදු කරගන්ට කැමැත්ත උපදිනව. කැමැත්ත ඉපදුණ කෙනා, ඒ සඳහා වෑයම් කරනව. ඒ වෑයම් කරන කෙනාට, ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් ද ප‍්‍රකාශ කළේ, ඒ පිළිබඳව එයාට වැටහීමක් ඇති වෙනව. එතකොට එයාට වීරිය උපදිනව. එයා වීරියෙන් ඒ ධර්මය පුරුදු කරනවා. එයා ඒ ධර්මය අවබෝධ කරනව. එහෙනම් අපි මහන්සි වෙලා කරගත යුතු දේ මොකක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. අපිට අමාරු ඒකම යි. අපිට ඒක අමාරු වෙන්නෙ නුවණ මදිකම නිසා. නුවණ තිබුණ නම්, අපි අපේ හැකියාව අත හැරල දාල, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන දේට කැමති වෙනව, ඒකට එකඟ වෙනව.

අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන දේට බලවත් පැහැදීමක් ඇති කරගන්ට ඕනැ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන ගොඩක් අයට භයක් උපදිනව. ඊට පස්සෙ එයා මතුපිටින් තමයි ධර්මය අත පත ගාන්න කල්පනා කරන්නෙ. හරියට සැක සහිත දෙයක් අල්ලන්න වගේ. භයෙන් එයා අල්ලන්නෙ. ඒ එයා භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්ට දක්ෂ නැති නිසා. යමෙක් භය නැතුව භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තොත් එයාට මොනතරම් යහපතක් උදාවෙනවද කියල තේරුම් ගත යුතුයි. මේ කරුණ තේරුම් ගන්ට පුළුවන් ලස්සන දේශනාවක් කියල දෙන්ට අපි කල්පනා කළා.

මේ දේශනාවේ නම ”දෝස සූත‍්‍රය”. ද්වේෂය අත්හැර දැමීම ගැන වදාළ දෙසුම. මේ දේශනාවේ මේ විදිහට තියෙනව, ”භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ, අරහත් මුණිදානන් මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්ට ලැබුනේ. පින්වත් මහණෙනි, එකම දෙයක් අත්හැර දමන්න. එතකොට ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනව. ඒ එකම එක දේ මොකක්ද? ”ද්වේෂය” නම් වූ ඒ එකම දෙය අත්හරින්න. එතකොට ඔබ අනාගාමී වෙන බවට මම ඇපවෙනව”.එහෙම නම් බලන්න මේ ධර්මය අදහා ගත්තොත් යම් කෙනෙක්, එයාට ඒ ධර්මයෙන් පිහිටක් ලබාගන්ට බැරිද? පුළුවන්. එයා නියත වශයෙන් ම මේ ධර්මයෙන් පිහිට ලබාගන්නව. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනව, ”පින්වත් මහණෙනි, මේ ද්වේෂය කියන එකම එක දේ අතහැරල දාන්න. එහෙම අතහරින කෙනා අනාගාමී වෙන බවට මම ඇපවෙනව” කියල දේශනා කරනව.

යම් කෙනෙක් ”මේක ඇත්තක්, මේක සත්‍යයක්” කියල, මේ ධර්මය අදහා ගත්තොත් එයා කැමති වෙනවා, මේ ධර්මය පුරුදු කරගෙන තමන්ගෙ ජීවිතයට පුමුණුවා ගන්ට. අන්න එයාට යම් කලකදී මේ ධර්මය අවබෝධ කර ගැනීමේ භාග්‍ය උදාවෙනව. කැමති වෙන කෙනා වෑයම් කරනව. වෑයම් කරන කෙනාට වීරිය ඉපදෙනව. එයා ඒ ධර්මය අවබෝධ කරනව. යමෙක් මේ ධර්මය අවබෝධ කරගන්ට කැමති වුණොත් කැමති වෙන්නේ, මේ ධර්මයට පැහැදුණොත් පමණයි. පැහැදුණ කෙනා මේ ධර්මය අවබෝධ කර ගන්න කැමතියි. ඊට පස්සෙ එයා මොකද කරන්නෙ. එයා ද්වේෂයට කැමති නෑ. ද්වේෂයට අකමැතියි. එයා ද්වේෂයට, තරහ එන ගතියට අකමැතියි. ඒක දුරුකරන්ටයි කැමති. එතකොට එයා මොකද කරන්නෙ? එයා හොඳට සිහියෙන් ඉන්නව. සිහියෙන් ඉන්ට හුරුවෙනව. සිහියෙන් ඉන්න කොට එයාට තේරෙනවා එයා තුළ ද්වේෂය හටගන්නවා. එතකොට එයා ද්වේෂයට අකමැති හිත පවත්වන්ට කැමති වෙනව.

අපි තමන් තුළ ද්වේෂය තියෙන බව දැනගන්ට ඕනැ. ද්වේෂය හටගන්නවා දැනගන්ට ඕනැ. එතකොටයි ද්වේෂය අතහරින්න වුවමනා කටයුතු කරන්ට කැමති වෙන්නෙ. ද්වේෂය තියෙනවා කියල දැනගත්තොත්නේ.. එයා අතහරින්නෙ. එයා ද්වේෂය තියෙනවා කියල දන්නෙ නැත්නම්, කොහොමද අතහරින්නෙ? එයා කියයි ”නෑ මට තරහ එන්නෙ නෑ. මම හොඳට ඉන්නව” කියල. ඒ නිසා අපි දැනගන්ට ඕනැ ද්වේෂය අපි තුළ තියෙනවා කියල. එහෙම දැනගන්ට හැකිවෙන්නෙ සිහියෙන් හිටියොත්. එහෙම නැත්නම් ද්වේෂය ඇවිල්ල, ද්වේෂයට යටවෙලා තමන් අකුසලූත් කරල. තමන් දන්නෙම නෑ. මොකද? සිහිය නැති නිසා.

එහෙනම් ද්වේෂය අතහරින්න කැමති කෙනා විසින් මොකක්ද කරන්නෙ? එයා සිහියෙන් වාසය කරනවා. එතකොට එයාට තේරෙනවා මා තුළ ද්වේෂය හටගන්නවා. ඊටපස්සෙ එයා ”කොහොමද ද්වේෂය හටගන්නේ” කියල තේරුම් ගන්ට උත්සාහ කරනවා. එයා කොහොමද ඒක තේරුම් ගන්නෙ? එයා දන්නෙ නෑනෙ ද්වේෂය හටගන්න අකාරය. එයා ද්වේෂය හටගන්නෙ කොහොමද කියල ඉගෙන ගන්ට උත්සාහ කරනව. වෑයම් කරනවා. එතකොට එයා මොකද කරන්නෙ? එයා කල්‍යාණ මිත‍්‍ර ඇසුරේ වාසය කරනව. කල්‍යාණ මිත‍්‍රයා සද්ධර්මය කියා දෙනව. ඒ ධර්මයට අනුව කල්පනා කරනකොට එයාට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනව, මේ විදිහටයි ද්වේෂය හටගන්නෙ කියල. කල්‍යණ මිත‍්‍ර ඇසුරේ තවදුරටත් ඉන්නකොට සද්ධර්මය ශ‍්‍රවණය කරන්ට ලැබෙනව. ඒ ධර්මයට අනුව කල්පනා කරන කොට, එයාට තේරෙනවා මේ විදිහටයි ද්වේෂය නැති වෙන්නේ. එයා ද්වේෂය හටගන්න විදිහත්, ද්වේෂය නැති වෙන විදිහත්, ඉගෙන ගන්නව. ඊට පස්සේ එයා ඒ ඉගෙන ගත්ත දේ පුරුදු කරනවා. එතකොට ද්වේෂය එනකොට එයා ඒකට අකමැති හිතින් වාසය කරනවා. ද්වේෂයට හිත යට වෙන්ට දෙන්නෙ නෑ. ඊලඟට එයා ද්වේෂය නැති වෙන විදිහට හිත පුරුදු කරනවා.

මේ විදිහට වාසය කරන කොට එයා, නීවරණ පෝෂණය වෙන්ට දෙන්නෙ නෑ. දැන් අලූත් දෙයක් ඉගෙන ගත්ත නිසා මෙයා ප‍්‍රබෝදයෙන් ඉන්නෙ,”මම කලින් නොදත් දෙයක් ඉගෙන ගත්තා” කියල. ඒ නොදත් දේට බලවත් කැමැත්තෙන් ඉන්නව. එතකොට එයා අලූත් ජීවිතයක් ගතකරන්නේ. ජීවිතේ අලූත් වුනා.ඒ වගේම එයාගෙ ජීවිතේ නැවුම්. ප‍්‍රබෝධයෙන් ඉන්නෙ. ප‍්‍රබෝධයෙන් ඉන්න කෙනා තුළ නීවරණ පෝෂණය වෙන්නෙ නෑ. නීවරණ දුර්වල වෙන්ට පටන් ගන්නව. එයාට සුවපහසුවෙන් බණ භාවනා කරන්ට පුළුවන් කලක් එනව.

එයා තමන් තුළ උපන් කැමැත්තෙන් බණ භාවනා කරනව. එයා කුමක් සඳහා ද බණ භාවනා කරන්නේ? ද්වේෂය නැති කිරීම පිණිස තමන් තුළ උපන් කැමැත්තකින් එයා බණ භාවනා පුරුදු කරනවා. එතකොට කලක් එහෙම කරනකොට නීවරණ දුර්වල වෙලා යනව. ප‍්‍රීතිය ඇතිවෙනව, පස්සද්ධිය ඇතිවෙනව, සමාධිය ඉපදෙනව. සමාධිය තවදුරටත් පුරුදු කිරීමෙන් එයාට ද්වේෂය දුරු කරගන්ට ලැබෙනව. එහෙනම් ඒ විදිහට තමන් තුළ තිබෙන අකුසල් දුරුකරන්ට නම්, ඒකට කැමති වෙන්ට ඕනැ. කැමති වෙන්ට නම් ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ඒකාන්ත වූ සත්‍යයට අපි පහදින්න ඕනැ. ඒ සත්‍යයට පැහැදුනේ නැත්නම්, ඒ ධර්මය අවබෝධ කරගන්ට අපි තුළ කැමැත්තක් ඉපදෙන්නෙ නෑ.එයාට ඒ ධර්මය අහද්දිත්, කියද්දිත් තැති ගැනීමක් තමයි හටගන්නෙ. යාන්තම් ගෑවිච්ච ආසාවක් තියෙනව. යාන්තම් ගෑවිච්ච ආශාවට පොත පත බලනව, කියන්න උත්සාහ කරනව. නමුත් ඒ ධර්මය පුරුදු කරන්ට බයක් එනව. අන්න ඒ භය සම්පූර්ණයෙන් නැතිවෙලා යන්නේ මේ ධර්මය කෙරෙහි හොඳ විශ්වාසයක් ඇති කරගන්න කෙනාට. අන්න එයාට කිසි බයක් නෑ. ඉතා සුවපහසුවෙන් ධර්මය පුරුදු කරගන්නව.

එනිසා ඔබ කිසිසේත් භයවෙන්ට එපා, මේ ධර්මය විශ්වාස කරන්න. මේක අදහාගන්න. අදහගත්ත කෙනා පාඩුවෙ පුරුදු කරනව. ඒක දවසකින් දෙකකින් පුරුදු කරන්ට බෑ. මොකද ධර්මය අවබෝධ කරනවා කියන එක අමාරු දෙයක්. කොච්චර කාලයක් යයිද කියල කියන්නත් බෑ. ඒ ධරමය විශ්වාස කරපු කෙනා, භව හතකින් හරි මේක පුරුදු කරල සසර ගමන අවසන් කරනවාමයි. ඒ නිසා අපි කළ යුත්තේ මේ ධර්මය විශ්වාස කරන එක. ඒ අවබෝධය අදහා ගත්ත කෙනාට සමහර විට මේ ජීවිතයේදී ම ගමන අවසන් කරන්ටත් පුළුවන් කම තියෙයි. බැරිවුණොත් ඊලඟ ජීවිතයේදී හරි එයා ධර්ම මාර්ගය සම්පූර්ණ කරගනියි. වැඩිම වුනොත් භව හතක් දක්වා විතරයි මේ ගමන ගෙනියන්නෙ. එයාට ඒකාන්ත වශයෙන්ම පුළුවන්කම ලැබෙනව සංසාර ගමන අවසන් කරල දාන්න. එනිසා භය වෙන්න එපා. භය නොවී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගන්න. ඒ පැහැදීම ඇති කර ගත්ත කෙනාගේ ඒ පැහැදීම ඇති වන්නේ තමන්ගෙ හිතේ. පැහැදීම ඇතිවුණ කෙනාගේ ස්වභාවය තමයි, එයා කියාගෙන යන්නෙ නෑ, මම මෙහෙම කරනව. මට මෙහෙම පුළුවන් කියල. පැහැදීම තියෙන කෙනාගේ පැහැදීම තියෙන්නේ චිත්ත අභ්‍යන්තරයේ. එයාට කරන්ට කටයුතු තියෙනවා.

දවසින් දවස, දවසින් දවස එයාගෙ කටයුතු සංවර බවට පත්වෙනව. වැඩක් නැති දේ අතහරිනව. ඒකෙන් තමයි තේරෙන්නෙ පැහැදීම. අනවශ්‍ය දේ අත හරින්න පටන් ගන්නව. අනවශ්‍ය දේ මොනවද? කායික දුෂ්චරිතය, වාචසික දුෂචරිතය, මානසික දුෂ්චරිතය. හිස් දේවල් අත හරින්ට පටන් ගන්නව. ඇයි..? එයාට බලවත් දෙයක් කරන්ට තියෙනව. ඒ බලවත් දේට එයා වෑයම් කරනව. එයා රේස් දුවන් නෑ. රේස් දුවල බලවත් දේ කරන්න බෑනෙ. ධර්මය කෙරෙහි හොඳට පැහැදුණ කෙනාගේ ස්වභාවය තමයි ඉවසීම තියෙනව, සංවරකම තියෙනව, කීකරුයි, නිහතමානී. ඇයි..? එයාට බලවත් කටයුත්තක් කරන්ට තියෙනව. එයා උපරිම වශයෙන් කීකරුවෙනව. නිහතමානීකම උපරිම වශයෙන් හදාගන්නව. ඇයි..? එයාට ලොකූ දෙයක් කරගන්ට තියෙනව. ලොකූ ඉලක්කයක් කරා යන්ට තියෙන කෙනා, කීකරු වෙනව, නිහතමානී වෙනව, එයා ඉවසීමෙන් ධර්මය පුරුදුකරගෙන යනවා. එතකොට අනවශ්‍ය දේ බැහැර වෙලා යනව. අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන පරම ගම්භීර ධර්මයට කැමතිවුනොත්, පැහැදුණොත් අපිට මේ ජීවිතය අතිශයින් ම වාසනාවන්ත ජීවිතයක් බවට පත්කර ගන්ට පුළුවන් කම තියෙනව.

ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනා කියවන්න. කියවල මේ දේශානාවලට බලවත් වූ පැහැදීමක් ඇති කර ගන්න. ඒක පහුවෙලා කරන එකක් නෙවෙයි. හිත නොමඟ යන්ට කලින්, ධර්මය කෙරෙහි පැහැදීමක් උපදවගන්න.එතකොට එයා නොමගට යන්නෙ නෑ. එයා සුමගම යි. පාර වැරදුනයින් පස්සෙ හරි මගට එන එක නොවෙයි හපන්කම. වරදින්න කලින් හරි මාර්ගයට වැටෙන එක. හරි මාර්ගයට වැටෙන්නෙ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන්.

මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ විසින් එක එල්ලේ ප‍්‍රකාශ කරල තියෙන, නිර්භයව ප‍්‍රකාශ කරල තියෙන, ඍජු ප‍්‍රකාශ සහිත ධර්මයට බය වෙන්ට එපා. ධර්මය තුළ නිර්භයව ප‍්‍රකාශ කරනව ”මෙහෙම වුනොත්, මෙහෙම වෙනවා” කියල. මේ ධර්මය අදහා ගන්න කෙනා තුල නිර්භය භාවය උපදිනවා කියන එකට තර්කයක් නෑ නේද? ධර්මය තුළ නිර්භය ප‍්‍රකාශ තියෙනව. ඒ ප‍්‍රකාශය අදහා ගන්න කෙනා තුළ නිර්භය බවක් එනවද, නැද්ද? එනවා. ධර්මය අදහා නොගන්න කෙනා තුළ භය උපදිනවා කියන එක ගැන කතා කරන්ට දෙයක් නෑ. ඒ ධර්මය අදහා ගත්ත කෙනා තුළ නිර්භය බව තියෙනව. නිර්භය භාවය කියල කියන්නෙ කිය කියා යන එක නෙවෙයි. නිර්භය භාවය තුළ තියෙන්නෙ සංවර වීම. එයා සංවර වෙලා තම තමන්ගෙ කටයුතු පාඩුවෙ කරගන්නව. මේක ඉතාම දුෂ්කර දෙයක්. ඉතාම අමාරු දෙයක්. ටික දෙනෙක් විසින් කරන දෙයක්. බොහෝ දෙනා මේක කරන්නෙ නෑ. ටික දෙනෙකුටයි මේ අමාරු කටයුත්ත කරගැනීමේ භාග්‍ය උපදින්නෙ. ඒ නිසා ඒ අමාරු කටයුත්ත කිරීම සඳහා භාග්‍ය උදාකරගන්ට නම්, මේ ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගන්න. අල්පමාත‍්‍ර පැහැදීමක් ඇතිවුණත් එයාට මහා ලාභයක් සිද්ධවෙයි. බලවත් පැහැදීමෙන් යුතු කෙනා ඒකාන්තයෙන් බලවතෙක් වෙනවා.

ඒ නිසා පූර්ණ වශයෙන් ඒ ධර්මය කෙරෙහි විශ්වාසය ඇති කර ගන්න කල්පනා කරන්න. ශ‍්‍රද්ධාව උපදවා ගන්ට කල්පනා කරන්න. ධර්මය පාඩම් තිබීම ශ‍්‍රද්ධාව නෙවෙයි. ඒකට රැවටෙන්න එපා. ධර්මය කියන්ට පුළුවන්කම තිබීමත්, ශ‍්‍රද්ධාව නෙවෙයි. ඒකටත් රැවටෙන්න එපා. ධර්මය මතක තිබීම, බොහෝ කියවා තිබීම, ඊලඟට ධර්ම කාරණා විස්තර කරන්ට පුළුවන් කම, තිබූ පමණින්ම ඒවා ශ‍්‍රද්ධාව, අදහා ගැනීම නෙවේ. ධර්මය අදහා ගත්ත කෙනාගේ ස්වභාවය තමයි නිහතමානීව, කීකරුව කළබල නොවී ධර්මය පුරුදු කරගන්ට මහන්සි වීම. ඒ නිසා අපි ආශිර්වාද කරනව, මේ සියලූ දෙනාට ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ඉගෙන ගෙන, ඒ ධර්මය කෙරෙහි බලවත් පැහැදීම උපදවා ගන්ට වාසනාව උදාවේවා කියල.

නාවලපිටියේ අරියවංශ හිමි

‘දිවයින බුදු මඟ’ ධර්ම සංග්‍රහයෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි.

Related Posts Plugin for WordPress, Blogger...

1 Comment

  1. sadhu……sadhu…..sadhu…..

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: