subscribe

රාගයෙන් රක්ත වූවෝ දහම නො දකිත්..

රාගයෙන් රක්ත වූවෝ දහම නො දකිත්..

රාජායතන මූලයේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේහට අත්සුණු සහ විළඳ පූජා කරගැනීමෙන් පසු බුදු රජාණන් වහන්සේ සහ ධර්මය සරණ යෑමෙන් ලෝකයේ පළමු ද්වේ වාචික උපාසකයන් බවට පත්වූ, තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන්ගේ පුවත අප පසුගිය ලිපියෙන් ඉගෙන ගත්තා. [පසුගිය ලිපිය]

රාජයතන මූලයේ පුරා සතියක් එකම පළඟින් විමුක්ති සුව විඳිමින් ගත කළ භාග්‍යවතුන් වහන්සේ එම සතිය ගතවී ගිය පසු ඒ සමාධියෙන් නැගී සිට අජපාල නිග්‍රෝධ මූලය කරා වැඩම කළා.

අජපාල නිග්‍රෝධ මූලයේ හුදෙකලාව විවේක සුවයෙන් වැඩවාසය කරනා භාග්‍යවතුන් වහන්සේගේ සිතේ මෙවැනි සිතුවිල්ලක් පහළ වුනා.

“මා විසින් අවබෝධ කරගත් මේ ධර්මය ගම්භීරයි. දකින්නට දුෂ්කර යි. අවබෝධයට දුෂ්කරයි. ශාන්තයි. ප්‍රණීතයි. අතක්කාවචරයි. ඉතා සියුම්. නුවණැති අය විසින් ම දැන ගත යුතු යි.“

“මේ ප්‍රජාව ආලය නිවෙස කොටගෙන, ආලයට ම ඇලී, ආලයෙන් ම සතුටු වෙමිනුයි සිටින්නේ. ආලය ම නිවෙස කොටගෙන, ආලයට ම ඇලී, ආලයෙන් සතුටුවෙමින් සිටින මේ ප්‍රජාවට මේ කාරණය දකින්නට දුෂ්කර යි. එනම්, ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය යි.එසේ ම මේ කාරණයත් දකින්නට දුෂ්කරයි. එනම්, සියලු සංස්ඛාරයන්ගේ සංසිඳීම වූ, සියලු උපධීන් අත්හැර දැමීම, තණ්හාව ක්ෂය වීම, විරාගය, නිරෝධය නම් වූ නිවනයි. ඉදින් මම ධර්මය දේශනා කරන්නේ නම්, අන් අය මා විසින් දේශනා කරන ධර්මය අවබෝධ කර නොගන්නේ නම්, එය මට ක්ලාන්තයක්. එය මට වෙහෙසක්.“

LifeOfBuddha20

ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේට පෙර නො ඇසූ විරූ ආශ්චර්යවත් වූ මේ ගාථාවන් වැටහුණා.

කිච්ඡේන මේ අධිගතං හලංදානි පකාසිතුං
රාගදෝසපරේතේහි නායං ධම්මෝ සුසම්බුධෝ

“මා විසින් දුකසේ අවබෝධ කරගන්නා ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීමෙන් පලක් නැත. රාග ද්වේශයන්ගෙන් මැඩුනා වූ පිරිසට මේ ධර්මය සුවසේ අවබෝධ කළ නො හැකි යි.“

පටිසෝතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං
රාගරත්තා න දක්ඛින්ති තමොක්ඛන්ධේන ආවටාති..

“උඩුගම්බලා යන සුළු වූ නිපුණ වූ ගම්භීර වූ දකින්නට දුෂ්කර වූ ඉතා සියුම් වූ මේ ධර්මය රාගයෙන් රක්ත වූ මෝහ අන්ධකාරයෙන් වැසුණු ප්‍රජාව නො දකින්නෝය.“

මේ අයුරින් විමසන භාග්‍යවතුන් වහන්සේ සිත ධර්ම දේශනාවට නැමුණේ නැහැ. ධර්ම දේශනා නොකොට අල්පෝත්සුකව වාසය කරන්නටයි සිත නැමුණේ. ඒ අවස්ථාවේ දී සහම්පතී මහා බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ ගේ සිත තමන්ගේ සිතින් දැනගෙන මෙසේ කල්පනා කළා.

“යම් විදියකින් තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ සිත අල්පොත්සුක භාවයට නැමෙනවා නම්, ධර්මදේශනාවට නො නැමෙනවා නම්, භවත්නි, ඒකාන්තයෙන් ම ලෝකය නැසෙනවා. භවත්නි, ඒකාන්තයෙන් ම ලෝකය වැනසෙනවා.“

එසේ කල්පනා කළ සහම්පතී බ්‍රහ්මරාජයා බලවත් පුරුෂයෙක් හැකිළූ අතක් දිගහරින්නාක් මෙන්, දිගහැරූ අතක් හකුලන්නාක් මෙන් බ්‍රහ්මලෝකයෙන් අතුරුදහන් වී භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ පහළ වුනා. පහළ වී උත්තරාසංගය ඒකාංස කරගෙන, දකුණු දණ මඩල පොළොවෙහි තබාගෙන, භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැදගෙන භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ධර්ම දේශනා කරන සේක්වා. සුගතයන් වහන්ස ධර්මය දේශනා කරන සේක්වා. අල්ප කෙලෙස් ඇතිව ඉපදුණු සත්වයන් සිටිනවා. ධර්මය ශ්‍රවණය කරන්නට නො ලැබීමෙන් ඔවුන් පිරිහී යනවා. ධර්මය අවබෝධ කරගන්නා අය පහළ වනු ඇති.“

එසේ පැවසූ සහම්පතී බ්‍රහ්ම රාජයා ගාථාවලින් මෙසේ පැවසුවා.

පාතුරහෝසි මගධේසු පුබ්බේ
ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ
අවාපුරේතං අමතස්ස ද්වාරං
සුණන්තු ධම්මං විමලේනානුබුද්ධං

“පෙර මගධයෙහි කෙලෙස් සහිත අය විසින් සිතන ලද අශුද්ධ ධර්මය පහළ විය. අමෘත ද්වාරය විවර කළ මැනව. දුරු වූ කෙලෙස් මල ඇති බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මය සත්වයෝ අසත්වා!“

සේලේ යථා පබ්බතමුද්ධනිට්ඨිතෝ
යථාපි පස්සේ ජනතං සමන්තතෝ
තථුපමං ධම්මයං සුමේධ
පාසාදමාරුය්හ සමන්තචක්ඛු,
සෝකාවතිණ්ණං ජනතමපේතසෝකෝ
අවෙක්ඛස්සු ජාතිජරාභිභූතං

“සෙල් පර්වතයක මුදුනේ සිටින අයෙක් හාත්පස ජනයා දෙස බලන්නේ යම් සේ ද, සුන්දර ප්‍රඥා ඇති සමතැස් ඇති භාග්‍යවතුන් වහන්ස, පහවූ ශෝක ඇති ඔබ වහන්සේ, එවැනි උපමා ඇති ධර්මයෙන් නිර්මිත වූ ප්‍රාසාදයට නැග, ශෝකයට බැසගත් ජාති ජරාවන්ගෙන් මැඩුණා වූ ජනයා දෙස බලා වදාරණ සේක්වා!“

උට්ඨේහි වීර විජිත සංගාම – සත්ථාහ අනණ විචර ලෝකේ
දෙසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සන්ති..

“සංග්‍රාමය දිනූ වීරයන් වහන්ස නැගී සිටින සේක්වා! නය නැති වූ ශාස්තෘන් වහන්ස ලෝකයේ හැසිරෙන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා! ධර්මය අවබෝධ කරන්නෝ ඇති වන්නාහු ය.“
brahma-sahampati

ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාගේ ද ආරාධනාව දැන ගෙන සත්වයන් කෙරෙහි කරුණාව ද නිසා බුදු ඇසින් ලෝකය දෙස බලා වදාළා.

බුදු ඇසින් ලෝකය දෙස බලන භාග්‍යවතුන් වහන්සේ අල්ප කෙලෙස් ඇති මහා කෙලෙස් ඇති, තියුණු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ඇති, මෘදු ඉන්ද්‍රියන් ඇති, යහපත් ආකාර ඇති, අයහපත් ආකාර ඇති, පහසුවෙන් ධර්මය අවබෝධ කළ හැකි, පහසුවෙන් ධර්මය අවබෝධ කළ නො හැකි, ඇතැමෙක් පරලොව භය දකින්නා වූ ත් පරලොව බය නො දකින්නා වූත් සත්වයින් දුටුවා.

භාග්‍යවතුන් වහන්සේ ලෝකය දුටුවේ නෙලුම් පොකුණක් වගෙයි. මානෙල් හෝ රතු නෙලුම් හෝ සුදු නෙලුම් හෝ පිරුණු පොකුණක ඇතැම් මල් වතුරෙහි ම හටගෙන වතුරෙහි වැඩී, වතුරෙන් උඩට මතු නො වී තිබෙනවා. තවත් සමහර මල් වතුරෙහි හටගෙන, වතුරෙහි වැඩී, වතුර මට්ටම සමග සමවී තිබෙනවා. ඇතැම් මල් වතුරෙහි හැදී, වතුරෙහි වැඩී, වතුරෙන් උඩට මතු වී දිය හා නො තැවරී තිබෙනවා. මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි වෙසෙන නොයෙක් ආකාර වූ සත්වයන් ව බුදු ඇසින් දැක වදාළා.

එසේ දැක සහම්පතී බ්‍රහ්මරාජයාට ගාථාවකින් මෙසේ පිළිතුරු දී වදාළා.

අපාරුතා තේසං අමතස්ස ද්වාරා
යේ සෝතවන්තෝ පමුඤ්චන්තු සද්ධං,
විහිංසසඤ්ඤී පගුණං න භාසයිං
ධම්මං පණීතං මනුජේසු බ්‍රහ්මේ

“ඔවුනට අමා දොර විවර කරන ලදි. දෙසවන් ඇත්තෝ ශ්‍රද්ධාව මුදත්වා. බ්‍රහ්මය, වෙහෙසට පත් වේය යන සඤ්ඤාවෙන් ප්‍රගුණ වූ ප්‍රණීත ධර්මය මිනිසුන් අතර දේශනා නො කළෙමි.“

ඉන්පසු සහම්පතී බ්‍රහ්ම රාජයා, “භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසනු පිණිස කළ අවකාශ ඇත්තෙම් වෙමි“යි භාග්‍යවතුන් වහන්සේට වන්දනා කෙට පැදකුණු කොට එහිම අතුරුදහන් වී ගියා.

විනය පිටකයේ – මහාවග්ගපාළිය ඇසුරිනි.

1 Comment

  1. Namo buddhaya1

    sadu….sadu……sadu……………!!!!!!!!!!!!!!

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: