subscribe

අපි ඉද්ධිපාද වඩමු 02

අපි ඉද්ධිපාද වඩමු 02

අපි පසුගිය ලිපියෙන් සතර ඉර්ධිපාද ධර්මයන් ගැන කෙටි හැඳින්වීමක් කළා. දැන් ඔබට වැටහීමක් තිබිය යුතුයි සතර ඉර්ධිපාද නොවඩා අපට මේ ජීවිතය, සැබෑ වශයෙන් දියුණුවක් කරා ගෙන යන්ට බෑ කියල. එහෙනම් සතර ඉර්ධිපාද වැඩිය යුතුයි කියන අදහස අපි ඇතිකර ගත යුතුයි.

දැන් අපි බලමු මේ සතර ඉර්ධිපාද ධර්මයන් ගැන ටිකෙන් ටික තේරුම් කර ගන්ට. අපි ඉර්ධිපාද හතරක් ගැන දැන ගත්තා. පළවෙනි එක තමයි ඡන්දසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත ඉර්ධිපාදය, දෙවැනි එක විරියසමාධිපධාන සංකාරයන්ගෙන් යුක්ත වූ ඉර්ධිපාදය, ඊලගට චිත්තසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වූ ඉර්ධිපාදය ඊලගට වීමංසාසමාධිපධාන සංස්කාරයෙන් යුක්ත වූ ඉර්ධිපාදය.

අපි ඉර්ධිපාද වැඞීමේ අවශ්‍යතාවය තේරුම් ගත්තා. ඊලඟට ඉර්ධිපාද කියන්නේ මොකක්ද කියල එහි අර්ථය තෝර ගන්න බලමු. ඊට පස්සේ අපි බලමු ඒ ධර්මයන් කොහොමද පුරුදු කර ගන්නේ කියල.

සංයුක්ත නිකායේ පස්වෙනි ග‍්‍රන්ථයේ තියෙනවා ඡන්ද සූත‍්‍රය කියල දේශනාවක්. ඒ දේශනාවෙදී භාග්‍යවතුන් වහන්සේ අපට මේ විදිහට කියා දෙනවා, ”පින්වත් මහණෙනි, භික්ෂුවක් ඡන්දය නිසා සමාධියක් ලබනවා නම්, එහෙම නැත්නම් චිත්ත ඒකාග‍්‍රතාවයක් ලබනවා නම් අන්න ඒක තමයි ඡන්ද සමාධිය කියන්නේ. ඒ භික්ෂුව නූපන් පාපී අකුසලයන් නූපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩිකර ගන්නවා, බලවත් බවට පත්කර ගන්නවා. උපන්නා වූ යම් පාපී අකුසල ධර්මයන් ප‍්‍රහානය කර ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා සිත දැඩිකර ගන්නවා, බලවත් බවට පත්කර ගන්නවා. නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා සිත දැඩිකර ගන්නවා, බලවත් බවට පත්කර ගන්නවා. උපන්නාවූ යම් කුසල ධර්මයන් තියනවා නම් අන්න ඒව පවත්ව ගන්ට, නොනැසී තියා ගන්න, වැඩි දියුණු කර ගන්ට, විපුල බවට පත් කර ගන්ට, භාවනා කිරීම මඟින් ඒ කුසල් දහම් පරිපූර්ණ බවට පත්කර ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා සිත දැඩිකර ගන්නවා, බලවත් බවට පත්කර ගන්නවා. අන්න ඒ ටික තමයි ප‍්‍රධාන සංකාර කියල කියන්නේ. එතකොට මොනවද ඒ සතර සම්‍යයක් ප‍්‍රධාන වීර්ය. නූපන් අකුසල් උපදින්නේ නැති වෙන්ට කැමැත්ත ඇති කර ගන්නවා,වෑයම් කරනවා වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ සිත පිහිටුවා ගන්නවා. උපන් පාපී අකුසලයන් ප‍්‍රහානය කිරීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා වෑයම් කරනවා, වීරිය උපදවා ගන්නවා, සිත දැඩි කර ගන්නවා බලවත් දෙයක් බවට පත් කර ගන්නවා. නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා සිත දැඩිකර ගන්නවා, බලවත් බවට පත්කර ගන්නවා. උපන්නාවූ යම් කුසල ධර්මයන් තියනවා නම් අන්න ඒව පවත්ව ගන්ට නොනැසී තියා ගන්න වැඩිදියුණු කර ගන්න විපුල බවට පත් කර ගන්ට භාවනා කිරීම මගින් ඒ කුසල් දහම් පරිපූර්ණ බවට පත්කර ගන්ට පිණිස කැමැත්ත උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා සිත දැඩිකර ගන්නවා, බලවත් බවට පත්කර ගන්නවා. ඒකට කියනවා පධාන සංකාර කියල.

එතකොට මොකක්ද ඒ කරන්නෙ? සතර ආකාරයකින් ප‍්‍රධන් වීරිය පවැත්වීම. ඒ විදිහට එයා සතර ආකාරයට වීරිය පවත්වන්නේ කුමක් සහිතවද? ඡන්දසමාධිය සහිතව. ඒකට කියනවා ඡන්දසමාධිපධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදය කියල. දැන් අපි ඒ ඉගෙන ගත්තේ ඡන්දසමාධිපධාන සමන්නාගත ඉර්ධිපාදය ගැන. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා වීරිය නිසා සමාධිය ඇති වෙනවා. ඒ වගේම සිතේ එකඟතාවයක් ඇති වෙනවා නම් චිත්ත ඒකාග‍්‍රතාවයක් ඇති වෙනවා නම් ඒකට කියනව විරිය සමාධිය කියල. ඒ විරිය සමාධියෙන් යුක්ත කෙනත් ඉහත විස්තර කළ ආකාරයටම හතර ආකාරයකින් කටයුතු කරනවා. එසේ කටයුතු කරනකොට එයාට තියනවා වීරිය නිසා ඇතිවුන සමාධිය. ඊලගට සතර ආකාරයකින් එයා කටයුතු කරනවා. එතකොට වීරිය තියනවා ඒ නිසා උපන් සමාධිය තියනවා. ඒකට කියනවා විරිය සමාධිය කියල. ඊලඟට අකුසල් දුරු කරන්ටත්, කුසල් උපදවා ගන්ටත් ඒ කරන වෑයමට කියනව ප‍්‍රධාන සංකාර කියල. එතකොට ඒ අංග තුනෙන් ම යුක්ත බවට කියනව විරියසමාධිපධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදය කියල. එතකොට යම් කෙනෙක් ඒ අංග තුනෙන්ම යුක්තව කටයුතු කරනවාට තමයි කියන්නේ විරියසමාධිපදාන සංකාර සමන්නාගත ඉර්ධිපාදය වඩනවා කියල.

ඊලග ඉර්ධිපාදය මොකක්ද? චිත්තසමාධිපධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදය. භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා යමෙකුට සිත නිසා සමාධියක් ඇතිවෙනවා නම් ඒකට කියනවා චිත්ත සමාධිය කියල. අන්න ඒ කෙනාට චිත්ත සමාධිය තියනවා. එතකොට එයා උපන් පාපී අකුසල ධර්මයන් දුරු කරන්ට කැමැත්ත උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා. නූපන් අකුසල් උපදවා නොගන්ට කැමැත්ත ඇති කර ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා. ඊට පස්සේ නූපන් කුසල ධර්මයන් උපදවා ගන්ට කැමැත්ත උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩිකර ගන්නවා බලවත් සේ කටයුතු කරනවා. ඊලඟට එයා උපන් කුසල ධර්මයන් නොනැසී පවත්වන්ටත්, බලවත් කර ගන්නටත්, විපුල බවට පත්කර ගන්නටත්, භාවනාවෙන් පරිපූර්ණ බවට පත්කර ගන්ටත් කැමැත්ත උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා. එතකොට බලන්න ඒ විදිහට කටයුතු කරන කොට එයාට සිත නිසා උපන් සමාධිය තියනවා. සතර ආකාරයකින් එයා අකුසල් දුරු කරන්ටත් කුසල් උපදවාගෙන පවත්වා ගන්නටත් කටයුතු කරනවා. එතකොට ඒ සිත නිසා උපන් සමාධිය චිත්ත සමාධියයි. අකුසල් දුරු කරන්ටත් කුසල් උපදවාගන්ටත් කරන වෑයමට ප‍්‍රධාන සංකාර කියල කියනවා. එතකොට ඒ තුනටම කියනව චිත්ත සමාධි ප‍්‍රධාන සංකාර කියල. එතකොට අන්න ඒ ධර්මයන් තුනම යම් කෙනෙක් පුරුදු කරනවට කියනව චිත්ත සමාධි ප‍්‍රධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදය වඩනවා කියල.

ඊලග ඉර්ධිපාදය මොකක්ද වීමංසාසමාධිපධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදය. ඒ කියන්නේ යම් වීමංසාවක් තියනවා නම් ඒ නිසා සිතේ සමාධියක් ඇති වෙනවා. ඒකට කියනව වීමංසා සමාධිය කියල. අන්න ඒ වීමංසා සමාධියෙන් යුක්ත කෙනා නූපන් අකුසලයන් නූපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා. උපන් පාපී අකුසල ධර්මයන් දුරුකර ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා. නූපන් කුසල ධර්මයන් ඇතිකර ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා. උපන් කුසල ධර්මයන් නොනැසී පවත්වා ගන්ට, රැක ගන්ට, බලවත් බවට පත්කර ගන්ට, කැමැත්ත උපදවා ගන්නවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සේ කටයුතු කරනවා. එසේ කටයුතු කිරීමට කියනවා ප‍්‍රධාන සංස්කාර කියල. එතකොට බලන්න දැන් එයා ලග තියනවා වීමංසාව, ඒ කියන්නේ විමසා බැලීම තියනවා. එතකොට ඒ විමසා බැලීම නිසා සමාධියක් ඇති වෙනවා. එතකොට ඒ සමාධියට කියනවා වීමංසා සමාධිය කියල. එතකොට වීමංසා සමාධියෙන් යුක්ත කෙනා සතර ආකාරයෙන් කටයුතු කරනවා අකුසල් ප‍්‍රහානය කරන්ටත්, කුසල් උපදවාගෙන සම්පූර්ණ කර ගන්ටත්. එතකොට ඒ කටයුතු ඔක්කොටම කියනවා වීමංසා සමාධි ප‍්‍රධාන සංකාර කියල. එතකොට ඒ කටයුතු තුනම ඒ ආකාරයෙන් කරන කෙනාට ඒ පුරුදු කිරීමට කියනවා විමංසාසමාධිපධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදය වඩනවා කියල.

දැන් අපි ඡන්ද සමාධි ප‍්‍රධාන සමන්නාගත ඉර්ධිපාදය වැඞීම ගැන තවදුරටත් ඉගෙන ගනිමු. ඡන්දය නිසා යම් සමාධියක් ඇති වෙනවා නම් චිත්ත ඒකාග‍්‍රතාවයක් ඇතිවෙනවා නම් ඒකට කියනවා ඡන්ද සමාධිය කියල. දැන් බලන්න ඡන්දය නිසා සමාධියක් ඇති වෙන්ට නම් මුලින්ම මොකක්ද තියෙන්ට ඕන. ඡන්දය තියෙන්ට ඕන. ඡන්දය කියන්නෙ කැමැත්තට. එහෙනම් එයාට දැන් ඡන්දය තියනවා. ඒ ඡන්දය නිසා උපන් සමාධිය තියනවා. දැන් එතකොට අංග දෙකක් තියනවා. අන්න එයා තමයි අකුසල ධර්මයන් මුලූමනින් ම ප‍්‍රහානය කරන්ටත්, කුසල් උපදවගෙන සම්පුර්ණ කරන්ටත් කටයුතු කරන්නේ. එහෙනම් දැන් ඡන්දය නැති කෙනාට ඡන්ද සාමාධිය ඉපදෙනවද? නෑ. එහෙනම් ඡන්දයත් නැති ඡන්ද සමාධියත් නැති කෙනාට පධාන සංකාර උපදවා ගන්ට පුළුවන්ද බෑ. දැන් තේරුම් ගන්න යමෙකුට ඡන්දය තියනවා නම් එයාට ඒ ඡන්දය නිසා සමාධිය ඉපදෙනවා. එතකොට එයාට ඡන්දය තියනවා ඡන්ද සමාධිය තියනවා. අන්න එයා පධාන සංකාරයන් පුරුදු කරනවා. දැන් පධාන සංකාර කියන්නේ මොනවද කියල අපි දන්නවා. ඒ කියන්නේ මුලූමනින් ම අකුසල් ප‍්‍රහානයටත් කුසල් උපදවාගෙන පරිපූර්ණ කර ගන්ටත් හතර ආකාරයකින් එයා වෑයම් කරනවා. එයටයි පධාන සංස්කාර කියල අපි ඉගෙන ගත්තේ. එතකොට අන්න ඒ විදිහට කටයුතු කරන කොට එයා තුළ කාරනා තුනක් තියනවා. ඒ කාරනා තුන එයා පුරුදු කරනවා. අන්න ඒ කාරනා තුන පුරුදු කරනවට කියනව ඡන්ද සමාධි පධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදය වඩනවා.

ඊලඟට යමෙකුට වීරිය තියනවා නම්, ඒ වීරිය නිසා සමාධිය උපදිනවා. අන්න ඒ වීරිය නිසා උපදින සමාධියට කියනව වීරිය සමාධිය කියල. ඒ වීරිය සමාධියෙන් යුක්ත කෙනා හතර ආකාරයකින් අකුසල් බැහැර කරන්ටත්, කුසල් උපදවාගෙන පරිපූර්ණ කර ගන්ටත් කටයුතු කරනවා. අන්න එයාට විරියසමාධිපධානසංකාරවලින් යුක්ත වූ ඉර්ධිපාදය තියනවා. ඒ කරුණු පුරුදු කරන කොට ඒ ඉර්ධිපාදය එයා වඩනවා.

ඊලගට චිත්ත, යම් සිතක් තියනවා නම් එයාට ඒ සිත නිසා සමාධිය උපදිනවා. එතකොට එයාට චිත්ත සමාධිය තියනවා. අන්න ඒ විදිහට චිත්ත සමාධියෙන් යුක්ත කෙනා සතර ආකාරයකින් කටයුතු කරනවා අකුසල් බැහැර කරන්ටත් කුසල් උපදවාගෙන පරිපූර්ණ කර ගන්ටත්. ඒකට කියනවා ප‍්‍රධාන සංකාර කියල. එතකොට ඒ අංග තුනෙන් යුක්තව කටයුතු කරනවාට කියනවා චිත්තසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වූ ඉර්ධිපාදය වඩනවා කියල.

ඊලගට වීමංසාව. ඒ කියන්නෙ විමසා බැලීම. යම් කෙනෙක් තුළ විමසීම තියනවා නම්, ඒ විමසීම මුල්වෙලා සමාධිය ඉපදෙනවා. ඒකට වීමංසා සමාධිය කියනවා. එතකොට ඒ වීමංසා සමාධියෙන් යුක්ත කෙනා අකුසල් බැහැර කරන්ටත් කුසල් උපදවාගෙන පරිපූර්ණ කර ගන්ටත් සතර ආකාරයකින් කටයුතු කරනවා. ඒකට කියනවා පධාන සංකාර කියල. එතකොට එයා තුල වීමංසාව තියනවා.වීමංසා සමාධිය තියනවා. පධාන සංකාර තියනවා. එතකොට ඒ අංග තුනෙන් යුක්තව කටයුතු කරනවාට කියනවා වීමංසා සමාධි පධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදය වඩනවා කියල.

අපි මේ පින්වතුන්ට සතර ඉද්ධිපාද ධර්මයන් ගැන හැඳින්වීමක් කළා. ලබන සතියේ ළිපියෙන් අපි, ඡන්දය කියන්නේ මොකක්ද, විරිය කියන්නෙ මොකක්ද්, චිත්ත කියන්නෙ මොකක්ද්, වීමංසාව කියන්නේ මොකක්ද? කියල පැහැදිලි කර දෙන්ට බලාපොරොත්තු වෙනවා. සියලූ දෙනාටම තෙරුවන් සරණයි.

තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: