subscribe

අනුන්ට ඇඟිල්ල දිගු කොට, තමා නොදැවෙනු පිණිස..!

අනුන්ට ඇඟිල්ල දිගු කොට, තමා නොදැවෙනු පිණිස..!

(පුණ්‍යානුමෝදනාව – දහම් කරුණුවලින් උපකාර කළ ථෙරවාද අභිධම්මට ..)

නමෝ බුද්ධාය..!!!

දයාබර යාලුවනේ..,

මේ කාරණා ටික බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිස යි ලියන්න කල්පනා කළේ. මේ ලිපිය දීර්ඝ වෙන්නට ඉඩ තිබෙනවා.. නමුත් සම්පූර්ණයෙන් කියවීම ඔබට යහපත පිණිස පවතීවි..

අපේ භාග්‍යවතුන් වහන්සේ ගේ සම්බුද්ධ සාසනය කියල කියන්නේ තම තමන් ගේ චිත්ත සන්තානයන් පිරිසිදු කර ගැනීම පිණිස පවතින එකක්. යම් කෙනෙක් තමන් ගේ සිත පිරිසිදු කර ගැනීමේ නිරත වෙනවා නම්, ඒ කෙනා තුළ අනිත් අය ගැනත් කරුණාව මෛත්‍රිය නිතැතින් ම උපදිනවා. එතකොට අන් අයටත් ධර්මය ලබා දෙන්නට හැකියාව එයා තුළ උපදිනවා.

නමුත් යම් කෙනෙක්, තමන් ගේ සිත පිරිසිදු කර ගන්නවා වෙනුවට, හුදෙක් අන් අයව හදන්නට ගියහොත් සිදු වන්නේ නො දැනුවත් ම තමා හොඳට ම පිරිහී යෑම යි. එහෙම කරන කෙනෙක්, ‘තමන් බුදු සසුන රකින්නට උත්සාහ කරනවා..“ කියා සිතුවත් එය සිදු වන දෙයක් නම් නොවෙයි.. බුදු සසුන රැකෙන්නේ යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මයෙන් තමන් ගේ සිත පිරිසිදු කර ගැනීමට කටයුතු කරනවා නම් පමණ යි… ශාස්තෘන් වහන්සේ ගේ අරමුණ ඉටු වන්නේ එවිට පමණ ම යි..

වර්තමානයේ දී ත් භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය බහුලව කථා වෙනවා දකින්නට පුලුවන්. ඒ වගේ ම බුදු සසුන සුරැකීමට කියා, විවිධ කණ්ඩාම්, සංවිධාන සහ එකමුතු ගොඩ නගා ගෙන තිබෙනවා ත් දකින්නට පුලුවන්. නමුත් ඒ එකමුතුවන් ගෙන් සැබැවින් ම බුදු සසුන සුරැකීමක් සිදු වෙනවා ද කියන එක නම් ඇත්තෙන් ම ගැටලුවක්.. යම් පිරිසක් එකතු වී තම තමන් ගේ සිත් සතන්වල ඇති කෙලෙස් දුරු කර ගැනීම පිණිස කථා බහ කරනවා නම්, ඒ පිණිස ක්‍රියාත්මක වෙනවා නම්, එතැන පමණ යි බුදු සසුන රැකෙන්නේ. එසේ නොකරන තැන්වල හෝ කණ්ඩායම් තුළ බුදු සසුන රැකෙනවා වගේ එකක් පෙනුනත්, සැබැවින් ම සසුන රැකීමක් එවන් ස්ථානවල සිදු වන්නේ නැහැ.

ඒ වගේ ම ඒ විදියට සසුන රකින්නට කියා උත්සාහ කරන උදවිය නිතර කරන දෙයක් තමයි, අන් අය ගේ දොස් අඩුපාඩු නිතර නිතර කථා බහ කිරීම. උලුප්පා දැක්වීම. ඇතැම් විට ස්වාමීන් වහන්සේලා ගේ නැති අඩුපාඩු පවා දක්වමින්, ඒවා ප්‍රචාරය කරමින් කටයුතු කරනවා දකින්නට පුලුවන්. ඇතැම් අය විවිධ නම්වලින් බොරුවට පෙනී සිටිමින්, අන් අයව රවට්ටමින් එම ක්‍රියාවන් ගේ නිරත වෙනවා. එහෙම කරන්නේ බුදු සසුන රකින්නට ලු….!!!

ඇත්තෙන් ම මුලින් ම තමන් ගේ ගුණ නසාගනිමින්, ලෝකයත් රවටමින් රකින සසුන කුමක් ද..? ඒ බුදු සසුන නම් නොවෙයි. බුදු සසුන එසේ රකින්නට කිසි කලෙකත් බැහැ. එවැන්නක් සිදු වන්නේ ත් නැහැ. එසේ කළ හැකියි කියා යමෙක් කල්පනා කරනවා නම් එය කරුණු නොදන්නාකම ම පමණ යි..

ඒ නිසා විශේෂයෙන් ම අපි සසුන රකින්නට කියා සිතා ගෙන අන් අයට චෝදනා එල්ල කිරීමේ දී ඉතා ම ප්‍රවේසම් වන්නට ඕනා.. මොකද ඒ තුළින් අපිව නියත වශයෙන් ම නැසී යන්නට ඉඩ තිබෙනවා..

ඔබ දන්නවා, භාග්‍යවතුන් වහන්සේ ගේ සසුන තුළ උපසම්පදා ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන සීලයට “කෝටියක් සංවර සීලය“ කියා කියනවා. එසේ පවසන්නේ එය ඉතා ම උසස් සීලයක්, ලෝකයේ ඇති උසස් ම සීලය එය යි. ඒ සිල් පද අතරින්, කුඩාම මට්ටමේ සිල්පද හානී වීම නිසා සිදු වන වැරදි, “දුබ්භාසිත ඇවැත් සහ දුකුලා ඇවැත්“ ආදී නම්වලින් හදුන්වනවා.

එවැනි මට්ටමේ දෝසයක් හෝ තවත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් අතින් සිදු වූ විට, කෝටියක් සංවර සීලය රකින තවත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට පවා, ඒ වරද එක්වරම පෙන්වා දෙන්නට බැහැ. ඒ සඳහා මුලින් අවසර ගැනීමක් කළ යුතු වෙනවා. අවසර නොගෙන වරදක් පෙන්වා දුන හොත්, ඒ වරද පෙන්වා දෙන ස්වාමීන් වහන්සේ අතින් දුකුළා යන වරද සිදු වෙනවා. එසේ සිදු වන දුකුළා ඇවැත් පවා, මාර්ග ඵල අධිගමය පිණිස හානි කර වන බවයි දේශනාවේ දැක්වෙන්නේ..

ඉතින් කෝටියක් සංවර සීලයක් රකින උපසම්පදා ස්වාමීන් වහන්සේලා විසින් ම තවත් උපසම්පදා භික්ෂූන් ගේ වැරදි පෙන්වා දීම ගැන අනුගමනය කළ යුත්තේ එවැනි ප්‍රතිපදාවක් නම්, එම සීලයෙන් බිඳක් වත් නැති ගිහි උදවිය තමා තුළ දහසකුත් එකක් වැරදි තබා ගෙන, ස්වාමීන් වහන්සේලා ගේ වැරදි පෙන්වා දෙන්නට යෑමෙන්, තමාට කෙතරම් හානියක් කර ගන්නවා ද කියා මදකට සිතා බලන්න..

ඒ වගේ ම කෝටියක් සංවර සිල් රකින උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙක් තවත් උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙකුට වරදක් ගැන කරුණු කියන්නට යෑමේ දී, තමා තුළ පහත දැක්වෙන ගුණ ධර්ම තිබෙනවා ද කියා හොදින් පරීක්ෂා කර බලන ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළා. එසේ නැතිනම් අනුන් ගේ වැරදි පෙන්වා දෙන්නට යෑමෙන් තමා නැසී යෑමේ ඉඩ කඩ තිබෙන බවයි ධර්මයේ සදහන් වෙන්නේ..

එසේ තමා තුළ තිබෙනවා ද කියා හොඳින් ප්‍රත්‍යවේක්ෂා කර බලන ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ මේ කරුණු දැන ගැනීම සියලු දෙනාට ම ප්‍රයෝජනවත් වේවි..

1. මම, අන් අය විසින් විමසා දොස් සහිත යැයි පෙන්වා දිය හැකි වැරදි නැති, සිදුරු නැති, පිරිසිදු වූ කාය සමාචාරයන් (පිරිසිදු කායික ක්‍රියාවන්) ගෙන් යුක්ත ද කියා ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතු යි.
2. මම, අන් අය විසින් විමසා දොස් සහිත යැයි පෙන්වා දිය හැකි වැරදි නැති, සිදුරු නැති, පිරිසිදු වූ වචී සමාචාරයන් (පිරිසිදු වචනයන්) ගෙන් යුක්ත ද කියා ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතු යි.
3. ධර්මයේ හැසිරෙන පිරිස පිළිබඳව මාගේ මෙත් සිත හොඳින් පිහිටා තිබෙනවා ද, නො ගැටුනු භාවය ඇති වී තිබෙනවා ද කියා ප්‍රත්‍යෙව්ක්ෂා කර බැලිය යුතු යි.
4. මම බහුශ්‍රැත ද, ශ්‍රැත ධර ද, මුල මැද අග සුන්දර වූ, අර්ථ සහිත පැහැදිලි වචන සහිත, සම්පූර්ණයෙන් ම පිරිපුන් පාරිශුද්ධ බඹසර ගැන පැවසෙන ඒ ධර්මය පිළිබඳව මම හොඳින් අසා තිබෙනවා ද, ඒ ධර්මය දරාගෙන සිටිනවා ද, වචනයේ පුරුදු කොට තිබෙනවා ද, මනසින් විමසා බලා තිබෙනවා ද, ඒ ධර්මය ගැන පිරිසිදු දැක්මකින් යුතු වෙනවා ද, දහම් දැනුම රැස් කොට ගෙන තිබෙනවා ද, යන කරුණු ප්‍රත්‍යෙව්ක්ෂා කොට බැලිය යුතු යි.
5. භික්ෂු භික්ෂුනීන් වහන්සේලා ගේ සික්ෂාපද ඇතුළත් උභය ප්‍රාතිමෝක්ෂය විස්තර වශයෙන් හදාරා, හොඳින් ප්‍රගුණ කොට තිබේ ද, හොඳින් දරාගෙන තිබේ ද, යන කරුණ ප්‍රත්‍යෙව්ක්ෂා කර බැලිය යුතු යි.

ඉහත කරුණු පහ හොදින් ප්‍රත්‍යවේක්ෂා කොට බලා, වරද පෙන්වා දීමට පෙර තමා තුළ තවත් කරුණු පහක් හොඳින් පිහිටුවා ගත යුතු බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනු ලැබුවා. ඒ කරුණු තමයි පහත දැක්වෙන්නේ..

1. සුදුසු කාලයේ දී ම වරද පවසමි, නුසුදුසු කාලයේ නොවේ..
2. සිදු වූ දෙයකින් ම පවසමි, සිදු නො වූ දෙයකින් නොවේ..
3. මෘදු වචනවලින් පවසමි, රළු වචනවලින් නොවේ.
4. අර්ථසහිත දෙයක් ම පවසමි, අනර්ථය ඇතිවන දෙයක් නොවේ.
5. මෙත් සිතින් ම පවසමි, ගැටුණු සිතින් නොවේ..

වරදක් පෙන්වා දෙන්නට ඉහත කරුණු දහයත් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා වරද පෙන්වා දීමට පෙර පහත කරුණු පහ ද තමා තුළ හොඳින් මෙනෙහි කොට බලා වරද පෙන්වා දිය යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.

1. වරද සිදු කළ කෙනා ගැන, කරුණාව තමා තුළ තිබේ ද,
2. මෙය පවසන්නේ ඔහු ගැන තිබෙන හිතවත් භාවයෙන් ද,
3. මෙය පවසන්නේ ඔහු ගැන තිබෙන අනුකම්පාවෙන් ද,
4. මෙය පවසන්නේ ඔහුව වරදින් මුදවා ගැනීමේ අදහසින් ද,
5. මෙය පවසන්නේ විනය පෙරටු කර ගන්නා අදහසින් ද..

එම කරුණු පහ තමා තුළ තිබෙන බව හොඳින් මෙනෙහි කිරීම කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා..

ඉතින් දයාබර යාලුවනේ… කෝටියක් සංවර සිල් රකින උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් තවත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක ගේ වරදක් පෙන්වා දෙන්නට යන විට, මේ විදියට, කරුණු පහක් ප්‍රත්‍යෙව්ක්ෂා කරල, කරුණු පහක් තමා තුළ පිහිටුවාගෙන, කරුණු පහක් තමා තුළ තිබේ ද කියා මෙනෙහි කරල බලල තමයි එය කළ යුතු වන්නේ. මහා සීලයක් රකින උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ගැන කරුණු ඒ විදියට නම්, ගිහි උදවිය ගැන කවර කථා ද..?

හරිම අමාරුවෙන් පන්සිල් පද පහ පවා කැඩි කැඩි රකින, නිකම්ම හිස් වචන බොහෝ කොට කථා කර කර ඉන්න, හොඳ විනය දැනුමක් තබා ධර්ම දැනුමක් වත් නැති ගිහි කෙනෙක් උපසම්පදා ස්වාමීන් වහන්සේලා ගේ නැති වැරදි පවා පෙන්වා දෙන්නට ගියහොත් ඔහු කෙතරම් දුරට තමා නසා ගන්නවා ද කියන එක හිතන්නට වත් බැරි තරම්.. වැරදි පෙන්වා දෙන්නේ ගුණ මැකීමේ අදහසින් සහ නින්දා අපහාස කිරීමේ අදහසින් නම් ඔහුට රැස් වෙන අකුසලය ප්‍රමාණ කරන්නට ත් බැහැ.

මේ නිසා ම යි භාග්‍යවතුන් වහන්සේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට නින්දා අපහාස කරන උදවිය ව්‍යසන එකොළහක් අතරින් කිසියම් ව්‍යසනයකට පත් නො වීම සිදු විය නො හැක්කක් බව දේශනා කොට වදාළේ.

ඒ ව්‍යසනය එකොළහත් මෙසේ දක්වන්නම්.

1. අවබෝධ නොකළ ධර්මය, අවබෝධ කරන්නට නො හැකි වෙනවා.
2. උපදවා ගත් යම් සමාධි ආදී ධර්මයක් තිබෙනවා නම්, එය පිරිහී යනවා.
3. තමා තුළ දහම පිරිසිදු කර ගන්නට ලැබෙන්නේ නැහැ.
4. ධර්මය අවබෝධ කළා කියා අධිමානයට හෝ පත් වෙනවා.
5. අකමැත්තෙන් ධර්මයේ හැසිරෙන කෙනෙක් බවට හෝ පත් වෙනවා.
6. කිලිටි භාවයට පත් වන අයුරින් කිසියම් සිල් පද හෝ හානි කර ගන්නවා.
7. (පැවිදි අයෙක් නම්) සිවුරු හැර ගිහි වෙනවා.
8. දරුණු රෝගාබාධයක් හෝ වැළඳෙනවා..
9. උමතු භාවයට හෝ පත්වෙනවා, නො එසේ නම් සිත වික්ෂිප්ත වීමට පත් වෙනවා.
10. සිහි මුළා වෙලා කළුරිය කරනවා..
11. මරණින් මතු මහත් දුක් ඇති නිරයේ උපදිනවා..

ඉතින් මේ නිසා ඔබ ඔබ ගැන ම අනුකම්පා කර ගන්න. මේ වස්‍යනයන්ට මාත් පත්වෙන්නට ඉඩ තිබෙනවා නේ ද කියා නිතර හිතන්න. සසර කියා කියන්නේ සෙල්ලමක් නොවෙයි. ලෝක සම්මතයෙන් සාධාරණ වේවා අසාධාරණ වේවා කුමන හෝ කරුණක් මත අපි, අප ගේ සිත් දූෂ්‍ය කර ගන්නවා නම්, එහි විපාක විඳින්නට සිදු වන්නේ අපට ම යි.

ඒ නිසා අන් අයට චෝදනා කරනවා වෙනුවට, තමන් තුළ ඇති දුක් උපදවා දෙන මහත් වූ අකුසලයන් දුරු කරගන්නට වෑයම් කරන්න. එවිට ඔබ බුදු සසුන රකින කෙනෙක් වෙනවා. ඔබ ඔබේ සිත පිරිසිදු කර ගන්නට කටයුතු කරනවා නම්, යම් දිනෙක සැබෑ අනුකම්පාව සහ මෛත්‍රියෙන් යුතුව අන් අයට ත් ඒ පිණිස උපකාර කරන්නට ඔබට හැකි වේවි.. එසේ නොවුණ හොත්, බුදු සසුන රකිනවා යැයි වරදවා ගෙන කටයුතු කරන්නට ගොස් නිකරුණේ අපා ගත වී දුක් විඳින්නට යි ඔබට සිදු වන්නේ.. එවැනි ව්‍යසනයක් කිසිවෙකුටත් කිසි කලෙක සිදු නොවේවා..!!!

තෙරුවන් සරණයි..!!!

මෙලොව දී වගේ ම පරලොව දී ත් තමා තමාව ම පුච්චා ගන්නා වූ අන් අයට චෝදනා කරන කෙනා ගැන කියැවෙන මේ කරුණුත් කියවා බලන්න..

1. යමෙක් කෝපයෙන් යුතු වෙයි ද, බද්ධ වෛරයෙන් යුතු වෙයි ද, චණ්ඩ ද, සැඩ වචන කථා කරයි ද, වැරදි නොවන දෙය වරද ලෙස පෙන්වා දෙයි ද, එවැනි චෝදනා නගන තැනැත්තා, තමාව පුච්චාගනියි..

2. (අන් අය ගේ) කණට කොදුරා කියයි ද, වරද ම සොය යි ද, නිවැරදි විනිශ්චය පහතට හෙළයි ද, වැරදි මාර්ගය ඇසුරු කරයි ද, වැරදි නොවන දෙය වරද ලෙස පෙන්වා දෙයි ද, එසේ චෝදනා නගන තැනැත්තා, තමාව පුච්චාගනියි..

3. නුසුදුසු කල්හි චෝදනා කරයි ද, සිදු නො වූ දෙයකින් චෝදනා කරයි ද, දූෂිත සිතින් වරද පෙන්වා දෙයි ද, අනර්ථ සහිත දෙයක් කියයි ද, මෙත් සිතින් නොව තරහින් චෝදනා කරයි ද, වැරදි නොවන දෙය වරද ලෙස පෙන්වා දෙයි ද, එවැනි චෝදනා නගන තැනැත්තා, තමාව පුච්චාගනියි..

4. ධර්මය අධර්මය නො දනී ද, ධර්මයත් අධර්මයත් දැන ගැනීමට අදක්ෂ ද, වැරදි නොවන දෙය වරද ලෙස පෙන්වා දෙයි ද, එවැනි චෝදනා නගන තැනැත්තා, තමාව පුච්චාගනියි..

5. විනය අවිනය නො දනී ද, විනයත් අවිනයත් දැන ගැනීමට අදක්ෂ ද, වැරදි නොවන දෙය වරද ලෙස පෙන්වා දෙයි ද, එවැනි චෝදනා නගන තැනැත්තා, තමාව පුච්චාගනියි..

6. වදාළ දෙය නො වදාළ දෙය නොදනීද, වදාළ දෙය ත් නො වදාළ දෙයත් පිළිබඳව අදක්ෂ ද, වැරදි නොවන දෙය වරද ලෙස පෙන්වා දෙයි ද, එවැනි චෝදනා නගන තැනැත්තා, තමාව පුච්චාගනියි..

7. පුරුදු කළ දෙය පුරුදු නොකළ දෙය නො දනීද, ඒවා සම්බන්ධයෙන් අදක්ෂ ද, වැරදි නොවන දෙය වරද ලෙස පෙන්වා දෙයි ද, එවැනි චෝදනා නගන තැනැත්තා, තමාව පුච්චාගනියි..

8. පණවන ලද්ද නො පණවන ලද්ද නො දනීද, ඒවාට අදක්ෂ ද, වැරදි නොවන දෙය වරද ලෙස පෙන්වා දෙයි ද, එවැනි චෝදනා නගන තැනැත්තා, තමාව පුච්චාගනියි..

9. වැරදි දෙය නිවැරදි දෙය නො දනී ද, ඒවා දැන ගැනීමට අදක්ෂ ද, වැරදි නොවන දෙය වරද ලෙස පෙන්වා දෙයි ද, එවැනි චෝදනා නගන තැනැත්තා, තමාව පුච්චාගනියි..

10. කුඩා වරද මහත් වරද නො දනී ද, ඒවා පිළිබඳව අදක්ෂ ද, වැරදි නොවන දෙය වරද ලෙස පෙන්වා දෙයි ද, එවැනි චෝදනා නගන තැනැත්තා, තමාව පුච්චාගනියි..

11. පෙර පසු කථාව නො දනීද, ඒවා පිළිබදව අදක්ෂ ද, වැරදි නොවන දෙය වරද ලෙස පෙන්වා දෙයි ද, එවැනි චෝදනා නගන තැනැත්තා, තමාව පුච්චාගනියි..

සාදු සාදු සාදු..!!!

17 Comments

  1. dharshana යන නමින් පෙනී ඉන්නේ එක්කො උන්මත්තකයෙක් නැත්නම්, පංචනගෙ ලණු ගිළපු අවාසනාවන්තයෙක්.

  2. බොහොම හොදයි. මේකේ තියෙන අවවාද ටික මහමෙව්නාවේ ගිහියන් සහ හාමුදුරුවන්ම ඉස්සෙල්ලා අනුගමනය කරලා අපිට ආදර්ශයක් දෙන්ඩකෝ. මොකද ඒ අයත් වැඩිපුර කරන්නේ අනිත් අයව විවේචනය කරන එක, තමන් උසස් කරලා අනුන් පහත් කරන එකනේ. මහමෙව්නාවෙන් පළ කරපු පොත් සහ ප්‍රකාශන බලලා ඔය ඇත්තන්ටම මම කියන දේ ඇත්තද නැත්තද කියලා තේරුම් බේරුම් කර ගන්ට පුළුවන්.

    • මම මහමෙව්නාවේ බොහෝ පොත් අධ්‍යනය කර තිබෙනවා. කරුණු රහිතව ද්වේශයෙන් යුතු ව සිදු කරනු ලැබූ විවේචන ඒවායේ මට දක්නට ලැබුනේ නැහැ. ඒ නිසා මෙය මහමෙව්නාවට ආදේශ කරගන්න කියා කීම අර්ථ විරහිත දෙයක්. මන්ද එය දැනටමත් එහි ක්‍රියාත්මක වීම නිසා.

      මෙම ලිපියේ කරුණු දක්වා ඇත්තේ ද්වේශයෙන් යුතුව විවේචන කරනවුන්ට ඇති විපාක පෙන්වා දීමට යි. ඒ බව නැවත ලිපිය කියවා තේරුම් ගන්න. එසේ ම ඔබ නගන ආකාරයේ ද්වේශ සහගත අභූත චෝදනා මහමෙව්නාවේ පොත් පත් තුළ තිබෙනවා නම් ඒවා උපුටන සහිතව පෙන්වා දෙන්න. මන් ද මහමෙව්නාවේ පොතක් අතින්වත් අල්ලා නැති ඇතැමෙක්, කරුණු රහිතව ඔබ ගේ වැනි ප්‍රකාශ සිදු කරන හෙයිනි…

  3. පින්වත් මිතුරනේ, මාහට මෙවැනි දෙයක් දැක ගන්නට ලැබිණ.ජනාධිපති උපදේශක යනුවෙන් ගෞරව නාමයක් ඇති ස්වාමින් වහන්සේ නමක් විසින් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අභූත චෝදනා නගමින් ඉතාලියේ රෝම නගරයේ එක්තරා විහාරස්ථානයකදී දී පොත් පිංචක් බෙදා හැර තිබුණි.මහමෙව්නාවේ සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, නිර්මල බුද්ධ දේශනා වලටත් අපහස වන පරිදි එම පොත ලියා තිබුණි.මේ ලිපිය තුලින් බොහෝ වැදගත් කරුණු බොහෝ දෙනාගේ හිතසුව පිණිස සඳහන් වෙනවා.ප්‍රමාද වීමට පෙර, ඒ අපහසාත්මක පොත නිර්මාණය කළ සියළු දෙනාට නුවණ පහළ වේවා!

  4. Why are these things in only published in sinhala language? Trying to preach to choir????
    These should be in English to reach broad range of audience that willing to hear these scientific philosophy.
    P.S. It is stupid to blame Akon for dancing around Buddha statue or opening of Buddha bars in Europe. Because they are unaware of reality of the Buddha and Buddhism. First tell them in their language how great it is. Then, they will respect it better than the fake Buddhists in Sri Lanka.

    • Namo Buddhaya!

      Dear Strick…… your suggestion is very much appreciated. If you are fluent in both the languages, you are cordially invited to initiate that noble task of translating the TRUTH in to English for the majority to understand.
      One more thing before I leave Mr.Strick….. Plz note that you are not in a position at all to make a comment as Sri Lankans are fake Buddhists. So I suggest you to learn it first before making any further comments on things that you are not really aware of.
      May You be Blessed by The Noble Triple Gem!

  5. සාදු! සාදු!! සාදු!!!…………….

    නමෝ බුද්ධාය

    ඉතාමත් සුන්දර වු ද අනර්ග වූ ද ලිපියකි. කියවීමට ලැබිම මහත් වූ භාග්‍යක් කොට සලකමි. ඔබට බොහොම පින්.

    තෙරුවන් සරණයි

  6. nitharama an ayage dos dakina siyalu denatath, dharmaye hesirena ayatath aneewaryenma kiyaviya yuthu lipiyaki. bohoma pin. theruwan saranai.

  7. පිනක මහිමය…..

  8. Namo buddhaya!

    Ithamath watina lipiyak. thama thamange yam adupaduwak ethnam thamata yahapatha pinisama eva niveredi karagenima pinisa itha wedagath yahapath upakaraka lipiyak. kalyanamithra asura maha labhyakmai. bohoma pin.

  9. Namo Buddhaya..!!!

    Boho pin..!!!

  10. Sadu.. Sadu.. Sadu.. Obata nirwanawabodhaya pinisama me pina hethu wasana wewa..

  11. May I see so many advices like this. Sadhu! Sadhu!! Sadhu!!!

  12. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!!

  13. සාදු! සාදු!! සාදු!!!…………….

    නමෝ බුද්ධාය

    ඉතාමත් සුන්දර වු ද අනර්ග වූ ද ලිපියකි. කියවීමට ලැබිම මහත් වූ භාග්‍යක් කොට සලකමි. ඔබට බොහොම පින්.

    තෙරුවන් සරනයි

  14. This is so true…..a valuable article…..we should spend more time to think about our own mistakes and faults…..Thanks for sharing………!!!!!!! bohoma pin!

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: