subscribe

ආහාරයේ පිළිකුල් සංඥාව-01

ආහාරයේ පිළිකුල් සංඥාව-01

ආහාර කෙරෙහි ආසාවක් තියෙනවා නම් ඒක ඉතාම දුක් සහිතයි. ආහාර කෙරෙහි තියන ආශාව දුරු වුනාම ඉතාම ප‍්‍රණීතව, කිසි කලබලයක් නැතුව ලැබෙන කෑම ටික කාල ඉන්ට පුළුවන්. එහෙම නැත්නම් අපිට ආහාර පිළිබඳ ආශාව තියන තාක් අපි හිතන විඳිහේ රස විඳින්ට අපිට ලැබෙන්නේ නෑ. රස තෘෂ්ණාව නිසා දුක් පීඩාමයි අපිට විඳින්ට සිද්ධ වෙන්නේ. ඊලගට ඒ රස විඳින්ට මහන්සි වෙලා වෙලා කායික වශයෙන් පවා මහත් වූ දුක් උහුලන්ට සිද්ධ වෙනවා. ඊලගට හිත තවත් ඒ අශාවට බැඳිල ගිහිල්ල ඊලඟ ජීවිතෙත් පෙරේත ලෝකවල, තිරිසන් ලෝක වල, එහෙම නැත්නම් නිරයේ ඉපදෙන්ට සිද්ධ වෙනවා. ඒ නිසා කෑම ගැන තියන ආශාව, දිව පිනවන්ට තියන ආශාව, රස තෘෂ්ණාව මහත් වූ දුක් උපදවල දෙන දෙයක් බව තේරුම් ගන්න. ඒ විදිහට තේරුම් අරගෙන ඒ රස කෙරෙහි තියන ආශාව දුරු කර ගන්ට වෑයම් කළොත් ඉතාම සුව පහසු ජීවිතයක් ගත කරන්ට පුළුවන් වෙනවා.

පි‍්‍රය මනාප ආහාර ගැන හිතුවට අපිට හිතූ පැතූ විදිහට ඒව ලබා ගන්ට බෑ. නමුත් අපි ඒ නොලැබෙන දේම පත පතා මහත් දුක් විඳිනවා. නමුත් මේ රස ගැන තියන ආශාව දුරු කර ගත්තොත් ලැබිල තියන දෙයක් අනුභව කරල සුව පහසුවෙන් ඉන්ට පුළුවන්. රස තෘෂ්නාව දුරුවීම සැප උපද්දන දෙයක්මයි. ඒ නිසා රස තෘෂ්නාව දුරු කර ගන්ට කැමති වෙන්ට ඕනැ. ගොඩාක් වෑයම් කරන්ට ඕනැ. බලවත් වෑයමක් ගත්තොත් අපිට රස තෘෂ්ණාව දුරු කරගන්ට පුළුවන් කම තියනවා. රස තෘෂ්නාව දුරු කර ගැනීමට නම් විශාල කැප කිරීමක්, විශාල මහන්සියක් ගන්ට ඕනැ. බොහෝ ධර්මය පුරුදු කරන්ට ඕනැ.

රස තෘෂ්ණාව දුරු කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරන්ට කියල. ආහාරයේ පිළිකුල් සංඥාව නිවැරදි ආකාරයට පුරුදු කර ගත්තොත්, රස තෘස්නාව දුරුවෙලා යනවා. නමුත් ආහාර කෙරෙහි තියන රුචිය, කෑම කන්ට තියන ප‍්‍රිය බව නැති වෙන්නෙ නෑ. ඒකට බය වෙන්ට එපා. නමුත් යම් කෙනෙක් ආහාරයේ පිළිකුල් සංඥාව වරදවා තේරුම් අරගෙන, වැරදි ආකාරයට පුරුදු කළොත් රස තෘෂ්ණාව දුරු නොවීම ආහාර කෙරෙහි තියෙන ඇල්ම, රුචිය දුරුවෙලා යන්ට පුළුවන්. අන්න ඒක අනතුරක්. ඒක හොඳට මතක තියා ගන්න. ඒ නිසා මතක තියා ගන්න ආහාරයේ පිළිකුල් සංඥාව වඩන කෙනෙක් තුළ කෑම කන්ට තියන රුචිය නැතිවෙලා යන්ට බෑ. කෑම කෙරෙහි අප්පිරියාවක් උපදින්ට බෑ. කෑම කන්ට අප්පිරියාවක් එනව නම් ඒ පුරුදු කළ භාවනාව වැරදියි. වැරදි විදිහකටයි කරල තියෙන්නේ.

සමහර අය ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරනවා කියල යමක් කරල, එමඟින් ඒ අය ආහාර රුචිය නැති කර ගන්නවා. කෑම කන්න අප්පිරියා කර ගන්නවා. දැන් බලන්න ආහාර රුචිය නැති වෙලා යනව නම් කෑම කන්න අප්පිරියාවක් එනවා නම් ඒක සුව පහසුවක් ද? නෑ නේද? ඒක අසනීපයක්. ඒ වගේ අසනීප තත්වයන් හිතෙන් හට ගන්ට පුළුවන්. එබන්ඳක් හිතෙන් හට ගන්නේ හිත වැරදි විදිහට පුරුදු කිරීමෙන්. හිත වැරදි විදිහට පුරුදු කළොත් එහෙම අසනීප වෙලා යනවා. ඒ නිසා ආහාරයේ පිළිකුල් සංඥාව කියන භාවනාව වැරදි විදිහට තෝර බේරගෙන කරන්ට එපා. වැරදි විදිහට තෝර බේර ගෙන කළොත් ධර්මයෙන් ලබා ගන්ට පුළුවන් පිළිසරණ අපට අහිමි වෙලා යනවා. ඒ නිසා හොඳට මතක තියා ගන්න ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීමේ අර්ථය කුමක්ද? කියලා. ඒකෙ අර්ථය තමයි රස තෘෂ්ණාව දුරුවීම. රස තෘෂ්ණාව දුරු වුනා කියලා කෑම අරුචිය හට ගන්නේ නෑ.

ඒ භාග්‍යවතුන් වහන්සේත්, රහතන් වහන්සේලාත් ඉතා හොඳින් ඉතාම ප‍්‍රිය අයුරින් දානෙ වැළඳුවා. ඉතාම ප‍්‍රිය මනාප මිහිරි භෝජන වැළඳුවා. ආහාර කෙරෙහි රස තෘෂ්ණාව තිබුනද? රස තෘෂ්ණාව දුරුවෙලායි තිබුනෙ. ඒ නිසා ආහාරයේ පිළිකුල් සංඥාව කියන භාවනාව පුරුදු කරන කෙනාට මිහිරි භෝජන වළදන්ට බැරි වෙන්නේ නෑ. ප‍්‍රණීත බෝජන කිසිම ගැටලූවකින් තොරව වළදන්ට එයාට පුළුවන්. බඩගින්නේ ඉන්ට වෙන්නෙ නෑ. කෑම වේල අඩුකරන්ට ඕනෙ නෑ. රස කෙරෙහි තෘෂ්ණාවක් නැතිව ප‍්‍රිය මනාප කෑම කන්ට පුළුවන්. මේක තේරුම් ගන්න අමාරු එකක්. දැනට මේ මට්ටමින් තේරුම් ගන්න. රස තෘෂ්ණෘව නැති කර ගන්ටයි ආහාරයේ පිළිකුල් සංඥාව වඩන්නේ. ඒ නිසා අපි ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරන කොට ඒ ආහාරය ගැන අප්පිරියාවක් හට ගන්නේ නැති විදිහට රස කෙරෙහි තියන තෘෂ්ණාව දුරුවීම පිණිස ඒ භාවනාව පුරුදු කර ගන්ට ඕනැ. වැරදි ආකාරයකට කළොත් එහෙම අපිට රස තෘෂ්ණෘව තියෙද්දීම ආහාර රුචිය නැතිවෙලා යනවා. එතකොට අපිට බණ භාවනා කරන්ට තියා සාමාන්‍ය කටයුතු කර ගන්නත් බැරිවෙලා යනවා. මොකද ශරීරය ලෙඩවෙලා යන නිසා.

ඒ නිසා අපි පිළිවෙලකට ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරන්ට ඉගෙන ගනිමු. හොඳින් මතක තියා ගන්න මේ භාවනාව පුරුදු කරන කොට ආධුනික කෙනෙක් නම් ආහාර අනුභව කරන අතර ආහාරය ගැන පිළිකුල් සංඥාව උපදවා ගන්ට එපා. ඒක දොස් සහිතයි. අපි කෑම කන අතරේ ආහාරයේ පිළිකුල් සංඥාවක් ඇති කර ගත්තොත් අපිට කන්ට හිතෙන්නෙ නෑ. අපිට කන්ට හිතෙන්නෙ නැත්නම් අපි කොහොමද ජීවත් වෙන්නේ? නොකා නොබී ඉඳල අපිට ධර්මය අවබෝධ කරන්ට බෑනෙ. එහෙනම් ඒ ක‍්‍රමය වැරදියි. ආධුනික මට්ටමේ කෙනෙක් ආහාර අනුභව කරන අතරෙදි ආහාරය පිළිකුලයි කියල මෙනෙහි කරන්ට එපා. ආහාරය අප්පිරිය වෙලා එයාට කෑම රුචිය නැතිවෙලා යන්ට පුළුවන්.

ආහාරයේ පිළිකුල් සංඥාව කලක් පුරුදු කරගෙන බණ භාවනා හොඳින් පුරුදු කරගෙන යම් දියුණුවක් ඇති කර ගත්ත කෙනෙක් හිටියොත්, ආහාර ගන්න අතරෙදී වුනත් මේ භාවනාව පුරුදු කරන්ට එයාට පුළුවන් කම තියනවා. මුලින්ම සිහිය උපදවා ගන්ට පුරුදු වෙන්න. කෑම කන කොට, තේ ආදී දේ බොන කොට සිහියෙන් ඒ දේ කරන්න. එතකොට අපිට පුරුදු වෙන්නේ සති සම්පජඤ්ඤය. කලක් ඒ වගේ සිහියෙන් කටයුතු කරනකොට ආහාර ආශාව දුරු නොකල කෙනාට ආහාර දකින කොට කෑම කෙරෙහි ආශාව උපදිනවා තේරුම් ගන්න පුළුවන් වෙයි. නමුත් ධර්මය පුරුදු නොකළ කෙනාට ඒක තේරෙනවද? එයාට අශාව උපදිනවා තේරෙන්නේ නෑ. නමුත් ආහාර අනුභව කරන කොට හොඳට සති සම්පජඤ්ඤය පුරුදු කරන කෙනාට කලකදි තේරෙයි ආහාර දකින කොට, අල්ලන කොට, කනකොට ආශාව උපදින ආකාරය. ඊලගට එයාට රස මිහිර තේරෙනවා. එතකොට තේරුම් ගන්න මම දැන් ආමිස සහිත සැප විඳීමක් විඳින්නේ. ආහාරය නීරස නම් තේරුම් ගන්න දැන් මේ තියෙන්නේ ආමිස සහිත දුක් විඳීමක් කියල.

දැන් සමහර විට අමිහිරි තිත්ත කෑමක් කන්න පුලූවන්. එතකොට අපිට ප‍්‍රිය නෑ. මොකක්ද එතකොට අපිට හිතන්න තියෙන්නේ “ආමිස සහිත දුක් විඳීමක්” කියල. ඉතාම මිහිරි කෑමක් අනුභව කරනවා. රස දැනෙනවා. දැන් මොකක්ද අපිට හිතන්න තියෙන්නේ “ආමිස සහිත සැප විඳීමක්” කියල. ඒ විදිහට අපි පුරුදු කර ගත්තොත් සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවා ගන්ට අපිට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ විදිහට ඒ විඳීම් ගැන තේරුම් ගන්ට නම් ඊට කලින් එයා සම්පජඤ්ඤය හොඳට පුරුදු කර ගන්ට ඕනැ. සම්පජඤ්ඤය නැති කෙනාට විඳීම් තේරුම් ගන්න බැරි වෙයි. ඒ නිසා ආරම්භයේදී ඉඳල හොඳට සම්පජඤ්ඤය හුරු කර ගන්න. කලකදි එයාට දුක් සැප විදීම් තේරුම් ගන්ට පුලූවන් වෙයි.

එතකොට කෑම කන අතරම එයාට තේරුම් ගන්ට පුළුවන් “මේ ආමිස සහිත සැප විඳීමක්, මේ ආමිස සහිත දුක් විඳීමක්. මේ විඳීමත් ස්පර්ශය ප‍්‍රත්‍යයෙන් හට ගන්නේ. දිවේ ස්පර්ශයෙන් ඇතිවන මේ විඳීම ඒ ස්පර්ශය නැතිවීමෙන් නැතිවෙලා යනව” කියල තේරුම් ගන්ට එයාට පුළුවන්. අන්න එහෙම තේරුම් ගන්ට ගන්ට ඒ විඳීම කෙරෙහි තියෙන ඇල්ම දුරුවෙන්න පටන් ගන්නවා. එතකොට එයාට විඳීම් කෙරෙහි තියන ඇල්ම දුරු වුනාට රස නොදැනී තියෙයිද? රස දැනෙනවා. ආහාර කෙරෙහි ඇති රුචිය නැතිවෙන්නේ නෑ. ආහාර අනුභව කරන්ට එයාට පුලූවන්.

ආශාව දුරු කර ගැනීම පිණිස ක‍්‍රමානුකූලව, පිළිවෙලකට, සකසල මේ ධර්මය පුරුදු කර ගන්ට ඕනැ. ඒ නිසා ඉතාම කල්පනාවෙන් නුවණ පාවිච්චි කරල කළ යුතු භාවනාවක් මේක. ඒ නිසා ආහාර අනුභව කරන කොට කළ යුතු හොඳම දේ තමයි සති සම්පජඤ්ඤය පුරුදු කර ගැනීම. සිහි නුවණින් යුක්තව ආහාර අනුභව කරන්ට පුරුදු වීම. ඒ විදිහට කලක් පුරුදු කරන කොට එයාට දුක්, සැප, උපේක්ෂා විඳීම් දිව මුල් කරගෙන හට ගන්නා ආකාරයත් නැති වෙන ආකාරයත් තේරුම් ගන්ට පුලූවන් කලක් එයි. එතකොට එයාට තව දුරටත් සිහිය පිහිටුවාගෙන නුවණ පාවිච්චි කරන්ට පුලූවන් කලක් එයි. දිවේ ස්පර්ශයෙන් ඇතිවන විඳීම්, දිවේ ස්පර්ශය නැතිවීමෙන් නැති වෙලා යනව නේද කියල තේරුම් ගන්ට පුලූවන් කලක් එනවා. එතකොට එයා සතිපට්ඨානය තුළ වාසය කරන කෙනෙක්.

ආහාර අනුභව කරන කාලෙදි ඒ විදිහට ධර්මය හුරු කර ගන්ට පුරුදු වෙන්න. නමුත් ආහාරයේ පිලිකුල් සංඥාව කියන භාවනාව අපි වෙනම භාවනාවක් විදිහට පුරුදු කළ යුතුයි. ඒ භාවනාව හොඳින් පුරුදු කිරීමෙන් තමයි ඒ ආහාරය කෙරෙහි තියන ආශාව, ඇල්ම, රස තෘෂ්ණාව, දිව පිනවන්න තියන කැමැත්ත, ආහාර කෙරෙහි තියන ගිජුකම අපිට ගෙවල දාන්ට පුලූවන් වෙන්නේ. දිව පිනවන්න තියන ආශාව එහෙම ලේසියෙන් ගෙවන්ට පුලූවන් එකක් නෙමේ. ඒ ආශාව දැන් තමන් තුළ තියනවා නම් තේරුම් ගන්න මේ ආශාව මට තියනවා. මේක දුක් උපදවන එකක් කියල.

දැන් අපිට එක පාරටම මේක අයින් කරන්න පුලූවන්ද? එක පාරටම කරන්ට බෑ. දැන් උල ඇනිල ඉවරයි. ඇනිච්ච උල ගලවන විදිහ දැන ගත්තේ නැත්නම් එසේ උල ගලවන්ට නොදන්න කෙනා වෑයම් කරන කොට තව තවත් උල ඇනෙන්ට පුලූවන්. තව තවත් ඒ උල ඇතුළට යනවා. ඒ නිසා ඒ ආශාව කියන උල ගලවන ආකාරය භාග්‍යවතුන් වහන්සේ තමා කියා දුන්නේ. උන් වහන්සේ පෙන්වා දුන්නා, ”මම තෘෂ්ණාව කියන උල ගලවල දමන ශෛල්‍ය වෛද්‍යවරයා” කියල. ඒ නිසා රස තෘෂ්ණාව කියන ඒ උලත් ගලවල දාන්න අපි ඉතාමත් ම පරිස්සමින් නුවණින් යුතුව ක‍්‍රමානුකූලව මේ භාවනාවම හුරු කරන්න ඕනැ. එහෙම කලක් හුරු කරගෙන යනකොට ක‍්‍රම ක‍්‍රමයෙන් රස තෘෂ්ණාව දුරු වෙන්ට පටන් ගනියි. ඒ රස තෘෂ්ණාව දුරු වෙනවා කියන එක භාවනාව පටන් ගත්ත ගමන් වෙන්නේ නෑ. භාවනාව කරන්න පටන් ගත්ත ගමන් මොකක්ද කරන්න තියෙන්නේ? ඒ භාවනාව පුරුදු වෙන එක.

බයිසිකල් පදින කෙනා ඉස්සර වෙලාම කරන්නේ මොකක්ද? පුරුදු වෙන්ට ඕනැ. එහෙම නැති වුනොත් මොකක්ද වෙන්නේ? එයාට කවදාවත් බයිසිකල් පදින්ට බැරිවෙන තත්වෙට පත් වෙන්න ඉඩ තියනවා. ඒක දකින අනිත් අයත් ඒ අයගේ ළමයින්ට බයිසිකල් පදින්ට ඉඩ දෙන්නේ නෑ එතකොට. ඇයි ඒ ගොල්ලො හිතන්නේ බයිසිකල් පදින කලාව අනතුරු සහිත එකක් කියල. ඒ වගේ තමයි බණ භාවනාව වැරදි විදිහට කරන කෙනා නිසා තව කෙනෙක් ඒ ධර්මය පුරුදු කරන්න බිය වෙන්ට, මැලි වෙන්න පුලූවන්. ඒකයි මම මුලින් කිව්වෙ අපිට වගකීම් සහිත ඉලක්කයක් තියෙන්නේ කියල.

ඒ නිසා මේ භාවනාව ඉතාම පරිස්සමින් නුවණ පාවිච්චි කරල කරන්න. ඒ නිසා හොඳට මතක තියා ගන්න කාරණා දෙකක්, ආහාරය කන වෙලාවෙදි පිළිකුල ගැන සිහි කරන්න එපා, ඒ වගේම ආහාරයේ පිළිකුල ගැන වඩන්න කියල නොයෙකුත් විඳිහේ පිළිකුල් හැගීම් අවුස්ස ගන්න වචන පාවිච්චි කරන්න එපා. බලහත්කාරයෙන් අප්පිරිය උපදවා ගන්න වචන පාවිච්චි කරන්න එපා. එතකොට හිත ලෙඩ වෙලා යනවා.

මේ ආහාරයේ පිළිකුල් සංඥාව කියල කියු පමනින් මේකෙන් අදහස් කරන්නේ ආහාරය ගැන පිලිකුල් හැඟීමක් ඇති කර ගැනීම නෙමේ. ආහාරයේ රස තෘෂ්ණාව දුරු කර ගන්ට කරන උපක‍්‍රමයක් මේක. උපක‍්‍රමයෙන් තමයි මේ කෙලේසය දුරු කර ගන්න තියෙන්නේ. අපිට පිළිකුල් හැගීමක් ඇති කර ගන්ට පුලූවන් කුණු වෙච්ච කෑම දිහා බලන් ඉඳලා. සති ගනනක් කුණුවෙලා පණුවො ගහපු කෑම තියනවා. ඒක දිහා බලන් හිටපුවාම පිළිකුලක් නිකම්ම උපදියි නේද? එසේ පිළිකුලක් උපදවා ගැනීම නෙමේ අපේ අර්ථය. පිළිකුල කියන එක සැපද දුකද? දුකක්. එසේ නම් භාවනා කරනවද දුක් උපදවා ගන්න. දුක් උපදවා ගන්න භාවනා කරන්නේ නෑ. භාවනාව තුළින් දුකක් උපදවනවා නම් ඒ භාවනා කරන විඳිහ වැරදියි. නමුත් යම් විදිහකින් උපදින දුක් පීඩා තියනවා. නැත්තේ නෑ. ආමිස රහිත දුක් විඳීම් තියනවානෙ. ඒක භාවනාව තුළදී ඇතිවන එකක්. නමුත් භාවනාව වැරදි විදිහට කරල ඇතිවන අප්පිරියාව වගේ දේවල් අසනීප තත්වයන්. අන්න ඒ වගේ පුරුදු වෙන්න දෙන්න එපා. ඒ නිසා ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කර ගැනීම පිණිස සරළ භාවනා විඳිහක් පුරුදු කර ගන්න. එතකොට අපිට අනවශ්‍ය ආබාධ හට ගන්නේ නෑ. අපි ක‍්‍රම ක‍්‍රමයෙන් අඛන්ඩව මේ භාවනාව කලක් කරගෙන යනකොට ඒ තෘෂ්ණාව ගෙවිල නැතිවෙලා යයි. ඒ නිසා අපි කළ යුතු දේ තමයි අඛන්ඩව මේ ධර්මය පුරුදු කරගෙන යෑම.

තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: