subscribe

නිවන් මගෙහි දියුණුව ප‍්‍රත්‍යවේක්‍ෂා කරමු ….

නිවන් මගෙහි දියුණුව ප‍්‍රත්‍යවේක්‍ෂා කරමු ….

අපි පහුගිය සති කීපයේ ම කතාකළේ ”ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීම” ගැන. ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීම හොඳට පුරුදු කරගත්තොත්, අපිට බණ භාවනා කිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබාගන්න පුළුවන්කම තියෙනවා. ධර්මය පුරුදු කිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබාගන්න පුළුවන්කම තිබෙනවා. ධර්ම ශ‍්‍රවණය, ධර්ම සාකච්ඡාව, සමථ, විදර්ශනා කියන මේ අංග හතර පුරුදුකිරීමෙන් අපි අපේක්ෂා කරන්නේ, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරගැනීමයි.

අපි ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය හොඳින් පුරුදු කරනවාද? කියන කාරණාව නුවණින් විමසා බැලිය යුතුයි. ප‍්‍රත්‍යවේක්‍ෂා කරල බැලිය යුතුයි. එතකොටයි අපිට සතුටු සිතින් ඒ නිවන් මග පුරුදුකරන්ට පුළුවන්කම තිබෙන්නෙ. අපි භාවනා කළ පමණින් ආර්ය අෂ්ඨංගික මාර්ගය පුරුදුවෙනවා කියන දේ සිද්ධ නොවෙන්ට පුළුවන්. අපි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඉගෙනගෙන, හොඳින් හඳුනාගෙන, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුරුදු කරගන්නට ඕන. අපි තුළ ඒ මාර්ග අංග පිහිටුවා ගන්ට ඕනැ. එසේ පිහිටුවාගන්න ඒ මාර්ග අංග, පරිපූර්ණ වෙන්නෙ භාවනාව තුළයි. භාවනා කළ පමණින් අර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙනවා, කියන කාරණය ගැන කියන්න පුළුවන්කමක් නෑ. අපි එහෙනම් අර්ය අෂ්ඨාංගික මාර්ගය හඳුනාගෙන, ඉගෙනගෙන පුරුදු කරගන්ට ඕනැ. එසේ පුරුදු කරගන්න, ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන කුසලය අප තුළ පිහිටුවා ගන්න ඕන. එසේ පිහිටුවා ගත්ත, ඇතිකර ගත්ත, උපදවාගත්ත, කුසලය පරිපූර්ණ වන්නේ භාවනාව තුළයි. එතකොට භාවනාව තුලින් ආර්ය අෂ්ඨංගික මාර්ගය වැඩෙනවා.

එහෙනම්, අපි හොඳින් තෝරා බේරාගන්ට ඕන, තේරුම්ගන්ට ඕන ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, අපි පුරුදු වෙනවද? කියන කාරණාව. එහෙම නැතුව, අපි කරන්නන් වාලේ භාවනා කළ පමණින්, නිවන් මග පුරුදුවෙනවා කියල අපට හිතන්න අමාරුයි. ඒ නිසා ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඉගෙනගන්න. ඉගෙන ගෙන, ඒ මාර්ග අංග තමා තුළ පවතිනවාද? පුරුදු වෙනවාද? කියල හොඳින් බලන්න. එතකොට අපට තෝරා බේරාගන්ට පුළුවන්කම තියෙයි, ”තමන් ඒ නිවන් මග පුරුදු කරනවාද? නැද්ද?” කියන කාරණය.

හොඳට බලන්න, තමන් සම්මා දිට්ඨිය පුරුදු කරනවාද? කියල. සම්මා දිට්ඨිය තමන් ඇති කරගෙන වාසය කරනවද? කියල බලන්න. එතකොට යම් කෙනෙකුට තේරෙනවානම්, තමා තුළ සම්මා දිට්ඨිය පුරුදු වෙනව කියල, එයාට සතුටු සිතින් ඒ සම්මා දිට්ඨිය දියුණුකරගන්න පුළුවන්කම තියෙනවා. යමෙකුට තේරෙනවානම්, ”මා තුළ සම්මා දිට්ඨිය නෑ” කියල, එයාට තියෙන්නෙ සම්මා දිට්ඨිය ඇති කරගන්ට උනන්දු වීමයි. ඒ නිසා හොඳට බලන්න, තමන් තුළ සම්මා දිට්ඨිය තියෙනවද? සම්මා දිට්ඨිය පුරුදු වෙනවද? ඇති කරගන්ට මහන්සි වෙනවද? කියල. සම්මා දිට්ඨිය පුරුදු වෙනවානම්, ඇති කරගෙන වාසය කරනවා නම්, එයාට පුළුවන් ඒ ගැන සතුටු සිතින් දියුණු කරගන්ට. ඒ සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමට පුරුදු නොවෙන කෙනා, ඒ සම්මා දිට්ඨිය ඇතිකර ගෙන නැතිකෙනා, සම්මා දිට්ඨිය ඇතිකර ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්න.

අපි කවුරුත් දන්නව, සම්මා දිට්ඨිය කියල කියන්නෙ “චතුරාර්ය සත්‍යය පිළිබඳ ඇති අවබෝධයට” යි කියල. එතකොට ඒක ඇති කරගන්නේ, ධර්ම ශ‍්‍රවණය, යෝනිසෝ මනසිකරය, කියන අංග දෙක පුරුදු කිරීමෙන්. එතකොට ආර්ය සත්‍යය අහල, ඒ ආර්ය සත්‍යය ජීවිතයට ගළපලා බලමින් වාසයකරන කෙනාට, සම්මා දිට්ඨිය ඇතිකර ගන්ට පුළුවන්. ඒ විදිහට ධර්මයේ තියෙන ආකාරයෙන් අපි කල්පනාකළොත්, අපට සම්මා දිට්ඨිය ඇතිකරගන්ට පුළුවන්කම තියෙනවා.

ඒ සඳහා මහන්සිවෙනවද? කියල බලන්න. ඒ සඳහා කැමැත්ත උපදවාගෙන කටයුතු කරනවද? කියල බලන්න. අපිට තේරෙනවානම්, අපි ඒ සඳහා මහන්සිවෙනවා කියල, කැමැත්ත උපදවාගෙන ඉන්නේ කියල, අපිට සතුටු සිතින් යුක්තව ඒක දියුණුකරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒ සඳහා මහන්සි වෙන්නේ නැත්නම්, ඒ සඳහා කැමැත්ත උපදවාගන්න. ඒ සඳහා ආර්ය සත්‍යය ඉගෙනගෙන, ඒ ආර්ය සත්‍යය ජීවිතයට ගළපමින් බලන්න. ධර්මයේ තියෙන ආකාරයට පුරුදු කරගන්න. එතකොට යම් කලෙක සම්මා දිට්ඨිය ඇතිකරගෙන වාසයකරන්ට පුළුවන්කම තියේවි.

සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාට, සම්මා සංකප්පය ඇතිකරගන්ට පුළුවන්. හොඳින් බලන්න තමන් සම්මා සංකප්පය ඇතිකරගෙන වාසය කරනවාද? කියල. සම්මා සංකප්පය ඇතිකරගෙන වාසයකරනවා කියල එයාට තේරෙනවානම්, සම්මා සංකප්පය පුරුදුකරනවා කියල තේරෙනවානම්, එයාට පී‍්‍රති සිතින් යුක්තව ඒක දියුණු කරගන්ට පුළුවන්. සම්මා සංකප්ප පුරුදුවෙන්නේ නැත්නම්, කැමැත්ත උපදවාගන්න, මම ”සම්මා සංකප්පය ඇතිකරගත යුතුයි” කියල.

ඒ වගේම සම්මා වාචා, සම්ම කම්මන්ත, මේ අංග තමන් පුරුදු වෙනවද? කියල බලන්න. එතකොට තමන් ඒ ඒ අංග පුරුදුකරන කෙනෙක්නම්, ඒ සදහා උනන්දුව තියෙන කෙනෙක් නම්, කැමැත්ත තියෙන කෙනෙක් නම්, තමන්ට සතුටු සිතින් වාසයකරන්ට පුළුවන්. ”මම මේ නිවන් මගේ අංග පුරුදු වෙනවා නේද” කියල, එතකොට ඒ පුරුදුවෙන කෙනා සතුටු සිතින් යුක්තව ඒ අංග පුරුදු කරගන්නවා.

තමන්ට තේරෙනවනම්, ”මා මේ නිවන් මගේ අංග පුරුදුවෙන්නෙ නෑ” කියල, තම තමා ම උනන්දුවක් ඇතිකරගන්න, කැමැත්තක් උපදවා ගන්න ඒ අංග තමා තුළට පමුණුවා ගන්න, පුරුදු කරගන්න. ඉතින් ඒ විදිහට විමසල බලද්දි ,තමන්ට තේරෙනව නම් තමන්, ඒ නිවන් මගෙහි අංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග පුරුදුවෙනවා කියල, තමන්ට සතුටු සිතින් යුතුව වාසය කරන්ට පුළුවන්. එහෙම නැත්නම් අපි වෙන කෙනෙක් කරන විදියට තමන් කරන්න උත්සාහ කරනවා. එච්චරයි.
බොහෝ අය බණ භාවණා කරන්නේ සමාධියක් උපදවාගැණීමේ කැමැත්තෙන්. මහන්සි වෙන්නෙ ඒ සඳහා. නමුත් ඇතැම් අය සමාධිය සඳහා වුවමනාකරන අංග තමා තුළ තියෙනවද කියල බලන්නෙ නෑ. සමාධිය ඉබේ ඇතිවන එකක් නෙමෙයි. සමාධිය සඳහා පුරුදුකරගතයුතු අංග, සමාධි පිරිකර කියලයි භාග්‍යවතුන් වහන්සේ පෙන්නුවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් සමධි පිරිකර හතක් අපට කියා දීල තියෙනවා. අන්න ඒ සමාධිය සඳහා වුවමනා කරන අංග හත, අප තුළ පුරුදුවෙනවද? කියල බලන්න.

සමාධි පිරිකර එහෙම නැත්නම් සම්මා සමාධිය ඇතිකර ගැණීමට උපකාරීවන අංග කියල කියන්නේ ”සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන ඒ අංගයි. ඒ අංග අපි පුරුදුවෙනවද?” කියල බලන්ට ඕනැ. ඒ අංග අපි පුරුදුකරනව නම් යම් දවසක අපට සම්මා සමාධිය ඇතිවෙයි. සම්මා සමාධිය ඇතිකරගැනීම පිණිස, වුවමනා කරන අංග පුරුදු නොකර, සමාධිය ඇතිකරගන්න කල්පනා කළොත්, ඒක කවදාවත් වෙන්නෙ නෑ. ඒ නිසා බණ භාවනා කරල, සාර්ථක ප‍්‍රතිඵල අපේක්‍ෂා කරන කෙනා කැමති වියයුත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග හොඳින් ඉගෙනගෙන, ඒවා පුරුදු කරගන්නටයි. ආර්ය අෂ්ටඨාංගික මාර්ගයේ අංග උපදවාගත්තොත් භාවනාව මඟින් ඒවා පරිපූර්ණ කරගන්ට පුළුවන්.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය, තමා තුළ පුරුදුවෙනවද කියල හොයල බලද්දි තමන්ට තේරුනොත් තමා තුළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙනවා කියල , එයාට සතුටු සිතින් වාසය කරන්ට පුළුවන්කමක් තියෙනවා. ඇයි එයාට සතුටු සිතන් වාසයකරන්ට පුළුවන්කමක් තියෙන්නේ? එයා දන්නවා ”දුකින් නිදහස් වෙන මාර්ගය තමාට විවෘතයි” කියල. ඇයි? තමා තුළ ඒ අංග පුරුදු වෙනවා. එතකොට එයාට සතුටක් තියෙනවද? නැද්ද? තමා තුළ ඒ අංග පුරුදුවෙනකොට එයාට සතුටක් තියෙනවා. එයා සතුටු සිතින් වාසයකරනවා. එයා දන්නවා, එයා නිවන් මග පුරුදුකරන කෙනෙක් කියල. ඒක ආඩම්බරය ඇතිකරගන්න ඕන දෙයක්ද? ඒ නිවන් මග පුරුදුකරන කෙනාට ආඩම්බරය, මාන්නය වැඩෙන්නෙ නෑ. ඇයි ඒ? ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නේ, කුසල් වැඩෙන තැනක්. අකුසල් වැඩෙන තැනක් නෙමෙයි.

එහෙනම් බණ භාවනා කරන කෙනාට ආඩම්බරය වැඩෙනවනම්, මාන්නය වැඩෙනවනම්, එතන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නෙ නෑ. එහෙනම් යම් කෙනෙක් තුළ සමාධිය ඇතිවුනහම, මේ සමාධිය මුල් කරගෙන එයාට මාන්නය නම් එන්නෙ, ආඩම්බරයනම් එන්නෙ, එයා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩල නෑ. ආර්ය අෂඨාංගික මාර්ගය නම් වඩල තියෙන්නේ, එතන කුසල් වැඩෙන්නෙ, අකුසල් වැඩෙන්නෙ නෑ. එහෙනම් හොඳට බලන්න අපි ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුරුදු කරනවද? කියල, හොඳින් විමසල බලල, තෝරා බේරාගෙන, ඒ සමාධි පිරිකර හොඳින් පුරුදුකරගන්න. එතකොට යම් කාලෙක දී අපට සම්මා සමාධිය ඇති කරගන්ට අවස්ථාවක් ඉපදෙයි. එහෙම නැතුව අපි කරන්නන් වාලේ භාවනා කිරීම අර්ථවත් නෑ. අපි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඩිංගක් හරි පුරුදුකරගත්තොත්, අපට ඒකෙන් මහත් ඵල උදාවෙනවා.

අපි මුලූ ජීවිතේ ම මහන්සි වෙලා හරි කමක් නෑ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග පුරුදුකරගන්න කල්පනා කරන්න ඕනැ. ඒ සඳහා ධර්මය හොඳින් ඉගෙනගන්න, නැවත නැවත ඉගෙනගන්න. ඒ ඉගෙනගත්ත ධර්මය හොඳින් පුරුදුකරගන්න. එතකොට අපිට යම් කලකදී ඒ අවස්ථාව උදාකරගන්න පුළුවන්කම තියේවි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග තහවුරුකරගන්න පුළුවන් කලක් එයි. ඒක කළබල වෙලා කරන්ට පුළුවන් එකක් නෙවෙයි. හදිස්සියේ කරන්ට පුළුවන් එකක් නෙමෙයි. දවසින් දෙකෙන් සිද්ධ වෙන්නෙ නෑ. කළබල නොවී ධර්මය ඉගෙනගන්න, පොත පත බලන්න, ධර්ම දේශනා අහන්න, ධර්මය ඉගෙනගෙන, ධර්මයේ තියෙන ආකාරයට ඒ ඉගෙනගත් ධර්මය නුවණින් කල්පනා කරන්න. එතකොට අපිට සම්මා දිට්ඨිය ඇතිකරගන්ට පුළුවන්කමක් තියෙයි. සම්මා දිට්ඨිය ඇතිකරගත්ත කෙනාට අනෙකුත් අංග ඇතිකරගන්න පුළුවන්කම තියෙයි. ඒ නිසා සියළු කුසල්වලට ප‍්‍රමුඛ වන්නාවූ සම්මා දිට්ඨිය උපදවාගැණීමට කවුරුත් උත්සාහ කළ යුතුයි.

සියලූ දෙනාට ම ඒ උතුම් නිවන් මග හොඳින් තේරුම් අරගෙන, පුරුදු කරගන්ට අවස්ථාව භාග්‍ය උදාවේවා!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

Related Posts Plugin for WordPress, Blogger...

1 Comment

  1. pinvath svameenvahasa,

    obe deshana asannta kiyavannata labee bhaggyak kota salalakamee!!
    oba vahanse me bhavayedeema ama nivanama sakkshath karaganiththva!!
    theruvan saranai.

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: