subscribe

කවදා නම් වෙමු ද අපි, මුනිඳු ළය උපන් දරුවෝ…!

කවදා නම් වෙමු ද අපි, මුනිඳු ළය උපන් දරුවෝ…!

පදෙන එක අමාරුයි ද..?

ඇත්තෙන් ම ඒ ප්‍රශ්නයට ඒකාන්ත විසඳුමක් නම් නැහැ. එක පැත්තකින් ගත්තා ම ඉපදෙනවා කියන දේ අමාරු දෙයකුත් නෙවෙයි. විශේෂ දෙයක් නොකළා වුණත් කෙළෙස් ක්ෂය නොකළ කෙනෙක් මරණින් මත්තේ කොහේ හරි අනිවාර්යයෙන් උපතක් කරා යනවා. නමුත් සුගති ලෝකවල උපදින එක අමාරුයි.

කොහොම නමුත් ඒ ඒ සත්වයන් අතර ඒ ඒ සත්ව නිකායවල උපත ලැබීම දුකක්. එය එසේ වුණත් දුක් ක්ෂය වීම පිණිස පවතින උපතකුත් තිබෙනවා. ඇතැම් විට ඔබට ගැටලුවක් ඇති වෙන්න ඇති, ඒ මොක්ක ද කියා…

යම් කෙනෙක් ආර්ය ජාතියේ උපත ලැබුවොත්……, ඒ උපත දුක් ක්ෂය වීම පිණිස යි පවතින්නේ. ආර්ය ජාතියේ උපන් කෙනාට, යම් දිනක පරිපූර්ණ වශයෙන් ම භාග්‍යවතුන් වහන්සේ ගේ ළය මඬලින් උපන් කෙනෙක් වෙන්නට භාග්‍ය ලැබෙනවා (ඕරසෝ). ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ ගේ මුවමඬලින් උපන් කෙනෙක් (මුඛතෝ ජාතෝ) වෙන්නට භාග්‍ය ලැබෙනවා.

උපතක් කරා යන එක ඉතා ලෙහෙසි දෙයක් වුණත්, ආර්ය ජාතියේ උපදින එක නම් අතිශයින් ම අසීරුයි. එය මෙලොව පවතින දුෂ්කර ම දෙය කියා කියුවොත් එහි වරදක් ඇත්තේ නැහැ. මනුලොව වගේ ම දෙව්ලොව උපන් අය අතරිනුත් ඉතා ම ඉතා ම අල්ප ප්‍රමාණය යි, ආර්ය ජාතිය තුළ, එහෙමත් නැත්නම් සම්බුදු සසුන තුළ උපත ලබන්නට තරම් භාග්‍යවන්ත වන්නේ. ඒ සඳහා කෙනෙක් තුළ කෙතරම් කැමැත්තක් තිබුණත්, මහා වීරියකින් සිහියකින් හා නුවණකින් යුතු ව බුදු සමිඳුන් වදාළ අයුරින් ම කටයුතු කළේ නැත්නම්, ඒ උතුම් උපතට පත්වීම සිහිනයක් ම වන්නට ඉඩ තිබෙනවා..

ඇත්තෙන්ම භාග්‍යවතුන් වහන්සේ ගේ ශාසනය තුළ සියලු දේ පවතින්නේ, තථාගතයන් වහන්සේ ගේ ළයමඬලින් – මුවමඬලින් උපන් ශ්‍රාවක දරුවකු බිහිකිරීම කියන ඉලක්කය උදෙසායි..

ශ්‍රද්ධාව ඇති කරගැනීම, සිල්වත් වීම, ධර්මය ඉගෙන ගැනීම, ධර්මය සාකච්ඡා කිරීම, ධර්මය දේශනා කිරීම, බණ භාවනා කිරීම වැනි සෑම දෙයක් ම ඒ උතුම් දරුවන් බිහිකිරීමේ අරමුණ කරාම යොමුව පවතිනවා..

මේ අතරින් මොනවා නැතත් වර්තමානයේ දහම් දැනුමක් ඇති කරගැනීම නම් පහසුවෙන් ම කෙනෙකුට කර ගන්නට පුලුවන්. ඒ සඳහා වැඩි වෙහෙසක් දරන්නට වුවමනා වන්නේත් නැහැ. ඒ නිසා ම බොහෝ දෙනෙක් ඒ කාර්යයේ නිරත වී සිටිනවා දකින්නට පුලුවනි.

නමුත් දහම් දැනුමක් ඇතිකරගත් පමණින් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ සසුන තුළ උපන් කෙනෙක් බවට පත් වෙනවා ද..? සෘජුව සහ පැහැදිලිව නැහැ කියා තමයි කියන්නට තිබෙන්නේ.

මේ ගැන කියැවෙන එක්තරා අපූරු දේශනාවක් තිබෙනවා..

ඒ දේශනාව් නම තමයි, අප්පස්සුත සූත්‍රය..

මේ උතුම් දෙසුමේ දී අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය තුළ දකින්නට ලැබෙන පුද්ගලයින් හතර දෙනෙක් ගැන පෙන්වා දෙනවා..

1 පළමු පුද්ගලයා :- අප්පස්සුතෝ සුතේන අනුපපන්නෝ.. (අල්පශ්‍රැත වූ ශ්‍රැතයෙන් නූපන් කෙනා..)

මේ කෙනා ධර්මය ගොඩක් අහල නැහැ.. භාග්‍යවතුන් වහන්සේ ගේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ටිකයි අහල තිබෙන්නේ. ඒ වගේ ම තමයි ඒ අහපු ධර්මයෙන් සම්බුදු සසුන තුළ ඉපදිලාත් නැහැ. ඒ කියන්නේ මොකක් ද, ඒ කෙනා තමන් අහපු ධර්මය දැනගෙන ඒ ධර්මයේ අර්ථයන් තමා තුළින් දැනගෙන, ධම්මානුධම්ම ප්‍රතිපදාවට පැමිණිලා නැහැ. එයා සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමේ යෙදී වාසය කරන්නේ නැහැ. ඒ නිසා තමයි එයාට සසුන තුළ උපන් කෙනෙක් බවට පත් වෙන්නට බැරි වෙලා තිබෙන්නේ..

2. දෙවැනි පුද්ගලයා :- අප්පස්සුතෝ සුතේන උපපන්නෝ – (අල්පශ්‍රැත වූ ශ්‍රැතයෙන් උපන් කෙනා)

මේ කෙනාත් ධර්මය නම් ගොඩක් අහල නැහැ. ඒ කියන්නේ ශාස්තෘන් වහන්සේ වදාළ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය එයාට ගොඩක් අහන්ට ලැබිල නැහැ. ගොඩක් මතක තියාගෙන ත් නැහැ. නමුත් එයාට යම් දහම් පදයක් ද අහන්නට ලැබුණේ, ඒ පුංචි දහම් කරුණෙහි පවා අර්ථය දැනගෙන, ධර්මය දැනගෙන, ධර්මයේ හොදින් හැසිරෙන ධම්මානුධම්ම පටිපන්න කෙනෙක් බවට එයා පත් වෙලා ඉන්නවා. ඒ නිසා ම එයා තමන් ඇසූ සුලු දහම් කරුණු ටිකෙන් පවා බුදු සසුන තුළ ඉපදුනු කෙනෙක් බවට පත් වෙලා. ඒ උතුම් කෙනා නිවන පිණිස අප්‍රමාදීව බෝධිපාක්ෂික ධර්ම වඩන කෙනෙක් බවට පත්වෙනවා.

3. බහුස්සුතෝ සුතේන අනුපපන්නෝ – (බහුශ්‍රැත වූ ශ්‍රැතයෙන් නූපන් කෙනා..)

මේ කෙනා නම් ධර්මය ගොඩක් අසා තිබෙනවා. නවාංග ශාස්තෘ ශාසනය හොඳින් මතක තබාගෙන සිටිනවා. නමුත් එයා ඒ ධර්මයේ අර්ථ තේරුම් අරගෙන, ධර්මය තමා තුළින් දැනගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවට ඇවිත් නැහැ. ඒ නිසයි එයා තමන් ඇසූ ධර්මයෙන් සසුන තුළ නූපන් කෙනෙක් බවට පත් වී සිටින්නේ. මෙවැනි අය හරියට අනුන් ගේ ගවයන් බලා ගන්නා ගොපල්ලන් වගේ කියල යි, භාග්‍යවතුන් වහන්සේ වදාරා තිබෙන්නේ.

4. බහුස්සුතෝ සුතේන උපපන්නෝ – (බහුශ්‍රැත වූ ශ්‍රැතයෙන් උපන් කෙනා)

මේ කෙනා ධර්මයත් ගොඩක් අසා මතක තබාගෙන ඉන්නවා. ඒ විතරක් නොවෙයි, එයා ඒ ධර්මයේ අර්ථත් හොඳින් දැනගෙන, ධර්මයත් තමන් තුළින් දැනගෙන, ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ ගමන් කරනවා. ඒ නිසා එයා තමන් ඇසූ ධර්මය උපකාර කරගෙන බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම තුළින් සසුන තුළ ඉපදුනු කෙනෙක් බවට පත් වෙලයි ඉන්නේ. මේ උත්තමයා ඇත්තෙන් ම බොහෝ පිරිසකට උපකාර පිණිස හේතුවන කෙනෙක්.

ඉතින් යාලුවනේ, අදත් ගොඩක් දහම් දැනුම නම් ඇති කරගෙන ඉන්න අය දකින්නට පුලුවනි. නමුත් ඒ ධර්මය තුළින් සසුන තුළ ඉපදුනු අය නම් ඉතා ම දුර්ලභ යි. අප ගේ භාග්‍යවතුන් වහන්සේ තමන් ගේ ශ්‍රාවකයින් තුළින් බළාපොරොත්තු වුනේ ධර්මය ටිකක් හෝ දැනගෙන සසුන තුළ උපන් අය වීම යි. එසේ මූලිකව ම සාසනය තුළට පැමිණි කෙනාට තමයි යම් දිනෙක භාග්‍යවතුන් වහන්සේ ගේ ළය මඬළින්-මුවමඬලින් උපන් ශ්‍රේෂ්ඨ දරුවෙක් වන්නටත් හැකි වන්නේ.

අපි ධර්මය ගොඩක් ඉගෙන ගෙන ඒ ධර්මයේ නො හැසිරී එය වෙන වෙන දේවල් වලට යොදා ගන්නවා නම් එය අපි භාග්‍යවතුන් වහන්සේට කරන ලොකු ම ලොකු අසාධාරණයක්. එය හරියට තථාගතයන් වහන්සේ අනන්ත අප්‍රමාණ දුක් විඳ සොයා ගත් අතිශයින් වටිනා, අතිශයින් ගෞරවනීය දෙය අපි අයථා අයුරින් යොදා ගත්තා වගෙයි. දියමන්ති අසිපතක් එළවලු කපන්නට යොදා ගත්තා වගෙයි… අපට මේ වජ්‍රමය ධර්මයෙන් කරන්නට සුවිශාල දෙයක් තිබෙනවා. ඒ දේ සිදු කිරීම පිණිස යි භාග්‍යවතුන් වහන්සේ එය අපට ලබා දුන්නේ. ඒ තමයි මේ සසුන තුළ උපන් කෙනෙක් බවට පත් වීම..

අප ගේ භාග්‍යවතුන් වහන්සේ අප ගැන සතුටු වන්නේ, ඒ වජ්‍රමය ධර්මය යොදාගෙන, මේ සසුන තුළ උපන් කෙනෙක් බවට පත් වුණොත් විතර යි. ධර්මය ඉගෙන ගෙන වෙන මොන දේ කළත් එයින් භාග්‍යවතුන් වහන්සේ අප ගැන සතුටු වන්නේ නැහැ. ඒවගේ ම අපි ආර්ය ජාතියේ උපන් කෙනෙක් බවට පත්වුණොත්, ශාස්තෘන් වහන්සේ ගේ ළය මඬලින්-මුවමඬලින් උපන් කෙනෙක් බවට පත් වුණොත් විතර ම යි, අපි අපේ ශාස්තෘන් වහන්සේට කෘත ගුණ සැළකුවා වෙන්නේ..

ඒ නිසා දයාබර යාලුවනේ.. ධර්මය පදයක් හෝ දැනගෙන ඒ ධර්මයේ ම අප්‍රමාදී ව හැසිරෙන්නට ම මහන්සි ගන්න. ඇසූ ධර්මය උපයෝගී කරගෙන සසුන තුළ උපන් කෙනෙක් බවට පත්වන්නට ම මහන්සි ගන්න. ධර්මයත් දැනගෙන මැරුණු කෙනෙක් වගේ ඉන්නට නම් එපා.!! මේ උතුම් සම්බුද්ධත්ව ජයන්තිය සැමරෙන සමයේ අප ගේ භාග්‍යවතුන් වහන්සේට සැබෑ කෘතගුණ සළකන කෙනෙක් වන්නට මහන්සි ගන්න. ඒ පිණිස ම වාසනාව ලැබේවා.. !!!

ඔබට තෙරුවන් සරණයි..!!!

4 Comments

  1. Sadhu! Sadhu!! Sadhu!!! How luky we are to listen to this Noble Dhamma !

  2. Sadu..sadu..sadu..!!

  3. SADU SADU SADU DARMAYA DANA NOMARUNA KENEK WEMU!

  4. Namo buddhaya!

    sadu……sadu…….sadu..!!!!!!!!!!!!!

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: