subscribe

‘රත්තරං‘ මොන පාට යි ද..?

‘රත්තරං‘ මොන පාට යි ද..?

නමෝ බුද්ධාය..!!!

දයාබර යාලුවනේ..

භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම විනය තුළ තිබෙනවා, ‘ජාතරූප රජත‘ පිළිබඳව ඒ කියන්නේ ‘රන් රිදී මසු කහවනු‘ පිළිබඳව කියැවෙන එක්තරා සික්ෂාපදයක්. මේ ශික්ෂාපදය පළමුවැනි ධර්මසංගායනාවේ දී සංගායනා කරන මහරහතන් වහන්සේලා ඒ සිල්පදයේ තිබෙන ‘ජාතරූප‘ කියන වචනය මේ විදියට යි විස්තර කළේ..

“ජාතරූපං නාම සත්‌ථුවණ්‌ණො වුච්‌චති….“

ඔබ දන්නව ද, ‘ජාතරූප‘ කියා කියන්නේ පාලියෙන් රත්තරන්වලට යි. නමුත් මෙතැන දී මහරහතන් වහන්සේලා ඒ වචනයට හරි ම විශ්මිත, ඉතා ම විශ්මිත අර්ථකථනයක් ලබා දෙනවා..

“රත්තරන් යනු ශාස්තෘන් වහන්සේ ගේ වර්ණය යැයි කියනු ලැබේ“ — කියල යි ඒ උතුමන් වහන්සේලා ‘ජාතරූප‘ කියන වචනය විස්තර කරන්නේ..

හරිම පුදුමයි නේ ද..?

රත්තරන් යනු මොනවාද, කියන ගැටලුවට භාග්‍යවතුන් වහන්සේව ජීවමානව දැකපු මහරහතන් වහන්සේලා ලබාදුන් පිළිතුර තමයි, “රත්තරන් යනු ශාස්තෘන් වහන්සේ ගේ වර්ණය යි“ කියන එක….

ශාස්තෘන් වහන්සේ රත්තරන් පාටයි කියනවා වෙනුවට -, රත්තරන්, ශාස්තෘන් වහන්සේ ගේ පාට යි, කියන එක හරිම අසිරිමත්, අසාමාන්‍ය ලෙස විශ්මිත ප්‍රකාශයක්..

ඇයි උන්වහන්සේලා ඒ විදියට ප්‍රකාශ කළේ.. ඇත්තෙන් ම රත්තරන් අපේ ශාස්තෘන් වහන්සේ ගෙ පාට යි..ඇතැම් අයට විශ්වාස කරන්නත් අපහසු වෙන්න පුලුවන්. නමුත් ඒක තමයි සත්‍යය. සුවණ්ණවණ්ණතා කියන්නේ අපේ බුදු සමිඳුන්ට පිහිටා තිබුණු මහාපුරුෂ ලක්ෂණයක්..

පෙරුම් දම් පුරා වැඩි සසර පුරාවට අපේ බෝසතාණන් වහන්සේ ක්‍රෝධය ඇති කර ගත්තේ නැහැ. ගැටීම් රහිතව තමයි බෝහෝ කාලය ගත කළේ. ගොඩක් නින්දා අපහාස කළත්, කිපුණෙ නෑ, තරහ ගත්තෙ නෑ.. මෛත්‍රිය ම පැතිරෙව්වා. ඒ වගේ ම, සියුමැලි-මෘදු වස්ත්‍ර, ඇතිරිලි, පට පිලී ආදිය බොහෝ දන් දුන්නා. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීරය රන්පැහැ වුණේ.

ඒසා සුන්දර සිරුරක් තිබිල ත් ඒ සිරුර කෙරෙහි පොඩිම හරි කැමැත්තක් ඇති කරගන්නෙ නැතිව, ඒ රූපයෙන් මත් වෙන්නෙ නැතිව, දෙව් මිනිසුන් අතර බැබලෙමින්, අකම්පිතව, සුදෝසුදු නිකෙලෙස් සිතක් දරාගෙන වැඩ ඉන්නට අපේ ශාස්තෘන් වහන්සේට හැකි වුණා..

ඇත්තෙන් ම අපි කෙතරම් වාසනාවන්ත ද..? කල්ප සිය ගණනකට පවා දුර්ලභ, වචනයෙන් විස්තර කළ නො හැකි තරම් අසිරිමත් මුනිවරයෙක් ව අපිට සරණ යන්නට ලැබිල තිබෙනවා…මේ යුගයේ ඒ මුනිරජිඳුන් ගේ ධර්මය ත් අපිට අසන්නට ලැබෙනවා. ඒ මුනිරජිඳුන් ගේ 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ත් අත ළඟට ම පැමිණිලා..ඉතින් මොහොතක් වත් පමා වන්නට නම් එපා..!!! නැවත නැවත ඒ බුදු සමි‍ඳුන් ගැන ම සිහි කරන්න. භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයම සිදු කරන්නට මහන්සි ගන්න… ඔබට අපමණ සැනසුම් සුව අත්වේවි..!!! ඒ සඳහා ම වාසනාව ලැබේවා..!!!

තෙරුවන් සරණයි..!!!

Comments are closed.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: