subscribe

අපි ඉර්ධිපාද වඩමු_01

අපි ඉර්ධිපාද වඩමු_01

පින්වත්නි අපි අපේ ජීවිතය හැකි පමණ උසස් දෙයක් බවට පත්කර ගන්ට ඕනැ. ඒ සඳහා අපිට අවස්ථාවක් තියනවා. අපේ ජීවිතය උසස් දෙයක් බවට පත්කර ගන්ට අවස්ථාවක් අපිට තිබෙනවා කියල අපිට තේරුනේ නැත් නම්, අපිට කවදාවත් ජීවිතේ උසස් දෙයක් බවට පත්කර ගන්ට ලැබෙන්නෙ නෑ. අවස්ථාව තිබෙද්දී ඒ අවස්ථාව තිබෙනවා කියල අපිට තේරුනේ නැත්නම් සහ තේරුම් ගන්ට උත්සාහ කරන්නෙත් නැත්නම් ඒක අවාසනාවක්. නමුත් මේ පින්වතුන් තමන්ගේ ජීවිතේ දියුණු කර ගැනීමට තිබෙන අවස්ථාව යම් තරමකින් හෝ තේරුම් ගෙන ඇතියි කියල අපි හිතනව. එනිසා අපි කල්පනා කළා ජීවිතේ පිරිහෙන්න නොදී නියත වශයෙන් ම උසස් දෙයක් බවට පත් කර ගැනීම පිණිස උපකාරවන අතිශයින් ගැඹුරු ධර්මයක් සිහි කර දෙන්ට.

ගැඹුරු ධර්මයක් කියල කිව්වාම මේ පින්වතුන්ට බය හිතෙන්ට පුලූවන්. එසේ බය ඇති වෙන්ට නෙමෙයි අපි එහෙම කිව්වෙ. යම් ගැඹුරු දෙයක් ගම්භීර දෙයක් අපේ ජීවිතයට පමුණුවා ගන්ට ඇත්නම් අපේ ජීවිතය උසස් වෙනව නේද කියන වැටහීමක් ඇති කරගන්ටයි ඒ විදිහට කිව්වෙ. ඒ ධර්මය තමයි ”සතර ඉර්ධිපාද”. භාග්‍යවතුන් වහන්සේ විසින් සතර ඉර්ධිපාද පිළිබදව කළ දේශනාවල එකතුවක් තිබෙනවා සංයුක්ත නිකාය පහ දෙක කියන උතුම් ධර්ම ග‍්‍රන්ථයේ. ඒ දේශනා එකතුවට කියනව ”ඉර්ධිපාද සංයුක්තය” කියල. ඒ දේශනා අතුරින් දේශනා කිහිපයක් පිළිබඳව කතා කරන්ට අපි කල්පනා කළා. හොඳට ඒ කාරණා මතක තියාගෙන පුරුදු කරගන්ට බලන්න.

මේ ධර්මයන් අපිට බොහෝ ප‍්‍රයෝජනය පිණිස පවතිනවා. මේ ධර්මයන් පිළිබඳ වැටහීමක් නැතුව, මේ ධර්මයන්ගේ භාවිතයක් වෙන්නේ නෑ. මේ ධර්මයන්ගේ භාවිතයක් නොවී, මේ ධර්මයන්ගෙන් උපයා ගත හැකි ප‍්‍රතිඵලයන් උපදින්නේ නෑ. මේ ධර්මයන්ගෙන් උපදවා ගත හැකි ප‍්‍රතිඵලයන් උපදවා නොගෙන, දුකින් නිදහස් වීමක් නෑ. ඒ නිසා අපි මේ ධර්මයන් පුරුදු වීමට කැමති විය යුතුයි. භාවිත කළ යුතුයි. එසේ ඒ ධර්මයන් භාවිත කරන්නට නම් ඒ ධර්මයන් ගැන ප‍්‍රමාණවත් වැටහීමක් අපි ඇතිකර ගත යුතුයි. මේ ධර්ම කරුණුවල යම් අමාරු බවක් තියෙයි, තේරුම් ගන්ට අපහසුවක් තියෙයි, අපි උත්සාහ කරනවා අපහසුව අවම වෙන විදිහට ඒ ගැන කතා කරන්ට.

භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දී තිබෙනවා ”අපාර” කියල සූත‍්‍ර දේශනාවක්. මේ දේශනාව කියා දෙන්නේ සැවැත් නුවරදී. එකේ මේ විදිහට කියා දෙනවා. පින්වත් මහණෙනි, මේ ඉර්ධිපාද හතරක් තිබෙනවා. ඒවා භාවිත කළොත් පුරුදු කළොත් බහුල වශයෙන් පුරුදු කළොත්, ඒ කියන්නෙ ඉර්ධිපාද හතර බහුල වශයෙන් පුරුදු කිරීම මෙතෙරින් එතෙරවීම පිණිස පවතිනවා. මෙතෙර කියල කියන්නේ මේ සංසාරය. එතෙර කියල කියන්නේ නිවන. එසේ නම් මේ සතර ඉර්ධිපාදයන් භාවිත කිරීම, බහුල වශයෙන් පුරුදු කිරීම, මේ සසරින් නිදහස් වෙලා නිවන කරා යෑම පිණිස හේතු වෙනවා.

මොනවද ඒ ඉර්ධිපාද හතර? භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, ”පින්වත් මහණෙනි භික්ෂුව ඡන්දසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වන ඉර්ධිපාදය වඩනවා. විරියසමාධිපධාන සංකාරවලින් යුක්ත වූ ඉර්ධිපාදය වඩනවා. චිත්තසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වූ ඉර්ධිපාදය වඩනවා. වීමංසාසමාධිපධාන සංස්කාරයෙන් යුක්ත වූ ඉර්ධිපාදය වඩනවා. පින්වත් මහණෙනි, මේ සතර ඉර්ධිපාදයන් භාවිත කිරීම, බහුල වශයෙන් පුරුදු කිරීම මෙතෙරින් එතෙර වීම පිණිස පවතිනවා.

එතකොට අපේ කැමැත්ත තිබිය යුත්තේ සහ උත්සාහ කළ යුත්තේ මෙතෙරින් එතෙර වෙන්ට. අපි කෙළවරක් නොපෙනෙන දීර්ඝ ගමනක ආව. අපි මෙතෙරින් එතෙර නොවුනොත් ආයෙත් මේ ආව වගේම යන්ට වෙනවා. ඒ නිසා අපි මෙතෙරින් එතෙර වෙන්ට නම් ඉර්ධිපාද වැඞීම කළ යුතුයි. ඊලගට භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා ”විරද්ධ” කියන සූත‍්‍රයේ දි ”පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් මේ සතර ඉර්ධිපාදයෝ වරද්දා ගනියිද, අන්න එයා ඉතා හොඳින් දුක් ක්ෂය කිරීම පිණිස පවතින ආර්ය වූ මාර්ගය වරද්දා ගත්තා වෙනවා. පින්වත් මහණෙනි යම්කිසි කෙනෙක් මේ සතර ඉර්ධිපාදයන් ආරම්භ කළා නම්, අන්න එයා ඉතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස පවතින ආර්ය වූ මඟ පටන් ගත්තා වෙනවා.” කියල. හොඳට මතක තියා ගන්න මේ කරුණු.

එතකොට යම් කෙනෙක් මේ ඉර්ධිපාද හතර වරද්දා ගත්තොත් ඉතා හොඳින් දුක් ක්ෂය කිරීම පිණිස පවතින ආර්ය වූ මග වරද්ද ගත්තා වෙනවා. නමුත් යම් කෙනෙක් මේ ඉර්ධිපාද හතර පටන් ගත්තොත් එයා ඉතා හොඳින් දුක් ක්ෂය කිරීම පිණිස පවතින ආර්ය වූ මග පටන් ගත්තා වෙනවා. එහෙනම් අපිට නිවන් මග පටන් ගන්න තියෙන්නේ කොහෙන්ද? ඉර්ධිපාද පටන් ගැනීමෙන්. ඒක අමතක වුනොත් අපට නිවන් මග පටන් ගන්න අමතක වෙනවා. ඊලගට භාග්‍යවතුන් වහන්සේ ”අරිය” කියන සූත‍්‍ර දේශනාවේදි කියල දෙනවා, ”පින්වත් මහණෙනි, මේ ඉර්ධිපාද හතර බහුල වශයෙන් පුරුදු කරනවා නම්, ආර්ය වූ නිවන කෙරෙහි යොමු වූ නිවන උපද්දවන මග ඇති කරනවා” කියල.

ඊලගට භාග්‍යවතුන් වහන්සේ ”නිබ්බිදා” කියන සූත‍්‍ර දේශනාවෙදී කියා දෙනවා, ”පින්වත් මහණෙනි, මේ ඉර්ධිපාද හතර භාවිත කිරීමක්, බහුල වශයෙන් පුරුදු කිරීමක් තියනවද, අන්න ඒ භාවිත කිරීම බහුල වශයෙන් පුරුදු කිරීම ඒකාන්ත වශයෙන් අවබෝධයෙන් කළකිරීම පිණිස පවතිනවා, විරාගය පිණිස පවතිනවා, ඇල්ම දුරුවීම පිණිස පවතිනවා, නිරෝධය පිණිස, කෙලෙස් දුරුවීම පිණිස පවතිනවා, සිත සංසිදීම පිණිස පවතිනවා, විශේෂ අවබෝධය පිණිස පවතිනවා, ආර්ය සත්‍යය අවබෝධය පිණිස පවතිනවා, නිවන අවබෝධ කිරීම පිණිසත් පවතිනවා” කියල. එතකොට යම් කෙනෙක් තුළ අවබෝධයෙන් කලකිරීම ඇතිවුනොත්, නොඇල්ම ඇති වෙනවා. අවබෝධයෙන් කළ කිරෙනවා කියල කියන්නේ යමක අර්ථයක් නෑ කියල දැන ගැනීම. යමක අර්ථයක් නෑ, හිස් දෙයක්, අර්ථ ශූන්‍යයි කියල දැන ගැනීම තමයි අවබෝධයෙන් කලකිරීම කියල කියන්නේ. අර්ථයක් නෑ. දුකක් තියෙන්නේ. දුකින් තොර බවක් නෑ. මට උවමනා විදිහට පවත්ව ගන්ට බෑ කියල යම් වැටහීමක් ඇති වෙනව නම්, අන්න ඒක තමයි අවබෝධයෙන් කලකිරෙනවා කියල කියන්නේ.

යමෙක් සසර ගැන මේ ආකාරයෙන් තේරුම් ගත්තොත් එයා කිසි දේකට ආස වෙනවද? නෑ…එයා තුළ ආසාව අඩු වෙනවා. විරාගය ඇති වෙනවා. යම් ආසාවක් තිබුන නම් ඒ ආසාව අඩුවෙනවා. රාගය නැති වෙනවා. දැන් මෙහෙම හිතන්න. චොකලට් දාපු ලොකු කේක් එකක් තියනවා. මේක දැකපු කෙනෙකුට ආසාවෙන් කටට කෙල උනනවා. ගිහිල්ල බලනවා සුවදක් නම් එන්නෙ නෑ. දැන් මොකද මේ ආසාව ටිකක් අඩු වෙනවා. අත තිබ්බහම චොකලට් ටිකත් ඇලෙනවා. තොලේ ගාගන්නවා. ආසාව අඩු වෙනවද? නෑ. ආසාව වැඩි වෙනවා. දැන් පිහියක් එහෙම අරගෙන ලෑස්ති වෙනවා කපල කන්ට. කපල කන්ට යනකොට මොකද වෙන්නෙ? එතන රිජිපොම් තියෙන්නේ. හිතපු දේ නෑ, රැවටුනා. වටපිට බලනවා කවුරුත් දැක්කද කියල. කලින් තිබුනු ආසාවට මොකද වෙන්නේ? කලින් ආසාවක් තිබුන නේද? දැන් ඒ ආසාවට මොකද වුනේ? ඒ දේ ගැන ආයෙ ඒ ආසාව ඉපදෙන්නෙ නෑ නේද? ඒ වගේ තමයි සසර ගැනත්. යමෙක් සසර ගැන අවබෝදයෙන්ම කලකිරුන නම් ආසාව නැති වෙනවා, විරාගය ඇති වෙනවා.සසරේ යන්න තියන කැමැත්ත නැති වෙනවා. ඇල්ම නැති වුනාට පස්සේ, ඇල්ම නිසා යම් අපිරිසිදු බවක් තිබුන නම් අන්න ඒක දුරු වෙනවා. ආසාව නිසා කෙලෙස් ඇති වුනා නම් අන්න ඒ කෙලෙස් ටික දුරු වෙනවා. නිරුද්ධ වෙලා යනවා. ඇල්ම නැති වුනාම බැඳීම් නිරුද්ධ වෙලා යනවා. බැඳිල තිබුන දේ නැති වෙනවා. ඒකයි නිරෝධාය කියල කියන්නේ.

බැදිල තිබුන දෙයක් අයින් වෙලා ගියාට පස්සේ සංසිදෙනවා. නිශ්චල වෙනවා. යම් දෙයකට බැඳිල තිබුනාම එතන සංසුන් බවක් නෑ. දැන් හිත නොයෙකුත් දේට බැදිල. ඒ බන්ධන නිසා පීඩාවෙන් ඉන්නේ. නමුත් ඒ බැදීම් අයින් වෙලා ගියාට පස්සේ නිශ්චලයි. හිත නිශ්චල බවට පත් වෙනවා. සංසිඳෙනවා. ඒකට කියනවා ”උපසමාය” කියල. ඒ විදිහට හිත නිශ්චල වුනාට පස්සේ ඒ නිශ්චල වූ හිතෙන් විශේෂ අවබෝධයන් ඇතිකර ගන්ට පුළුවන්. ඒකට කියනවා ”අභිඤ්ඤාය” කියල. ඊට පස්සේ ඒ හිතෙන් පුළුවන් ආර්ය සත්‍යය අවබෝධය ඇති කර ගන්ට. ඒ කියන්නේ මේ තමයි දුක. මේ තමයි දුකේ හට ගැනීම. මේ තමයි දුකේ නැති වීම. මේ තමයි දුක් නැති කරන මග කියල ආර්ය සත්‍යය අවබෝධ කර ගන්ට පුලූවන්. ඒකට කියනව ”සම්බෝධාය” කියල.

ඊට පස්සේ ආර්ය සත්‍යය අවබෝධ කරගත් කෙනාට මොකද වෙන්නේ? එයාගෙ ආශ‍්‍රව ක්ෂය වෙනවා. ඉපදීම පිණිස යම් හේතුවන්නා වූ දෙයක් චිත්ත අභ්‍යන්තරයේ තිබුනා නම් ඒක තමයි ආශ‍්‍රව. ඉපදීමට හේතුවෙන දේවල් හිත අභ්‍යන්තරයේ තියනවා. ඒ දේ තියන කල්ම ඉපදීම සකස් වෙනවා. එතකොට ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥාණය ඇතිවුනාට පස්සේ ඒ ඉපදීම පිණිස තියන හේතුව ක්ෂය වෙනවා. මොකක්ද හේතුව? ආශ‍්‍රව. ආශ‍්‍රව ක්ෂය වෙනවා. එයාට තේරෙනවා සත්‍යය අවබෝධ වුනා. එයාට ආර්ය සත්‍යය අවබෝධයත් එක්ක ඉපදීමට හේතුවන ආශ‍්‍රව සම්පූර්ණයෙන් ම ක්ෂය වුනා කියල තේරෙනවා. ඒකට කියනවා ”අසවක්‍යය ඤාණය” කියල. දැන් එයාට තේරෙනවා ඉපදීම ක්ෂය වුනා. බඹසර ජීවිතය පිළිබඳ කළ යුතු දෙයක් තියනවා නම් කරල අවසානයි, බඹසර ජීවිතය පරිපූර්ණයි කියල එයා දන්නව. එතකොට එයා නිවන අවබෝධ කරල. නිවනේ හිත පිහිටල.

බලන්න අන්න ඒ විදිහට යම් කෙනෙක් දියුණු වෙනව නම්, ඒක තමයි නොපිරිහෙන දියුණුව. ආයෙ එයා පිරිහෙන්නෙ නෑ. යම් කෙනෙක් පිනක් කර ගන්නව. ඒ පිනේ විපාක විදිහට දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. ඒ පින ගෙවුනට පස්සේ එයා ආර්ය ශ‍්‍රාවකයෙක් නෙවෙයි නම් ආයෙ සතර අපායට වැටෙනවා. යම් කෙනෙක් සමාධිය වඩනව. බ‍්‍රහ්ම ලෝකෙ යනවා. ආර්ය ශ‍්‍රාවකයෙක් නොවෙයි නම් ආයෙත් එයා සතර අපායෙ ඉපදෙනවා. එතකොට බලන්න ඒ ලැබූ දියුණුව දියුණුවක් ද? ඒක තාවකාලික එකක්. ඒකට දියුණුව කියල සැලකීම සුදුසු නෑ. පිරිහෙන දෙයක්. නමුත් බලන්න ඉර්ධිපාද වඩන කෙනාට ඇතිවන දියුණුව. එයා තුළ සිදුවන දේ තමයි ඒකාන්ත වශයෙන් එයා සසර කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරුණට පස්සෙ ආසාව නැතිවෙන්ට පටන් ගන්නවා. ඊට පස්සේ එයාගෙ බැදීම් නිරුද්ධ වෙලා යනවා. හිත සංසිඳෙනවා. සංසිඳුන සිතින් විශේෂ අවබෝධයන් ඇති වෙනවා. ආර්ය සත්‍යය අවබෝධකර ගන්නවා. ඉපදීම ක්ෂය වෙලා නිවන අවබෝධ කර ගන්නවා. එතකොට එය කවදාවත් පිරිහෙන්නේ නෑ. කිසි කෙනෙකුට එයාට පිරිහීම පිණිස යමක් කරන්ටත් බෑ. ඒ නිසා අන්න එබඳු දියුණුවක් ඇතිකර ගන්ට අපි කැමති වෙන්ට ඕනැ. ඒ සඳහා උපකාරවන දේ තමයි ඉර්ධිපාද වැඞීම.

”භික්ඛු සූත‍්‍රය” කියල දේශනාවෙදි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මෙන්න මේ වගේ කාරණා කිහිපයක්. ”පින්වත් මහණෙනි, අතීත කාලයේ වාසය කළ යම් භික්ෂුවක් ආශ‍්‍රව ක්ෂය වීමෙන් ආශ‍්‍රව රහිත බවට පත්වූ චිත්ත විමුක්තියත් ප‍්‍රඥා විමුක්තියත් ඒ ජීවිතයේදීම තමන්ගේ විශේෂ වූ නුවණින් අවබෝධ කරගෙන එයට පැම්ණ වාසය කළා නම්, ඒ සියල්ලන් ම මේ ඉර්ධිපාද හතර භාවිත කළ අයයි. ඒ සියල්ලන් ම මේ ඉර්ධිපාද හතර බහුල වශයෙන් පුරුදු කළ අයයි. පින්වත් මහණෙනි, අනාගතයේ පහලවන යම් භික්ෂුවක් ආශ‍්‍රව ක්ෂය වීමෙන්, ආශ‍්‍රව රහිත බවට පත් වූ චේතෝ විමුක්තියත්, ප‍්‍රඥා විමුක්තියත්, ඒ ජීවිතයේදීම තමන්ගේ විශේෂ නුවණින් අවබෝධ කරගෙන එයට පැමිණ වාසය කරනවා නම් ප‍්‍රඥා විමුක්තියත් චිත්ත විමුක්තියත් යන දෙකට පැමිණ වාසය කරනවා නම් ඒ මේ සතර ඉර්ධිපාදයන් භාවිත කිරීමෙන්මයි, බහුල වශයෙන් භාවිත කිරීමෙන්මයි. පින්වත් මහණෙනි, ඒ වගේම වර්තමාන කාලයේ යම් භික්ෂුවක් ආශ‍්‍රව ක්ෂය වීමෙන් ආශ‍්‍රව රහිත බවට පත්වන චේතෝ විමුක්තියත්, ප‍්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන්ගේ නුවණින් අවබෝධකරගෙන වාසය කරනවා නම්, ඒ මේ සතර ඉර්ධිපාද පුරුදු කිරීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් මයි” කියල.

මොනවද ඒ ඉර්ධිපාද හතර? ඡන්දසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වන ඉර්ධිපාදය, විරියසමාධිපධාන සංකාරවලින් යුක්ත වූ ඉර්ධිපාදය, චිත්තසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වූ ඉර්ධිපාදය, විමංසාසමාධිපධාන සංස්කාරයෙන් යුක්ත වූ ඉර්ධිපාදය. එතකොට බලන්න අතීත කාලයේදී යම් භික්ෂුවක් ආශ‍්‍රව ක්ෂය කරගෙන ආශ‍්‍රව රහිත බවට පත්වුනා නම් චිත්ත විමුක්තියත් ප‍්‍රඥා විමුක්තියත් උපදවා ගත්තා නම්, ඒ සියලූ දෙනාම මේ සතර ඉර්ධිපාද වැඩූ අයයි. අනාගත කාලෙදි යම් භික්ෂුවක් ආශ‍්‍රව රහිත බවට පත්වෙලා චිත්ත විමුක්තිය, ප‍්‍රඥා විමුක්තිය දෙක ඒ ජීවිතයේදීම අවබෝධ කරගෙන වාසය කරනවා නම් ඒ සියලූ දෙනාම මේ සතර ඉර්ධිපාද බහුල වශයෙන් පුරුදු කළ අයයි. වර්තමාන කාලෙත් එහෙමයි. වෙන ක‍්‍රමයකින් නොවෙයි. සතර ඉර්ධිපාද වලින් තොරව ජීවිතේ නිවන් මගට පමුණුවා ගන්ටවත්, නිවන් මග ගමන් කරන්ටවත් නොලැබෙන බව දැන් මේ පින්වතුන්ට වැටහෙනව ඇති.සියලූ දෙනාටම මේ උතුම් සතර ඉර්ධිපාද ධර්මයන් පුරුදු කිරීම පිණිස කැමැත්ත ඇතිවේවා.

තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

2 Comments

  1. siyalu sathwayo suwapath wewa…………….

  2. සත් තිස් බෝධි පාක්ෂික ධර්ම වලින් කොටසක් වන මෙය, වැඩීමෙන් ඉතිරි බෝධි පාක්ෂික ධර්මත් වැඩේ යැයි මට සිතුනි…

    සියල්ලන්ගේම අදහස් විමසමි…. තෙරුවන් සරණයි…..

    සතර ඉර්ධිපාද වැඩීමෙන් සියලුම දෙනාට මේ භවයේ දීම නිවන් අවබෝද වේවා…..!!!

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: