subscribe

ලෝභයේ මියයෑම ….

ලෝභයේ මියයෑම ….

භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තොත්, අපිට එපමණකින් ම අසාමාන්‍ය වූ ලාභයන් ඇති කර ගැනීමට භාග්‍යවන්තයෝ වෙන්ට පුළුවන්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම කියන කාරණාව අතිශයින් අමාරුයි. ඉතින් අපි දක්ෂ වුණොත් ඒ අවබෝධය අදහා ගන්ට, එපමණකින් ම අපට ලොකු වීරියක් උපදිනව. යම් කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තොත්, ඒ කියන්නේ ශ‍්‍රද්ධාව ඇති කර ගත්තොත්, එයා තුළ කැමැත්තක් උපදිනව ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය අවබෝධ කරන්ට. එයා ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස වෑයම් කරනව. ඒ විදිහට වෑයම් කරද්දී එයාට පුළුවන් කම තිබෙනව යම් දවසක වීරිය උපදවා ගන්ට. වීරිය ඉපදෙනව. එසේ වීරිය උපදවා ගන්න කෙනා, ඒ ධර්මය අවබෝධ කරනව. කැමැත්ත නැති කෙනා එක්කො බෑ කියනව, නැත්නම් පුළුවන් කියනව. කැමැත්ත ඇති වුණ කෙනා බෑ කියන්නෙත් නෑ, පුළුවන් කියන්නෙත් නෑ. එයා නිහඬ වෙනව. එයා තුළයි ඒ ධර්මය කෙරෙහි විශ්වාසය තියෙන්නෙ.

එයා බලවත් කැමැත්තෙන් ඒ ධර්මය පුරුදු කරන්ට වැයම් කරනව. එයාට කරන්න කටයුත්තක් තියෙනව. දැන් එයාට වැඩක් නැති දේ කරන්ට වෙලාවක් නෑ. එපමණකින්ම එයා සංවරයි. එයාට වැඩක් නැති දේ හිත හිතා ඉන්ට වෙලාවක් නෑ. එයාට වැඩක් නැති දේ කර කරා ඉන්ට වෙලාවක් නෑ. අර්ථ රහිත දේ කරන්ට වෙලාවක් නැත්තෙ අර්ථවත් දෙයක් කරන්ට එයා තුළ කැමැත්ත තියෙනව. එයා ඒ අර්ථවත් දේ ඉටුකර ගැනීම පිණිස කැමැත්ත මුල්කරගෙන වෑයම් කරනව.

අර්ථ රහිත දේ තමයි කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය. දැන් එයාට අර්ථවත් දෙයක් කරන්ට වුවමනාව තියෙන නිසා අර්ථ රහිත දේ අතහරිනව. එයාට දෙතිස් කතාව කර කරා ලාමක දෙයින් විනෝද වෙන්ට වෙලාවක් නෑ. ඒව අත්හැරෙනව. එයාට විශාල කැමැත්තක් තියෙනව මහත් වූ අර්ථයක් අත් කර ගන්ට. ඒ නිසා එයා තුළ නිහඬ බව හට ගන්නව. ඒක ධර්මතාවයක්. එයා තුළ අලසකම කම්මැලිකම නෑ. එතකොට ඒ කැමැත්ත මුල්වෙලා එයා වෑයම් කරනකොට, කොහොමද එයා කටයුතු කරන්නෙ? කළ්‍යාණ මිත‍්‍ර ඇසුරේ, අවවාද ඇසුරු කර ගනිමින්, එයා කීකරුව පුරුදු වෙනව.

එහෙනම් මුලින් ම අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්ට ඕනැ. අදහා ගත්ත කෙනා බලවත් සේ කැමති වෙනවා, ”මමත් ඒ ධර්මය අවබෝධ කර ගන්ට ඕනෑ” කියල. බලන්න මේ දේශනාව. ඛුද්දක නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තියෙනව ”ලෝභ සූත‍්‍රය” කියල සූත‍්‍ර දේශනාවක්. ලෝභය අත්හැර දැමීම ගැන වදාළ දෙසුම. මේ දේශනාවෙ තියෙනව මේ විදිහට, භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිදානන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුණේ. ”පින්වත් මහණෙනි, එකම දෙයක් අත් හැර දමන්න. එතකොට ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනව. ඒ එකම එක දේ මොකක්ද? පින්වත් මහණෙනි, ලෝභය නම් වූ එකම දෙය අත් හරින්න. එතකොට ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනව”. ඒක විශ්වාස කරන්ට බය හිතෙනවා නේද? මේ ධර්මය අදහා ගන්නවා කියන එක ලෙහෙසි නෑ කියල කියන්නෙ ඒකයි. මේ කාරණය අදහා ගත්ත කෙනා බය නෑ, එයා නිහඬයි. ඇයි..? ඒක සිත අභ්‍යන්තරයේ ඇතිවෙන විශ්වාසයක්. විශ්වාසය නැති කෙනා බය වෙනව. ඒ බය වීම තුළ ධර්මය පුරුදු කිරීම අත හරිනව.

අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අදහා ගත්තොත් එයා තුළ බලවත් කැමැත්තක් උපදිනවා, ”මම මේක කරන්ට ඕනෑ” කියල. ඊට පස්සෙ එයා ඒක කියාගෙන යන්නෙ නෑ. ඒක එයාගේ අභ්‍යන්තරයේ හටගත්ත අදහසක්. මතු පිට හටගත්තොත් වතුර උඩට වැටිච්ච දෙයක් වගෙයි. වතුර උඩට වැටිච්ච වටිනාකමක් නැති දෙයක් නිකන් පා වෙවී තියෙනව වගේ තමයි සිතේ බැස ගත්තෙ නැති අදහස. කයිවාරු විදිහට එළියට එනව. අදහස බැසගත්ත නම් ඉටුවෙන තෙක් ඒ අදහස එළියට එන්නෙ නෑ. හරියට අදහ ගත්ත කෙනා මැණිකක් වතුරට වැටුණොත්, ඒ මැණික පාවෙන්නෙ නෑ. අභ්‍යන්තරයේ කිඳා බැහැල තියෙනව. අන්න ඒ වගේ. ඒ නිසා අපි මේ ධර්මය කියවල, ඉගෙන ගෙන, අහල ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාසයකට එන්ට ඕනැ. එතකොට අපි කැමති වෙයි මේ ධර්මය පුරුදු කරන්න.

”මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්ට පුළුවනි. ”යම් කිසි කෙනෙක් ලෝභයකින් ඇළුණොත්, ඒ අයට යන්ට වෙන්නේ දුගතියට තමයි. නමුත් ඔය කාරණය විදර්ශනා ප‍්‍රඥාවෙන් දකින කෙනා ලෝභය අත් හැරල දාන්නෙ අවබෝධයෙන්ම යි. ඒ විදිහට අත හැරල දාපු ආර්ය උතුමන් මේ ලෝකයට කවදාවත් යළි එන්නෙ නෑ”. මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්ම යි. මේ විදිහට මා හට අසන්නට ලැබුණා. එතකොට ඒක භාග්‍යවතුන් වහන්සේ විසින් ම කියා දුන්න දෙයක්.”

එතකොට අපි ඒ ධර්මය අදහා ගත්තොත්, අපි කැමති වෙනව, මේ ධර්මය අවබෝධ කරගන්ට. අපි යම් දෙයක් විශ්වාස කරනව. විශ්වාස කරල ඒක කරන්ට වෑයම් කරනව. එතකොට වෑයම් කරන්ට කරන්ට විශ්වාස කරන දේ තමන්ට තහවුරු වෙනව නේද? අන්න එතකොට වීරිය උපදිනව. විශ්වාස නොකොළොත් කැමැත්ත උපදින්නෙ නෑ. කැමැත්ත ඉපදුනේ නැති කෙනා වෑයම් කරන්නෙ නෑ. වෑයම් නොකරන කෙනාට ඒක ප‍්‍රත්‍යක්ෂ වෙන්නෙ නෑ. ප‍්‍රත්‍යක්ෂ නොවන කෙනාට වීරිය උපදින්නෙ නෑ. එතකොට එයාට උපදින්නෙ නිදිමත, අලසකම, එකට එක කරන ගතිය, ඇද කුද හොයන ගතිය, ඒවම තමයි උපදින්නෙ. ධර්මය කෙරෙහි විශ්වාසයට ආපු කෙනා තුළ අවබෝධ කර ගන්ට ඕනැ කියල කැමැත්ත උපදිනව. එසේ කැමැත්ත ඉපදුන කෙනා ටික ටික වැයම් කරන්ට පටන් ගන්නව. ඒ වෑයම් කරන කෙනාට, ඒ අදහා ගත්ත දේ ගැන ටික ටික වැටහෙන්ට පටන් ගන්නව. ප‍්‍රත්‍යක්ෂ වෙනව කියන්නෙ ඒකයි. ආන්න එහෙම ප‍්‍රත්‍යක්ෂ වෙන කෙනාට වීරිය උපදිනව. වීරිය ඉපදුනායින් පස්සෙ එයා බලවත් සේ වීරිය කරල මේ ධර්මය අවබෝධ කර ගන්නව.

ඒ නිසා හොඳට මේ ධර්මය ඉගෙන ගෙන තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒ ලෝභය, එහෙම නැත්නම් ආශාව අතහරින්ට කැමැත්ත උපදවා ගන්න. ආශාව අතහරින්ට කැමැත්ත උපදව ගන්න කෙනා තවදුරටත් ධර්මය ඉගෙන ගන්නව. දැන් අපි දන්නව ආශාව කොහෙද හටගන්නෙ කියල. ආශාව අත හරින්න කැමති කෙනා, ආශාව අත හැරීම පිණිස කැමැත්තෙන් වාසය කරනව. එසේ කැමැත්තෙන් වාසය කරන කෙනා තුළ, ඒ කැමැත්ත මුල්වෙලා ම සිහිය පිහිටනව. එයා වැඩක් නැති අර්ථයක් නැති දේ අත හැරල දානව. සිහිය පිහිටනව. ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත මුල්කරගෙන ආශාව උපදිනවා එයාට තේරෙනව. එහෙම තේරෙනකොට, ඒ ආශාව පවත්වන්ට එයා තුළ කැමැත්ත නෑ. දැන් ආශාව අතහරින්ටයි එයාගෙ කැමැත්ත තියෙන්නෙ. එතකොට එයා ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත මුල්කරගෙන ආසාව උපදිනවා තේරෙනකොට එයා අකමැති දෙයක් උපදින්නෙ. එහෙනම් අකමැති දෙයක් උපදවන දේට එයා අකමැති වෙනව.

එයා ඇසට අකමැති වෙනව. කනට අකමැති වෙනව. නාසයට අකමැති වෙනව. දිව, ශරීරය, සිතට අකමැති වෙනව. එයා ඒ ආයතන හතුරො විදිහට, අහිතවත් අය විදිහට තේරුම් ගන්න කල්පනා කරන්ට කැමති වෙනව. එයා ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත අනිත්‍ය විදිහට, දුක් විදිහට, දකින්න පුරුදු වෙනව. එතකොට එයා ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත ගැන ආශ්වාදයෙන් නෙවෙයි කල්පනා කරන්නෙ. අකමැත්තකින් කල්පනා කරන්නෙ. ඒවයෙ ආදීනව දකිමින් කල්පනා කරන්නෙ. යම් දෙයක් කෙරෙහි ආශ්වාදයෙන් යුතුව කල්පනා කර කර යනකොට මොකද වෙන්නෙ. ආශාව උපදිනව. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්න බැඳිල යන දේවල් ගැන ආස්වාදයට අනුව කල්පනා කරන කොට ආශාව උපදිනව කියල. දැන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත්ත කෙනා ලෝභය අත් හරින්ට කැමැත්තෙන් වෑයම් කරන කොට, ඒ ලෝභය උපදින තැන් ගැන සිහිය උපද්දවගෙන වාසය කරන කෙනා ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කෙරෙහි අකමැත්ත උපදවාගෙන වාසය කරන කෙනා තුළ ආසාව උපදීද? ආශාව නිරුද්ධ වෙන්ට පටන් ගන්නව. හරිද වැරදිද ඒ කාරණාව? හරි. හරි වුණාට ඇයි අපි නොකරන්නෙ. ආරම්භය නෑ. ගමනක් යන්ට නම් පය උස්සන්ට ඕනැ. පය උස්සන්නෙ නැතුව ගමන යනවද? එයා එතනම යි. පය උස්සපු කෙනා ගමන යන්ට පටන්ගෙන.

ඒ නිසා අපි ආරම්භයට එන්න නම්, ධර්මය අහල ධර්මය කියවල ඒ ධර්මය අදහා ගන්න. අන්න එතකොට අපි තුළ කැමැත්ත උපදියි මේ ධර්මය මම අවබෝධ කරගන්ට ඕනෑ කියල. හරියට බැසගත්ත කෙනා නිහඬ කෙනෙක්. ලොකු ජලාශයකට වැටිච්ච මැණික් ගල හොයන්න පුළුවන්ද කාටවත්? හොයන්න බෑ. පුංචි වතුරට වැටිච්ච ඍජිෆෝම් කෑල්ලත් හොයන්න පුළුවන්නෙ. අන්න ඒ වගේ හරියට පැහැදීම ඇති වුන කෙනාගෙන් ඒක එළියට පැන පැන යන්නෙ නෑ. එයා නිහඬව තමන්ගෙ කටයුතු කරන කෙනෙක්. එයාගෙන් ලෝකයට කරදරයක් නෑ. ලෝකය ම එයාට කරදර කරන්ට උත්සාහ කළත්, එයා හිනාවෙලා නිකන් ඉන්නව ”හනේ කමක් නෑ” කියල. ඇයි එයාට කරන්ට බලවත් දෙයක් තියෙනව. දිය ඇතුළට කිඳා බැස්ස මැණික තියෙනව. මිනිස්සු ඇවිල්ල ඒ දිය කඳ කළම්ඹනවා. මැණික කැළඹෙයිද? නෑ. කළම්ඹන කට්ටිය කැළඹිලා යයි යන්ට. දිය මතුපිටට ඍජිෆෝම් කෑල්ලක් වැටෙනව. පුංචි ලේනෙක් ඇවිල්ල කැළතුවත් කැළඹිලා යනව. අන්න ඒ වගේමයි. මේ ධර්මය හොඳට අදහා ගත්තොත්, කවුරු මොනව කිව්වත් තමන්ගෙ කටයුත්ත එයා පාඩුවෙ කරනව. ලෝකය කැළඹෙන විදිහට එයා කැළඹිලා යන්නෙ නෑ. එයාට බලවත් දෙයක් තියෙනව කරන්ට.

එයා ඒ ලෝභය උපදින තැන් සිහියෙන් දකිනව. ලෝභය, ආශාව උපදින තැන් කෙරෙහි අකමැත්තෙන් වාසය කරනව. දැන් එතකොට එයා තුළ ආශාව ගෙවෙන්ට පටන් ගන්නව. එතකොට එයා තුළ නීවර්ණ වලට ආහාර නෑ. නීවරණ වලට ආහාර නැත්තෙ ඇයි? එයා වැඩක් නැති දේ අත්හරින්ට කැමැත්තෙන්, සංවරව ඉන්නෙ. ධර්මය කෙරෙහි බලවත් විශ්වාසයක් තුළ ඉන්නෙ. එයා ප‍්‍රමුදිතයි. නැවුම් හිතක්. කලින් තිබ්බ කුණු වෙච්ච හිත නෙවෙයි දැන්. ”අරක මොකක්ද, මේක මොකක්ද, අරය මෙහෙම කිව්ව. මෙයා මෙහෙම කිව්ව” ඒ වගේ හිත හිතා හිටිය කුණු වෙච්ච හිත දැන් නෑ. දැන් තියෙන්නෙ කොහොම හිතක්ද? අළුත් විශ්වාසයක්. බලවත් විස්වාසයක්. බලවත් කැමැත්තක්. ඒ හිත නැවුම්. ප‍්‍රමුදිතයි කියන්නෙ ඒකට. කලින් හිතේ තිබ්බෙ ”අරය මෙහෙම කිව්ව. මෙයා මෙහෙම කිව්ව. මට මෙහෙම වුණා. අරයට මෙහෙම වුණා. මඩ ගොහොරුව කලින් තිබ්බෙ. එතන නීවරණ කාමච්ඡුන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය ඔක්කොටම ආහාර තිබුනා.

දැන් ඒ කුණු වෙච්ච හිත නෙවේ, දැන් තියෙන්නෙ අළුත් හිතක්. ඒ මොකක්ද? ”භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළ. අනේ මටත් ඒක අවබෝධ කරන්ට ඇත්නම්”. එතකොට පරණ කුණු ඔක්කොම බැහැරවෙලා. ඒව අමතකයි. ඒව අත්හැරිල. අළුත් දෙයක්. ඒ සා හිත නැවුම්. නැවුම් හිතින් වාසය කරන කෙනා ප‍්‍රමුදිතයි. එසේ ප‍්‍රමුදිත බවට පත්වෙච්ච කෙනා තව දුරටත් වෑයම් කරන්නෙ ධර්මය තේරුම් ගන්න. එතකොට එයා තුළ නීවරණ වලට අහාර හටගන්න විදිහට නෙවෙයි එයා කටයුතු කරන්නෙ. එයා දැන් ඇසට අකමැතියි, ඇසට පේන රූපයටත් අකමැතියි, කනට අකමැතියි, ශබ්දයටත් අකමැතියි මේ ආදී විදිහට ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත මේව කෙරෙහි අකමැත්ත ඇතිකර ගනිමින් තමයි වාසය කරන්නෙ. දැන් එයා නීවරණවලට ආහාර සපයනවද? ආහාර නොදෙන්ට වෑයම් කරනවද? දැන් එයා නීවරණ වලට ආහාර දෙන්නෙ නෑ. නීවරණ වලට ආහාර සපයන්නෙ නෑ. ආහාර නැති කොට මොකද වෙන්නෙ. නීවරණ දුබල වෙනව. දැන් එයා තව දුරටත් සිහි කරන්නෙ, ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත ගැන. අකමැති විදිහටයි සිතන්නෙ. දැන් එයා තුළ නීවරණ වලට ආහාර නෑ. කලකදී නීවරණ දුබලවෙලා නීවරණ වල බලය නැතිවෙන කලක් එනව. එතකොට හිතේ නීවරණ කි‍්‍රයාත්මක වෙන්නෙ නෑ. දැන් මොකක්ද ක‍්‍රියාත්මක වෙන්නෙ? ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කෙරෙහි ආදීනව අනුව බලන සිතුවිලි හිතේ තියෙන්නෙ. අර නීවරණ වලින් ඇති වෙච්ච පීඩා දැන් නෑ.

නීවරණ වලින් පීඩා තියෙන කාලේ, කමච්ඡුන්දයෙන්, ව්‍යාපාදයෙන්, ථීනමිද්ධයෙන් නොයෙකුත් පීඩා ඇතිවුනා. දැන් ඒව නෑ. ඒ පීඩා නැති තැන හිත විවේකයි. හිතේ විවේකය තියෙනව. දැන් අර තමන් සිහිකරන ධර්මය විතරක් හිතේ තියෙනව. ඒ විවේකය නිසා එයා තුළ විවේකය උපදිනව. දැන් එයා ප‍්‍රීතියෙන් යුක්තව අර ධර්මය ම සිහි කරනව. කලකදී ඒ ප‍්‍රීතිය නැති වෙලා කය සිත සැහැල්ලූ වෙනව. පස්සද්ධිය උපදිනව. දැන් එයා තවත් පහසුවෙන් ඒ ධර්මයම සිහි කරනව. කලකදී සිත සැපයට පත්වෙනව. එයා දැන් සැප සේ ඒ ධර්මය ම සිහිකරනව. කලකදී ඒ නීවරණ නිරුද්ධ වෙලා ගිහිල්ල, බලවත් සමාධිය උපදිනව. දැන් එයා ඉතාම සුව පහසුවෙන් බලවත් සමාධිය තුළ ඒ ධර්මයම සිහිකරනව. කලක් යනකොට එයාට ඒ බලවත් සමාධි හොඳින් පිහිටුවා ගන්ට ලැබෙනව. ඒ සමාධිය තුළ වාසය කරන කෙනාට ලෝභය අත්හැර ගන්ට පුළුවන් කම ලැබෙනවග.

එනිසා මේ පින්වතුන් අන්න ඒකට කැමති වෙන්න. කැමති වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට ලෝභය අත්හරින්ට කැමති වෙන්න. භාග්‍යවතුන් වහන්සේ අපි උදෙසා ඇප වෙලා තියෙනව. අන්න ඒ භාග්‍යවතුන් වහන්සේගේ බලවත් ප‍්‍රකාශය විශ්වාස කරන්න. විශ්වාස කරන කෙනාට පුළුවන්කම ලැබෙනව මහත් වූ සැප විපාක අත් කර ගන්න. අපිට මේ විදිහට ඇප වෙනව කියල ප‍්‍රකාශ කරන්නෙ, ඒ විශ්වාස කිරීම එතරම් අමාරු නිසා. ඒ නිසා තමා ”මම ඇපවෙන්නම්” කියල කියන්නෙ? ඇයි එහෙම ඇප වෙන්නම් කියල කියන්නෙ. ඒ විශ්වාසය ඇති කර ගත්තෙ නැත්නම්, එයාට මහත් වූ ලාභය අහිමි වෙලා ආපහු දුක් සහිත වූ සතර අපායේ ඉපදෙමින් සංසාරේ යන්ට සිද්ධ වෙනව. ආන්න ඒකට භාග්‍යවතුන් වහන්සේ කැමති නෑ. කෙනෙක්ව සතර අපායෙන් නිදහස් කරගෙන සංසාරෙන් නිදහස් කරගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේට පුළුවන් උපරිම උත්සාහය තමයි මේ අරගෙන තියෙන්නෙ. ඒකයි කියන්නෙ ”මේ ලෝභය අතහරින්න. ඔබ අනාගාමී වෙනව කියල මම ඇප වෙනව” කියල.

එමනිසා ඔබ ඒ භාග්‍යවතුන් වහන්සෙ විසින් පෙන්වා දුන් ධර්මය හොඳින් දරාගන්න. එතකොට අපි කාටත් ඒ ධර්මයෙන් මහත් වූ පිහිට ලබාගන්ට පුළුවන්වෙයි. ඉතින් අපි මේ සියලූ දෙනාට ම ආශිර්වාද කරනව, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම පිණිස බලවත් වූ වීරිය උපදාවා ගැනීමට භාග්‍ය උදාවේවා කියල.

නාවලපිටියේ අරියවංශ හිමි

‘දිවයින බුදු මඟ’ ධර්ම සංග්‍රහයෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි.

Related Posts Plugin for WordPress, Blogger...

2 Comments

  1. Sadu! sadu!sadu! apa hata me sri saddaramaya kiyawima sadaha awasthawa labadena pinwath suwaminwahanselata boho pin. me dham mage idiriyata yamata me pin hethu wasana wewa! Namo Budhdhaya!

  2. Namo buddhaya!

    ane sadu….sadu……sadu……….!!!!!!!!! ranridimuthu menik maha akaraayak me mihithalaya mulumaninma wasagaththatath wada watina uthum buduwadan hithata monatharam senasimakda. weeryamai ekama jaya. sihiya balawath karagenimamai hema thapparayakama kalauththe. apramana pin . Namo buddhaya!

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: