subscribe

ආහාරයේ පිළිකුල් සංඥාව-02

ආහාරයේ පිළිකුල් සංඥාව-02

කෑම ගැන තියන ආශාව, දිව පිනවන්න තියන ආශාව, රස තෘෂ්ණාව අපට මහත් දුක් උපදවල දෙන දෙයක් කියල අපි මේ පින්වතුන්ට පසුගිය ලිපියෙන් කියල දුන්න. අද අපි මේ පින්වතුන්ට කියල දෙන්න යන්නෙ ඒ ආහාරයේ පිළිකුල් සංඥාව භාවනාවක් විදිහට කොහොමද පුරුදු කරගන්නෙ කියල. ආහාර අනුභව කරන වෙලාවෙදි පිළිකුල උපදවා ගන්න බලවත් විදිහට වෑයම් කරන්ට එපා. ඊලඟට සමහරු ඉක්මනින් පිළිකුල උපදවා ගන්න කියල ලොකු වීරියක් ගන්නවා. එහෙම කරන්න එපා. අපිට ඕනැ ඕනැ විදිහට මේ සංඥාව හිත හිතා බලහත්කාරයෙන් උපදවා ගන්ට බෑ. මේ ආශාව දුරුවෙලා යන වේගයක් තියනවා. ඒ වේගය අපිට හොයා ගන්න බැරි වෙන්න පුලූවන්. නමුත් අපි ක‍්‍රම ක‍්‍රමයෙන්, මේ භාවනාව අඛන්ඩව කරගෙන කලක් යනකොට ඒ තෘෂ්ණාව ගෙවිල නැතිවෙලා යයි. ඒ නිසා අපි කළ යුතු දේ තමයි අඛන්ඩව මේ ධර්මය පුරුදු කරගෙන යෑම.

අපි ඉතාමත් සරල විදිහට මේ ආහාරයේ පිළිකුල් සංඥාව කියන භාවනාව පුරුදු කර ගනිමු. දැන් භාවනා කරන්න පිළිවෙලට පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. අපි අර කලින් කළ ආකාරයට තේරුම් ගන්න තමන් කොහෙද ඉන්නේ කියල. දැන් තේරුම් ගන්න මම මේ ශාලාවෙ වාඩිවෙලා ඉන්නේ කියල. දැන් හිමීට ඇස් වහගෙන කද ඍජුව තියා ගන්න. තේරුම් ගන්න මම මේ ශාලාවෙ වාඩිවෙලා ඉන්නෙ කියල. දැන් ශරීර ඉරියව්වට හොඳින් හිත පිහිටුවා ගන්න. ඉරියව්ව හොඳට තේරුම් ගන්න. සිත කය සැහැල්ලූවෙන් තියා ගන්න. දැඩිව අල්ල ගන්න එපා. දැන් හිමීට සිහි කරන්න මේ විදිහට.

මම කන බොන ආහාර කොච්චර සුවඳට, රසට, ලස්සනට පිළියෙල කරල තිබුනත් අතින් අල්ලපු ගමන් ඒවා ඉඳුල් බවට පත් වෙනවා. පිළිකුල් දෙයක් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

මේ අහාර කටට ගත්තාම කටේ තියෙන කෙළ, සෙම එක්ක කලවම් වෙනවා. තව දුරටත් පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

උගුරෙන් පහලට යන විට මේ ආහාර සෙම, සොටු සමඟ කලවම් වෙනවා. තවදුරටත් මේක පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

ආහාර බඩට ගියාම බඬේ තියෙන නොයෙකුත් අපිරිසිඳු දේ සමඟ අහාරය එකතු වෙනවා. වමනෙ බවට පත් වෙනවා. ඉතාම පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

බඩවැල් වලට ගියාම මේ අහාරය අසූචි බවට පත් වෙනවා. ඉතාම දුර්ගන්ධ දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

මේ අහාරය අනුභව නොකර තිබුනොත් පිළිනි වෙලා දුර්ගන්ධය හමන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

මේ අහාර උයන්නේ නැතිව තිබුනොත් කුණුවෙලා පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. දුර්ගන්ධය හමන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි…

(නැවත නැවත ආරම්භයේ සිට සිහි කරන්න)

සමාධිය බැස යත්වා කියල හිතන්න. දැන් ඇස් අරින්න.

මේ භාවනාව ටික ටික කරමින් පුරුදු වෙන්න. පුරුදු උනාට පස්සෙ පහසුවෙන් කරන්ට පුළුවන් කම තියෙයි. අපි ඉතාම කෙටියෙන් තමයි ඒ භාවනාව පුරුදු වුනේ. කෙටියෙන් මේ විදිහට පුරුදු වුනාට මේ භාවනාව දුර්වල දෙයක් විදිහට කල්පනා කරන්ට එපා. අපි මරණ සතිය හා අසුභ සංඥාවත් පුරුදු වුනේ කෙටියෙන්. ආහාරයේ පිළිකුල් සංඥාවත් ඉතාම කෙටියෙන් පුරුදු වුනේ. කෙටියෙන් සරල විදිහට තිබුනට ඒක නොවැදගත් දෙයක් විදිහට කල්පනා කරන්ට එපා. ටිකෙන් ටික පුරුදු කරමින් හොඳට හුරු පුරුදු දෙයක් බවට පත් කර ගන්න. බොහෝ දුරට පුරුදු කරන කොට අපිට මේ භාවනාව නිසා ඉතාම සුව පහසුවෙන් ඉන්ට පුලූවන් කලක් එනවා. ආහාරයේ පිළිකුල් සංඥාව කියන භාවනාවත් හොඳට පුරුදු කර ගත්තොත් එයින් සමාධිය උපදවා ගන්න පුලූවන්. ඉහල සමාධි උපදව ගන්ට පුලූවන් කම තියනවා. ඉතාම ප‍්‍රණීත වූ සමාධි උපදවා ගන්ට පුළුවන් කම තියනවා.

ඒ වගේම තමයි රස තෘෂ්ණාව දුරු කර ගැනීමේ මහා භාග්‍යය උදා වෙනවා. ඒ වගේම තමයි ආර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට උපකාර වන්නා වූ ඒ බොජ්ජංග ධර්මයන් උපදවා ගැනීමටත් ආහාරයේ පිළිකුල් සංඥාව කියන භාවනාව අපට උපකාර වෙනවා. මේ භාවනාව හොඳින් වැඞීමෙන් එසේ උපදින බොජ්ජංග ධර්ම දියුණු කර ගන්ට පුළුවන් කම තියනවා. ඒ නිසා මේ භාවනාව ඉතාම උසස් ආකාරයේ ප‍්‍රතිලාභ අත් කර ගන්න පුලූවන් භාවනාවක්. මේක දින පතාම අපි කළ යුතුයි.

අපි මේ භාවනාව හොඳින් පුරුදු කර ගත්තොත්, අප තුල තිබෙන ආහාරය ගැන ආශාවෙන් මත්වීම දුරුවෙලා යනවා. බලන්න කුණුවෙලා පිළිකුල් බවට පත්වෙලා අසූචි බවට පත්වෙන ආහාරයට අපි කොයි තරම් ආස කරනවද? එහෙනම් අපි මුලාවකට අහුවෙලා නේද ඉන්නේ? නමුත් ඒ මුලාව එකපාරට අපිට ගලව ගන්න පුලූවන්ද? අන්න ඒක තමයි අමාරු. අපි මුලාවක ඉන්නවා මුලාවක ඉන්නව වුනත් මුලාව තේරුනා කියල ඒක එකපාරට ගලවල දාන්න පුලූවන්ද? අපි මෙහෙම මුලාවක ඉන්නව කියල තේරෙනෙ කොහොමද? දැන් හොඳට කල්පනා කරල බලන්න අපි කන බොන ආහාර ඉතාම අප‍්‍රසන්න දේ බවට පත්වෙලා අසූචි බවට පත්වෙලා යනවා. ඒක ගැන අපිට වාද කරන්න දෙයක් නෑ නේද? බලන්න ඒ ආහාරයටම අපේ හිත කොච්චර අහුවෙලාද කියල. එහෙනම් අපි මුලාවක් තුළ ඉඳගෙන බලවත් දුක් පීඩා උපදවන ආශාවක් ඇතිකර ගෙන. අර්ථ රහිත දෙයක් අපි කරගෙන තියෙන්නේ. දුක් උපදවන දෙයක් තමා කරගෙන තියෙන්නේ.

ඒ නිසා අපි මේ මුලාව තේරුම් අරගෙන ඒ අනර්ථය දුරු කර ගැනීම පිණිස ඉතාම පරිස්සමින් කටයුතු කළ යුතුයි. අපි අඛන්ඩව මේ ධර්මය පුරුදු කරගෙන ගියොත් කලක් යනකොට මේ අනර්ථය බැහැර වෙලා යයි. මේ දුක් උපදවන ආශාව ක‍්‍රමක් ක‍්‍රමයෙන් ගෙවිල යයි. එක පාරට ගෙවිල යන්නේ නෑ. ඒ නිසා අපි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන මේ ධර්මය කෙරෙහි මහත් වූ ගෞරවය උපදවාගෙන ශ‍්‍රද්ධාව ඇති කරගෙන මේ ධර්මය පුරුදු කරගෙන යමු.

ඒ මහා දුක් උපදවන රස කෙරෙහි තියන ආශාව දුරුකර ගැනීම පිණිස ඒ ආහාරයේ පිළිකුල් සංඥාව කියන උතුම් භාවනාව හොඳින් පුරුදු කර ගැනීමේ භාග්‍ය උදා වේවා කියල අපි ආශිර්වාද කරනව.

තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

1 Comment

  1. SADU…….SADU…..SADU…..!!!

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: