subscribe

ගිනි නිවා සිසිල් බවට පත්වෙමු…

ගිනි නිවා සිසිල් බවට පත්වෙමු…

අපි අද ඉගෙන ගන්ට යන්නේ අසුභ සංඥාව පුරුදු කර ගන්න විදිහ ගැන. යම් කෙනෙක් අසුභ සංඥාව හොඳින් හුරුකර ගත්තොත් එයාට ලැබෙන මහත් වූ ලාභය තමයි රාගයෙන් දැවෙන ගිනි නිවාගෙන සිසිල් බවට පත්වෙන්ට පුළුවන්කම . ඊලග දේ තමයි එයාට පුළුවන් සමාධිය පරිපූර්ණ කර ගන්ට. ඊලඟට එයාට සමථ විදර්ශනා දෙයාකාරයෙන්ම බණ භාවනා දියුණු කර ගන්ට පුළුවන්. ඒ වගේම තමයි එයාට ඉර්දිපාද හතරම මේ භාවනාව ඔස්සේ දියුණු කර ගන්ටත් පුළුවන්. ඒ වගේම තමයි එයාට ආර්ය සත්‍යය අවබෝධය පිණිස උපකාර වන බෝජ්ජංග ධර්ම හතම දියුණු කර ගන්ට ලැබෙනවා. එතකොට බලන්න අපිට එක් භාවනාවක් පුරුදු කර ගැනීමෙන් කොතරම් ආනිසංස ලැබෙනවද කියල. ඒ නිසා මෙතරම් ආනිසංස උපද්දල දෙන භාවනාවක් අපි හොඳින් පුරුදු කර ගත්තොත් අපි සැබෑම වාසනාවන්තයින් බවට පත් වෙනවා.

හැබැයි ඒ වාසනාව අහිමි වෙලා යන්ට ඉඩ කඩකුත් තිබෙනවා. ඒ කොහොම වුනොත්ද? භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි විශ්වාසය නැති වුනොත්. ඊලගට කලබල කර ගත්තොත්, ඊලගට කම්මැලි වුනොත් අපිට තිබෙන වාසනාව අහිමි වෙන්ට පුළුවන්. ඒ නිසා ධර්මය කෙරේ තියන විශ්වාසය බලවත් කර ගන්න. කලබල වෙන්ට එපා. කම්මැලි වෙන්ටත් එපා. ධර්මය කෙරෙහි හොඳින් විශ්වාසය උපදවා ගනිමින් ම ඉතාමත් ම උනන්දුවෙන්, අඛන්ඩව පිළිවෙලකට මේ භාවනාව පුරුදු කරන්න. පිළිවෙලකට මේ භාවනාව පුරුදු කළොත් එයාට නියත වශයෙන් ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ප‍්‍රතිලාභ අත්වෙනවාමයි. ඒක වලකින්නෙ නෑ.

අපි බලමු අසුභ සංඥාව කොහොමද පුරුදු කර ගන්නේ කියල. අසුභ භාවනාව භාග්‍යවතුන් වහන්සේ විවිධ ආකාරයෙන් අපිට කියා දීල තිබෙනවා. මේ ධර්මයන් අතරින් අපිට ඉතාම පහසුවෙන් පුරුදු කර ගන්න පුළුවන් ආකාරයක් අපි කියා දෙන්ට කල්පනා කළා. මේ කියා දෙන ආකාරය මහා සතිපට්ඨාන සූත‍්‍රයේ සඳහන් වී තිබෙනවා. මහා සතිපට්ඨාන සූත‍්‍රයේ සඳහන් වී තිබෙන ආකාරයට අසුභ සංඥාව පුරුදු කර ගත්තොත් අපිට ඉතාම සුව පහසුවෙන් මේ ධර්ම මාර්ගය ප‍්‍රගුණ කර ගැනීමට කලකදි පුළුවන් කම ලැබෙයි. අද හෙට, දවසින් දෙකෙන් හදිසියෙන් දියුණුවෙයි කියල අපි කියන්නෙ නෑ. ඒකට කාලයක් ගත වෙයි.

මේ භාවනාව තුළ අපේ ශරීරයේ තියෙන කොටස් ගැන සිහි කරන්ට තියනවා. ශරීරයේ තියන කොටස් සිහි කරන කොට අපි සිහි කරනවා කෙස්, ලොම්, නිය, දත් ආදී වශයෙන්. ඒ විදිහට සිහි කරන කොට හොඳට මතක තියා ගන්න ශරීරයේ සමහර කොටස් අපිට ප‍්‍රකටව තේරෙනවා. නියපොතු කිව්වාම ප‍්‍රකටව තේරෙනවා. එතකොට, ප‍්‍රකටව පහසුවෙන් තේරෙන ශරීර කොටස් ගැන සිහි කරන කොට ඒ ඒ තැන්වල සිහිය පිහිටුවා ගන්න. සමහර කොටස් තියනවා ප‍්‍රකටයි. නමුත් එක තැනක නෙමේ. ශරීරය පුරාවට තියෙනවා. දැන් ලොම් කිව්වාම ශරීරය පුරාවටම තියනවා. සම කිව්වාම ශරීරය පුරාවටම තියෙනවා. එතකොට අපි ශරීරයට හිත පිහිටුවා ගන්නට ඕන. ඒ වගේම සමහර කොටස් තියනවා ප‍්‍රකට නෑ. ඒත් ශරීරයේ යම් තැනක් තියනවා. දැන් බඩවැල් කිව්වාම බඬේ තියෙන්නේ. අක්මාව කිව්වම බඬේ තියෙන්නේ. හදවත කිව්වාම පපුවෙ තියෙන්නේ. එබඳු කොටස් සිහි කරන කොට ඒ ප‍්‍රදේශයට සිහිය පිහිටුවා ගන්ට පුරුදු වුනාම හරි. හදවත, පෙනහලූ කිව්වාම පපුව ප‍්‍රදේශයට සිහිය පිහිටුවා ගත්තාම හරි. ලේ කිව්වාම ශරීරය පුරාම තියනවා. එතකොට ශරීරයටම හිත පිහිටුවා ගත්තාම හරි. මේ විදිහට පුරුදු වෙන්න. මේක එක පාරටම කරගන්ට බැරිවෙයි. අපි ක‍්‍රමක් ක‍්‍රමයෙන් කලක් පුරුදු කරන කොට ශරීරය කෙරෙහි හිත පිහිටයි. ශරීරය කෙරෙහි හිත පිහිටුවා ගෙන මේ ශරීරයේ තිබෙන කොටස් සිහි කරන්ට පුලූවන් කලක් අපිට එයි. අන්න ඒ කාලය කොපමණ කලකින් එයි ද කියල අපිට කියන්න බෑ. ඒ නිසා අපිට තිබෙන්නේ මේ ධර්මය කෙරෙහි විශ්වාසයෙන් යුතුව,ඒ වගේම ඉවසීමෙන් යුතුව ඉතාම ගෞරවයෙන් පුරුදු කිරීමයි. මේ ධර්මය පුරුදු කර ගැනීම පිණිස අපි තුළ තිබිය යුතු හොඳම ගුණය තමයි ඉතාම ගෞරවයෙන් පුරුදු කිරීම. ගෞරවයෙන් පුරුදු කරනකොට එයා තුළ මේක පිහිටනවා.

ඔබ භාවනාවට වාඩිවෙලා ශරීරය හොඳට ඍජුව තියාගන්න. ශරීරයේ මැලි ගතියක් තියෙයි. හොඳට තේරුම් ගන්න ඒ මැලි ස්වභාවය ඉවත් වෙන විදිහට කොන්ද ඍජු කර ගන්න. එතකොට ඒ මැලි ගතිය අයින් වෙනවා. දැන් තමන් වාඩිවෙලා ඉන්න තැන හොඳින් තේරුම් ගන්න. හිත සංසුන්ව සැහැල්ලූවෙන් පවත්ව ගන්න. ශරීරය තද කරල හිර කරල තියා ගන්ට එපා. සැහැල්ලූවෙන් ඉන්න. දැන් ඇස් වහගෙන හිමි හිට තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්වට සිත පිහිටුවා ගන්න. දැන් හොඳට හිතින් තේරුම් ගන්න මම වාඩිවෙලා ඉන්නේ කියල.

දැන් මේ විදිහට භාවනා මනසිකාරය පුරුදු කර ගන්න.

යටි පතුලෙන් උඩටත් කෙස් වලින් පහලටත් සමකින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ අපිරිසිදු දේවල් තමයි තියෙන්නේ…

මේ කයේ තියෙනවා…, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳුළු, වුරුණ තෙල්, කෙළ, සොටු, සඳමිඳුළු, මූත‍්‍ර…

මගේ කියන ශරීරය හැදිල තියෙන්නේ මේ වගේ අපිරිසිදු දේ වලින්මයි, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ වගේමයි. ඒවල තියෙන්නෙත් අපිරිසිදු දේවල් විතරයි. මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම අපිරිසිදු දේවල් වලින් හැදිල තියෙන්නේ.

මගේ කියල හිතන ශරීරය ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන එකක්. අනුන්ගේ කියල හිතන ශරීරත් ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන දේවල්. මගේ කියල හිතන ශරීරයත් අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන දේවල්.

මගේ කියල හිතන ශරීරය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිණාමයට පත් වෙන මේ ශරීරය මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

අනුන්ගේ කියල හිතන ශරීරත් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිණාමයට පත් වෙන ඒ ශරීරත් මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ සියළු ශරීර අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිණාමයට පත් වෙන මේ ශරීර මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි…

මේ විදිහට වාර කීපයක් පුරුදු කරන්න.

මේ භාවනාව තුළ කොටස් දෙකක් තියන බව ඔබට තේරෙන්ට ඇති. පළවෙනි කොටසෙදී අපි සිහි කරනවා ශරීරයේ තිබෙන කොටස් කෙස්,ලොම්, නිය මේ විදිහට. ඊලගට දෙවැනි කොටසෙදී අපි තමාගේත් අනුන්ගේත් ශරීර හට ගන්නා ආකාරයත්, නැති වෙන ආකාරයත් සිහි කරනවා. එතකොට මේ භාවනාව කොටස් දෙකකින් යුතු බව තේරුම් ගන්න. මේ කොටස් දෙකෙන් පළවෙනි කොටසෙදී සමථය දියුණු වෙනවා. දෙවැනි කොටසින් විදර්ශනාව දියුණු වෙනවා. එතකොට මේ භාවනාව කරන කොට කෙනෙකුට මුල ඉඳන් අගට කරගෙන යන්නත් පුළුවන්. එසේ මුල ඉඳන් අගට අනුපිලිවෙලින් පුරුදු කරල ආපසු මුලට එන්න පුළුවන්. තවත් කෙනෙකුට උවමනා නම් පළවෙනි කොටස ඒ කියන්නේ සමථය වැඩෙන කොටස අවස්ථා කීපයක් සිහි කරනවා. අපි හිතමු වාර දෙකක් තුනක් සිහි කරනවා. ඊට පසු විදර්ශනා කොටස වාර කිහිපයක් සිහි කරනවා. ඒ විදිහට මාරුවෙන් මාරුවට සිහි කරන්ටත් පුළුවන්. එතකොට ඒ කොයි විදිහට පුරුදු කරත් වරදක් නෑ.

සමහර දෙනෙකුට සමථය කොටස මුලින් පිහිටන්න පුළුවන්. සමහර කෙනෙකුට විදර්ශනා කොටස මුලින් පිහිටන්න පුළුවන්. සමහර කෙනෙකුට මේ කොටස් දෙකම එක වගේ පුරුදු වෙන්ට පුළුවන්. නමුත් සමථ කොටස විතරක් පුරුදු වෙලා අනිත් කොටස පුරුදු වෙන්නෙ නැත්නම් පිහිටන්නේ නැත්නම් එයා ඒ දෙකම කරන්ට ඕනැ. එයා ඒ කොටස් දෙකම පුරුදු කරන කොට කලක් යනකොට ඒ කොටස් දෙකම එයාට පුරුදු වෙනවා. සමහර කෙනෙකුට සමථ කොටස විතරක් පුරුදු වෙලා අනිත් කොටස පුරුදු වෙන්නෙ නැත්නම් ඒ පුරුදු වෙන්නෙ නැති කොටස අත හරින්ට එපා. ඒ කොටස් දෙකම කරගෙන යන්ට ඕනැ.

ඊලගට හොඳට මතක තියා ගන්න භාවනාව පුරුදු වෙන්ට ටික දවසක් යයි. කෙනෙකුට දවසක් දෙකක් වෙන්න පුළුවන්. කෙනෙකුට සතියක් හමාරක් වෙන්න පුළුවන්. කෙනෙකුට මාසයක් වෙන්ටත් පුළුවන්. ඒ වගේ කාලයක් යයි. ඉස්සර වෙලාම පාඩම් කරගෙන මෙනෙහි කරන්න පුළුවන් කම ඇති කර ගන්න. එතකොට ඒ පාඩම් කරගෙන මෙනෙහි කරන කෙනා අනුපිලිවෙලින් ක‍්‍රමානුකූලව කළ යුතුයි. ඒ ක‍්‍රමානුකූල බව නැති කරගන්ට එපා. යම් රටාවකටද පුරුදු වෙන්නේ ඒ රටාවටම පුරුදු කරන්න. ඒ රටාව වෙනස් කර ගන්ට එපා. ඒකයි අපි ආරම්භයේදී ක‍්‍රමානුකූලව පුරුදු විය යුත්තේ. ඊට පස්සේ බලන්ට ඕනැ ඒ ඒ තැන ක‍්‍රමානුකූලව සිහිය පිහිටුවා ගන්ට පුළුවන් ද කියල. ඒකත් කලබලයට කරන්නේ නෑ. දැන් සමහර විට ආරම්භයේදී අපිට කෙස් කිව්වම කෙස් මතක් වෙන්නේ නැති වෙන්ට පුළුවන්. බය වෙන්න එපා. ඉස්සර වෙලා බලන්න මේක වචනයෙන් පුරුදු කර ගන්ට පුළුවන් ද කියල. ඉස්සවෙලා මේක පිලිගන්න ඕනැ. එහෙනම් බලන්න මේ ධර්මය අහල දරාගන්න. ඊට පස්සේ මේක අපි පාඩම් කර ගන්නවා. පඩම් කරනවා කියන්නේ අපිට වචනයෙන් මෙනෙහි කරන්න පුළුවන් බවට පත් කර ගන්නව කියන එකයි. ඊට පස්සේ හොඳට හිතන්න. මනසින් හොඳට පුරුදු කරන්න ඕන.

දැන් බලන්න ඒ ඒ තැන්වල හිමින් හිමින් හිත පිහිටුවා ගන්න පුළුවන් ද කියල. ඒක කලබලයට එකපාරට වෙන්නෙ නෑ. කලක් යද්දී ඒ ඒ තැන හිත පිහිටන්ට පුරුදු වෙයි. කෙස්,ලොම් ආදී ඒ කොටස්වල හිත පිහිටන කලක් එයි. ඒකට කලක් යයි. ඒ විදිහට හිත පිහිටියාම අපිට භාවනාව කර ගන්න යම් සුව පහසුවක් ඇතිවෙයි. ඊට පස්සේ අපිට යම් සුව පහසුවක් සහිතව ඒ භාවනාව කරගෙන යන්ට පුළුවන්. ඒ විදිහට කරගෙන යනකොට එයාට ඒ භාවනාව දියුණු කරගෙන යන්ට අවස්ථාවක් ඉපදෙයි. එතෙක් ඉතාම ඉවසීමෙන් පිලිවෙලකට කරන්ට ඕනැ. පිළිවෙලකට නොකළොත් අපිට මේකෙන් ප‍්‍රතිඵල ලබාගන්නට බැරුව යනවා. කලබල වුනොත් එයා පිලිවෙලකට කරන්නේ නෑ. ඉවසීම නැත්නම් එයා පිළිවෙලකට කරන්නේ නෑ. කම්මැලි වුනොත් ඒත් එයා පිළිවෙලකට කරන්නේ නෑ. කම්මැලි වුනොත් එක කොටසක් කරල බෑ කියල අතහැරල දානවා. ඒ නිසා කලබල නොවී කම්මැලි නොවී පිළිවෙලකට කරන්න බලන්න. පිළිවෙලකට කිරීම පිණිස අපිට ධර්මය කෙරෙහි මහත් වූ ගෞරවයක් තියෙන්න ඕනැ. ඒ ගෞරවයෙන් යුක්තව පුරුදු කරගෙන යන කොට අපිට අපහසුවකින් තොරව භාවනාව කරගෙන යන්න පුළුවන් කලක් එයි.

එතකොට ඉස්සර වෙලාම කිව්ව නේද කලබල නොවී පුරුදු කරන්න කියල. අන්න ඒ පුරුදු කිරීම තමයි භාවිතා කියල කියන්නේ. එහෙම පුරුදු වුනායින් පස්සේ අපිට මේක හොඳින් පුරුදු කර ගන්ට පුළුවන් කලක් එයි. එතකොට බහුල වශයෙන් පුරුදු කරන්ට ඕනැ. පුරුදු නැති කෙනා බහුල වශයෙන් කරන්න ගියාම මොකද වෙන්නේ? එයාට කරගන්න බෑ. එතකොට තමයි කියන්නේ හිත විසිරෙනවා කියල. නොයෙකුත් ගැටලූ ඇති වෙන්නේ එතකොටයි. භාවනාව පිහිටන්නෙ නෑ කියල හිතෙන්නේ පුරුදු නැති නිසා. පුරුදු වුනාට පස්සේ හරි. ඒකයි භාවිත කරන්න ඕනැ කියන්නේ. හොදට භාවිතා කරන්ට ඕන. ඊට පස්සේ බහුල වශයෙන් කරන්න පුළුවන් කලක් එනවා. නමුත් අපේ සාමාන්‍යය ස්වභාවය තමයි භාවිත කරන්නෙ නැතුව බහුල වශයෙන් කරන්ට උත්සාහ කිරීම. ආසාව තිබුනට කරන්ට බෑ. ඒ නිසා අපි කලක් කැප කරමින් ඉතාම ඉවසීමෙන් මේක පුරුදු කරන්ට ඕනැ. එතකොට අපිට හොඳින් මේ භාවනාව පුරුදු කරගන්ට පුළුවන් කලක් එනවා. ඒ විදිහට හොඳින් මේ භාවනාව පුරුදු කරන කොට, ඒ විදිහට පුරුදු වෙන කොට ඉතාම ප‍්‍රිය, ඉතාම මිහිරි විදිහට හිත පවත්වගන්ට පුළුවන් කලක් එනවා.

අසුභ භාවනාව කියල කියන්නේ අතිශයින් ම සැප උපද්දන සමාධි සැප බහුල විදිහේ භාවනාවක්. දවසින් දවස මොහොතින් මොහොත මේ භාවනාව පුරුදු කරන කෙනාට සැප ඇති වෙනව. ඒ නිසා ඒ මහා සැප විඳින්න කැමැත්තක් උපදවා ගන්න. මහා සැප විඳින්න කැමති කෙනා ඉතාම පරිස්සමින් මේක පුරුදු කර ගන්නවා. එතකොට අපිට යම් කලකදී ඒ මහා සැපට අයිතිකාරයෝ බවට පත් වෙන්ට පුළුවන් වෙනවා. මහා සැපට අයිතිකාරයෝ කියල කියන්නේ ඒ මහා සැප විඳින අය මිස ඒ සැප ප‍්‍රාර්ථනා කර කර ඉන්න අය නෙමේ. ඒ නිසා බොහෝම ගෞරවයෙන් යුක්තව මේ භාවනාව පුරුදු කර ගන්න.

හොඳයි අපි සියලූ දෙනාටම සෙනෙහසින් ම සෙත් පත්න්න කැමතියි “භාග්‍යවතුන් වහන්සේ වදාළ අතිශය සැප සහිත ජීවිතයක් උපදවාගෙන ඉතාම සිසිල් වූ සිතින් වාසය කරන්න තරම් භාග්‍යය උපදවල දෙන මේ උතුම් වූ භාවනාව ගෞරවයෙන් පුරුදු කරගෙන ඒ භාවනාව වඩමින් සුවපහසු ජීවිතයක් ගත කිරීම පිණිස සියලූ දෙනාටම දුර්ලභ වූ භාග්‍යය උදාවේවා!” කියල.

තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

5 Comments

  1. Sadhu! sadhu! sadhu! namo buddhaya! me lipiya kiyaweemata awasthawa laba dun oba samata uthum chaturarya sathya awabodayatama ae pina upkaaree wewa! Theruwan saranai!

  2. sadhu…sadhu…sadhu…

  3. sadu sadu sadu !!!

  4. Godak watinawa, Godak pin !

  5. Namo buddhaya!

    uthum dharma danayata pamana kala nohei warayak pin. ithamath durlaba daham karunu watina daham karunu muthumenik akarayak wagei. watinakama pramana kala nohekiya. sadu…sadu…sadu……!!! Namo buddhaya!

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: