subscribe

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 03

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 03

බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොදරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න.

තතිය බෝධි සූත්‍රය (තුන්වැනි බෝධි සූත්‍රය)

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!

මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බෝධියට පත් වී පළමුවෙන් ම උරුවෙල් ජනපදයේ නේරංජරා ගං තීරයෙහි බෝධි වෘක්ෂ මූලයේ වැඩ වසන සේක. ඒ සමයේ භාග්‍යවතුන් වහන්සේ විමුක්ති සුවය විඳිමින් එක ම පළඟින් දවස් හතක් වැඩ සිටි සේක.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඉක්මගිය පසු, ඒ සමාධියෙන් නැගී සිට රාත්‍රියේ පස්චිම යාමයේ පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කළ සේක.

“මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි, මෙය ඉපදීමෙන් මෙය උපදියි, මෙය නැති කල්හි මෙය නොවෙයි, මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි, එනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙයි. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙයි. නාම රූප ප්‍රත්‍යයෙන් සළායතන වෙයි. සළායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනා වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වෙයි. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ඉපදීම වෙයි. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ ශොක් වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හටගනියි. මෙසේ මේ මුලු මහත් දුක්ඛස්කන්ධයේ හටගැනීම වෙයි.

අවිද්‍යාවේ ම ඉතුරු නො වී සිදුවන නිරෝධයෙන් සංස්කාර නිරුද්ධ වෙයි. සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරුද්ධ වෙයි. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරුද්ධ වෙයි. නාම රූප නිරෝධයෙන් සළායතන නිරුද්ධ වෙයි. සළායතන නිරෝධයෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරුද්ධ වෙයි. වේදනා නිරෝධයෙන් තණ්හා නිරුද්ධ වෙයි. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරුද්ධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරුද්ධ වෙයි. භව නිරෝධයෙන් ඉපදීම නිරුද්ධ වෙයි. ඉපදීම නිරෝධයෙන් ජරා මරණ ශොක් වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙයි. මෙසේ මේ මුලු මහත් දුක්ඛස්කන්ධයේ නිරෝධය වෙයි“ යනුවෙනි.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දැන ගෙන, ඒ අවස්ථාවේ දී මේ උදානය පළ කළ සේක.

යදා හවේ පාතුභවන්ති ධම්මා
ආතාපිනෝ ඣායතෝ බ්‍රාහ්මණස්ස,
විධූපයං තිට්ඨති මාරසේනං
සුරියෝ‘ව ඕභාසයමන්තළික්ඛං

තේරුම »»»
කෙලෙස් තවන වීරිය ඇති, ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට යම් කලෙක ඒකාන්තයෙන් බෝධිපාක්ෂික ධර්මයන් පහළ වෙයි ද, එකල්හි ඔහු හිරු අහස බබුළුවන්නාක් මෙන් මාරසේනා දුරුකමින් – කම්පා කරමින් සිටී.

භාවය »»»

යදා – යම් කලෙක,
හවේ – ඒකාන්තයෙන්,
ආතාපිනෝ– කෙලෙස් තවන වීරිය ඇති,
ඣායතෝ – ධ්‍යාන වඩන,
බ්‍රාහ්මණස්ස – බ්‍රාහ්මණයාට (පව් බැහැර ලූ අර්ථයෙන්
බ්‍රාහ්මණ වෙයි),
ධම්මා – ධර්මයෝ,
පාතුභවන්ති – පහළ වෙත් ද,
ඕභාසයමන්තළික්ඛං – අහස බබළුවන,
සුරියෝ ඉව – සූර්යයා මෙන්,
මාරසේනං – මාරසේනාව,
විධූපයං – විධූපනය කරමින්, කම්පා කරමින්, දුරු කරමින්,
තිට්ඨති – සිටියි.

සරළ අර්ථය »»»
කෙලෙසුන් දුරු කරන වීර්යයෙන් යුතු, ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට යම් අවස්ථාවක ඒකාන්තයෙන්ම බෝධි පාක්ෂික ධර්මයන් පහළ වෙයි ද, එකල්හි ඔහු හිරු අඳුරු දුරලා අහස බබළුවන්නාක් මෙන්, මාරසේනා දුරු කරමින් – කම්පාකරමින් සිටියි.

සාදු! සාදු!! සාදු!!!

Comments are closed.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: