subscribe

භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගනිමු.

භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගනිමු.

පි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්ට ඕනෑ. එතනින් ම තමයි අපි සංසාර ගමනෙන් නිදහස් වෙන්ට පටන් ගන්නෙ. ඒ අවබෝධය අදහා ගත්ත ගමන් එයා සද්ධානුසාරී කෙනෙක් බවට පත්වෙනව. අපිට අමාරු ඒක කරන්නයි. අපි කොහොම හරි වෑයම් කළොත් අපිට පුළුවන්කම තියෙයි සද්ධානුසාරී කෙනෙක් බවට පත්වෙන්ට. සද්ධාවන්ත කෙනා සසරින් නිදහස් වෙනවා. ඒ නිසා මේ ජීවිතයේ ම මහන්සිවෙලා හරි කමක් නෑ උත්සාහ කරන්න, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන චතුරාර්ය සත්‍යය ප‍්‍රකාශිත ධර්මයට පහදින්න. එයාට අවස්ථාව තියෙනව සංසාරෙන් නිදහස් වෙන්ට.

යම් කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට පැහැදුනොත්,ඒ අවබෝධය කෙරෙහි ශ‍්‍රද්ධාව ඇතිවුනොත් එයා තුළ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ධර්මය අවබෝධ කරගන්ට, පුරුදු කරගන්ට කැමැත්ත උපදිනව. කැමැත්ත ඉපදුණ කෙනා, ඒ සඳහා වෑයම් කරනව. ඒ වෑයම් කරන කෙනාට, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් ද ප‍්‍රකාශ කළේ, ඒ දේ පිළිබඳව එයාට වැටහීමක් ඇතිවෙනව. එයාට වීරිය උපදිනව. එයා වීරියෙන් ඒ ධර්මය පුරුදු කරනවා. එයා ඒ ධර්මය අවබෝධ කරනව.

එහෙනම් අපි මහන්සිවෙලා කරගත යුතු දේ මොකක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගැනීම. නුවණ තිබුණ නම්, අපි අපේ හැකියාව අතහැරල දාල, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන දේට එකඟ වෙනව, කැමති වෙනව. බොහෝ දෙනාට ඒක කරන්ට බෑ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන ගොඩකට බිය සැක උපදිනව. ඊට පස්සෙ එයා මතුපිටින් තමයි අත පත ගාන්ට කල්පනා කරන්නෙ. හරියට සැක සහිත දෙයක් අල්ලන්න වගේ. භයෙන් එයා අල්ලන්නෙ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්න දක්ෂ නැති නිසා.

අන්න ඒ භය සම්පූර්ණයෙන් නැතිවෙලා යන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය කෙරෙහි හොඳ විශ්වාසයක් ඇති කර ගන්ත කෙනාට. අන්න එයාට කිසි බයක් නෑ. ඉතා සුවපහසුවෙන් ධර්මය පුරුදු කරගන්නව. එනිසා ඔබ කිසිසේත් භය වෙන්ට එපා, මේ ධර්මය විශ්වාස කරන්න. මේක අදහා ගන්න. එයාට පුළුවන්කම ලැබෙනව සංසාර ගමන අවසන් කරන්න. භය නොවී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය කෙරෙහි පැහැදීම ඇතිකර ගන්න. ඒ පැහැදීම ඇතිකර ගත්ත කෙනාගේ ඒ පැහැදීම ඇති වන්නේ තමන්ගෙ හිතේ. පැහැදීම තියෙන කෙනාගේ පැහැදීම තියෙන්නේ චිත්ත අභ්‍යන්තරයේ.

අන්න එයාට කරන්න කටයුතු තියෙනවා. දවසින් දවස, දවසින් දවස එයාගෙ කටයුතු සංවර බවට පත්වෙනව. වැඩක් නැති දේ අතහරිනව. ඒකෙන් තමයි තේරෙන්නෙ ආර්යය සත්‍යය කෙරෙහි තිබෙන පැහැදීම. අනවශ්‍ය දේ අතහරින්න පටන් ගන්නව. අනවශ්‍ය දේ මොනවද? කායික දුෂ්චරිතය, වාචසික දුෂචරිතය, මානසික දුෂ්චරිතය. හිස් දේවල් අත හරින්න පටන් ගන්නව. ඇයි එයාට බලවත් දෙයක් කරන්ට තියෙනව. ඒතමයි ආර්ය සත්‍යය අවබෝධ කිරීම. ඒ ධර්මය කෙරෙහි හොඳට පැහැදුණ කෙනාගේ ස්වභාවය තමයි ඉවසීම තියෙනව, සංවරකම තියෙනව, කීකරුයි, නිහතමානී. ඇයි එයාට බලවත් කටයුත්තක් කරන්ට තියෙනව. එයා ඉවසීමෙන් ධර්මය පුරුදුකරගෙන යනවා. එතකොට අනවශ්‍ය දේ බැහැර වෙලා යනව.

අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන පරම ගම්භීර ධර්මයට කැමති වුනොත්, පැහැදුණොත් අපිට මේ ජීවිතය, අතිශයින් ම දුර්ලභ වූ වාසනාවන්ත ජීවිතයක් බවට පත්කර ගන්ට පුළුවන් කම තියෙනව. ඒ නිසා ඒ ධර්මය කෙරෙහි පැහැදීම උපදවගන්ට උත්සාහ කරන්න.

ඒක පහුවෙලා කරන එකක් නෙවෙයි. පහුවෙන්ට පහුවෙන්ට එයා ප‍්‍රමාදයට වැටෙනවා. ඒ විදිහට නොමඟ යන්ට කලින් ධර්මය කෙරෙහි පැහැදීමක් උපදව ගන්න.එතකොට එයා සුමඟට එනවා. ඒක නොමඟ යන්න කලින් ඇති කරගත යුතු එකක්. පාර වැරදුනයින් පස්සෙ හරි මඟට එන එක නොවෙයි හපන්කම. වරදින්න කලින් හරි මාර්ගයට වැටෙන එක තමයි දක්ෂ කම. හරි මාර්ගයට වැටෙන්නෙ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන් මයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් නිර්භයව එක එල්ලේ ප‍්‍රකාශකරල තියෙන ස්වක්ඛාත ධර්මයට බයවෙන්න එපා. ධර්මය තුළ නිර්භයව ප‍්‍රකාශ කරනව ”මෙහෙම වුනොත්, මෙහෙම වෙනවා” කියල. මේ ධර්මය අදහා ගන්න කෙනා තුළ නිර්භය භාවය උපදිනවා කියන එකට තර්කයක් නෑ. ධර්මය තුළ නිර්භය ප‍්‍රකාශ තියෙනව. ඒ ප‍්‍රකාශය අදහා ගන්න කෙනා තුළ නිර්භය බවක් එනව. අදහා නොගන්න කෙනා තුළ භය උපදිනවා කියන එක ගැන කතා කරන්න දෙයක් නෑ. නිර්භය භාවය කියල කියන්නෙ කිය කියා යන එක නෙවෙයි. නිර්භය භාවය තුළ තියෙන්නෙ සංවර වීම. එයා සංවර වෙලා තම තමන්ගෙ කටයුතු පාඩුවෙ කරගන්නව. ඒ නිසා ඒ අමාරු කටයුත්ත කිරීම සඳහා භාග්‍ය උදාකරගන්ට නම්, භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය කෙරෙහි පැහැදීම ඇතිකර ගන්ට ඕනැ. යම් කෙනෙක් තුළ ඒ ස්වක්ඛාත ධර්මය කෙරෙහි අල්ප මාත‍්‍ර පැහැදීමක් ඇති වුණත් ඒක එයාට බොහෝ යහපත පිණිස පවතීවි. පූර්ණ වශයෙන් ඒ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න කල්පනා කරන්න, ශ‍්‍රද්ධාව උපදවා ගන්ට කල්පනා කරන්න. ඒ සඳහා මේ ජීවිතේම ගත වුනත් කමක් නෑ. අපි ඉක්මනින් ඒ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්ට, ශ‍්‍රද්ධාව උපදව ගන්ට කටයුතු කරන්ට ඕනැ.

එනිසා අපි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය අවබෝධ කරගැනීම පිණිස මුලින්ම මොකක්ද ඇති කරගත යුත්තේ ? භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි විශ්වාසය. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්න කෙනා තුළ කැමැත්ත උපදිනව. ඒ කැමැත්ත උපදින කෙනා තමයි වෑයම් කරන්නෙ. ‍ එයා සංවර වෙනව. එයාට වැඩක් නැති දේ හිත හිතා ඉන්න වෙලාවක් තියෙනවද? එයාට වැඩක් නැති දේ හොය හොයා ඉන්ට වෙලාවක් තියෙනවද? නෑ. එයාට වැඩක් නැති දේ කර කරා ඉන්ට වෙලාවක් තියෙනවද? නෑ. එයා තුළ අර්ථවත් දෙයක් කරන්ට කැමැත්ත තියෙනව. එයා ඒ අර්ථවත් දේ ඉටුකර ගැනීම පිණිස ඒ කැමැත්ත මුල් කරගෙන වෑයම් කරනව. ඒක නේද සංවරවෙන රටාව? අර්ථ රහිත දේ තමයි කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය. ඒවා අර්ථ රහිතයි. දැන් එයාට අර්ථවත් දෙයක් කරන්ට වුවමනාව තියෙනව. අර්ථවත් දෙයක් කරන්ට වුවමනාව තියෙන නිසා අර්ථ රහිත දේ අතහරිනව. එතකොට එයා තුළ ශාන්ත බව තියෙනවද? නැද්ද? එයාට විශාල කැමැත්තක් තියෙනව මහත් වූ අර්ථයක් අත්කර ගන්ට. ඒ නිසා එයා තුල නිහඬ බව හට ගන්නව. ඒක ධර්මතාවයක්. එයා තුළ ශාන්ත බව හටගන්නව. එයා තුළ අලසකම කම්මැලිකම තියෙයිද? නෑ. අලසකම කම්මැලිකම නෑ. එයා තුල බලවත් දෙයක් කරන්ට කැමැත්ත තියෙනව. ඒකටයි එයා වෑයම් කරන්නෙ.

එයා සජීවී කෙනෙක් බවට පත්වෙනවා. එයා තුළ කැමැත්තක් තියෙනව “ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය මම පුරුදු කරගන්ට ඕනෑ, අවබෝධ කරගන්ට ඕනෑ” කියල. ඒ කැමැත්ත මුල්වෙලා වෑයම් කරනව. එතකොට තව කෙනෙකුගේ බලපෑමක් තුළද එයා වෑයම් කරන්නෙ? නෑ. එයා තුළ උපන් කැමැත්තක් තියෙනව. ඒ කැමැත්ත මුල්වෙලයි එයා වෑයම් කරන්නෙ. එතකොට ඒ කැමැත්ත මුල්වෙලා එයා වෑයම් කරන කොට, කොහොමද එයා කටයුතු කරන්නෙ? කළ්‍යාණ මිත‍්‍ර ඇසුරේ, අවවාද ඇසුරු කරගනිමින්, එයා කීකරුව පුරුදුවෙනව. ඒක තමයි ක‍්‍රමය.

එහෙනම් මුලින් ම මොකක්ද අපි කරන්ට ඕනෑ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. අදහා ගත්ත කෙනා බලවත් සේ කැමති වෙනවා, ”මමත් ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්ට ඕනෑ” කියල. ඊටපස්සෙ එයා ඒක කියාගෙන යනවද? ඒක කියාගෙන යන්නෙ නෑ. ඇයි? එයාගේ අභ්‍යන්තරයේ හටගත්ත අදහසක් ඒක. මතුපිට හටගත්තොත්, ඒක ලොකූ ජලාශයක වතුර උඩට වැටිච්ච සැහැල්ලු දෙයක් වගෙයි. වතුර උඩට වැටිච්ච වටිනාකමක් නැති දෙයක් නිකන් පා වෙවී තියෙනව. අන්න ඒ වගේ තමයි සිතේ බැස ගත්තෙ නැති අදහස. කයිවාරු විදිහට එළියට එනව. අදහස බැසගත්ත නම්, ඒ අදහස ඉටුවෙන තෙක් ඒක එළියට එන්නෙ නෑ .

එනිසා මේ ධර්මය අදහාගන්න. ඒකට බය වෙන්ට එපා. ධර්මය අදහා ගන්ට බය වුණොත්, එයා අවබෝධ කරන්නෙ කොහොමද? අදහා ගත්ත පමණින් එයා තුළ බය නැති වෙනව. ඊට පස්සෙ එයා සජීවී මනුෂ්‍යයෙක්. ධර්මය හරියට අදහ ගත්ත කෙනා තුළ ”මමත් ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්ට ඕනෑ” කියල බලවත් කැමැත්තක් සිත අභ්‍යන්තරයේ කිඳා බැහැල තියෙනව.ඒක හරියට මහා ජල තටාකයකට බර දෙයක් වැටුණොත්, හොඳ මැණිකක් වැටුණොත්, ඒ මැණික පාවෙන්නෙ නෑ.ජල තටාකයකය ඇතුලටම කිඳා බැහිනව.අන්න ඒ වගේ තමයි එයාගෙ අදහස.නමුත් ඍජිෆෝම් කෑල්ලක් වැටුණොත්, ඒ දිය පොකුණ කොච්චර ගැඹුරු වුණත් පොඞ්ඩක්වත් ඒක ඇතුළට යන්නෙ නෑ. උඩ ම තියෙනව.

සිතේ අභ්‍යන්තරයේ බැස ගත්ත දේ කාටත් පේන්නෙ නෑ. ගැඹුරෙ තියෙනව ඒක. අන්න එයා ප‍්‍රායෝගිකව ධර්මය පුරුදු කරනව. එයා සජීවි. එයාට කරන්ට දෙයක් තියෙනව. ඇයි තමන් බැසගත්ත අදහසක ඉන්නව. ඒ අදහස ඉටු කරන්ට කැමැත්ත මුල්වෙලා එයා වෑයම් කරනව. එයා වෑයම් කරන කොට එයා කල්පනා කරනවා කොහොමද කරන්නේ? කියල. එයා ඒ සඳහා කළ්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව, මේ අංග පුරුදු කරනව. ඉතින් අපි සියලූ දෙනාට ම ආශිර්වාද කරනව, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම පිණිස භාග්‍ය උදාවේවා කියල.

නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි

‘දිවයින බුදු මඟ’ ධර්ම සංග්‍රහයෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි.

Related Posts Plugin for WordPress, Blogger...

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: