subscribe

නිවන් සුවය විඳිමු.

නිවන් සුවය විඳිමු.

මෙතෙක් අපි ඉගෙන ගත්තේ නිබ්බිධා සූත‍්‍රයේ කියල දීල තිබුනු භාවනා පහ ගැනයි. අපි ඉගෙන ගත්ත ඒ කුඩා දේශනාව තුළ අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබුනේ ධර්මයන් පහක් පුරුදු කරන කෙනාට, බහුල වශයෙන් පුරුදු කරන කෙනාට ඒකාන්ත වශයෙන්ම අවබෝධයෙන් කලකිරීම ඇතිකර ගන්ට පුළුවන් බව. එයා තුළ විරාගය ඇති වෙනවා. කෙලෙස් නිරුද්ධ වී යාම සිද්ධ වෙනවා, සිත සංසිදෙනවා,එයාට විශේෂ ඤාණය ඇතිකර ගන්ට පුළුවන්, ආර්ය සත්‍යය අවබෝධ කරගන්ට පුළුවන්. නිවන් අවබෝධය සිද්ද වෙනවා. එතකොට බලන්න, අපට මේ පෙන්වා දී තිබෙන කුඩා දේශනාව තුළ, එක එල්ලේ පෙන්වා දෙන නිවන් මඟ කෙරෙහි බලවත් පැහැදීමක් ඇතිකර ගත්තොත්, අපි ටික ටික මේ ධර්මයන් පුරුදු කර ගන්න මහන්සි වෙනවා. ටිකෙන් ටික පුරුදු කර ගත්තොත් අපිට යම් කලකදී ඉතාම සුව පහසු ජීවිතයක් දියුණු කරගෙන, ඒ ජීවිතය සුව පහසුවෙන් ගත කරමින් නිවන දක්වා ම මේ ජීවිතය අපිට දියුණු කර ගන්න පුළුවන්කම තියනවා.

අපි විශේෂයෙන් නැවත නැවතත් සිහි කර දෙන්ට කැමතියි නිවන අවබෝධ කර ගැනීම කියන මේ අතිශයින් ම දුෂ්කර කටයුත්ත කලබලයට ඉටුකර ගන්න වෑයම් කරන්ට එපා. අපි ඉක්මනින්ම කරන්ට වෑයම් කළ යුතු දෙයක් තියනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහා ගැනීම. ඒකට ප‍්‍රමාද වෙන්ට එපා. ඒකත් කලබලයට කරන එකක් නෙමේ. නමුත් ප‍්‍රමාද නොවී අපි ඉක්මනින් ඒ අවබෝධය අදහා ගන්නට ඕනැ. ඒ සඳහා තමයි අපිට මේ නොයෙකුත් ආකාරයේ ධර්මයන් ඉගෙන ගන්න අවස්ථාව තියෙන්නේ. ඒ නිසා ඒ දේශනා අපි ඉගෙන ගනිමින් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්ට මහන්සි වෙන්න ඕනැ. අන්න ඒ විදිහට ඒ අවබෝධය හොඳින් දරා ගන්න කෙනාට මේ ධර්මයන් ටික ටික ටික පුරුදු කර ගන්ට පුළුවන්.

සසර දුකින් නිදහස් වීම පිණිස බලවත් කැමැත්ත උපදවා ගන්න. එසේ බලවත් කැමැත්ත උපදවාගෙන බණ භාවනා ටික ටික පුරුදු කරන්න. මොකද අපිට පුරුදු කරන්න තියෙන්නේ සිතයි. කය නොවෙයි. කයෙන් කරන පුරුදු කිරීම් තියනවා. ඒව කරන්නෙත් ඉතාම සියුම් විදිහට පටන්ගෙන ක‍්‍රමක් ක‍්‍රමයෙන්. අපි දැකල තියනවා සමහර ක‍්‍රීඩා ඉතාම සියුම් විදිහට පටන් ගෙන ක‍්‍රමක් ක‍්‍රමයෙන් සෑහෙන කලක් පුරුදු කරල තමයි කය පුරුදු කරන්නෙත්. අපිට මේ හොඳින් තේරෙන, පෙනෙන අතින් අල්ලන්න පුළුවන් කය පුරුදු කරන්නෙත් එහෙමයි. අපට නොපෙනෙන, අපට නොතේරෙන, අපට තෝරබේර ගන්න බැරි, අවිද්‍යාවේ පැටලිලා තියන මේ සිත ඒ සිතම මුල් කරගෙන යහ මගට අරගෙන බලවත් දෙයක් බවට පත් කරගන්න කලබලයට පුළුවන්ද? කිසි විදිහකින් බෑ. නමුත් අපි ධර්මය හොඳින් දරාගෙන ක‍්‍රමානුකූලව මේක හොඳින් කරගෙන ගියොත් අපිට මේ ධර්මයෙන් බොහෝ ප‍්‍රයෝජන ගන්න පුළුවන්.

විශේෂයෙන් තව කාරණයක් මම සිහි කරන්න කැමතියි මේ භාවනාවන් පුරුදු කරන කොට ක‍්‍රමානුකූල විදිහකට පිළිවෙලකට පුරුදු කරන්ට බලන්න. දැන් අපි යම් භාවනාවක් පුරුදු කිරීම සඳහා යම් භාවනා වාක්‍යයක් පුරුදු වෙනව නම්, ඒ පුරුදු වෙන රටාව වෙනස් කරන්න එපා. ඒ විදිහටම පුරුදු වෙන්න. අපි යම් වචනයක් යොදාගෙන තියනවා නම් ඒ වචන ඒ ආකාරයෙන් ම යොදාගෙන පුරුදු කරන්න. එය වෙනස් කරන්න එපා. වෙනස් කරන්නේ නැතුව පුරුදු වෙන්න. ඒ කියන්නේ තමන් කරන භාවනාව එකම රටාවකට කරන්න මහන්සි වෙන්න. එතකොටයි හිත ඒ ආකායටම හුරුකර ගන්න පුළුවන්කම තියෙන්නේ.

ඊලග දේ තමයි භාවනාවක් පුරුදු වෙනකම් ටික ටික පුරුදු කර කර හුරු කර ගන්න. පුරුදු වෙනව කියල කියන්නේ සිහිය දියුණු කරගෙන සිහිය පිහිටුවා ගන්න පුරුදු වෙනවා කියන එකයි. සිහිය පිහිටන්න පිහිටන්න භාවනා කරන කාලය වැඩිකර ගන්න. ආරම්භයේ දී දීර්ඝ කාලයක් එක දිගට කරන්න එපා. ටික ටික කර කර සිහිය දියුණු කර ගන්න. සිහිය දියුණු වෙන්ට වෙන්ට තමන්ට හොඳට තේරෙයි. ඊට පස්සෙ කාලය ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිකර ගන්න. තමන්ට පුරුදු වෙනකම් විනාඩි පහක් කලත් කමක් නෑ. පොඞ්ඩ පොඞ්ඩ කර කර පුරුදු වෙනවා. මේ විදිහට කාලය වැඩි කරගෙන අපි හිතමු දල වශයෙන් පැය භාගයක් විතර කාලයකට අපි භාවනාවේ කාලය හදා ගන්නවා කියල. එතකොට ඒ කාලය හදා ගන්නේ සිහිය පිහිටවීමත් එක්ක. ඊට පස්සේ හොඳට සිහියෙන් පැය භාගයක් භාවනා කරන්න පුලූවන්. ඊට පස්සේ ඒ කාලය, කලක් හොඳට ඒ භාවනාව කරන්න. කලක් ඒ විදිහට ඒ භාවනාව කරන කොට සිත එකඟවෙයි. ටිකෙන් ටික ටිකෙන් ටික සමාධියක් ඇතිවෙයි. ඉතින් ඒකට සෑහෙන කලක් යයි. සමහර කෙනෙකුට ටික කලකින් සමාධිය ඇති වෙන්න පුලූවන්. සමහර කෙනෙකුට බොහෝ කලක් ගත වෙන්ට පුලූවන්. නමුත් අපිට සමාධිය ඇතිවෙනවද කියන කාරණය නෙමෙයි අපි සොය සොයා බැලිය යුතු වෙන්නේ. ඒනිසා භාග්‍යවතුන් වහන්සේ කියා දුන් විදිහට මේ ධර්මය හුරු කරගන්න බලන්න. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහා ගෞරවයකින්, පැහැදීමකින්, සතුටින් මේක කරගෙන යනකොට සිහිය පිහිටයි.

ඊලගට විශේෂ කාරණයක් කියන්න ඕනැ. භාවනාවෙන් අයින් වෙන කොට භාවනා මනසිකාරය නතර කරල එක පාරට නැගිටින්න එපා. අපි භාවනාව පටන් ගත්තෙත් සිත, කය සන්සිඳුවාගෙනනෙ. භවනාවෙන් අයින් වෙනකොටත් කලබලයෙන් එක පාරට අයින් වෙන්න එපා. එතකොට භාවනාව පටන් ගන්නෙත් හොඳට තැන්පත් වූ සිතකින් කලබලය නැතුව. ඒකටයි මම කිව්වේ වාඩිවෙලා කලබල නොවී තමන් ඉන්නෙ කොතනද කියල හොදට තේරුම් ගන්න කියල. එතකොට කලබලය නෑ. ඒක උපක‍්‍රමයක්. එහෙම නැත්නම් සමහර අයට වෙන දෙයක් තමයි, ඇවිදින් ඉඳගන්නවා මෙනෙහි කරගෙන කරගෙන යනවා. ටික වෙලාවක් ගියාම දන්නේ නෑ එයා කොහෙද ඉන්නේ කියල. එහෙම වෙන අය ඉන්නවා. ඒ ඇයි..? සිහිය ඉපදිලා නෑ. ඒකට උපක‍්‍රමයක් තමා මම කිව්වේ. ඊට පස්සේ ඒ භාවනා මනසිකාරය ටික ටික පුරුදු කරන්න කරන්න සිහිය පිහිටයි. භාවනාව තේරුම් බේරුම් කරගෙන, නීවරණ දුරුකරගෙන භාවනාව ඉදිරියට කරගෙන යන්ට පුලූවන් වෙයි. එතකොට ඒ විදිහට සිහිය පිහිටන්න පිහිටන්න භාවනා කරන කාලය වැඩිකර ගන්න. ඒකත් එක පාරට උපරිම පැය ගණනට ගෙනියන්නේ නෑ. දල වශයෙන් පැය භාගයකට වගේ කාලයක් හදා ගන්නවා.

සිහිය නැත්නම් නිවරණ දුරු කරන්ට බෑ නේද? අන්න එහෙම අය තමා ඉදගෙන ටික වෙලාවක් ගිහිල්ල කියන්නේ කොහෙ ගියාද කියල තේරුනේ නෑ කියල. ඒක ඉතාම අනතුරක්. ඒකෙන් අපිට හානි වෙන්න පුලූවන්. ඒ නිසා ඉතා පරිස්සමින් සිහිය උපදවමින් ටික ටික පුරුදු කරන්න. සිහිය ඉපදීමත් එක්ක කාලය වැඩි කර ගන්න. ඊට පස්සේ අපිට ඒ භාවනාව එතනින් එහාට දියුණු කරගෙන යන්න පුලූවන් කලක් එනවා. ඊලගට භාවනාවෙන් නැගිටින්න කලින් මනසිකාරය නතර කරල පුංචි වෙලාවක් එහෙමම ඉඳල ”සමාධියෙන් නැගී සිටිමි” නැත්නම් ”සමාධිය බැස යත්වා” කියල හිතන්න. එහෙම හිතන්න කියන්නේ, අපි භාවනාවේදී කරන්නේ, කුසල් අරමුණක සිත එකඟකරන්න උත්සාහ කිරීමයි. කුසල් අරමුනක් තුළ හිත එකග වීම තමයි සමාධිය කියල කියන්නේ. අපි නිකන් ඉන්න කොට, අපි හිත එකම අරමුණක පවත්වන්නේ නෑ. නමුත් ඉඳගෙන අපි වෑයමක් ගන්නේ හිත එක අරමුණක පවත්වන්න. එතකොට අපි එකපාරට නැගිට්ටොත් මොකද වෙන්නේ? අර අරමුණ තුළ හිත පවත්වල පවත්වල එක පාරට නැගිටිනවා. යම් ගැටළු ඇතිවෙන්ට පුලූවන් ද බැරිද? වෙන්න පුලූවන්.

ඒක මේ වගේ. ඔන්න කෙනෙක් ඉන්නව ඇදේ නිදාගෙන, නැත්නම් පුටුවක ඉඳගෙන. මේ ඉන්න අතරෙ පුටුවෙ ගැට ගහනවා මෙයාව. දැන් මෙයා නැගිටින්න කලින් මොකද කරන්න ඕන. මේ ගැටේ ලෙහා ගන්ට ඕනැ. ඒ ගැටේ ලෙහාගන්නේ නැතුව නැගිටින්න උත්සාහ කරනවා. අකරතැබ්බයක් වෙනවා. අන්න ඒ වගේ භාවනා කරන වෙලාවෙ අපි යම් අරමුණක හිත පවත්වන්න උත්සාහ කරනවා. එහෙනම් ඒ භාවනාවෙන් අයින් වෙලා ඇස් අරින්න කලින් භාවනාව තුළ හිත පවත්වන ස්වභාවය අයින් කර ගන්ට ඕන. අන්න එහෙම අයින් කර ගැනීම පිණිස කරන උපක‍්‍රමයක් තමයි ”සමාධිය බැස යත්වා” කියල හිතන එක. නැත්නම් මේ අයට හිතෙන්න පුලූවන් “අපිට සාමාධිය නෑනෙ. සමාධියෙන් නැගී සිටිමි කියල හිතුවට” කියල. සමාධිය කියල කියන්නේ කුසල් අරමුණක හිත පවත්වන එක. ඒ කුසල් අරමුනේ පවත්වන්න ගන්න උත්සාහයක් තමා අපි මේ කළේ. එහෙනම් අපි ඒකෙන් අයින් වෙනකොට අර හිත පවත්වන්ට ගන්න ස්වභාවයෙන් අයින් වෙන්ට ඕනැ. ආරම්භයේ සිටම මෙය පුරුදු වෙන්න. කලක් මෙහෙම කරගෙන යනකොට ඒ අරමුනේ හිත පිහිටයි. ඒක ක‍්‍රමක් ක‍්‍රමයෙන් හිමීට වෙන එකක්. අපි ආරම්භයේ ඉඳලම හිත ඒ අරමුණින් ඉවත් කර ගන්ට පුරුදු වෙන්ට ඕනැ, භාවනාවෙන් නැගිටින්න කලින්. නැත්නම් පස්සේ යම් යම් ගැටලූ ඇති වෙනවා. ඊලග දේ තමයි භාවනාව හොඳින් දියුණු කරගැනීම පිණිස වුවමනා කරන සමාධි කුසලතාවයන් දියුණු කර ගැනීමට අපිට ඒක උපකාර වෙනවා.

අපි සියලූ දෙනාටම සෙත් පතනවා අපිට ලැබුණ මේ අතිශයින් ම දුර්ලභ මේ විශ්මිත වූ අවස්ථාවෙන් හැකිතාක් ප‍්‍රයෝජන ලබාගෙන නිවන් සුව විඳීමට සියලූ දෙනාටම දුර්ලභ වූ භාග්‍ය උදාවේවා.

සියලූ දෙනාටම තෙරුවන් සරණයි.

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..

Related Posts Plugin for WordPress, Blogger...

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: