subscribe

ඇයි ඔයා ඔච්චර ලස්සන..?

ඇයි ඔයා ඔච්චර ලස්සන..?

පි ජීවත් වෙන මේ ලෝකය හරි ම විවිධාකර යි. ලෝකයෙ ඉපදුණු අය අතරින් ඇතැම් අය ගොඩක් ලස්සනයි… දෙතුන් පාරක් බලන්න හිතෙන තරම්.. ඒත් සමහර අය එහෙම නෑ. විරූපියි. දැකීමෙන් ප්‍රසාදයක් ඇති වෙන්නෙ නැහැ.

කොහොම නමුත් ලස්සන-අවලස්සන කියන මේ සාපේක්ෂ ධර්මතාවයන් නිසා කෙලෙස් සහිත ලෝකයා අධිමානයත් හීන මානයත් කියන අකුසල ධර්මතාවයන් දෙක උපදවා ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය..

අපි ලස්සන කෙනෙකුගෙන් ඇහුවොත් “ඇයි ඔබ ඔය තරම් ලස්සන…? “ කියල, ඒකට විවිධ පිළිතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. සමහර අය කියාවි “I’m gifted..“ කියල. තවත් සමහර අය විවිධ රූපලාවන්‍ය විධි ක්‍රම ගැන කථා කරාවි. සමහර අය තමන් ගේ දෙමව්පියන් ගැන කථා කරාවි.

නමුත් ඒ කාටවත් මේ ලස්සන-අවලස්සන විශමතාවය තුළ ඇති පුදුමාකාර ධර්මතාවය දැක ගන්ට ලැබෙන්නෙ නැහැ.. ඒ නිසා ම ඒ අය තමන් ගේ ලස්සනින් මත් වෙනවා. එක්කෝ විරූපී භාවයෙන් ලැජ්ජාවට, හීන මානයට පත්වෙනවා. ඒ වගේ ම යථාර්ථය නො දන්න නිසා ඇතැම් ලස්සන අය, ඒ ලස්සන ම විරූපි වෙලා උපදින්න හේතු වෙන ප්‍රතිපදාවකට හරවා ගන්නවා. ඒක කෙතරම් අවාසනාවක් ද..?

ඇත්තට ම ඇයි කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ…?

භාග්‍යවතුන් වහන්සේ එයට සැබෑම හේතුව සොයා ගත්තා. යම් කෙනෙක් කෝප ගන්නේ නැති නම්, බොහෝ නින්දා අපහාස සිදු කළත් ගැටෙන්නේ නැති නම්, තරහ ගන්නේ නැති නම්, ඒ කෙනා යම් යම් තැනක උපදිනවා ද, ඒ ඒ තැන දී අභිරූපී වෙනවා. දර්ශනීය රූපයකින් යුතු වෙනවා. පැහැදීම ඇති කරවන සුලු වෙනවා. උත්තම වූ වර්ණයකින් යුතු වෙනවා.

අනිත් අතට, යම් කෙනෙක් නිතර කෝපයෙන් යුතු වෙනවා නම්, පුංචි කරුණට පවා ගැටෙනවා නම්, තරහ ගන්නවා නම්, ඒ කෙනා යම් යම් තැනක උපදිනවා ද, ඒ ඒ තැන දී විරූපී වෙනවා. දුරුවර්ණ වෙනවා. දකින්නට අප්‍රසන්න කෙනෙක් බවට පත් වෙනවා.

මේ යථාර්ථය නො දන්නා අය ලෝකයේ කොතරම් ඉන්නවා ද..? සමහර ලස්සන අය ඉන්නව, එ උදවිය ඉන්නෙ හැම වෙලේ ම මාන්නයත් එක්ක තරහ ගත්ත ගමන් ම යි. බලන්න තමන් ලස්සන වී ඉපදුනේ ඇයි කියා නො දන්නා නිසා, ඒ අය විරූපී වී උපදින්න හේතු වන ප්‍රතිපදාවක යි ඒ නිරත වෙලා ඉන්නේ..

තවත් සමහර අය තමන් ගේ ලස්සනින් අනිත් අය තුළ හිතා මතා ම නූපන් රාගය උපද්දවන්න කටයුතු කරනවා. ඒ අයට ත් මතු ජීවිත වල දී යහපත් විපාක ලැබෙන්නේ නැහැ.

විරූපී වෙලා උපන් අය බොහෝ විට කරන්නේ, හිත යටින් ඒ විරූපී භාවය ගැන ගැන පසු තැවි තැවී ඉන්න එකයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ යථාර්ථය යම් කෙනෙක් දන්නවා නම්, එයාට පුලුවනි නැවත විරූපී වී උපදින ප්‍රතිපදාව දුරු කරමින් මේ ජීවිතය තුළ සතුටින් කාලය ගත කරන්න.

ඒ නිසා යාලුවනේ, ඔබත් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ කර්ම-කර්ම ඵල ධර්මතාවය අඩුම තරමින් පිළිගන්න. එතුළින් ම ඔබ මහා සැපතක් අත් කරගත්තා වෙනවා. ඉන්පසු ලෝකයත් සමග නො ගැටී සිටීමේ සිත පුරුදු කරන්න. තමන්ට කුමක් කළත් අන් අයට මෛත්‍රිය ම පතුරුවන්න. එවිට ඔබ ජය ගත්තා වෙනවා. යම් විදියකින් සසරේ ඉපදෙමින් යන්නට වුණොත්, ඔබ සුන්දර රූපකායක් ඇති ව උපදීවි. ඒ මෙත් සිත ම තව දුරටත් දියුණු කළොත් ඔබට සියලු සංසාර දුකිනුත් නිදහස් වෙන්න ත් පුලුවන් වේවි..!

ඒ සඳහා ම වාසනාව උදාවේවා..!!!

3 Comments

  1. මාර සේනාව අති විශිෂ්ට ලෙස පරාජය කල අහිංසක උතුම් අනන්ත ඥානයක් ඇති මනුශ්‍යයින්ටත් දෙවියන්ටත් ශ්‍රේෂ්ටවූ මනුශ්‍යයින්ටත් දෙවියන්ටත් ප්‍රියවූ අරහං ගුණය ඇති සම්මා සම්බුද්ධ ගුණය ඇති විජ්ජා චරණ සම්පන්න ගුණය අති සුගත ගුණය ඇති ලෝකවිදු ගුණය ඇති අනුත්තරෝ පුරිස ධම්ම සාරති ගුණය ඇති සත්තා දේව මනුස්සානං ගුණය ඇති බුද්ධ ගුණය ඇති භගවා ගුණය ඇති ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කල ස්වාක්ඛාත ගුණය ඇති සන්ධිට්ටික ගුණය ඇති අකාලික ගුණය ඇති එහිපස්සික ගුණය ඇති ඕපනයික ගුණය ඇති පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි ගුණය ඇති ඒ ශ්‍රී සද්ධර්මයට මගේ නමස්කාරය හිමි වේවා.

  2. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ඒ පරම සුන්දර නිවන අවබෝධකර ගැනීම පිණිස පවතින ඒ සුන්දර මාර්ගයට පිවිසෙන්ට සියලූ දෙනාටම භාග්‍ය උදාවේවා.

  3. යඤ්ච භික්ඛවේ රත්තිං තථාගතෝ අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුජ්ති, යඤ්ච රත්තිං අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං ඒතස්මිං අන්තරේ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථේව හෝති. නෝ අඤ්ඤථා. තස්මා තථාගතෝති වුච්චති.
    “පින්වත් මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර වු සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක් ද යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පානා සේක් ද ඒ අතර කාලය තුළ දී තථාගතයන් වහන්සේ යමක් පවසන්නාහු ද ප්‍රකාශ කරන්නාහු ද නිර්දේශ කරන්නාහු ද ඒ සියළු දෙය ම ඒ අයුරින් ම වන්නේ ය. අන් අයුරකින් නො වන්නේ ම ය. එම නිසා තථාගත යයි කියනු ලබන්නේ ය.”
    ( ලෝකාවබෝධ සූත්‍රය )

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: