subscribe

සංවේගය උපදවා ගනිමු…

සංවේගය උපදවා ගනිමු…


මරණ සති භාවනාව, අපේ සිත දමනය කරගන්ට බෝහෝ උපකාරී වන භාවනාවක්. විශේෂයෙන් තමාගේ මරණය ගැන භාවනාවක් විදිහට සිහි කිරීමෙන් තමා තුළ තිබුන නොසන්සුන් බව දුරුවෙලා යනවා. ඇලෙන ගැටෙන ස්වභාවය දුරුවෙලා සංසිදෙන්ට පටන් ගන්නවා. ඒ විදිහට තමාගේ සිතේ ඇලෙන ගැටෙන ස්වභාවයන් සංසිදෙන්ට සංසිදෙන්ට අනෙකුත් බණ භාවනාවන් පුරුදු කර ගැනීම පහසු දෙයක් බවට පත්වෙනවා.

භාවනා පුරුදු කිරීමේදී ගොඩාක් අයට තියන ගැටලූවක් තමයි ඒ භාවනාවෙ හිත පිහිටන්නෙ නෑ, හිත විසිරෙනවා, හිත දුවනවා කියන ප‍්‍රශ්නෙ. හිත දුවනවා කියන්නේ හිත එක පැත්තකට ඇලි ඇලී යනවා, තව පැත්තකින් ගැටි ගැටී යනවා. මේ ස්වභාවයන්ට ගොදුරු වෙලා තියෙද්දී යම් භාවනාවක් කරගන්ට ගියාම එයා අපහසු තාවයට පත්වෙනවා . නමුත් යම් කෙනෙක් මරණ සතිය හොඳින් පුරුදු කරනවා නම් එයාගෙ හිතේ තියන ඒ ඇලෙන ගැටෙන ස්වභාවය,ඒ වගේම හිත ඉබාගාතේ දුවන ස්වභාවය දුරුවෙලා සිත සංසිදෙන්ට පටන් ගන්නවා. එහෙම වෙන්ට හේතුව තමයි මරණය ගැන සිහි කරන්ට සිහි කරන්ට එයාගෙ හිත තුළ සංවේගය උපදිනවා. සංවේගය කියල කියන්නේ සිතේ තියන කළබල ස්වභාවය, නොසන්සිඳුන ස්වභාවය බැහැර වෙලා ඇලී ඇලී යන ස්වභාවය බැහැර වෙලා, ගැටී ගැටී යන ස්වභාවය බැහැර වෙලා ඇවිස්සෙන ස්වභාවය බැහැර වෙලා ගිය තත්වයක්.

හොඳින් කල්පනා කරල බලන්න මල ගෙදරකට ගියපු වෙලාවකදි, මරණයක් දැකපු වෙලාවකදි මිනිස්සු තුළ නිහඬ බවක් තියෙනවා දැකල තියනවද? ඉතාම කළබල දාමරික මට්ටමේ අය වුනත් එබඳු අවස්ථාවන් වලදී කළබල ස්වභාවය අඩු කරගෙන තැන්පත් බවක් ඇති කරගෙන වාසය කරනව ඔබ දැකල තියනවද? ඒ කළබල ස්වභාවය නැති වුනේ ඇයි? සංවේගය ඉපදීමෙන්. එතකොට බලන්න පුංචි වෙලාවක් යම් කෙනෙකු තුළ සංවේගය ඉපදීමෙන් ම එයා යම් විදිහකින් නිහඬ කෙනෙක් බවට පත් වෙනව නේද? එහෙනම් කෙනෙක් මරණය ගැන බහුල වශයෙන් සිහි කරනවා නම්, නිතර මරණ සතිය වඩමින් වාසය කරනවා නම්, මරණය ගැන සිතන ස්වභාවය සිතේ හොඳින් පිහිටුවා ගෙන වාසය කරනවා නම්, එයාගෙ සිත සංවේගයට පත් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, ”පින්වත් මහණෙනි, කරුණු දෙකකින් සමන්විත භික්ෂුව මේ ජීවිතයේදීම ගොඩාක් සතුටින් ගොඩාක් සැපෙන් වාසය කරනවා.ඒ කරුණු දෙක මොකක්ද? සංවේගයට පත්විය යුතු තැන් වලදී සංවේගයට පත්වීමත්, එසේ සංවේගයට පත්වෙලා නුවණින් යුක්තව වීරිය කිරීමත් කියන කරැණු දෙක.පින්වත් මහණෙනි, මෙන්න මේ කාරණා දෙකින් යුක්ත භික්ෂුව ගොඩාක් සතුටින් ගොඩාක් සැපෙන් වාසය කරනවා. ඒ නිසා ඹහු අරහත්වය පිණිස වුවමනා වැඩපිලිවෙලත් පටන් ගත්තා වෙනවා” කියල.(සොමනස්ස සූත්‍රය,ඛු.නි.1) එතකොට බලන්න සංවේගය උපදවා ගැනීම කියන කාරණාව අතිශයින් ම වැදගත් දෙයක් නේද?

සංවේගය ඉපදීමකින් තොරව මේ ධර්මය අවබෝධ කරගැනීම පිණිස උවමනා වැඩපිලිවෙලට එන්ට බෑ. ඇයි එන්ට බැරි? ධර්මය අවබෝධ කරගැනීම පිණිස උවමනා වැඩපිලිවෙලට එන්ට නම් එයා නුවණින් සලකළ වීරිය කරන්ට ඕනැ. නුවණින් කල්පනා කරල, වීරිය උපදවා ගැනීමෙන් තමයි මාර්ගයට එන්නේ. නුවණින් කල්පනා කරල, වීරිය උපදවා ගැනීමට නම් එයා තුළ සංවේගය උපදින්ට ඕනැ. සංවේගය කියල කිව්වේ හිතේ කළබල ස්වභාවය, දඟලන ස්වභාවය, ඇවිස්සිලා ගිය ස්වභාවය දුරුවෙලා, තාවකාලිකව ඇතිවෙන සංසුන් බවක්. ඒ කියන්නේ අඬන වැළපෙන එක නෙමෙයි. විනෝද වෙන එකත් නෙමෙයි. ඇලි ඇලී ගිහිල්ලත් නෑ. ගැටි ගැටී ගිහිල්ලත් නෑ. ඒ දෙකම අයින් වෙලා තාවකාලිකව සිතේ ඇතිවෙන නිහඬ බවකට තමයි සංවේගය කියන්නේ. විශේෂයෙන් ”හිස්” බව ගැන යම් අදහසක් සිතේ උපදිනවා.

ඒ නිහඬ බව තුළ තියන අදහස තමයි “සංස්කාර හිස් දෙයක් නේද? අර්ථ රහිත දෙයක් නේද?” කියන අදහස. එයටයි සංවේගය කියල කියන්නේ. අන්න එබඳු අදහසක් සිතේ ඇති වුනාම එතන ඇලි ඇලී යන, ගැටි ගැටී යන ස්වභාවය තාවකාලිකව නතර වෙනවා. එසේ ඇලි ඇලී යන්නේ ආසාවකින්. අන්න ඒ ස්වභාවයට අකමැත්ත ඉපදිලා, තාවකාලිකව යමක් කෙරෙහි සිතේ තියන කැමැත්ත අඩුවෙලා, ගැටි ගැටී යන ස්වභාවයට අකමැත්ත ඉපදිලා, හිත යම් මෙල්ල වීමකට ඇවිල්ල. සංවේගයට පත්වීම කියන්නේ අන්න එබදු ස්වභාවයක්.

යම් කෙනෙක් සංවේගයට පත්වෙලා නුවණින් යුක්තව කල්පනා කරනකොට එයාට, තමන් කරන කියන බොහෝ කටයුතු වල අර්ථශූන්‍ය බව වැටහෙනවා . “මොනවටද මේ අර්ථ රහිත දේවල්. අපි මැරිල යන මිනිස්සු. හිස් වැඩ කරල වැඩක් නෑ” කියන අදහස එයාට ඉපදෙනවා. “හරයක් නැති දේවල් කරපුවාම පව් සිද්ද වෙනවා. පව් කළොත් දුක් විපාක විඳින්ට වෙනවා නේද? පිනක් දහමක් කර ගත්තොත් සුගතියේ හරි ඉපදෙන්ට පුළුවන්” කියන අදහස සංවේගය පත්වෙලා නුවණින් යුක්තව කල්පනා කරන කෙනාට උපදවා ගන්ට පුළුවන්. එයාට තේරෙනවා “උපන් කෙනා මැරිල යනවා. ජීවිතේ තාවකාලිකයි. අපි මේ පැවැත්මක් ගැන හිත හිතා කරපු දේ දාල යන්ට වෙනවා.අපිට ගෙනියන්ට රැස් කරගත්ත දෙයක් නෑනෙ. මෙතෙක් කළ දේ හිස්” කියල එයාට තේරෙනවා.අන්න ඒකට තමයි නුවණින් සලකනව කියල කියන්නේ. මැරෙන්නේ නෑ වගේ හිතාගෙන කළ දේවල්, ප‍්‍රාර්ථනා පොදි බැඳගෙන ආව ගමන මරණයෙන් ඉවරයි කියල එයාට තේරෙනවා. එහෙම හිතෙන්නේ සංවේගය පත්වෙලා නුවණින් යුක්තව කල්පනා කරන විටයි.

ඒ විදිහට තමන් කරන ඇතැම් කටයුතු වල අර්ථ රහිත බව තේරෙන කොට එයාට කල්පනා වෙනවා “අර්ථ රහිත ජීවිතයක් තුළ ඉඳගෙන පාපී ක‍්‍රියා නොකළ යුතුයි. කුසල් දහම් පුරුදු කළ යුතුයි” කියල . ඒ විදිහට නුවණින් යුතුව කල්පනා කරන කොට වීරිය උපදිනවා. අන්න ඒ විදිහට නුවණින් සලකළ වීරිය උපදවාගත් කෙනා තුළ පවට ලැජ්ජාව උපදිනවා. ඒ වගේම ඒ නරක දේවල් වල දුක් විපාක සිහි වෙනවා. එතකොට එයා තුළ වැරදියි කියල සම්මත දේවල්, දුෂ්චරිතය ගැන භය උපදිනවා. ඒ විදිහට ලැජ්ජා භය උපදින්නේ කොහොම කෙනා තුළද? සංවේගයට පත්වෙලා නුවණින් යුක්තව කල්පනා කරන කෙනා තුළ. එයා තුළ ත්‍රිවිධ දුෂ්චරිතය ගැන ලැජ්ජාව, භය උපදිනවා. අන්න එයාට සිහි නුවණ හොඳින් පිහිටනවා. ලැජ්ජාවත් භයත් ඉපදෙන කොට වීරිය උපදිනවා.

එතකොට සංවේගයට පත්වෙලා නුවණින් යුක්තව කල්පනා කරන කෙනා තුළ සිහි නුවණ ඉපදෙනවා, වීරිය ඉපදෙනවා. එහෙම වෙන්නේ එයා තුළ දුෂ්චරිතය කෙරෙහි ලැජ්ජා භය ඉපදීමෙන්. ලැජ්ජා භය උපදින කෙනාට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්ට පුළුවන්. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්ට නම් එයා තුළ වීරිය තියෙන්ට ඕනැ නේද? රාගය ඇති වෙන්ට උපකාර වන ප‍්‍රිය මනාප රූපවල නිමිති නොගෙන ඉන්ට, ඒව නොබල ඉන්ට නම් අප තුළ වීරියක් තියෙන්ට ඕනැ. ඒක පුංචි වීරියකින් පුලූවන්ද? බෑ. ඒකට බලවත් වීරියක් ඕනැ. එහෙම නැත්නම් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත ගින්නට වේගෙන් ඇදිල යන පලගැටිය වගේ වේගයෙන් රාගය උපද්දවන නිමිති ඔස්සේ දුවනවා. අපිටත් හොරෙන් ඇස පි‍්‍රය මනාප රූප බලල නිමිති අරගෙන රාගය උපද්දවගෙන ඉවරයි. අපි හිතන්ටත් කළින් පලගැටිය ගින්නට වහල පිච්චිල යනව වගේ තමයි මනුෂ්‍යයාත්, හිතන්ට කළින් ඇසින් රූප බලල සටහන් අරගෙන සිහි කරල රාගය උපද්දගෙන සිත පුච්චගෙන දවාගෙන ඉවරයි. එබඳු අනතුරකින් ගැලවෙන්නට ලොකු වීරියක් ඕනැ. විශාල වීරියක් ඕන. අන්න ඒ වීරිය උපදින්නේ සංවේගයට පත්වෙලා නුවණින් යුක්තව කල්පනා කරන කෙනා තුළ.

ඒ විදිහට නුවණින් කල්පනා කරන කෙනා තුළ හිරි ඔතප් උපදිනවා. හිරි ඔතප් උපදින කෙනා තුළ ඉන්ද්‍රිය සංවරය පිහිටනවා. ඉන්ද්‍රිය සංවරය පිහිටියාට පස්සෙ එයා තුළ සංසිඳීම තියනවා. රාගය නිසා පීඩා විදීම දුරුවෙලා යනවා. අඩුවෙනවා. එතකොට එයාගෙ සිල්පද රැකෙන්න පටන් ගන්නවා. සිල්පද රැකෙන්ට රැකෙන්ට සිත සතුටු වෙනවා. සිතේ ප‍්‍රබෝධය ඇති වෙනවා. සිල් පිරෙනවා. සිල් පිරෙන්ට පිරෙන්ට එයා තුළ පසුතැවෙන ස්වභාවය නැති වෙනවා. පසුතැවෙන ස්වභාවය නැතිවෙන කොට එයා තුළ මහත් වූ පහසුව ඇති වෙනවා. මේ විදිහට මහත් වූ පහසුවෙන් වාසය කරන කෙනාට බණ භාවනා කිරීම පහසුයි. දැන් එයා අසුභ සංඥාව පුරැදුකරන කොට එයාගෙ හිතේ අසුභ සංඥාව පිහිටනවා.

දැන් එයා කියයි ද? ”මට අසුභය වැඩෙන්නේ නෑ, පිහිටන්නේ නෑ” කියල. දැන් එයා කියයිද? මට ආයතන භාවනාව පිහිටන්නෙ නෑ” කියල? නෑ. එයා තුළ භාවනාව පිහිටල. ඒ භාවනාව පිහිටියේ කොහොම කෙනා තුළද? සිතේ පසුතැවීම නිරුද්ධ වී ගිය කෙනා තුළ. සිතේ පසුතැවීම නිරුද්ධ වෙලා ගියේ කොහොම කෙනා තුළ ද? සීලය පරිපූර්ණ වූ කෙනා තුළ. සීලය පරිපූර්ණ වුනේ කොහොම කෙනා තුළ ද? ඉන්ද්‍රිය සංවරය පිරුන කෙනා තුළ. ඉන්ද්‍රීය සංවරය හොඳින් පිහිටුවා ගත්තේ කොහොම කෙනාද? ලැජ්ජා භය උපදවගෙන පුරුදු කරගෙන, පරිපූර්ණ කරගත්ත කෙනා තුළ. ලැජ්ජා භය ඉපදුනේ කොහොම කෙනා තුළ ද? නුවණින් කල්පනා කරල වීරිය උපදවාගත්ත කෙනා තුළ. නුවණින් කල්පනා කරල වීරිය උපදවාගන්න පුළුවන් වුනේ කොහොම කෙනාටද? සංවේගය උපදවාගත්ත කෙනාට. සංවේගය උපදවා ගත්තේ කොහොම කෙනාද? සංවේගය උපදින කරුණු තේරුම් ගත් කෙනා තුළ.

සංවේගය උපදින තැන්වලදී සංව්ගය උපදවා ගැනීමත්, නුවණින් සලකා කටයුතු කිරීමත් කියන කරුණු දෙක කරගෙන යනකොට එයා තුළ සිල් පිරෙනවා. එයා තුළ පසුතැවීම නෑ. දැන් එයා සොම්නසින් ඉන්නවා. දැන් එයාට සැප ලැබෙනවා. අන්න ඒකයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ, ”පින්වත් මහණෙනි, සංවේගය උපදින තැන්වල සංව්ගය උපදවා ගැනීමත් නුවණින් සලකා කටයුතු කිරීමත් කියන කරුණු දෙක ඇති කෙනා සොම්නසින් වාසය කරනවා. අරහත්වය පිණිස පවතින වැඩපිලිවෙලටත් පැමිණ වාසය කරනවා” කියල.

බලන්න සීලය පිරුන කෙනා සතුටින් වාසය කරනවා. එයාට බණ භාවනාව හොඳට කෙරෙනවා. එයාට අසුභය වඩන්න පුළුවන්. අනිත්‍යය සංඥාව වඩන්ට පුළුවන්. මේ විදිහට මේ භාවනාවන් පුරුදු කරගෙන යනකොට මෙයා තුළ සම්මා දිට්ඨිය උපදිනවා. ඒ කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙනවා. තවදුරටත් මේ ධර්මයම පුරුදු කරගෙන යනකොට මෙයා තුළ යම් ආසාවන් තිබෙනවා නම් ඒ ආසාවන් දුරු වෙන්න පටන් ගන්නවා. සකදාගාමී ඵලයට පත් වෙනවා. එයා තව දුරටත් මේ ධර්මයන් ම පුරුදු කරගෙන යනකොට අනාගාමී ඵලයට පත් වෙනවා. තවදුරටත් මේ ධර්මයන් පුරුදු කරගෙන යනකොට අරහත්වයට පත් වෙනවා.

මේ විදිහට සිද්ධ වෙන්නේ එයා සංවේගය උපදින තැන්වලදී සංවේගය උපදවා ගෙන නුවණින් සලකා වීරිය කිරීමෙන්. එයාට සේඛ බල උපදිනවා. සිල් පද පිරෙනවා. පසු තැවීම නැති වෙනවා. සමාධිය ඇති වෙනවා. සම්මා දිට්ඨිය උපදිනවා. තව දුරටත් භාවනා කරන කොට සමාධිය පරිපූර්ණ වෙනවා. සමාධිය පරිපූර්ණ වුන කෙනා තුළ යථාභූත ඤාණය උපදිනවා. යථාභූත ඤාණය ඇති වුන කෙනා තුළ ඒකාන්ත වශයෙන්ම අවබෝධයෙන් කළකිරීම උපදිනවා. අවබෝධයෙන් කළකිරුන කෙනා තුළ නොඇල්ම ඇති වෙනවා. නොඇල්ම ඇතිවුන කෙනා තුළ කෙලෙස් නිරුද්ධ වෙලා යනවා. කෙලෙස් නිරුද්ධ වුන කෙනා තුළ සංසිදීම ඇති වෙනවා. සංසිදුන කෙනා තුළ විශේෂ අවබෝධය ඇති වෙනවා. ආර්ය සත්‍යය අවබෝධ කරනවා. නිවන අවබෝධකර ගන්නවා.

අපට මේ ආකාරයට මේ ධර්මයන් පුරුදු කර ගැනීම පිණිස පදනමක් ඇති කරගන්ට උපකාර වුනේ කුමක්ද? සංවේගය උපදින කරුණු වලදී සංවේගය ඇති කරගැනීම. ඒ විදිහට සංවේගය උපදින කරුණක් තමා මරණය. මරණය ගැන සිහි කරන කොට අපේ හිතේ සංවේගය උපදිනවා. එහෙනම් තමාගේ මරණය, තමා මැරිල යන ආකාරය සිහි කරන්ට කරන්ට සංවේගය උපදිනවා. ඒ නිසා අපිට ධර්ම අවබෝධය පිණිස ධර්මය පුරුදු කරගැනීමට බලවත් උපකාරයක් ඇතිකර දෙන්නේ මරණ සතිය තුළින්. මරණ සතිය හොඳින් පුරුදු කරන කෙනා තුළ අනෙකුත් භාවනා හොඳින් පුරුදු කරගන්ට පුළුවන් කළක් එනවා. ඒ නිසා අපි නිතර මරණ සතිය පුරුදු කර ගන්ට පුළුවන් කෙනෙක් බවට පත් වෙන්ට ඕනැ.

එක පාරටම පුරුදු කර ගන්නට බැරිවෙයි. අපි මේ ධර්මය තේරුම් අරගෙන පිළිඅරගෙන ටික ටික පුරුදු කර ගන්ට ඕනැ. දැන් වැටහීමක් ඇතිවුනා නේද මරණ සතිය පුරුදු කිරිමෙන් අප තුළ නිවන් මග පිහිටන ආකාරය. නිවන් මග පිහිටල පරිපූර්ණත්වයට පත්වෙන ආකාරය. මේ සා සියුම් කරුණක් කළබල වෙලා කරගන්ට පුළුවන් ද? දැන් අපි පුංචි වෙලාවකින් මේ ධර්මය කතා කළා. ඒත් මේ ධර්මය පුරුදු කර ගන්න බොහෝ කාලයක් ගත වෙනවා. මේ ජඩ හිත එක පාරට සංවේගයට පත් වෙයි ද? නෑ. බහුල වශයෙන් මේක කරන්ට ඕන. බහුල වශයෙන් පුරුදු කර ගන්ට නම් හිමින් හිමින් උපක‍්‍රම ශීලීව මේ ධර්මය පුරුදු කර ගන්ට ඕනැ. උපක‍්‍රමයෙන් මේ ධර්මය පුරුදු කර ගත්තේ නැත්නම් බහුල වශයෙන් කරන්ට බැරුව යනවා. උපක‍්‍රමයෙන් මේ ධර්මය පුරුදු කර ගන්න නම් මේ ධර්මය නැවත නැවත කියවා ධර්මය කෙරෙහි විශ්වාසය උපදවා ගන්ට ඕනැ. උපදවා ගනිමින් මේ ධර්මය පුරුදු කරගෙන යන කොට අප තුළ ඒ ධර්මය පිහිටනවා. ධර්මය පිහිටියායින් පසුව අපිට බහුල වශයෙන් කරන්ට පුළුවන්.

මේ පින්වතුන් දැකළ තියනවද ඇගිල්ල උඩ රබන් කරකවන මිනිස්සු? අපිට හිතුනොත් අපිත් ඒ විදිහට කරකවන්ට ඕන කියල, එක පාරටම පුළුවන්ද? බෑ. ඒක පුහුණුවක ප‍්‍රතිඵලයක්. පුහුණු වෙලා තමයි එයා ඒක බහුලව පවත්වන්නේ. ඒ වගේ තමයි මේ බණ භාවනා පුරුදු කිරීම. මේ ධර්මය ඉස්සරවෙලා හොඳට පුරුදු කර ගන්ට ඕනැ. ඊට පස්සේ බහුලව ඒ ධර්මය පුරුදු කර ගන්න පුළුවන් කළක් එනවා. ඒ නිසා අපි මේ තත්වයන් හොඳට තේරුම් අරගෙන මේ භාවනාවන් හොඳට පුරුදු කර ගන්ට ඕනැ.

තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

2 Comments

  1. @ Sanasuma,
    You can check the old articles from http://dhammamedicine.net/category/rivira/

  2. mata dharma deshana pilibada patuna laba ganna puluwanda?

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: