subscribe

ථීනමිද්ධය බැහැර කරගනිමු..

ථීනමිද්ධය බැහැර කරගනිමු..

පසුගිය සති කීපය තුළ අපි ඉතා වැදගත් කාරණා කීපයක් කතා කලා. ඒ අතර භාවනා පුරුදුවෙන කෙනෙක් ආරම්භයේ දී ඉඳල අවධානය යොමුකළ යුතු කරුණු පහක් පිළිබඳව අපි සිහිකළා. ආරම්භයේ ඉඳල ම අපි ඒ කාරණා පිළිබඳව හොඳ වැටහීමකින් වාසය කළ යුතුයි. එහෙම නොවුණොත් අපිට භාවනාව සාර්ථක කරගන්ට ලැබෙන්නෙ නැහැ. ආරම්භයේ ඉඳල ම අපි හොඳින් තේරුම්ගන්න ඕනැ, “මගේ සිත කාමයන් ඔස්සේ දුවනවද?” ඒ වගේම “මගේ සිත විසිරෙනවද?” ඊළඟට තේරුම්ගන්න ඕනැ, “මගේ හිත හැකිලෙනවද? මගේ සිත නිදිමතට ගොදුරුවෙනවද? එහෙම නැත්තම් ථීන මිද්ධයට යටවෙලා යනවද?” කියල. ඉතින් මේ කාරණා වලින් නිදහස්වෙලා, හිත භාවනා අරමුණේ හොඳින් පවතිනවාද? කියල අපි තෝරාගන්ට ඕන.

මේ කාරණා පහ අපි සිහි නුවණින් තෝරා බේරාගන්ට ඕන. එතකොට අපේ හිත කාමයන් ඔස්සේ දුවනව නම්, අපි ඒක තෝරබේර ගත්තෙ නැත්තම්, අපිට ඒ කාමයන්ගෙන් හිත නිදහස්කරගෙන භාවනා අරමුණට යොමුකරගන්ට බැරුව යනව. ඒ වගේ ම අපේ හිත විසිරීමට ලක්වෙනව නම් ඒ ගැන අපි තෝරබේර ගත්තෙ නැත්තම්, ඒ සිත විසිරීමෙන් නිදහස් කරගෙන, සංසිඳුවගෙන භාවනා අරමුණට යොමුකරගන්ට බැරුව යනව. ඒ වගේ ම හිත හැකිළෙනවනම්, ඒ හැකිළීම අඳුරගන්ට අපිට බැරිවුණොත්, අපිට ඒ හිත පිබිදෙන විදියට, ප‍්‍රබෝධයට පත්වෙන විදියට, එහෙම නැත්තම් හිත අවදිවෙන විදියට භාවනාව හසුරුවාගන්ට අපි දක්‍ෂවෙන්නෙ නෑ. ඒ වගේ ම අපේ හිත ථීනමිද්ධයට යටවෙනව කියල හඳුනගන්ට බැරිනම්, අපිට ඒකෙනුත් නිදහස්වෙන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා අපි මේ කාරණා හොඳින් තේරුම්ගන්ට ඕන. තේරුම් අරගෙන, ඊට සුදුසු පිළියම් යොදන්න අපි දක්‍ෂවෙන්ට ඕන.ඒ සඳහා අපි ඒ පිළිබදව ඉගෙන ගන්ට ඕන. ඒ සඳහා කටයුතුකරන්ට ඕන.

එතකොට බලන්න, භාවනා කරනව කියල අපිට කරන්ට දෙයක් තියෙනව නේද? අපි හිතනව “දැන් භාවනා මනසිකාරය ගත්ත, ඒක හිත හිතා ඉන්නව එච්චරයි” කියල. එච්චර නෙමෙයි නේද? ගොඩක් වෙලාවට හිතනව, “දැන් මම මෛත‍්‍රී හිත පවත්ව පවත්ව ඉන්නව, එතකොට හරී” කියල. එපමණකින් ම භාවනාව සාර්ථක කරගන්ට බෑ. අපිට භාවනාව සාර්ථක කරගන්ටනම් කළයුතු දේවල් තියෙනව. ආරම්භයේදී ම අපි ඒ විදියට භාවනාවට බධාවෙන දේවල් හොඳින් තේරුම්අරගෙන, ඒව බැහැර කරගන්න දක්‍ෂවුණොත්, අපිට භාවනාව සාර්ථක කරගන්ට පුළුවන්.

අපිට තියෙන ගැටළුව තමයි, භාවනාවට බාධාවෙන දේවල් හඳුනගන්ට දන්නෙ නෑ. ඊළඟ දේ තමයි, ඒ භාවනාවට බාධාවෙන දේවල් බැහැරකරන්ට දන්නෙත් නෑ, භාවනාවට බාධාවෙන දේවල් බැහැරකරන්ට වීරිය උපදින්නෙත් නෑ. මේ ගොඩක් දේවල්වලට හේතුවෙන දෙයක් තමයි සිහි නුවණ නැතිකම. සිහි නුවණ උපදවා නොගැනීම. ඒ නිසා භාවනාවට තියෙන බාධාව අඳුරන්නෙ නෑ. ඒ වගේ ම ඒක බැහැර කරන්ට එයා උනන්දු වෙන්නෙත් නෑ, දක්ෂ වෙන්නෙත් නෑ.

අපිට සිහිය නුවණ තියෙනවානම්, සිහි නුවණ උපදවාගන්නවා නම්, අපිට තෝර බේරගන්ට පුළුවන් “හිත භාවනා අරමුණේ පවතිනවද?” එහෙම නැත්තම් “ඊට බාධාවන දෙයක් පවතිනවද?” කියල. එහෙම දැනගත්තොත් එයාට පුළුවන්කම තියෙනව, ඒ බාධාව ඉවත් කරගන්ට කටයුතු කරන්ට. ඒ බාධාව ඉවත්කර ගත්තොත් හිත භාවනා අරමුණේ පවත්වන්ට පුළුවන්. එතකොට ඒ හිත කාමයන් ඔස්සේ දුවන ස්වභාවය, විසිරෙන ස්වභාවය, හැකිළීමේ ස්වභාවය, හිතේ නිදිමත ඇතිවෙන ස්වභාවය අපි තෝර බේර ගත්තොත්, ඊට සුදුසු පිළියම් යොදල, ඒ බාධා ඉවත්කරගන්ට අපිට පුළුවන්කම තියෙනව. ඊට පස්සෙ තමයි භාවනාව සාර්ථකවෙන්නේ. ඊට පස්සෙයි සිත වැඩෙනවද? නැද්ද? කියන කරණාව තීරණය වෙන්නේ. ඒ කියන්නෙ එයාට සමථය වැඩෙනවද? විදර්ශනාව වැඩෙනවද? කියල තීරණය වෙන්නෙ ඒ බාධා ඉවත්වුනායින් පස්සෙ.

ඒ නිසා අපි ආරම්භයේදී ඉඳලම සිහිය උපදවගෙන, නුවණ මෙහෙයවමින්, භාවනාවට බාධාවෙන දේවල් තෝර බේරගන්ට ඕන. හඳුනගන්ට ඕන. ඒ සඳහා සුදුසු පිළියම් යොදමින් ඒ බාධා ඉවත්කරගන්ට කටයුතු කරන්ට ඕනැ. එහෙම නැත්තම් අපි ඒ බාධාවට යටවෙනව. යටවෙලා අපිට භාවනාව කරගන්ට බැරුව යනව. පීඩාවට පත්වෙනව. ටික කලකින් එයා භාවනාව අතහැරල දානව, “මේක කරන්ට බෑනේ” කියන තැනට වැටෙනව. ඒක අපිට වෙනවද නැද්ද? වෙන්ට පුළුවන්. ඒ නිසා භාවනාව පටන්ගත්තු දවසෙ ඉඳන්ම බාධා වෙන දේවල් බැහැර කරගන්ට දක්‍ෂ වෙන්ට ඕනැ.

මේ බාධා අතර බලවත් දෙයක් “නිදිමත” කියන එක, ථීනමිද්ධය. ථීනමිද්ධය බැහැරකරගත්තොත් අනිකුත් ඒව බැහැර කරගන්ට පුළුවන්කමක් තියෙනව. ථීනමිද්ධය බැහැර කරගන්ට බැරිවුණොත් අනිකුත් ඒවා බැහැර කරගන්ට අපිට බැරුව යනව. ඇයි ඒ? නින්දට යටවුණා ම අනිත් ඒව හොයන්ට බෑ. ඒ නිසා අපි ථීනමිද්ධය කියන එක බැහැර කරගත්තොත්, දුරුකර ගත්තොත් අනිත් ඒවා දුරුකර ගන්ට පහසුවක් තියෙනව. ථීනමිද්ධය තියාගෙන අනිත් ඒව දුරු කරගන්ට අපහසුයි.

ඊළඟ දේ තමයි ගොඩක් අය ථීනමිද්ධය අඳුනන්නෙත් නෑ. හිතේ හැකිලීම අඳුනන්නෙත් නෑ. ඊළඟ දේ තමයි ගොඩක් අය විසිරීම අඳුරන්නෙත් නෑ. කාමයන් ඔස්සේ දුවනවා කියන එක අඳුරන්නෙත් නෑ. ඒව අඳුරන්නෙ නැති නිසා ඒව දුරුකරගන්ට බෑ. අඳුරගත්තොත් නේද දුරුකරන්නේ? ඒ නිසා අපි ඒව අඳුරගන්ට ඕනැ. ඒව අඳුනගැනීම පිණිස අපි නුවණ පාවිච්චිකරන්ට ඕනැ. ඒ සදහා දහම් දැනුම තියෙන්ටත් ඕන. ගොඩාක් අය “හිත විසිරෙනවා” කියල කියනව. හිත විසිරෙනවා කියන එක අඳුරගන්නෙ කොහොමද? අඳුර ගත්තොත් නේද ඒක දුරුකරන්නෙ? කාමයන් ඔස්සේ හිත දුවනවා කියල අපි දැනගන්නෙ කොහෙමද? ඒක අඳුර ගත්තොත් නේද එක දුරු කරන්නෙ. ඒක අඳුර ගත්තෙ නැත්තම් අපිට දුරු කරන්ට බෑ. ගොඩාක් අය කාමයන් ඔස්සේ හිත දුවන එක තමයි, විසිරෙනව කියල හිතන්නෙ. අහල බලපුවාම හිත විසිරීම නෙමෙයි ඒ, කාමයන් ඔස්සේ හිත දුවනව, එයා දන්නෙ නෑ.

ඒක අඳුරගන්ට පුළුවන් පුංචි ක‍්‍රමයක් මම කියල දෙන්නම්, දැන් කාමයන් ඔස්සේ හිත දුවනවා කියල කියන්නේ, අපි ඇහෙන් දැකපු ප‍්‍රිය මනාප රූප, කණෙන් අහපු ප‍්‍රිය මනාප ශබ්ද මේවගේ දේවල් සිහි කර කර ඉන්නව. ඒව හිතට එනව, ඒවා සිහිවෙනව. මිහිරි වූ කන බොන දේවල් මේ ආදී දේවල් සිහිවෙනවා. ඒ කියන්නෙ පංච කාමයන් සිහිවෙනව. ඒක තමයි කාමයන් ඔස්සේ හිත දුවනව කියල කියන්නෙ. ඉතින් මේක තේරුම්ගන්ට අමාරු දෙයක් නෙමෙයි. කාමයන් ඔස්සේ හිත දුවන කෙනාට සිද්ධවෙන දේ තමයි, එයාට ඉඳගෙන ඉන්ට පුළුවන් බොහෝ වෙලාවක් ඇස් වහගෙන. කයට අමාරු එන්නෙ නෑ, ඇඟ කඩාගෙන වැටෙන්නෙ නෑ. කාමයන් ගැන හිත හිතා, ඒ ඔස්සේ එයාගෙ හිත දුවනවා. එයා භාවනා ඉරියව්වෙන් ඉන්නව, හැබැයි භාවනා ඇමුණේ හිත තියෙන්නෙ නෑ. ටික වෙලාවකින් මතක් වෙන්න පුළුවන් “ආ…, භාවනාව නෙමෙයි නේ කරන්නේ” කියල. කයට අමාරුවක් දැනෙන්නෙ නෑ. කාමයන් ඔස්සේ හිත දුවන එක අඳුනගන්ට පුළුවන් පුංචි විදිහක් මම මේ කිව්වෙ. එතකොට සිහිය තිබුණොත් තේරුම්ගන්ට පුළුවන් “මගේ හිත කාමයන් ඔස්සේ දුවනවා නේද” කියල. සිහිය තියෙන්ටත් ඕන, මේ කාරණය දැන ගන්නත් ඕනැ. දැන් මේ කාරණය දන්නෙ නැත්තම් අපිට බෑ නේද පාලනය කරගන්ට. මේ දෙවල් ඉගෙන ගෙන හිටියෙ නැත්තම් හිතෙයි, “මේ මොකද මට භාවනා කරගන්න බෑනේ” කියල? ඒ නිසා මේ කාරණය අපි ඉගෙනගන්ට ඕන. ඉගෙනගෙන හොඳට සිහියෙන් වාසයකරනකොට තේරෙයි හිත කාමයන් ඔස්සේ දුවනවද? භාවනා අරමුණේ හිත පවතිනවද කියල.

ආරම්භයේදී ම ඒ කරන භාවනාවේ ආනිසංස කල්පනා කරල, භාවනාවට අපේ හිතේ කැමැත්ත උපදවාගත්තොත්, භාවනාවට හොඳින් හිත පිහිටුවගත්තොත්, අපිට කාමයන් ඔස්සේ දුවන ස්වභාවය පාලනය කරගන්ට පුළුවන්කම තියෙනව. ඒ කියන්නේ අපි කරන භාවනාවේ ආනිශංස කල්පනාකරන්ට ඕනැ. එතකොට ඒ භාවනාවට හිත කැමතියි. කාමයන් ඔස්සේ දුවන ගතිය අඩු කරගන්න, ඒක එක උපක‍්‍රමයක් . ඊළඟ දේ තමයි, ඒ කාමයන් ඔස්සේ හිත දුවනකොට, සිහිය උපද්දවගෙන කල්පනා කරන්න, ඒ කාමයන් ඔස්සේ හිත දුවන එක අර්ථයක් නැති දෙයක්, ඒක මට වැඩක් නැති දෙයක්, මම මේ භාවනා අරමුණට හිත පිහිටුව ගන්ට ඕනෑ කියල, ඒ භාවනා අරමුණේ හිත පිහිටුවගන්න.

දැන් මෛත‍්‍රීය වඩනව නම්, “මම මෛත‍්‍රී අරමුණේ සිත පිහිටුවගන්ට ඕනෑ” කියල, හිතාමතා කල්පනා කරන්න. අසුභය වඩනවනම්, “මම අසුභ සංඥාවේ හිත පිහිටුවගන්ට ඕනෑ” කියල හිතල, ඒ අසුභ භවනාව කරන්න. ඒක එක උපක‍්‍රමයක්. මේ විදියට කරද්දී ඒ කාමයන් ඔස්සේ දුවන ස්වභාවය දුරුවෙනවා නම් අපිට ගැටළුවක් නෑ. ඊළඟට තව සමහර වෙලාවට භාවනා අරමුණ හිතේ පවතිද්දී ම, තව අරමුණු එන්න පුළුවන්. ඒව එච්චර බලවත් නැත්තම් බයවෙන්න එපා. භාවනා අරමුණ බලවත් නම්, කාමයන් ගැන තියෙන අරමුණ දුබලයි නම් ඒක නිකම්ම නැතිවෙලා යයි. නමුත් සමහර වෙලාවට භාවනාවට සිතගන්න බැරි මට්ටමට බලවත් විදියට කාමයන් ඔස්සේ හිත දුවන්ට පුළුවන්. අන්න ඒ වෙලාවෙදි අපි භාවනා අරමුණ තාවකාලිකව නතර කරල, භාවනා අරමුණට හිත ගන්නෙ නැතිව, ඒ කාමයන් ඔස්සේ දුවන ස්වභාවය දුරුකරගන්ට මහන්සිවෙන්ට ඕනැ. එතෙන්දි අපිට පුළුවන් කාමයන්ගේ ආදීනව සිහිකරන්ට. සිහිකරන්න, “මගේ හිත දැන් තියෙන්නේ කාම අරමුණු ඔස්සේ. මේක මට හොඳ නෑ… අනුන්ටත් හොඳ නෑ… මේ සිතුවිළි වලින් මගෙ හිත එකඟ වෙන්නෙ නෑ, මේව අකුසල්, මට සමාධිය ඇතිවෙන්නෙත් නෑ.”කියලා මේ විදියට ඒවයේ ආදීනව සිහිකරන්න. එතකොට ඒක දුරුවෙලා යයි. ඊට පස්සෙ භාවනා අරමුණට හිතගන්න. එහෙම කරද්දීත් ඒක දුරුවෙන්නෙ නැත්තම්, කාමයන්ගේ ආදීනව තව දුරටත් කල්පනා කරන්න. මේ කාමයන් කියන්නේ ගිනි අඟුරු වලක් වගේ දුක් විපාක සහිතයි කියල සිහිකරන්න. මේ විදියට කාමයන්ගේ ආදීනව තව දුරටත් කල්පණා කරන්න. අන්න එතකොට ඒ කාමයන් ඔස්සේ හිත දුවන ගතිය දුරුවෙලා යනව. ඒක එක සැරයක් දෙසැරයක් කලාට හරියන්නෙ නෑ. ගොඩක් කරන්ට සිද්ධවෙයි. ඒ විදියට කරන්ට කරන්ට කාමයන් ඔස්සේ හිත දුවන එක අඩුවෙන්ට පටන්ගන්නව.

ඒ නිසා මේ කාරණා ඉගෙනගෙන, තම තමන්ගේ ජීවිතය වාසනාවන්න කරගැනීම පිණිස සියලූ දෙනාට ම දුර්ලභ වූ භාග්‍ය උදාවේවා..! කියල අපි ආශිර්වාද කරනව.

නාවලපිටියේ අරියවංශ හිමි

බුදුසරණ පුවත් පතේ පළ වූ ලිපි ඇසුරෙන්

Related Posts Plugin for WordPress, Blogger...

Leave a Reply

 

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: