subscribe

‘දස බලධාරී අප මහ මුනිරජු’

‘දස බලධාරී අප මහ මුනිරජු’

ඒ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේව මේ ජීවිතයෙදි හැබැහින් දකින්න වාසනාව තිබුන කෙනෙක් වර්තමාන මිනිස් ලොව තුල සිටින බවට කිසිදු ජීවමාන සාධකයක් නැහැ.. නමුත් උන්වහන්සේ බුදු මුවින්ම වදාළා තමන් වහන්සේව තුන් කල්හිදීම අපට දැක ගන්න පුළුවන් බව​.

ඒ කොහොමද​? අර ඇතැම් අය විශ්වාස කරනවා වගේ මරණින් මත්තෙ ද​? තථාගතයන් වහන්සේ වදාරණවා ‘යෝ ධම්මං පස්සති – සෝ මං පස්සති’…. “යමෙක් ධර්මය දකින්නේද, ඔහු තථාගතයන් වහන්සේ දකින්නේ ය”…. කියලා. මරණින් මත්තේ නෙවෙයි. මේ ජීවිතයේදීම​. මොකද මේක සන්දිට්ඨික වූත්, අකාලික වූත් ධර්මයක්. මේ ජීවිතයේදීම දකිය යුතු, දැකිය හැකි ධර්මයක්. කාලත්‍රයටම පොදුවූ පරණ නොවන ධර්මයක්. ඉතින් ඒ ධර්මය දකින කෙනා තමයි තථාගතයන් වහන්සේව දකින්නට තරම් භාග්‍යවන්ත වෙන්නේ.

සම්බුදු සිරුර දෙස ඇසිපිය නොහෙලා බලාසිටි වක්කලී හිමියන්ගෙන් බුදුරජාණන් වහන්සේ විමසා වදාරණවා “පින්වත් වක්කලී, මේ කුණු ශරීරය දැකීම තුළින් ඔබට ඔබේ ජීවිතය සඳහා ලබා ගත හැක්කේ කුමක් ද​?” කියලා. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් හෙබි මනස්කාන්ත වූ අසිරිමත් සෝබමාන සිරුරක් දැරූ අසම සම පුද්ගලයකුගේ උදාර ප්‍රකාශයක් ඒ. මේ කුණු ශරීරෙ අංශුමාත්‍ර දෙයක්වත් ‘සුභ​’ ලෙසින් ගත හැකිනම් උන්වහන්සේ ඒ ප්‍රකාශය කරන්නෙ නැහැනෙ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් 1/64ක් වත්, අඩුගානේ සේයා මාත්‍රයක්වත් නැති වර්තමානයේ උදවිය බලන්න​ මේ ගඳගහන ශරීරෙ බදාගෙන කරන විගඩමක මහත​…..! බියුටි පාලර් ගානෙ වරු ගණන් රස්තියාදු වෙන හැටි. හෝද හෝද​, පාට කර කර​, සුවඳ ගගහ යන අසූචි කළේට ඔය මුකුත් නොකර දවසකට පොඩි රෙස්ට් එකක් දීලා හවස් වෙලා බලන්න තත්වෙ කොහොමද කියලා. තමුන්ටම තේරේවි රඟේ.

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්, අනන්ත වූ බුදු ගුණයන්, මහා දසබල ඥාණයන්, විශාරද බුද්ධ ඥාණයන් ආදී මේ සියල්ල දරා සිටීමට තරම් උන්වහන්සේ භාග්‍යසම්පන්න වුනා. පරිපූර්ණ මනුෂ්‍යරත්නයක් වුනා. ඒ භාග්‍යසම්පන්න, පරිපූර්ණ​, දෙව්-මිනිස් සියළු සත හට උතුම් වූ, පතළ මහා කරුණාවෙන් යුතු වූ අසම සම උත්තමයන් වහන්සේ ශාස්තෘත්වයේ සළකා උන්වහන්සේ සරණයාමට තරම් අප භාග්‍යවන්ත වුනා.

නමුත් අද වගේම එදත් හිටියා ඒ උතුම් ගුණ අඳුනගන්න බැරි වුන අඥාන මිනිස්සු. ලිච්ඡවි පරපුරෙන් පැමිණ උතුම් බුදු සසුනේ පැවිද්ද ලබා ගත් ‘සුනක්ඛත්ත​’ කියන්නේ එහෙම කෙනෙක්. එයා බුදුරජාණන් වහන්සේ පසුපසින් වඩිමින් කලක් බුද්ධෝපස්ථානයේ පවා නිරත වුනා. නමුත් එයා ටික කලකින් සිවුරු ඇරලා ගිහින් හන්දි ගානේ, සෙනඟ රැස් වෙන තැන්වලට ගිහිල්ලා බුදුරජාණන්වහන්සේට, බුද්ධ ශාසනයට මඩ ගැසීමේ අරමුණින් විවිධාකාර දේවල් කියන්න පටන් ගත්තා. දවසක් ධර්ම සේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩිනකොට දැක්ක මේ හිස් පුද්ගලයා කරන දේ. පස්සේ විවේකී වෙලාවක උන්වහන්සේ මේ බව බුදුන් වහන්සේට සැළකර සිටියා. ඉතින් බලන්න​…. උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්න සමයක පවා එවැනි හිස් පුද්ගලයො හිටියා. සුනක්ඛත්ත කොයිතරම් ළඟින් බුදුන් වහන්සේව ඇසුරු කළත් එයාට හැකිවුනේ නැහැනෙ බුදුන් වහන්සේව දකින්න​. ඇයි ඒ….? එයා බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් දැක්කේ නැහැ. ඒ උතුම් ධර්මය දකින්න එයාට පින තිබුනේ නැහැ.

මතු සබැඳි….

(මහමෙව්නාව 2551 වෙසක් සඟරාවට කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් රචිත ලිපියක් ඇසුරෙන්….)

1 Comment

  1. We must blame others when we’re correct.There’s nothing anyone perfect, so how can we blame others.If anyone talk much about others’ small mistakes that means he’s got a lot of mistakes.And whatever that small mistake we talk hugely and blame on others’ about something never happened also a huge sin.We must chase merits not anything else.
    NAMO BUDDHAYA!

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: