subscribe

2600 වැනි උතුම් ශ්‍රී ධර්මචක්‍ර ජයන්තිය!

සළ පුන් පොහෝ දිනයට තව තිබෙන්නේ ඉතා ම සුලු කාලය යි. ඇසළ පොහොය අපට විශේෂ වන්නේ ඇයි ද කියා අපි හැමෝම දන්නවා. ඒ අතරිනුත් මෙවර ඇසළ පුන් පොහෝ දිනය ඉතා සුවිශේෂී එකක් වෙන්නේ, එදිනට අප ගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් දම්සක් දෙසුම පවත්වා වසර 2600 ක් සම්පූර්ණ වීම නිසයි. එසේ ම එදිනට උතුම් ආර්ය ශ්‍රාවක සංඝරත්නය බිහි වීමෙනුත් වසර 2600 ක් සපිරෙනවා.

ඉතා දීර්ඝ කාලයක් සංසාරය පුරාවට සාමාන්‍ය අයෙකුට නම් සිහිනෙන් වත් සිතිය නො හැකි අන්දමේ විශ්මිත කැප කිරීම් සිදු කරමින් පැමිණි අප ගේ මහබෝසතාණන් වහන්සේ දසමාර සේනා පරාජය කරමින් සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. එසේ සම්මා සම්බෝධියට පත් වීමෙන් පසු, පළමු සති හතක කාලය භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ උතුම් වජිරාසන භූමියට සමීප වූ ස්ථානයන් ගේ යි. එහි දී භාග්‍යවතුන් වහන්සේ අජපාල නම් වූ නිග්‍රෝධ මූලයේ හුදෙකලාව ම වැඩ සිටින විට, තමන් වහන්සේ අවබෝධ කළ ශ්‍රී සද්ධර්මයේ පරම ගම්භීර භාවය හේතු කරගෙන භාග්‍යවතුන් වහන්සේට මෙවැනි සිතුවිල්ලක් පහළ වුණා.

෴බරණැස ඉසිපතන මිගදායේ භාග්‍යවතුන් වහන්සේ ගේ මුල් ම ගන්ධ කුටිය෴

අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ. ආලයරාමා ඛෝ පනා‘යං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛෝ පන පජාය ආලයරතාය ආලය සම්මුදිතාය දුද්දසං ඉදං ඨානං – යදිදං ඉදප්පච්චයා පටිච්චසමුප්පාදෝ. ඉදම්පි ඛෝ ඨානං සුදුද්දසං – යදිදං සබ්බසංඛාරසමථෝ සබ්බූපදිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. අහඤ්චේව ඛෝ පන ධම්මං දේසෙය්‍යං, පරේ ච මේ න ආජානෙය්‍යුං සෝ මම‘ස්ස කිලමථෝ, සා මම‘ස්ස විහේසා..

“මා විසින් අවබෝධ කරන ලද මෙම ධර්මය ගම්භීර යි. දකින්නට දුෂ්කර යි. අවබෝධ කරන්නට දුෂ්කර යි. ශාන්ත යි. ප්‍රණීත යි. තර්කයෙන් දැකිය නො හැකි යි. ඉතා සියුම්. පණ්ඩිතයන් විසින් ම අවබෝධ කළ යුතු යි. මේ මිනිසුන් ආලය ආරාම කරගෙන (නිවෙස කරගෙන) යි වාසය කරන්නේ. ආලයට ම යි ඇලී සිටින්නේ. ආලයෙන් ම යි සතුටු වෙන්නේ. ආලය තුළ වාසය කරන, ආලයට ඇලී සිටින, ආලයෙන් සතුටු වෙන මිනිසුන්ට මේ දෙය දකින්නට දුෂ්කර යි. එනම් යම් මේ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදයක් තිබෙනවා ද එය යි. එසේ ම මේ දෙයත් දකින්නට ඉතා ම දුෂ්කර යි. එනම් යම් මේ සියලු සංස්කාරයන් ගේ සංසිඳීමක් වේ ද, සියලු උපධීන් අත්හැර දැමීමක් වේ ද, තණ්හාව ක්ෂය කර දැමීමක් වේ ද, විරාගය වූ නිරෝධය වූ ඒ නිවන යි. ඉදින් මම ධර්මය දේශනා කරනවා නම්, එවිට අන් අය මා දේශනා කරන ධර්මය අවබෝධ කර නොගන්නවා නම්, එය මට ක්ලාන්තයක්. එය මට වෙහෙසක්.”

ඒ විදියට කල්පනා කරන භාග්‍යවතුන් වහන්සේට ඉතා ආශ්චර්යවත් වූ පෙර නො ඇසූ විරූ මේ ගාථා ධර්මයන් වැටහුනා..

කිච්ඡේන මේ අධිගතං හලංදානි පකාසිතුං
රාග-දෝස-පරේතේහි නායං ධම්මෝ සුසම්බුධෝ

“මා විසින් දුක සේ අවබෝධ කළ මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීමෙන් පළක් නැහැ.රාග ද්වේශයන්ට ගැති වූ මිනිසුන්ට මේ ධර්මය හොඳින් අවබෝධ කරන්නට බැහැ.”

පටිසෝතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං
රාගරත්තා න දක්ඛින්ති තමොක්ඛන්ධේන ආවටා..

“උඩුගංබලා යන්නා වූ නිපුණ වූ ගම්භීර වූ දකින්නට දුෂ්කර වූ ඉතා සියුම් වූ මේ ධර්මය රාගයෙන් රක්ත වූ මෝහාන්ධකාරයෙන් වැසී සිටින සත්වයෝ දකින්නේ නැහැ.”

ඒ විදියට කල්පනා කරන භාග්‍යවතුන් වහන්සේ ගේ සිත ධර්ම දේශනා කිරීමට නැමුණේ නැහැ. ඉතින් සහම්පති බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ ගේ සිතිවිල්ල දැනගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දම් දෙසීම පිණිස ආරාධනා කරනු ලැබුවා. එය ධර්මතාවයක් ලෙස ම සිදු වන දෙයක්. ඒ අවස්ථාවේ දී තමයි අප ගේ භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මරාජයාගේ ආරාධනාව සහ ලෝ වැසියන් කෙරෙහි ඇති කරුණාව මුල් කොට ගෙන බුදු ඇසින් ලෝකය බලා වදාරනු ලැබුවේ. එවිට භාග්‍යවතුන් වහන්සේ ලෝකය දුටුවේ පියුම් විලක් පරිද්දෙනුයි. පිපී සුවඳ විහිදුවීමට තරම් භාග්‍යඇති පියුමන් වැනි මිනිසුන් දුටු භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කිරීමට තිරීණය කොට සහම්පති බ්‍රහ්මරාජයාට මෙසේ සොඳුරු ගාථා ධර්මයක් වදාළා..

අපාරුතා තේසං අමතස්ස ද්වාරා
යේ සෝතවන්තෝ පමුඤ්චන්තු සද්ධං
විහිංසසඤ්ඤී පගුණං න භාසයිං
ධම්මං පණීතං මනුජේසු බ්‍රහ්මේ..

“ඔවුනට අමා දොර විවර කරන ලදි. කණ් ඇත්තෝ සැදැහැ මුදත්වා. බ්‍රහ්මය, වෙහෙසක් ය යන හැඟීමෙන්, ප්‍රගුණ වූ ධර්මය නො කීවෙමි.”

සහම්පති බ්‍රහ්මරාජයාගේ නික්ම යෑමෙන් පසු මුලින් ම දහම් දෙසිය යුත්තේ කවරෙකුට ද කියා භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා. එවිට භාග්‍යවතුන් වහන්සේට සිහිපත් වූයේ ආළාර කාලාම සහ උද්දකරාම පුත්ත යන තමන් ගේ බෝසත් අවදියේ ගුරුවරුන් ව සිටි අයව යි. නමුත් ධර්මය අවබෝධ කරන්නට තරම් භාග්‍යයක් ඇතිව මනුලොව උපතලැබුව ද ආළාර කාලාම දින හතකට කලිනුත්, උද්දකරාම පුත්ත පෙරදා රාත්‍රියේ ත් කලුරිය කළ බව භාග්‍යවතුන් වහන්සේ දැන ගත්තා.

ඉන් පසුව භාග්‍යවතුන් වහන්සේට සිහිපත් වූයේ බෝසත් අවධියේ දී තමන් වහන්සේට ඉතා උපකාර කළ පඤ්චවග්ගීය භික්ෂූන් වහන්සේලායි. උන්වහන්සේලාට මුලින් ම ධර්මය දේශනා කරන්නට භාග්‍යවතුන් වහන්සේ තීරණය කළා. ඉන්පසු දිවැසින් ඔවුන් සිටින්නේ කොහිද කියා විමසා බැලූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේ පස්වග භික්ෂූන් වහන්සේලා බරණැස් නුවර ඉසිපතන මිගදායේ සිටින බව යි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වේ කැමති තාක් කාලයක් වැඩ හිද බරණැස් නුවර බලා පා ගමනින් ම පිටත් ව වැඩියා.

෴දම්පල් විරුවන් විසින් ඉදිකළ නවමූලගන්ධ කුටි විහාරය෴

ගයාවත් බෝධි මූලයත් අතර වූ දීර්ඝ මාර්ගයේ වඩින භාග්‍යවතුන් වහන්සේව උපක නම් ආජීවකයා දුටුවා. ඉතා පිරිසිදු බබළන ශරීර වර්ණයකින් යුතුව ගමන් කරන භාග්‍යවතුන් වහන්සේව දුටු උපක බුදු රජුන් ගේ ගුරුවරයා කවුද යන වග විමසා සිටියා..

එවිට භාග්‍යවතුන් වහන්සේ ඉතා ම ඉතා ම අසිරිමත් මේ ගාථා ධර්මයන් වදාළා..

සබ්බාභිභූ සබ්බවිදූ‘හමස්මි
සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ,
සබ්බඤ්ජහෝ තණ්හක්ඛයේ විමුත්තෝ
සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං

“මම සියල්ල අභිභවා සිටින්නෙමි. සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්මයන් හි නො ඇලුනෙමි. සියල්ල අත් හැර සිටිමි. තණ්හාව ක්ෂය වීම නම් වූ නිවනෙහි විමුක්තියට පත් ව සිටිමි. මා විසින් ම විශේෂ ඤාණයෙන් සියල්ල අවබෝධ කරගත් මම කවරෙක් ආචාර්යවරයා වශයෙන් ගන්නෙම් ද..?”

න මේ ආචරියෝ අත්ථි සදිසෝ මේ න විජ්ජති,
සදේවකස්මිං ලෝකස්මිං නත්ථි මේ පටිපුග්ගලෝ..

“මට ගුරුවරයෙක් නැත. මා හට සම අයෙක් ද විද්‍යාමාන නැත. දෙවියන් සහිත ලෝකයේ මා හට සම පුද්ගලයෙක් නැත්තේ ය.”

අහං හි අරහා ලෝකේ අහං සත්ථා අනුත්තරෝ
ඒකෝ‘ම්හි සම්මාසම්බුද්ධෝ සීතිභූතෝස්මි නිබ්බුතෝ..

“මම ලෝකයෙහි රහත් වෙමි. මම අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ වෙමි. ලොව එක් ම සම්මා සම්බුද්ධ වෙමි. සිසිල්භාවයට පත්ව නිවුනෙම් වෙමි.”

ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං
අන්ධභූතස්මිං ලෝකස්මිං ආහඤ්ජං අමතදුන්දුභිං

“ධර්ම චක්‍රය පැවැත්වීමට කසීරට බරණැස් පුරය බලා යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි අමාදම් බෙරය වයන්නෙමි.”

එවිට උපක භාග්‍යවතුන් වහන්සේට පවසා සිටියේ, ඔබ වහන්සේ පවසන ආකාරයට ඔබ වහන්සේ අනන්තජින වීමට සුදුසු බව යි.

එවිට භාග්‍යවතුන් වහන්සේ උපක අමතා මෙසේ වදාළා..

මා දිසා වේ ජිනා හොන්ති යේ පත්තා ආසවක්ඛයං
ජිතා මේ පාපකා ධම්මා තස්මා‘හං උපකා ජිනෝ..

“යමෙක් ආශ්‍රව ක්ෂය කිරීමට පත්වූයේ ද, මා වැනි ඔවුන් ඒකාන්තයෙන්ම ජින නම් වෙති. උපක, මා විසින් පාපයෝ දිනන ලදි. එනිසා මම ‘ජින’ නම් වෙමි..”

උපක අමතා එසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙලින් චාරිකාවේ වඩිමින් බරණැස් නුවර ඉසිපතන මිගදායට වැඩම කොට වදාළා. පස්වග භික්ෂූන් වහන්සේලා දුර දීම තමන් වෙත වඩින භාග්‍යවතුන් වහන්සේව දුටුවා. දැක කතිකා කරගත්තේ, භාග්‍යවතුන් වහන්සේට වන්දනා මාන නොකොට, උපස්ථාන නො කොට, පාත්‍ර සිවුරු පිළි නො ගෙන සිටීමට යි. නමුත් කැමැති නම් හිඳ ගැනීම පිණිස ආසනයක් දිය යුතු බව ද කතිකා කරගත්තා.

කතිකාව එසේ වුවත් භාග්‍යවතුන් වහන්සේ වඩින විට එම කතිකාවතේ පිහිටා සිටින්නට ඔවුන්ට නො හැකි වුණා. පෙරගමන් කොට එක් අයෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ පාත්‍ර සිවුරු පිළිගත්තා. එක් අයෙක් ආසන පැනෙව්වා. එක් අයෙක් පා සෝදන දිය ආදිය පිළිගන්වා තැබුවා..

එදා ඒ පස්වග තවුසන් වහන්සේලා පෙරගමන් කොට භාග්‍යවතුන් වහන්සේව මුණ ගැසුනු ස්ථානයේ ධර්මාසෝක රජු ස්ථූපයක් ඉදි කරනු ලැබුවා. එම ස්ථූපය හැදින්වෙන්නේ සම්මුඛ චෛත්‍යය යන නමිනුයි. එය පසුකාලීනව මෝගල් වරුන් ගේ ආක්‍රමණ නිසා විනාශ වී ගොස් ආකෘතිය පවා වෙනස් වී තිබෙන නමුත්, අදටත් භාග්‍යවතුන් වහන්සේට පස්වග භික්ෂූන් මුණ ගැසුනු ඒ උතුම් ස්ථානය හදුනා ගැනීම පිණිස මෙම සෑය උපකාර වනවා.

෴සම්මුඛ චෛත්‍යය෴
 

මුලදී පස්වග භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ යැයි පිළිගන්නට කැමති වූයේ නැහැ. නමුත් කරුණු තේරුම් කර දීමෙන් පසු ඒ බව පිළිගන්නට ඔවුන් කැමති වුණා. ඉන් අනතුරුවයි දෙව් බඹුන් බොහෝ කල් සිට බලා සිටි, පුල පුලා බලා සිටි, ඉතා අපේක්ෂාවෙන් බලා සිටි, ඒ අසිරිමත් මොහොත උදාවූයේ. එදා ඇසළ පුන් සඳ නුඹ ගැබ අරා පායා ආ හෝරාවේ, අප ගේ භාග්‍යවතුන් වහන්සේ දස දහසක් ලෝක ධාතුව ම කම්පා කරවමින්, තමන් වහන්සේ ගේ මංගල ධර්ම දේශනය පවත්වා වදාළා.

උතුම් සිව්සස් දහම් විදහා දක්වමින් පවත්වනු ලැබූ ඒ උතුම් දම් දෙසුම අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසානෝ කෙලෙස් රජස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ දහම් ඇස උපදවා ගත්තා.
දම්සක් දෙසුම

එදා භාග්‍යවතුන් වහන්සේ ලොවට අමෘතය ලබා දෙමින් දම් සක් දෙසූ ස්ථානයේ ධර්මාසෝක මහනිරිඳුන් විසින් මහා ස්ථූපයක් ගොඩ නගනු ලැබුවා. එය හදුන්වන්නේ ධම්මරාජික ස්ථූපය යන නමිනු යි. පසුකාලීන ආක්‍රමණයන් නිසා එම ස්ථූපයෙන් බොහෝ ප්‍රමාණයක් ම ගරා වැටී තිබුණ ද භාග්‍යවතුන් වහන්සේ මංගල දම් දෙසුම පැවැත්වූ ස්ථානය මෙය බව හඳුනාගෙන පහන් සංවේගයෙන් යුතුව සිත පහදවාගෙන වන්දනා මාන කිරීම උදෙසා අදටත් සැදැහැවතුනට අවස්ථාව තිබෙනවා..

෴ධම්මරාජික ස්ථූපය෴

 

 

 

 

දම් සක් දෙසුම ශ්‍රවණය කිරීමෙන් උතුම් සෝතාපන්න ඵලයේ පිහිටි කොණ්ඩඤ්ඤ තවුසානෝ භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිදි උපසම්පදාව ඉල්ලා සිටියා. එවිට භාග්‍යවතුන් “ඒහි භික්ඛු” කියා වදාළා. “ස්වාක්ඛාතෝ ධම්මෝ, චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය” – “මේ ධර්මය ස්වාක්ඛාත යි. ඉතා හොදින් දුක් කෙළවර කිරිම පිණිස බ්‍රහ්මචරියේ හැසිරෙන්න”, කියා ද වදාළා.

එය ම පින්වත් කොණ්ඩඤ්ඤ තවුසානන් ගේ පැවිදි උපසම්පදාව බවට පත් වුණා. ඒ උතුමන් වහන්සේ තමයි මේ ගෞතම සම්බුදු සසුනේ පළමු පැවිදි ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වූයේ. එදා ඒ පළමු ආර්ය ශ්‍රාවකයා තුළින් පළමු ශ්‍රාවක සංඝරත්නය ලෝකයට බිහි වුණා. මේ ඇසළ පුන් පොහෝ දිනයේ ඒ අසිරිමත් 2600 වැනි ආර්ය ශ්‍රාවක ජයන්තියත් සැමරෙනවා.

ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ වප්ප භද්දිය මහානාම අස්සජී යන අනෙකුත් භික්ෂූන්ට තවදුරටත් ධර්මයෙන් අවවාද කළා. ඒ අවවාදය ඇසූ වප්ප සහ භද්දිය යන පින්වතුන් වහන්සේලාට ද උතුම් දහම් ඇස පහළ වුණා. සෝතාපන්න ඵලයට පත් වුණා. සෝතාපන්න ඵලයේ පිහිටි ඒ උතුමන් වහන්සේලා දෙනමත් භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිදි උපසම්පදාව ඉල්ලා සිටියා. ඒ පින්වතුන් වහන්සේලාටත් ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා..

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන් වහන්සේලා විසින් පිළිගැන්වූ දානය වළඳා අනෙකුත් භික්ෂූන් වහන්සේලා දෙනමට තවදුරටත් අනුශානා කළා. එම දිනවල කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, යන ස්වාමීන් වහන්සේලා පිඩු පිණිස හැසිරී රැගෙන එන දානයෙන් භාග්‍යවතුන් වහන්සේ ත් ඉතුරු පස්නමත් යැපෙනවා..

එසේ යැපෙමින් භාග්‍යවතුන් වහන්සේ විසින් සිදු කරනු ලැබූ දහම් අනුශාසනාවන් නිසා මහානාම අස්සජී යන ඉතුරු භික්ෂූන් වහන්සේලා දෙනමටත් උතුම් වූ දහම් ඇස පහළ කරගන්නට භාග්‍ය ලැබුණා. ඉන් පසු ඒ පින්වතුන් වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිදි උපසම්පදවා ඉල්ලා සිටියා. ඒ උතුමන්ටත් ඒහි භික්ෂු භාවයෙන් ම පැවිදි උපසම්පදාව ලැබුණා..

දැන් භාග්‍යවතුන් වහන්සේ ගේ ශාසනයේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා පස් නමක් ම වැඩ සිටිනවා.

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ගෞතම සම්බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා සිටි, සෝතාපන්න ඵලයට පත් ව සිටි ඒ පස්වග භික්ෂූන් වහන්සේලාට ගම්භීර අනාත්මලක්ඛණ සූත්‍රය දේශනා කොට වදාළා..

ඒ උතුම් දේශනාව අවසානයේ දී ඒ පිනැතියන් වහන්සේලාගේ සිත් උපාදාන වශයෙන් නොගෙන සියලු ආශ්‍රවයන් කෙරෙන් නිදහස් වී ගියා. එසේ ගෞතම සම්මා සම්බුදු සසුනේ ආර්ය ශ්‍රාවක වූ නිකෙළෙස් හද මඩළ ඇති මහරහතුන් වහන්සේලා බිහි වුණා. එදා මුලු මහත් ලෝකයේ ම භාග්‍යවතුන් වහන්සේ ද ඇතුළුව උතුම් රහතුන් වහන්සේලා හය නමක් වැඩ සිටියා.

භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට අනාත්මලක්ඛණ සූත්‍ර දේශනාව පවත්වා වදාළ ස්ථානයේ ද, දම්සෝ නිරිඳුන් විසින් මහසෑයක් ගොඩ නංවනු ලැබුවා. එය හදුන්වන්නේ ධම්මික ස්ථූපය යන නමිනු යි. මෙහි ස්වරූපය ද අන්‍යාගමික ආක්‍රමණ හමුවේ වෙනස්ව ගොස් ඇති නමුත්, ඉතා අසිරිමත් ලෙස වත්මන් සැදැහැවතුන්ට වැද පුදා අපමණ පින් රැස් කර ගැනීම පිණිස විරාජමානව වැඩ සිටිනවා..

෴ධම්මික ස්ථූපය෴

 

 

 

ඉතින් මහා කරුණා ඇති අපමණ ප්‍රඥා ඇති අප ගේ ශාස්තෘන් වහන්සේ විසින් දස දහසක් ලෝධා කම්පා කරවනින් උතුම් දම් සක් දෙසුම දේශනා කොට වසර 2600 ක් ගත වන මේ සොදුරු මොහොතේ, ඒ ආර්ය ශ්‍රාවක සඟරුවන බිහි වී වසර 2600 ක් ගත වන මේ සොඳුරු මොහොතේ, ඒ මහ මුනි රජුන් සිහි කොට, ඒ සිරි සදහම් සිහි කොට, ඒ ආර්ය ශ්‍රාවක මහ සඟරුවන සිහි කොට අප ගේ භක්ත්‍යාදර වන්දනාව වේවා..

මේ උතුම් පුන් පොහෝ දිනය අපි නො වරදවා ම ඒ උතුම් දම් සක් දෙසුම සජ්ඣායනා කරමු.. ඒ උතුම් දෙසුම පහත ලිපිනයෙන් බාගත කර ගන්න..

දම්සක් දෙසුම

෴ සියලු ලෝ සත්වයෝ නිවී සැනසෙත්වා. සදා සැනසිල්ල ලබත්වා..!!!

තෙරුවන් සරණ යි!

නමෝ බුද්ධාය..!!!

සාදු සාදු සාදු..!!!

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: