subscribe

හුදෙකලාව සුන්දර යි…! (4 කොටස)

හුදෙකලාව සුන්දර යි…! (4 කොටස)

පසුගිය කොටස හා සම්බන්ධ යි

ඇමතිවරුත් එක ම රෑ දවාලකින් කුමරියව බරණැස් නුවරට රැගෙන ආවා. ඇය ව බාහිර නගරයේ තබපු ඇමතිවරු ‛කුමරිය ව දැන් ම මාලිගාවට කැඳවාගෙන එන්න දැ’ යි විමසා රජතුමා වෙත පණිවිඩ යැව්වා. එවිට රජතුමා කිව්වේ මෙවැනි දෙයක්.

“අද ම ඇතුළට ගෙනෙන්න එපා. මේ කුමරිය බොහොම උසස් කුලයකින් කැන්ඳගෙන ආපු කෙනෙක් නෙ. බොහොම හොඳට සත්කාර සම්මාන දක්වලා තමයි පිළිගන්න ඕනි. ඒක හින්දා උද්‍යානයේ නවත්වන්න.”

ඔවුනුත් රාජ උද්‍යානයේ ස්ථානයක් සකස් කරලා කුමරියට එහි නවාතැන් සැලැස්සුවා. මේ රජ කුමාරිය සමන් මල් දමක් වගේ අතිශයින් ම සියුමැලි යි. ඉතා දීර්ඝ දුරක් කරත්තවල ගැස්සෙමින් එක දවසකින් ම පැමිණි නිසා ඇය ඉතා වෙහෙසට වෙලයි හිටියේ. එදා රාත්‍රියේ ඇති වූ වාත රෝගයක් නිසා, මල් දමක් මිලාන වෙලා යනව වගේ මේ සුන්දර කුමාරිකාව කලුරිය කළා. ඉතින් ඇමතිවරු ත් රජ පවුලේ හැම දෙනා ම ත් නුවර වාසීනුත් මේ පිළිබඳ ව විලාප නගන්ට පටන් ගත්තා. අනිත්ථිගන්ධ කුමාරයාටත් මේ පුවත සැළ වුනා. ඒ ක්ෂණයෙන් ම කුමාරාගේ සිත මහා ශෝකයකින් යටපත් වී ගියා. ඉවසා දරාගත නො හැකි තරම් වියෝ දුකක් ඔහු ගේ හදවත පුරා පැතිර ගියා. නමුත් අනිත්ථිගන්ධ කුමාරයා කාශ්‍යප බුදු රජාණන් වහන්සේ ගේ බුදු සසුන තුළ බොහෝ කුසල් රැස් කළ කෙනෙක්. බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ නිසා ශෝකය යටපත් කරමින් මෙහෙම සිතන්නට පටන් ගත්තා.

“මේ ශෝකය කියන්නේ නො ඉපදුනු කෙනෙකුට ඇතිවෙන දෙයක් නො වෙයි. ශෝකය ඇති වෙන්නේ ඉපදුනු කෙනෙකුට ම යි. ඉපදීම නිසා ම තමයි මේ හැම දුකක් ම ඇති වෙන්නේ. එතකොට මේ ඉපදීම ඇති වෙන්නේ කුමක් නිසා ද?”

මේ විදියට යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්ට පටන් ගත් කුමාරයාට, තමන් ගේ ම ප්‍ර ඥාවෙන් අවබෝධ වුනා, ඉපදීම ඇති වන්නේ භවය නිසා බව. මේ පිළිවෙලින් මුලු මහත් පටිච්ච සමුප්පාදයේ ම හට ගැනීමත් නැති වීමත් මේ පින්වන්ත කුමාරයාට අවබෝධ වුනා. ඒ ඔස්සේ සතර වැනි ධ්‍යානය දක්වා ම සිත ත් සමාහිත වී ගියා. තව දුරටත් පංච උපාදානස්ඛන්ධයන් ගේ ම යථාර්ථය පටිච්ච සමුප්පාදය ඔස්සේ නුවණින් විමසන විට අනිත්ථිගන්ධ කුමාරයා ගේ සිත නැවත කිසි දිනෙක ශෝකයට නො වැටෙන පරිදි ම සියලු කෙලෙසුන් ගෙන් නිදහස් වී ගියා. හිදඟෙන සිටි ආසනයේ දී ම උත්තම පසේ බුද්ධත්වයට පත් වී වදාළා.

සාදු! සාදු!! සාදු!!!

ඉතින් ඒ පසේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ ශාක්ෂාත් කළ උත්තම සැපය විඳිමින් ඉතා සන්සුන් ඉඳුරන් ඇති ව සන්සුන් මනසක් ඇති ව නිසසල ව වැඩ සිටියා. පසේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටින ආකාරය දුටු ඇමතිවරු මෙහෙම කිව්වා.

“අනේ.. දේවයන් වහන්ස දැන් ඉතින් ශෝක කරන්ට එපා. මේ දඹදිව කියන්නේ සුලුපටු තැනක් නො වෙයි නෙව. මීටත් වඩා ලස්සන කුමාරිකාවක් අපි ඉක්මණට ම කැන්ඳගෙන එන්නම්.”

එතකොට පසේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ නිවී සැනසුනු ස්වරය අවදි කළා.

“පින්වත් ඇමතිවරුනි, මම ශෝක කරන කෙනෙක් නො වෙයි. මම නිශ්ශෝකී කෙනෙක්. දැන් මම පසේ බුදු රජාණන් වහන්සේ නමක්.”

මෙහෙම දේශනා කළා ම ඇමතිවරුන් ට එය අදහා ගත නො හැකි වුනා. ඔවුන් විමසා සිටියේ පසේ බුද්ධත්වයට පත් වූයේ කෙසේ ද යන්න යි. එවිට පසේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධත්වයට පත් වූ ආකාරය පෙන්වා දුන්නා. ඉන්පසු ව සෙනෙහස නිසා දුක් ඇතිවන ආකාරයත්, කිසිවෙකුත් කෙරෙහි සෙනෙහසක් නො දක්වා කඟවේණෙකු සේ හුදෙකලාවේ දිවි ගෙවීමේ ආනිශංසත් ප්‍රකාශවෙන මේ ප්‍රීති වාක්‍ය උන්වහන්සේ ශ්‍රී මුව මඬලින් නිකුත් වී ගියා.

සංසග්ගජාතස්ස භවන්ති ස්නේහා
ස්නේහන්වයං දුක්ඛමිදං පහෝති
ආදීනවං ස්නේහජං පෙක්ඛමානෝ
ඒකෝචරේ ඛග්ගවිසාණකප්පෝ

තේරුම සරළ ව –

ඇසුරු කිරීම නිසා / එකට වාසය කිරීම නිසා සෙනෙහස හට ගනී. ඒ සෙනෙහස නිසා ම දුක හට ගනී. සෙනෙහස නිසා දුක හට ගන්නේ ය යන මේ ආදීනවය නුවණින් සළකා බලමින් තනි අඟක් ඇති කඟවේණෙකු සේ හුදෙකලාවේ ම දිවි ගෙවන්නේ ය.

තේරුම විස්තර වශයෙන් –

සංසග්ගජාතස්ස – එකට වාසය කරන විට / ඇසුරු කරන විට,
‛සංසග්ග’ යන පාළි වචනයේ තේරුම ඇසුරු කිරීම යි. එකට වාසය කිරීම යි. ඇසුරු
කිරීම් පහක් තිබේ. එනම්:

1. දස්සන සංසග්ග – දැකීම නිසා ඇසුර හට ගැනීම
2. සවණ සංසග්ග – කඩ හඬ ඇසීම නිසා ඇසුර හට ගැනීම
3. කාය සංසග්ග – ස්පර්ශ කිරීම නිසා ඇසුර හට ගැනීම
4. සමුල්ලපන සංසග්ග – කථාබහ කිරීම නිසා ඇසුර හට ගැනීම
5. සම්භෝග සංසග්ග – බඩු බාහිරාදිය හුවමාරු කර ගැනීම නිසා ඇසුර හට ගැනීම.

භවන්ති ස්නේහා – සෙනෙහස හට ගනියි
ස්නේහන්වයං – සෙනෙහස අනුව යමින් / සෙනෙහස නිසා.
දුක්ඛමිදං පහෝති – මේ දුක හටගනී,

සෙනෙහස හේතුවෙන් දුක හටගන්නා ආකාරය ගැන උදාහරණ කථා –

1. දස්සන සංසග්ගයෙන් ඇති වූ සෙනෙහස නිසා ශෝකය ඉපදුන හැටි –

බොහොම ඉස්සර අපේ මේ රටේ කාලදීඝ කියලා ගමක් තිබුණා. ඒ ගමේ කල්‍යාණ කියල විහාරයක් තිබුණා. මේ විහාරයේ වාසය කරපු එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතය වඩින කොට ඒ ගමේ ම හිටපු එක්තරා තරුණ ස්ත්‍රියක් මේ ස්වාමීන් වහන්සේ ව දැක්කා. ඒ ස්ත්‍රියට වගේ ම මේ ස්වාමීන් වහන්සේටත් එකිනෙකා ගැන රාගය හට ගත්තා. ඒ කියන්නේ දස්සන සංසග්ගය නිසා රාගය ඇති වුනා. කොහොම වුනත් කිසි ම උපායකින් ඒ ස්ත්‍රිය ලබා ගැනීමට අර හාමුදුරුවන්ට හැකි වුනේ නැහැ.

පසුව කිසියම් හේතුවක් නිසා ඒ ස්ත්‍රිය කළුරිය කළා. පසු අවස්ථාවක අර හාමුදුරුවන්ට ඒ ස්ත්‍රිය හැද සිටි රෙදි කඩක් දැක ගන්නට ලැබුනා. එතකොට ඒ හාමුදුරුවන්ට මෙහෙම සිතුනා.

“අනේ.. මේ වගේ ඇඳුම් ඇඳගෙන හිටපු ඒ ස්ත්‍රිය සමග එක්වන්නට ලැබුනේ නෑනේ…” මෙසේ සිතන විට ම දැඩි ශෝකයෙන් ලය පැලී ඒ භික්ෂුව කළුරිය කළා.

2. සවණ සංසග්ගයෙන් ඇති වූ සෙනෙහස නිසා දුක ඉපදුනු හැටි –

ඒ වගේ ම ඉස්සර ලංකාවේ ගිරි කියලා ගමක් තිබුණා. ඒ ගමේ වාසය කරපු රන් කරුවෙකුගේ දියණියක් තවත් කුමාරිකාවන් පස් දෙනෙක් සමඟ දිය නෑම පිණිස නෙලුම් මල් පිපී ඇති පොකුණකට ගියා. ඒ පොකුණෙන් නාලා මල් මාලා එහෙමත් පැළඳගෙන උස් හඬින් ගීත ගායනා කරමින් සිටියා. ඒ වෙලාවේ ලෞකික ධ්‍යාන උපදවාගෙන, ඒ තුළින් සෘද්ධිවිධ ඥානය ලබා ගත්ත තිස්ස කියලා එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නමක් අහසින් යනවා. ඒ ස්වාමීන් වහන්සේ වාසය කළ විහාර ය වුනේ පඤ්චග්ගල නම් ලෙන් විහාරය යි. මේ තිස්ස හාමුදුරුවන්ට අර ගීත ශබ්දය අසන්නට ලැබුණා. ඒ ගීත ශබ්දය නිසා මේ ස්වාමීන් වහන්සේට රාගය ඇති වුනා. ඒ කියන්නේ සවණ සංසග්ගයනිසා රාගය ඇති වුනා. ධ්‍යාන සමාපත්ති සියල්ලගෙන් ම පිරිහී ගියා. ඉර්ධියත් පිරිහුණා. මහා විනාශයකට පත් වුනා. මේ වගේ සෙනෙහස නිසා දුකට පත් වූ පිරිස් ගැන නොයෙකුත් කථා අතීතයෙන් මෙන් ම වර්ථමානයෙනුත් අපට අසන්නට ලැබෙනවා.

ආදීනවං ස්නේහජං – සෙනෙහස නිසා හට ගත් මේ (දුක නම් වූ) ආදීනවය,
පෙක්ඛමානෝ – නුවණින් විමසා බලමින්,
ඒකෝ චරේ – හුදෙකලාව ම දිවි ගෙවන්නේ ය,
ඛග්ගවිසාණකප්පෝ – එක් අඟක් ඇති කඟවේණෙකු සේ.

ඉතින් අන්න ඒ විදියට මේ සුන්දර උදාන ගාථාව පළ කරපු ඒ පසේ බුදු රජාණන් වහන්සේ, අහසට පැන නැගිලා කඟ වේණෙකු සේ හුදෙකලාවේ ම දිවි ගෙවන්නට ගන්ධමාදන පර්වතය කරා වැඩම කළා. එදා ඒ පසේ බුදු රජාණන් වහන්සේ විසින් පළ කරපු උදාන ගාථාව තමයි සියල්ල දන්නා සියල්ල දක්නා අප ගේ ධර්මස්වාමී වූ භාග්‍යවත් ගෞතම සම්මා සමුබුදු රජාණන් වහන්සේ, පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේට කියල දුන්නේ. ඒ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටු තුමා ගේ ආරාමයේ වැඩ සිටිය දී යි.

ඉතින් පින්වත් යාලුවේ,

දැන් ඔයාට තේරෙනවා නේ ද, ඇසුර නිසා සෙනෙහස හට ගන්නා ආකාරයත්, ඒ සෙනෙහස නිසා ම දුක උපදින හැටි ත්. ඇත්ත වශයෙන් ම කෙළවරක් පේන්නෙ නැති සංසාර ගමනක ඔය ත් මම ත් අපි හැමෝම ත් මේ ඇවිදගෙන යන්නේ ආදරය, සෙනෙහස වගේ ලස්සන වචන වලින් කථා බහ කරන, මෙන්න මේ රාගය දුරු කරගන්න බැරි වුනු නිසා ම යි. ඒ නිසා අපි ත් කළ යුත්තේ අනිත්ථිගන්ධ කුමාරයා වගේ සෙනෙහසේ ආදීනව තේරුම් අරගෙන හැම බන්ධනයක් ම දුරු කිරීම උදෙසා වීර්යය කිරීම යි. ඒ සඳහා ඔයාට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා!

බුදු සරණ යි!

Comments are closed.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: