subscribe

දෙසිය වසරක්‌ පුරා බුදු සසුන එකළු කළ ශ්‍රී කල්‍යාණිවංශය

දෙසිය වසරක්‌ පුරා බුදු සසුන එකළු කළ ශ්‍රී කල්‍යාණිවංශය

බොහෝ දෙවි මිනිසුන්ට හිත සුව පිණිස පහළ වූයේ සම්බුද්ධ ශාසනයයි. සිල් සුරකිනු කැමැත්තහුද, දැහැන් වඩනු කැමැත්තහුද, නුවණ වඩනු කැමැත්තහුද මෙම සසුනෙන් ඵල නෙලූහ. ‚ණාසව මිහිඳු මාහිමියන් වහන්සේ එම උදාර ශාසනය ලක්‌දිව් වැස්‌සන්ටද දායාද කළහ. පරසතුරු උවදුරින් හා කලින් කල හටගත් අනේක උපද්‍රව හේතුවෙන් බුදුසසුනෙහි ප්‍රතිපත්ති ශාසනය මිලිනව නොගියේ නොවෙයි. එහෙත් රාජරාජ මහාමාත්‍යාදීන්ගේ හා නිස්‌සරණධ්‍යාශයෙන් යුතු සංඝනේතෘන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යය නිසා වරින් වර බුදු සසුන උද්දීප්තියට පත්වූහ.

මින් වසර දෙසිය හැට ගණනකට පෙර පැවැති අනුපසම්පන්න වූ ගණින්නාන්සේලාගේ යුගය පසුකොට යළිත් උපසම්පන්න භික්‍ෂූන්ගේ යුගයක්‌ ආරම්භ විය. එයට හේතුව වූයේ සරණංකර සාමණේරයන් වහන්සේගේ අප්‍රතිහත උද්යෝගයෙන් හා කීර්ති ශ්‍රී රාජසිංහ නරපතිඳුන්ගේ අනුග්‍රහයෙන් නැවත උපාලිවංශික ශ්‍යාම නිකාය ආරම්භ වීමයි. ඉන්පසු පිරිසිදු උපසම්පදාව වෙනුවෙන් භික්‍ෂූන් වහන්සේලා වරින්වර මහත් උද්යෝගයකින් කටයුතු කොට තිබේ. එනිසාම අමරපුර නිකායත්, රාමඤ්ඤ නිකායත් බිහිවිය.

මින් වසර දෙසීයකට පෙර සියම් නිකායේ පැවිදි වූ එක්‌ තරුණ යතිවරයෙක්‌ විය. කතළුවේ ගුණරතන නම් වූ මේ තරුණ භික්‍ෂුව මහත් ශ්‍රද්ධාවෙන් යුතුව උපසම්පදාව ලැබූහ. එහෙත් උපසම්පදාව ලබන සීමා මාලකයන් පිළිබඳව සංඝයා අතර නා නා මතිමතාන්තර පැතිර ගියේය. සීමා අපිරිසිදු වුවහොත් උපසම්පදාව ද අපිරිසිදු වන බවට පැතිර යන කතා හේතුවෙන් ගුණරතන තරුණ භික්‍ෂුවගේ සිත සැලී ගියේය. හේ පළමු උපසම්පදාව අත්හැරියේය. දෙවන වරටත් යළි උපසම්පදාව ලැබුවේය. නමුත් සංඝයා අතර අෙන්‍යාන්‍ය චෝදනා මුඛයෙන් කතා බස්‌ කෙරෙන මෙම සීමා සංකරවාදයන් නිසා තම උපසම්පදාව පිළිබඳ හෙතෙම යළිත් උකටලීව වාසය කළේය.

මේ අවදියේම අඹගහපිටියේ ඤාණවිමලතිස්‌ස මහතෙරපාණන් බුරුම රටින් උපසම්පදාව ලබා පැමිණි වග ඇසූ මෙම තරුණ යතිවරයාගේ මනස මහත් ප්‍රබෝධයට පත්වූහ. නොපසුබස්‌නා උත්සාහයක්‌ ඇතිවිය. උදාර බලාපොරොත්තුවක්‌ ද ඇතිවිය.

“මම ද බුරුම රටට යන්නෙමි. එම රටෙහි ඇති පිරිසිදු උපසම්පදාව ලබාගෙන එන්නෙමි”යි දැඩි අධිෂ්ඨානයක්‌ ඇතිකරගත්තේය. සීල පාරිශුද්ධිය උදෙසා දිවි පිදිය හැකි තරුණ සාමණේරයන් වහන්සේලා හත් නමක්‌ ද, උන්වහන්සේ සමග මෙම කරුණ උදෙසා එක්‌වී සිටියහ. සැදැහැවතුන්ගෙන් ලබන ලද අනුග්‍රහය හේතුවෙන් සසරෙහි පූරිත පුණ්‍ය බල ඇති කතළුවේ ගුණරතන තරුණ යතිවරයන් වහන්සේ එම සාමණේර සත්නම සමග කැපකරුවන් තිදෙනකුද කැටුව 1807 ඔක්‌තෝබර් මස පුර අටවක්‌දා සුළුප්පුවක නැගී සිල් සොයා යන උදාර සසුන් ගමන ආරම්භ කළහ.

ඔවුහු දස දිනක්‌ ඇවෑමෙන් දකුණු ඉන්දියාවෙහි නාගපට්‌ටන තොට වෙත පැමිණියහ. එතැනින් මහමදික වෙළෙඳුන්ට අයත් රුවල් නැවක නැඟ බුරුම රට බලා යාත්‍රා කළහ. සාගර මධ්‍යයෙහිදී මහමදිකයන් විසින් බිලි පූජාවක්‌ කරන ලදී. බොහෝ එළු බැටළුවෝ එයට බිලි වූහ. එකළොස්‌ දිනක්‌ සුවසේ යාත්‍රා කළ මේ නෞකාව එම බිලි පූජාවෙන් පසු කැළඹී ගිය අහස්‌ තලය යට තනිවූවාය. එදින මධ්‍යම රාත්‍රියේදී ඝන වර්ෂාවක්‌ ද, මහත් කුණාටුවක්‌ද හටගත්තේය. නැවෙහි රුවල් ඉරී, කුඹගස්‌ කැඩී ගියේය. නාවිකයන් හට හසුරුවා ගත නොහැකි වූ එම නෞකාව ඒ මේ අත පාවෙන්නට විය. මරණ බයට පත් නාවිකයෝ ද, වෙළෙන්දොa ද යාඥා කරන්නට පටන් ගත්හ. ගුණරතන යතිවරයන් වහන්සේ ඉතා නිර්භය ස්‌වරූපයෙන් ඔවුන් අමතා මෙසේ පැවැසූහ.

“විපත්තියෙහිදී සෝක කිරීමෙන් ඵලක්‌ නැත. මරණය අප සියල්ලන්ටම පොදු දෙයකි. තමන්ගේ ක්‍රියාවෙහි ඵලය දායාද කරගෙන සිටින සත්වයෝ සෝක නොකොට යුත්තාහුය. මින් පෙරත් සිද්ධ කටයුතු අර්ථයන් තිබියදී මුහුදුබත් වූ සත්වයෝ අපමණයහ. දැන් අපි ද ශ්‍රේෂ්ඨ කාරණයකට ගමන් කරන්නමෝ වෙමු. එහෙත් සෝක කිරීමෙන් අපේක්‍ෂිත අර්ථය නොලැබේ. දැනට අපට ඇති එකම ප්‍රතිෂ්ඨාව අපගේ සීලයයි. ත්‍රිවිධරත්නය අපට ඇති උතුම්ම සරණයි. එනිසා ඔබ සියලු දෙනද සිල්වත් වෙන්න. මෙත් වඩන්න.”

සියල්ලෝම මරණ භීතියෙන් තුන් දිනක්‌ මුහුද මැද තනි වූහ. නිරාහාරව සිටි ඔවුන් හට ආහාර රුචිය ඇති වූයේ මරණ බිය පහවීමෙන් පසුවය. එය එතරම්ම බියජනක විය. ක්‍රමක්‍රමයෙන් පාවී ගිය නෞකාව ඈත ගොඩබිමක්‌ පෙනෙන මානයට සේන්දු විය. එකල්හි වැලිකොන්දේ ධම්මරතන සාමණේර තෙමේ නාවිකයන් ද සමග කැඩී බිඳී ගිය ලී උණගස්‌ ආදිය එක්‌කොට පහුරක්‌ තනවා අනතුරු හඟවන කොඩියක්‌ ද යොදා ඒ පහුර ගොඩට පිටත් කොට යෑවීය. මහත් වාසනාවෙකි. මේ පැමිණ තිබෙන්නේ බුරුම රටෙහි වෙරළ තීරයටයි.

රැංගුන් නගරාසන්න වරායකට අයත් එම තොටුපළෙහි නිලධාරීහු ශක්‌තිසම්පන්න නෞකාවක්‌ යවා අනතුරට පත් සියල්ලෝම වරායට රැගෙන ආහ. එහි සිටි ප්‍රාදේශීය රජකෙනෙක්‌ සිංහලද්වීපයෙන් ශ්‍රමණ පිරිසක්‌ පැමිණි බව අසා ඉතා සතුටින් උන්වහන්සේලා පිළිගත්හ.

“ස්‌වාමීනි, නුඹවහන්සේලාගේ සිල් බලය හේතුවෙන් මිසක්‌ මෙම අනතුරෙන් බේරෙන්නට වෙන පිළිවෙලක්‌ නම් නොපෙනේ. මිසදිටු නැවියන්ට හා වෙළඳුන්ටද ජීවිත දානය ලැබුණේ නුඹවහන්සේලා නිසා ය. එනිසා නුඹවහන්සේලාගේ මනෝරථය පූරණය පිණිස මම ද කැපවෙමි”යි රජතෙමේ පවසා සිටියේය.

සාගර තරණයෙන් ලත් වෙහෙස හේතුවෙන් ශ්‍රමණ පිරිස රෝග උපද්‍රවයන්ටද ලක්‌වූහ. නමුත් එම මාණ්‌ඩලික රජතුමා කරවූ ප්‍රතිකාර හේතුවෙන් උන්වහන්සේලා සුවපත් වූහ. සැදැහැවත් මෙම රජතෙමේ බුරුම දේශවාසී මේධානන්දධජ නම් වූ රාජගුරු සංඝනායකයන් වහන්සේ වෙත මෙම ශ්‍රමණ පිරිස රැගෙන ගියේය. පිරිසිදු උපසම්පදාව සොයා පැමිණි තරුණ යතිවරයන් දුටු සංඝනායකයාණෝ මහත් සන්තෝෂයට පත්වූහ.

“පින්වත් ආයුෂ්මත්වරුනි, ඔබ මේ සිටින්නේ හංසවතී නගරයේය. මින් අවුරුදු තුන්සිය ගණනකට පෙර මෙම රට පාලනය කළ ධම්මෙච්තිය මහරජු ලක්‌දිව ජයවර්ධනපුරයේ විසූ ලංකාධීශ්වර බුවනෙකබාහු මහරජු වෙත බුරුම රටවාසී සඟ පිරිසක්‌ යවා ලංකාවාසී සුපේශල ශික්‌ෂාකාමී සංඝයා වෙතින් කල්‍යාණිනදී සීමාවෙහිදී උපසම්පදා කරවා මේ රටට ගෙන්නවා කල්‍යාණි මහාසීමාව බැන්දවීය. මෙකල මෙම දේශයෙහි සංඝයා අතර පවතින්නේ එම උපසම්පදාවයි. ඔබවහන්සේලාට ද එම උපසම්පදාව ලබාගැනීමට පෙර මහරජතුමාට දැනුම් දීම ඉතාමත්ම යෝග්‍යයයි.”

මෙම යෝජනාවට කතළුවේ ගුණරතන යතිවරයාණන් වහන්සේ ඉතා සතුටට පත්වූහ. වැලිකොන්දේ ධම්මරතන, කොග්ගල ධම්මසාර යන සාමණේර දෙනම මාණ්‌ඩලික රජු හා ගමන ඇරඹූහ. අතිශයින් ශාසනමාමක වූ මහාධම්මරාජාධිරාජ නම් වූ මහරජ තෙමේ සිංහලද්වීපවාසී මෙම ශ්‍රමණවරුන් හට ආදර ගෞරව දක්‌වා සංඝරාජාරාමයට යවා එකල සංඝරාජ වූ ඤාණාභිවංස ධම්මසේනාපති මහතෙරපාණන් මුණගැස්‌වූහ.

ස්‌වාමීනි, මේ සිංහල ශ්‍රමණයන් වහන්සේලා තම ජීවිතය දෙවැනි කොට පාරිශුද්ධෝපසම්පදාව පිණිස නුඹවහන්සේලා සොයා පැමිණ සිටිති. උන්වහන්සේලාගේ මනෝරථය සඵල කරදෙනු මැනැවැ”යි ඉල්ලා සිටියේය.

එවිට සංඝරාජයන් වහන්සේ සියලු තොරතුරු විමසා මහරජුට මෙසේ පැවැසූහ.

“භවත් මහරජුනි, මෙම ශ්‍රමණයන් වහන්සේලා කල්‍යාණි සීමාවෙහිදී උපසම්පදාව ලැබීමට මහත් රුචියක්‌ දක්‌වති. මෙකල හංසවතියෙහි වැඩසිටින මේධානන්දධජ ආදී මහා ස්‌ථවිරවරුන් ලවා උපසම්පදා කෘත්‍යය සම්පාදනය කරවන මෙන් දැනුම් දීම සුදුසුයි.”

සංඝරාජයන් වහන්සේගේ අනුශාසනා පරිදි හංසවතී නගරයෙහිදී යථෝක්‌ත විහාරයේදී ලක්‌දිවින් පැමිණි පිරිස සිවුරු හැර ගිහි බවට පත් වූහ. යළි අලුතින්ම පැවිදි වී මේධානන්දධජ රජගුරු මහා ස්‌වාමින්ද්‍රයන් වහන්සේ උපාධ්‍යායය කොට කතළුවේ ගුණරතනතිස්‌ස සාමණේරයන් වහන්සේ උපසම්පදාව ලැබූහ. පිළිවෙළින් කල්‍යාණතිස්‌ස, ධම්මරතන, ධම්මසාර, පඤ්ඤාතිස්‌ස, ගුණසාර, සුමනතිස්‌ස යන සාමණේරවරු උපසම්පදාව ලැබූහ.

ඉක්‌බිති අදාළ ධර්මවිනය පරිචය ඇති කරගත් මහා ප්‍රඥවකින් හෙබි වීර්යයවන්ත වූ ගුණරතනයන් වහන්සේ තමන් හට නිශ්‍රයාචාර්ය විනයධර මහාස්‌ථවිර නමක්‌ ද, උපසම්පදා පරිදීපක සන්දේශයක්‌ ද දුන මැනැවැයි රාජගුරු මාහිමියන්ගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව ව්‍යක්‌ත ප්‍රතිබල මහතෙරපාණන් කෙනකු වන කේලාස මහා ස්‌ථවිරතුමාටද මේ පිරිස සමග ලක්‌දිවට පැමිණීමට නියම විය. රාජානුග්‍රහයෙන් යුතුව ගෞතම ශාසනයෙහි සුපරිශුද්ධෝපසම්පත්තිය ලැබූ මෙම සිල්වත් ශ්‍රමණයන් වහන්සේලා ස්‌වකීය උපාධ්‍යායන් වහන්සේගෙන් අවසර ලබා 1810 ජුනි මස 17 වැනි දින දොඩම්දූවට සම්ප්‍රාප්ත වූහ.

මෙසේ වැඩමකොට වදාළ පින්වත් භික්‍ෂූන් වහන්සේලා මෙම නිර්මල උපසම්පදාව

රැකගනිමින් ශාසනාභිවෘද්ධිය පිණිස මහත් කැපවීමකින් කටයුතු කරන්නට පටන්ගත්හ. මෙය ශ්‍රී ලංකාද්වීපයෙහි මැනැවින් පිහිටා ඇති ශ්‍රී කල්‍යාණිවංශ නිකායෙහි ආරම්භයයි.

මෙසේ අරඹන ලද කල්‍යාණිවංශ නිකාය වරින්වර පත්වූ සංඝනේතෘන් වහන්සේලාගෙන් ශෝභමාන වෙමින් චිරාත් කාලයක්‌ ලක්‌ බුදුසසුන බබලුවමින් සිටින්නීය. අලුත්ගම ශ්‍රී සීලස්‌කන්ධ, ගින්තොට ශ්‍රී මේධංකර, තෙල්වත්තේ ශ්‍රී අරියවංශ, පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත, දඹගස්‌ආරේ ශ්‍රී සුමේධංකර ආදී මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේලාගෙන් ස්‌වකීය සඟ පිරිස බැබලී ගියහ. මෙතෙක්‌ කල් ගෙවී ගිය අතීතයේ දොළොස්‌නමක්‌ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලා මෙම නිකායෙහි වැඩහිඳිමින් ලෝ සසුන් වැඩ වඩා ස්‌වර්ග පරායණ වූහ. මෙකල කල්‍යාණිවංශ නිකායෙහි සංඝනේතෘත්වය උසුලන්නේ පූරිත පුන්‍යබලයෙන් සමන්විත සුපේශල ශික්‌ෂාකාමී තපෝගුණයෙන් ශෝභමාන වූ දොඩම්පහල ශ්‍රී චන්දසිරි මහානායක ස්‌වාමීන් වහන්සේ වන අපගේ සුපින්වත් ගුරු දෙවිඳාණෝ ය. මෑත භාගයේ සැදැහැවත් ජනහද කමල මැනැවින් පිබිද වූ බ්‍රහ්මස්‌වර විහිදුවමින් මිහිරි හඬින් බුදුගුණ ගැයූ පානදුරේ අරියධම්ම ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ද, කල්‍යාණිවංශ නිකායික භික්‍ෂුවකි. මනා වත්පිළිවෙතින් සුසැදි උතුම් සඟරුවනේ උද්දීප්ත මුක්‌තාවලිය සැරසූ මාණික්‍යයක්‌ බඳු අග්ගමහා පණ්‌ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්තාභිධාන මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පාණ්‌ඩිත්‍යයෙන් ද, ලේඛනයෙන් ද, භාෂණයෙන් ද, ශ්‍රද්ධාවෙන් ද, නිර්භීතභාවයෙන් ද වැඩසිටිමින් කල්‍යාණිවංශ නිකායෙහි නිර්මලත්වය ලොවෙහි ප්‍රකට කළ සේක. රාජගුරු කතළුවේ ගුණරතනතිස්‌ස මහාතෙරපාණන් වහන්සේගෙන් ඇරඹි ශ්‍රී කල්‍යාණිවංශයෙහි වැඩසිටින සඟරුවන සසුන් කෙතෙහි ඒකාලෝක වන ගුණ නුවණ දරමින් චිරාත්කාලයක්‌ ලෝ සසුන් වැඩ වඩත්වාෘ

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

1 Comment

  1. Saadhu! Saadhu! Saadhu! Namo buddhaya! Theruwan saranai!!

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: