subscribe

පළමු ද්වේවාචික උපාසකවරු..

පළමු ද්වේවාචික උපාසකවරු..

ර්මයෙන් ම නිර්මිත වූ සොඳුරු ධර්ම කාය දැරූ අප ගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය අතිශයින්ම ආශ්චර්යවත් අද්භූත වූ සිදුවීම් රැසකින් යුක්තයි. ත්‍රිපිටකය පුරා විසිරී පැතිරී පවතින ඒ විශ්මිත සිදුවීම් බොහෝ විට අපට කියවන්නට අසන්නට ලැබෙන්නේ කලාතුරකින්.

ස්වාමීන් වහන්සේලා විසින් අනුගමනය කළ යුතු විනය කරුණු අන්තර්ගත විනය පිටකයෙත් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුළ සිදු වූ ඉතා සුන්දර සිදුවීම් රාශියක් අන්තර්ගත වෙනවා. අප මේ උත්සාහ කරන්නේ එම සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්නටයි. මේ සිදුවීම් මනා සිහි නුවණ පිහිටුවාගෙන කියැවීම තුළින් ඔබට භාග්‍යවතුන් වහන්සේ ගැන අපමණ ශ්‍රද්ධාවක් උපදවා ගත හැකි යි. අපගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මෙවැනි ආශ්චර්යවත් අද්භූත ගුණයන්ගෙන් යුතු වූවා නොවේ ද කියා සිත සිතා සතුටු විය හැකි යි.

::: එකම පළඟින් දින සතක්..

අපගේ භාග්‍යවතුන් වහන්සේ තුන්ලොව කම්පා කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වී පළමු සතියක කාලය ගතකරනු ලැබුවේ, උරුවේලායෙහි නේරංජරා ගංතෙර අසබඩ පිහිටි ඒ බෝධි වෘක්ෂමූලයෙහි ම යි. එහි දී භාග්‍යවතුන් වහන්සේ එම සතියක කාලය සියලු කෙලෙසුන් ගෙන් මිදීමෙන් ලැබූ විමුක්ති සුවය අත් විඳිමින් එකම පළඟකින් ගත කළා.

එහිදී භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ පළමු යාමය පටිච්චසමුප්පාදය අනුලෝම වශයෙන් මෙනෙහි කරමිනුත්, මධ්‍යම යාමය පටිලෝම වශයෙන් මෙනෙහි කරමිනුත්, පශ්චිම යාමය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරමිනුත් ගත කොට අසිරිමත් උදානයන් තුනක් (පළමු උදානයදෙවන උදානයතෙවන උදානය) පළ කරන්නට යෙදුනා.

485957_503229976385909_1903335285_n

පළමු සතිය ගතවී ගිය පසු තමන් වහන්සේ සමවැදී සිටි සමාධියෙන් නැගී සිටි භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් අනිමිස ලෝචනයෙහි යෙදෙමිනුත්, රුවන් සක්මනෙහි යෙදෙමිනුත් රතනාඝරයෙහි වසමිනුත් තවත් සති තුනක කාලයක් බෝ මැඩ අවට ප්‍රදේශයේ ගත කළ බව අටුවාවන්හි දැක්වෙනවා.

ඉන් පසුව භාග්‍යවතුන් වහන්සේ බෝධි වෘක්ෂ මූලයෙන් නික්මී අජපාල නිග්‍රෝධ මූලය කරා වැඩම කොට වදාළා. එහි දීත් භාග්‍යවතුන් වහන්සේ දවස් හතක් ම එකම පළඟකින් විමුක්ති සුවය විඳිමින් ගත කළා. එහි දී “හුං හුං“ ලෙස ශබ්දයක් නිකුත් කරමින් යන බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ බ්‍රාහ්මණයෙක් වන්නේ කොතෙකින් ද යන ගැටළුවත්, බ්‍රාහ්මණ කරණ ධර්ම මොනවාද යන්න ගැනත් විමසා සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේ දී ද අසිරිමත් උදානයක් (උදානය) පළ කොට වදාළා.

::: බුදුරජුන්ට උවටැන් කළ මුචලින්ද නා රජු

එම සතිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ අජපාල නිග්‍රෝධ මූලයෙන් නික්මී මුචලින්ද මූලයට වැඩම කොට වදාළා. එහි දී ත් භාග්‍යවතුන් වහන්සේ විමුක්ති සුවය විඳිමින් දින හතක් ම එකම පළඟින් වාසය කරනු ලබනවා. ඒ කාලය තුළ දී සීල සුළං වළාවෙන් ගහන වූ මහා අකාල මේඝයක් ඇති වෙනවා. එවිට මුචලින්ද නම් වූ නාගරාජයා තමන්ගේ භවනෙන් නික්මී, භාග්‍යවතුන් වහන්සේගේ සිරුර සත්වරක් හාත්පස දරණවැලින් වටකොටගෙන, “භාග්‍යවතුන් වහන්සේට සීතලෙන් පීඩාවක් නොවේවා, ඌෂ්ණයෙන් භාග්‍යවතුන් වහන්සේට පීඩාවක් නොවේවා, මැසි මදුරුවන්ගෙන් හෝ සුළඟින් අවුවෙන් හෝ සර්පයින්ගෙන් හෝ භාග්‍යවතුන් වහන්සේට පීඩාවක් නොවේවා” යැයි සිතා භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂය මුදුනේ මහත් පෙණයක් කොට දින හතම ගතකළා.

298780_2285205819081_3115942_n

ඒ දින හත ගත වී ගිය පසු අකාල මේඝය පහ වී ගොස් අහස පැහැදිලි වී වළාකුළු දුරු වී ගොස් ඇති බව දැනගත් මුචලින්ද නා රජු තමන් ගේ දරණය ඉවත් කොට, නාග වේශය අතුරුදහන් කර මානවක වේශයක් ගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට පැමිණ භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ වන්දනා කරමින් සිටියා. ඒ අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ ගාථා වශයෙන් මිහිරි උදානයක් පළ කොට වදාළා.

සුඛෝ විවේකෝ තුට්‌ඨස්‌ස, සුතධම්‌මස්‌ස පස්‌සතෝ;
අබ්‍යාපජ්‌ජං සුඛං ලෝකේ, පාණභූතේසු සංයමෝ.

(ආර්ය මාර්ගයෙන්) සතුටට පත් වූ ප්‍රකට වූ දහම් ඇති, නිවන දක්නා වූ තැනැත්තාට විවේකය සැපයකි. උපන් සතුන් කෙරෙහි සංයමය වූ අව්‍යාපාදය ලෝකයෙහි සැපයකි.

‘‘සුඛා විරාගතා ලෝකේ, කාමානං සමතික්‌කමෝ;
අස්‌මිමානස්‌ස යෝ විනයෝ, ඒතං වේ පරමං සුඛ’’න්‌ති.

කාමයන්ගෙන් නික්මීම නම් වූ විරගතාවය ලෝකයෙහි සැපයකි. අස්මිමානයෙහි යම් දුරුකිරීමක් ඇද්ද, එය ඒකාන්තයෙන් පරම සැපය යි.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මුචලින්ද මූලයෙන් නික්මී වැඩම කොට වදාළේ රාජායතනයට යි. රාජායතන මූලයේ ත් භාග්‍යවතුන් වහන්සේ විමුක්තිසුවය විඳිමින් එකම පළඟින් දින හතක කාලයක් ගත කොට වදාළා.

::: පළමු ද්වේවාචික උපාසකවරු

ඒ දිනවල තපස්සු-භල්ලික යන වෙළඳ දෙබෑයන් උක්කලා නම් ජනපදයෙන් පිටත් ව දීර්ඝ මාර්ගයට පිවිස සිටියා. ඔවුන් දෙදෙනාගේ පෙර ජීවිතයක ලේඤාතී වූ දේවතාවෙක් ඔවුන් කරා පැමිණ මෙසේ පැවසුවා.

“නිදුකාණෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වූ අලුත ම රාජායතන මූලයේ වාසය කරනවා. යන්න, ඒ භාග්‍යවතුන් වහන්සේට අත්සුණු ද (බැදපු පිටි – මන්ථං) මීපිඬු ද (මධුපිණ්ඩිකං) පූජා කරගන්න. එය ඔබලාට දීර්ඝකාලයක් හිත සුව පිණිස පවතිනවා.“

මෙය ශ්‍රවණය කළ තපස්සු-භල්ලික වෙළඳ දෙබෑයන් අත්සුණු සහ මීපිඬු රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර එකත්පසෙක සිටගෙන මෙසේ පැවසුවා..

a24

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපගේ අත්සුණු ද මීපිඬු ද පිළිගන්නා සේක්වා. එය අපට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින්නේ ය.”

ඒ අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේට මෙවැනි සිතක් ඇති වුණා. “ තථාගතයන් වහන්සේලා අතින් පිළිගන්නේ නැහැ. මම කුමකින් ද මේ අත්සුණු සහ මීපිඬු පිළිගන්නේ..“

සතර වරම් දෙව්රජවරු භාග්‍යවතුන් වහන්සේගේ සිතේ ඉපදුණු මේ සිතිවිල්ල දුටුවා. දැක ශෛලමය පාත්‍ර හතරක් රැගෙන සිව් දිසාවෙන් පැමිණ භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්නුවා. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ එම පාත්‍ර පිළිගෙන එකක් වන ලෙස අදිටන් කොට, එකෙණෙහි ඉපදුනු ඒ අලුත් ශෛලමය පාත්‍රයෙන් අත්සුණු සහ මීපිඬු පිළිගෙන වැළඳුවා.

ඉන්පසුව තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් භාග්‍යවතුන් වන්සේට මෙසේ පැවසුවා.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය සරණ යන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයන් ලෙසට අපව දරාගන්නා සේක්වා“

මෙසේ ඒ අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා ලෝකයේ ප්‍රථම ද්වේවාචික උපාසකයින් බවට පත් වුණා. තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් හට ලෝකයේ පළමු ද්වේවාචික උපාසකයින් යැයි පවසන්නේ බුදු රජාණන් වහන්සේත් ධර්මයත් සරණ ගිය ලෝකයේ පළමු උපාසයකින් ඔවුන් වීම නිසායි. ඒ වන විට ආර්ය සංඝයා පහළ වී නො සිටි නිසා, සඟ සරණ යෑම පැණවී තිබුණේ නැහැ.

Comments are closed.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: