subscribe

හුදෙකලාව සුන්දර යි…! (2 කොටස)

හුදෙකලාව සුන්දර යි…! (2 කොටස)

පසුගිය කොටස හා සම්බන්ධ යි..

ඉන්පස්සේ රජ තුමා ඇමතිවරුන් සියලු දෙනා ම රැස්කරවලා මෙහෙම කිව්වා. “මොහු රාජ අපරාධයක් කළ කෙනෙක්. මොහුගේ අත් කපා දමන්ටත් සුදුසු යි. පා කපා දමන්ට ත් සුදුසු යි. උලතැබීම දක්වා හැම වද බන්ධයනක් ම දෙන්නට ත් සුදුසු යි. නමුත් ඒ දෙවල් කරන්නට ගියොත් මට විහිංසාව උපදිනවා. මගේ සිල් පදයන්ට ත් හානි වෙනවා. ඒ නිසා මොහුව මගේ රටෙන් පිටුවහල් කරන්න.”

ඉතින් රාජ පුරුෂයෝ ඔහුව අඹු දරුවන් දේපල වස්තුවත් සමඟ ම රටින් පිටුවහල් කළා. වෙනත් රටකට ගිය මේ ඇමතියා ඒ රටේ රජතුමා සමඟ බොහොම හිතවත් වුනා. දවසක් ඒ රජතුමාට මෙහෙම කිව්වා.

“මහ රජතුමනි, මම මී මැස්සො නැති මී වදයක් දැක්කා. ඒක කන කෙනෙකුත් නම් නෑ.”

රජතුමා හිතුවේ මේ විහිලු කරනවා කියලයි. ඒක නිසා ඒ කියපු එක ගණං ගත්තේ නැහැ. ඉතින් තවත් දවසක බොහොම වර්ණනා කරලා ආයෙමත් අර කථාව කිව්වා. එතකොට රජතුමා මෙහෙම ඇහුවා.

“මොකක් ද ඇමති ඔය කියන කථාව? මොකක් ද ඔය මැස්සො නැති මී වදේ?”

“රජතුමනි ඒ තමයි බරණැස් රාජ්‍යය”

”ඇමති…. ඔය නම් ඔබ හදන්නේ මාව ඝාතනය කරවන්න යි“

“අනේ රජතුමනි එහෙම කියන්න එපා. ඉතින් පිළිගන්නේ නැත්නම්, මිනිස්සු යවල බලන්නකෝ…” ඇමති පිළිතුරු දුන්නා.

රජතුමත් මොකද කළේ රාජපුරුෂයන් ව බරණැස් නුවරට පිටත් කළා. ඒ රාජ පුරුෂයෝ උමගක් හාරාගෙන රජතුමා ගේ සිරියහන් ගැබෙන් මතු වුනා. බරණැස් රජතුමා මේ මිනිසුන් ව දැකලා මෙහෙම ඇහුවා.

“උඹලා කවුද? මොකේට ද ආවේ?”

“මහරජතුමනි අපි හොරු.” ඔවුන් පිළිතුරු දුන්නා.

ඉතින් මේ සත්පුරුෂ රජතුමා මොකද කළේ, ඔවුනට ධනය ලබා දී නැවත මෙවැනි දෙයක් නො කරන ලෙස අවවාද කොට පිටත් කොට හැරියා. ඉතින් ඔවුන් ආපසු පැමිණ අර රජතුමාට විස්තරය සැළකලා. ඒ රජතුමා තව දෙතුන් වතාවක් මේ වගේ ම උපක්‍රම වලින් බරණැස් රජතුමා සිල් වත් කෙනෙක් බව ත් ප්‍රාණඝාතය නො කරණ දරුණු නැති රජකෙනෙක් බවත් දැන ගත්තා.

ඊට පස්සේ චතුරංගිනී සේනාව පිරිවරාගෙන බරණැස් නුවර අල්ලා ගැනීමට පිටත් වී ගියා. ඒ රාජධානියේ කෙළවරක තිබුණු එක නගරයක් වට කරලා ඒ නගරය භාර ඇමතියාට මේ විදියට පණිවිඩයක් යැව්වා.

“යටත් වෙනව ද, යුද්ධ කරනව ද?”

ඒ ඇමතියා බරණැස් රජතුමාට පණිවිඩයක් යවා යුද්ධ කරන්න ද නගරය දෙන්න ද කියා විමසා සිටියා. එවිට රජතුමා කියා සිටියේ යුද්ධ නො කොට නගරය භාර දී තමන් වෙත පැමිණෙන ලෙස යි.

ඉතින් මේ විදියට බරණැස් නුවර හැර අනෙක් සියලු ම නගර අල්ලාගත් ඒ රජතුමා බරණැස් නුවරත් වටකළා. ඉතින් බරණැස් රජු ගේ ඇමති වරු බරණැස් රජතුමාට මෙහෙම කිව්වා.

“රජතුමනි දැන් නම් ඉවසුවා ඇති. අපි මොවුන් සමඟ යුද්ධ කළ යුතු යි.”

“නෑ…. යුද්ධ කරන්න බෑ. එතකොට මගේ සිල් පද කැඩෙනවා.” සිල්වත් රජතුමා පිළිතුරු දුන්නා.

“එහෙනම් රජතුමනි, අපි ඒ රජුව පණපිටින් අල්ලාගෙන මෙතෙන්ට අරන් එන්නම්” කියා බොහෝ උපාය මාර්ගවලින් ඇමතිවරු රජතුමාට කරුණු පැහැදිලි කළා.

“එහෙනම් කිසි ම සතෙුකුට කිසි ම හිංසාවක් නො කර රජු ව පමණක් පණ පිටින් අල්ලාගෙනඑන්න”

“මහරජතුමනි අපි කිසි ම හිංසාවක් කරන්නේ නෑ. භයගන්වලා එලවා දමනවා.” මෙහෙම කියපු ඇමතිවරු මහ රෑ ම කලගෙඩි ඇතුලේ පහන් දල්වාගෙන මහා චතුරංගිනී සේනාවක් පිරිවරාගෙන පිටත්ව ගියා.

සතුරු රජතුමා එදා කිසි ම බියක් සැකක් නොමැති ව තමන් ගේ සන්නාහයත් ඉවත් කරලා නිදාගෙන යි හිටියේ. බලකායත් ඒ විදිය ම යි.

ඉතින් බරණැස් රජතුමා ගේ සේනාව සතුරු රජු ගේ සේනාව වට කරලා කලගෙඩි ඇතුලෙන් පහන් එලියට අරගෙන විශාල ඝෝෂාවක් කළා. ඒ ඝෝෂාව අහපු සතුරු රජු ගේ ඇමතිවරු අවදිවුනා. බලනකොට විශාල සේනාවක් දකින්නට ලැබුණා. ඔහුන් බොහෝ සෙයින් බියට පත් වුනා. ඉක්මණින් ම තමන් ගේ රජතුමා ළඟට ගිහිල්ලා ඔහුව අවදි කළා. මෙහෙම ත් කියා ඝෝෂාකරන්නට පටන් ගත්තා.

“රජතුමනි, දැන් ඉතින් මැස්සන් නැති මී වදය කන්න” මේ කථාවට සතුරු රජු තදින් ම භයට පත් වුනා. තමන් සතුරන් අතට පත් වී ඇතැයි හිතපු රජ තුමා පසුව දා උදෙන් ම බරණැස් රජතුමා ළඟට ගිහල්ලා දෙපා වන්දනා කරලා සමාව ඉල්ලා සිටියා.

කාරුණික් සිතක් ඇති බරණැස් රජතුමා ඒ රජුට සමාව ලබා දුන්නා. ඒ වගේ ම ළඟ තිබූ රාජධානියක් ද ලබා දුන්නා. ඉතින් මේ රජවරු දෙදෙනා බොහොම හිතවත් වුනා. තමන් ගේ රාජ සේනාවත් අනිත් රජතුමා ගේ රාජ සේනාවත් එක එකතු වෙලා බොහොම සමඟියෙන් ඉන්නවා දැකපු බරණැස් රජතුමාට විශාල ප්‍රීතියක් ඇති වුනා. මේ විදියට හිතන්නට පටන් ගත්තා.

“මම මගේ හිත කියන එක ම එක දේ රැකගත් නිසා මේ මහා ජන කායේ මැස්සෙක් බොන තරමේ වත් ලේ බිඳක් වැගිරුනේ නැහැ නෙව. අනේ ඒක කොච්චර හොඳ ද? ඒක කොච්චර සතුටක් ද? සියලු ම සත්වයෝ සුවපත් වෙත්වා! වෛර නැත්තෝ වෙත්වා! නිදුක් වෙත්වා!”

මේ විදියට හිතනකොට රජතුමා ගේ සිත මෛත්‍රියෙන් පිරී ඉතිරී ගියා. හිත මෛත්‍රිය තුළ ම තැන්පත් වුනා. මෛත්‍රී ධ්‍යාන දක්වා ම සිත සමාහිත වන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ. ඉතින් මේ සීලවන්ත ප්‍රඥාවන්ත රජතුමා ඒ මෛත්‍රිය මුල්කරගෙන එකඟ කරගත්තු සිත අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්නට පටන් ගත්තා. ටික වෙලාවකින්

සියලු කෙළෙසුන් නසා ගුරු උපදේශ රහිත ව ම උතුම් පසේ බුදු පදවියට පත් වී වදාළා. සාදු!

සාදු!! සාදු!!!

ඉතින් මේ සිදුවීම සිදු වුනේ රජතුමා ඇතුපිට සිටියදී ම යි. නමුත් රජතුමා ගේ චිත්ත අභ්‍යන්තරයේ සිදු වුනු මේ අසිරිමත් විපර්යාසය ඇමතිවරු දැනගත්තේ නැහැ නෙ. අන්න ඒ නිසා මෙහෙම කිව්වා. “මහරජතුමනි, දැන් යන්නට කාලය යි. දැන් ජයගත් සේනාවට සත්කාර කළ යුතු යි. පරාජය වූ සේනාවට ආහාර පාන දිය යුතු යි.”

“පින්වත්නි, මට රජතුමා යැයි කියන්නට එපා. දැන් මම පසේ බුදු රජාණන් වහන්සේ නමක්”

“රජතුමනි මොකක් ද මේ කියන්නේ? පසේ බුදුවරු මේ වගේ නැහැ නෙව.”

“එහෙනම් පසේ බුදු වරු මොන වගේ ද?”

“පසේ බුදුවරු හිසමුඬු කළ, අට පිරිකර දරාගත් පිරිසක්”

ඒ අවස්ථාවේ පසේ බුද්ධත්වයට පත් ව සිටි රජතුමා තමන් ගේ දකුණු අතින් සිය හිස පිරිමැද්දා. ඒ ක්ෂණයෙන් ම රජ ඇඳුම් සියල්ල අතුරුදහන් වී ගොස් පැවිදි ස්වභාවයට පත් වුනා. කෙස් රැවුල් ද දෑගුලක් පමණ වන තෙක් නැතිවී ගියා. අටපිරිකර සහිතව සිටින වස් ගණනාවක් ගත වූ මහාතෙරුන් වහන්සේ නමක් ගේ ස්වභාවය පසේ බුදු රජාණන් වහ්නසේට ලැබුණා. උන්වහන්සේ එතැන දී ම සතර වැනි ධ්‍යානයට සමවැදී අහසට පැනනැගුණා. ඉන්පසු නෙළුම් මලක් මත පළඟින් වැඩසිටියා.

එවිට ඇමතිවරුන් පැමිණ රජතුමාගෙන් අසා සිටියේ පසේ බුද්ධත්වය ලබා ගැනීමට උපකාර වූ කමටහන කුමක් ද කියා යි. පසේ බුදු රජාණන් වහන්සේ තමන් මෛත්‍රී භාවනාවෙන් සමථය වඩා එම සිත විදර්ශනා කොට උතුම් සම්බෝධිය ලබා ගත් ආකාරය දේශනා කළා. ඉතින් මේ විදියට තමන් වහන්සේ පසේබුදු පදවියටපත් වූ ආකාරය පෙන්වා දුන්නාට පසු ඇමතිවරු මෙහෙම ඇසුවා.

”ස්වාමීනි, දැන් ඔබවහන්සේ වඩින්නේ කොහාට ද?” එවිට පසේ බුදු රජාණන් වහන්සේලා වැඩ සිටින්නේ කොහිදැ යි කියා සිය නුවණින් විමසා බැලූ මෙම පසේ බුදු රජාණන් වහන්සේ මෙසේ දේශනා කළා.

“පසේ බුදු රජාණන් වහන්සේලා වැඩ සිටින්නේ ‛ගන්ධමාදන’ පර්වතයේ යි. ”

”අනේ ස්වාමීනි, අපිටත් ඔබ වහන්සේ නො මැති ව විසිය නො හැකි යි. අප ත් එනවා එහි යන්නට.”

“පින්වතුනි, පසේ බුදු රජාණන් වහන්සේලා සිය පුත්‍රයෙකුට හෝ කැමති වන්නේ නැහැ. ඉතින් ඔබලා වැනි සහායකයින් සමග සිටිනවා යන්න ගැන කවර කථා ද?”

ඉතින් මේ විදියට තමන් ගේ හුදෙකලා වාසයේ ආනිසංස සිහිපත් කළ පසේ බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී මුව මඬලින් ඒ හුදෙකලා වාසයේ සොඳුරු භාවය ගැන කියැවෙන ප්‍රීති වාක්‍යයක් ලෙස මේ ගාථාව නිකුත් වී ගියේ නිරායාසයෙන් ම යි.

සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
අවිහේඨයං අඤ්ඤතරම්පි තේසං
න පුත්ත මිච්ඡෙය්‍ය කුතෝ සහායං
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

තේරුම විස්තර වශයෙන් :-

සබ්බේසු භූතේසු – සියලු ම සතුන් කෙරෙහි,
නිධාය දණ්ඩං – දඬු මුගුරු (අවි ආයුධ) බැහැර කොට,
අඤ්ඤතරම්පි තේසං – ඒ සතුන් අතිරින් එක්තරා අයෙකු හෝ (යම් කිසිවෙකු හෝ),
අවිහේඨයං – නො වෙහෙසන්නේ ය.
න පුත්ත මිච්ඡෙය්‍ය – පුත්‍රයෙකුට ද (තමන් ගේ ම හෝ) කැමති නො වන්නේ ය.
කුතෝ සහායං – සහායකයෙක් (යහලුවෙක්) කොයින් ද?
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ – තනි අඟක් ඇති කඟවේණෙකු සේ හුදෙකලාවේ ම දිවි ගෙවන්නේ ය.

සරළ අදහස :-

කිසි ම සතෙකුට දඩුමුගුරු ආදියෙන් පහර දීමක් හෝ දඩුවම් කිරීමක් හෝ සිදු කරන්නේ නැහැ. ඒ වගේ ම කිසි ම සතෙක් ව පීඩාවට පත්කරන්නෙත් නෑ. තමන් ගේ ම පුතෙකුට වුනත් ඇල්මක් ඇති කරගන්නෙ ත් නැහැ. ඉතින් යහලුවෙක් ගැන කථාවක් කොහෙන් ද? තනි අඟක් ඇති කඟවේණෙක් වගේ හුදෙකලාවේ ම දිවි ගෙවනවා.

මේ විදියට සුන්දර උදානයක් පළකරපු පසේ බුදු රජාණන් වහන්සේ මහා ජනකාය බලාගෙන සිටිය දී ම ආකාශයට පැන නැගිලා ගන්ධමාදන පර්වතයේ පහළ වී වදාළා. එදා ඒ පසේ බුදු රජාණන් වහන්සේ වදාළ ගාථාව තමයි අප ගේ ආදරණීය ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේට කියා දුන්නේ. බලන්න මේ බුදු සසුන කෙතරම් අසිරිමත් ද?

ඉතින් පින්වත් යාලුවේ,

දැන් ඔයාට යන්තමින් නමුත් තේරෙනවා නේ ද පසේ බුදු රජාණන් වහන්සේලා ගේ චිත්ත සන්තානයේ ඇති පවිත්‍ර භාවය කොතරම් සුන්දර් ද කියා. සමහර විට ඔයාට හිතෙන්න පුලුවන් මෙහෙම. මටත් පුලුවනි තනියම ඉන්න, කියල. ඒත් යාලුවේ, අපේ හිතේ තණ්හාව තිබෙනකම් අපි කිසි දිනක ද, කිසි තැනක දි තනි නෑ. මොකද අපේ දෙවෙනියා හැටියට තණ්හාව ඉන්නවනෙ. මේ දීර්ඝ කාලයක් සංසාරේ පුරාවට අපි ඇවිදගෙන ආවේ මේ තණ්හාව කියල දෙවැනියත් එක්ක යි. අපි කායික ව හුදෙකලා වුනත්,හුදෙකලාවේ තිබෙන අසිරිය විඳින්න ඒ තණ්හාව කියන දෙවැනියා අපිට ඉඩ දෙන්නේ නෑ.

අන්න ඒ නිසා ඒ උත්තරීතර හුදෙකලාවේ සොඳුරු අසිරිය විඳින්න නම් අපි නිකෙළෙස් වෙන්න ම ඕනි. ඒ සඳහා අපි වීරිය කරමු.

ඔබට තෙරුවන් සරණයි..!!!

1 Comment

  1. meya kiyavana sema denatat me uthum pin balayen gauthama budu sasuna thuladima chathurarya sathya dharmaya avabodha veva!!!Sadu!!Sadu!!Sadu!!

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: