subscribe

සියලූ සංස්කාර පිළිබඳ අනිත්‍යය දකිමු…

සියලූ සංස්කාර පිළිබඳ අනිත්‍යය දකිමු…

අපි සියලූ සංස්කාර අනිත්‍යය විදිහට දකිමින් වාසය කරන්ටත් පුරුදු වෙන්ට ඕනැ . ඒ විදිහට සියලූ සංස්කාර අනිත්‍යය විදිහට දකිමින් වාසය කිරීමට පුරුදු වීමත් අපිට ඉතාම සුව පහසුවෙන් ජීවත් වෙන්ට උපකාර වන දෙයක්. භාග්‍යවතුන් වහන්සේ පාරිල්‍යෙයක සූත‍්‍රයේ දී අපිට කියා දී තිබෙනවා, ”මේ රූපය සංස්කාරයක්, හට ගන්න දෙයක්, පටිච්ච සමුප්පන්න දෙයක්, සංඛතයක්” කියල. ඒ වගේම විඳීමත් සංස්කාරයක්, සංඛතයක්, පටිච්ච සමුප්පන්න දෙයක් විදිහට. ඒ වගේම සංඥාවත් සංස්කාරයක්, සංඛතයක්, පටිච්ච සමුප්පන්න දෙයක් විදිහට අපිට පෙන්වා දී තිබෙනවා. ඒ වගේම චේතනාවත් පටිච්ච සමුප්පන්න දෙයක් විදිහට සංස්කාරයක් විදිහට අපිට පෙන්වා දී තිබෙනවා. ඒ වගේම විඤ්ඤාණයත් සංස්කාරයක්, සංඛතයක්, පටිච්ච සමුප්පන්න දෙයක් විදිහටයි අපිට පෙන්වා දී තිබෙන්නේ.

සංස්කාර කියල කියන්නේ හේතුවකින් හට ගෙන, ඒ හේතු නැතිවීමෙන් ම නැතිවෙලා යන ස්වභාවයේ දේවල් වලටයි. එතකොට රුප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන උපාදානස්කන්ධ පහම හේතුවකින් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවෙලා යන දේවල්, සංඛත දේවල්, පටිච්ච සමුප්පන්න දේවල්. මේවා සංස්කාර විදිහටයි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දී තිබෙන්නේ. එතකොට අපිට පංච උපාදානස්කන්ධයම ඇතිවෙලා නැතිවෙලා යන ස්වභාවය හොඳට නුවණින් විමසන්න පුරුදු වුනොත් අන්න එමඟින් අපිට පුළුවන්කම තිබෙනවා සියලූ සංස්කාර පිළිබඳවම අනිත්‍ය දකිමින් වාසය කරන්ට. අපි හොඳට ඒ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන මේ පංච උපාදානස්කන්ධයම හට ගන්න ස්වභාවයත් නැසිල යන ස්වභාවයත් පිළිබඳව නුවනින් විමසන්ට පුරුදු වුනොත් එමඟින් අපිට සියලූ සංස්කාර කෙරෙහි අනිත්‍යය දකිමින් වාසය කරන්න පුළුවන් වෙනවා. මෙය භාවනාවක් විදිහට හොඳින් පුරුදු වුනොත් ඉතාමත් ම ප‍්‍රනීත භවනාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපිට බහුල වශයෙන් කරන්න සිද්ධ වෙන්නේත් මේ භාවනාවමයි. ඒ වගේම මේ භාවනාව හොඳින් පුරුදු කර ගත්තොත් එයාට අනෙකුත් භවනාවන් තවත් හොදට පුරුදු කරන්ට පුළුවන්.

අපි භාවනා කීපයක් කරන කොට ඒ සෑම භාවනාවක් ම ප‍්‍රනීත නොවෙන්ට පුළුවන්. නමුත් සියලූ සංස්කාර කෙරෙහි අනිත්‍යය සංඥාව, භාවනා විදිහට හොඳට පුරුදු කළොත් අනිකුත් භාවනාවන් පහසුවෙන් කර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ ම මේ භාවනා හොඳට පුරුදු කිරීමෙන් බලවත් සමාධි උපදවා ගන්ට පුළුවන්. ඒ වගේ ම බොජ්ජංග ධර්ම හතම උපදවා ගන්ට මේ භාවනාවෙන් පුළුවන්කම තිබෙනවා. යම් කෙනෙක් හොඳින් මේ භාවනාව පුරුදු කළොත් එයාට පළවෙනි ධ්‍යානය, දෙවැනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය ආදී රූප සමාධි දියුණු කර ගන්ටත් පුළුවන්. තවදුරටත් දියුණු කිරීමෙන් අරූප සමාධි දියුණු කරගන්ටත් පුළුවන්කම තියනවා. විශේෂයෙන් මේ භාවනාවෙන් සමථ විදර්ශනා කියන අංශ දෙකම වැඩෙනවා. ඒ නිසා ඉතාම සුවපහසු භාවනාවක්. අපිට පහසුවෙන් සමාධිය දියුණු කරන්ට පුළුවන් භාවනාවක්. ඒ නිසා මේ භාවනාව අපි හොඳට පුරුදු වුනොත් අපිට ඒක මහා ලාභයක් බවට පත් වෙනවා.

මේකත් මතක තියා ගන්න. මේ භාවනාවත් හදිස්සි වෙලා කළබලයට කරන එකක් නෙමේ. මේ භාවනාවත් ටික ටික පුරුදු වෙලා හුරු කරගෙන තමයි බහුලව පුරුදු කරන්නට ඕනැ. ඒ නිසා අපි මුලින් ඉගෙන ගෙන හුරු කරමින් හොඳින් හුරු පුරුදු වුනාට පස්සේ බහුල වශයෙන් කරන්ට උත්සාහ කරන්න. ඒකට කොච්චර කල් යයි ද කියල අපිට කියන්න බෑ. තම තමාගේ ස්වභාවය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. අපි කෙටියෙන් ඒ භාවනාව හුරුවෙමු.

හොඳට කය සෘජු කරගෙන වාඩිවෙන්න. එතකොට කයේ තියෙන මැළි ගතිය දුරුවෙලා යනවා. දැන් තේරුම් ගන්න ”මම වාඩි වෙලා ඉන්නෙ..” කියල. හෙමිහිට ඇස් වහගෙන අපි ඉන්න තැන හොඳට තේරුම් ගන්න. ඊලඟට ඉඳගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. හිතෙන්…. ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳට තේරුම් ගන්න. දැන් තමන් බිම වාඩිවෙලා ඉන්නෙ කියල හොඳට තේරුම් ගන්න…. දැන් මේ විදිහට මෙනෙහි කරන්න…….

සතර මහා ධාතූන්ගෙන් යුතු මේ රූපය ආහාරයෙන් ඇතිවෙලා ආහාර නැති වීමෙන් නැතිවෙලා යන නිසා අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත් වන මේ රූපය මම නොවෙයි… මගේ නොවෙයි… මගේ ආත්මය නොවෙයි…

ස්පර්ශයෙන් ඇතිවන විඳීම ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත් වන විඳීම මම නොවෙයි… මගේ නොවෙයි… මගේ ආත්මය නොවෙයි…

ස්පර්ශයෙන් ඇතිවන හඳුනාගැනීම ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත් වන හඳුනාගැනීම මම නොවෙයි… මගේ නොවෙයි… මගේ ආත්මය නොවෙයි…

ස්පර්ශයෙන් ඇතිවන චේතනාව ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත් වන චේතනාව මම නොවෙයි… මගේ නොවෙයි… මගේ ආත්මය නොවෙයි…

නාමරූපයෙන් ඇතිවන විඤ්ඤාණය නාමරූප නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත් වන විඤ්ඤාණය මම නොවෙයි… මගේ නොවෙයි… මගේ ආත්මය නොවෙයි… (නැවත නැවත ආරම්භයේ සිට සිහි කරන්න)

භාවනාවෙන් නැගීසිටීමට පෙර සමාධිය බැස යත්වා…… කියල හිතන්න. දැන් ඇස් අරින්න..

මේ විදිහට කෙටියෙන් පුරුදු කර ගත්තොත් අපිට කලකදී මේ සංඥාව හිතේ හොඳින් පිහිටුවා ගන්ට පුළුවන්. කලකදී ඉතාම ප‍්‍රනීත විදිහට මේ භාවනාව පුරුදු කර ගන්න පුළුවන්කම තියනවා.

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් පෙන්වා දුන් අප ඉගෙන ගත් ඒ උතුම් දේශනාවේ සඳහන් වූ ඒ උතුම් භාවනාවන් හොඳින් පුරුදු කරගෙන සසර කෙරෙහි කළකිරීම උපදවා ගැනීම පිණිස සියලූ දෙනාටම දුර්ලභ වූ භාග්‍ය උදාවේවා කියල අපි සෙත් පතනවා.

තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: