subscribe

කුසල් සිත කල් දාන්න එපා…!

කුසල් සිත කල් දාන්න එපා…!

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව පහළවෙලා ඉපදීම මෙන්ම මරණය දුකක් බව වදාළා. මරණයට කවුරුත් කැමැති නැහැ. මරණාසන්න මොහොතේදී ජීවිතය බේරා ගන්න බොහෝ අය පොර බදනවා.

මරණාසන්න මොහොතේදී කුසල් සිතක් ඇතිකර ගැනීම හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක් නොවේ. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේගෙන් පිරිසක් අසනවා භාග්‍යවතුන් වහන්ස, යම්කිසි කෙනෙක් මරණයෙන් මතු දුගතියේ ඉපදෙනවා නම් එයට හේතුව කුමක්ද කියලා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා එයට හේතුව තමයි කළයුත්ත නොකිරීම , නොකළ යුත්ත කිරීම. කළ යුත්ත තමයි පස්පව් , දස අකුසල් නොකර සිටීම, නොකළ යුත්ත තමයි පස්පව් දස අකුසල් කිරීම.

එවිට අපට පැහැදිලිය. දස අකුසල් වල නියැලී සිට යම් කෙනෙක් මරණාසන්න මොහොතේදී කුසල් සිතක් ඇතිකර ගන්න සිතනවා නම් මා සිතන්නේ ඒක ලෙහෙසි කටයුත්තක් නොවේ. නමුත් සමහර අය ඉන්නවා අසාමාන්‍ය කුසලතා තිබෙන භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙත් එවැනි අය සිටියා. ඔවුන් අකුසල් කරමින් සිට ඒ අකුසල් මැඩලමින් කුසල් සිත් උපදවාගෙන සුගතියේ ඉපදුනා.

නමුත් බහුතර ජනයා ඒ තත්ත්වයට පත් වුණාද කියලා කියන්න සලකුණක් නැහැ. කෙනෙක් අකුසල් කරමින් ඉඳලා අවසාන මොහොතේදී කුසල් සිතක් උපදවාගන්න බලාපොරොත්තු වෙනවානම් එය තරමක අසීරු දෙයක්.

භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තිබෙන්නේ කුසල් සිතක් උපදවාගන්න කියලා නෙවෙයි. සුගතියේ උපදින ආකාරයට කුසල් වඩන්න කියලයි. කුසල් වැඩීම පිණිස අපි වෙර වීරිය ගත යුත්තේ ජීවත්වන විටය. අවසාන මොහොතේදී නොවේ. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මහණෙනි, අවසාන මොහොතේ අකුසල් සිතින් මැරුණු අය දුගතියේ ඉපදිලා ඉන්නවා. ඒ වගේම අවසාන මොහොතේ කුසල් සිතින් මැරුණ අය සුගතියේ ඉපදිලා ඉන්නවා “ කියලා. අවසාන මොහොතේ කුසල් සිතින් මරණයට මුහුණ දෙන්න නම් කුසලයේ පිහිටන්න හැකියාවක් ඇතිව ජීවත්වෙලා ඉන්න ඕන. කුසලය තුළ ජීවත්වෙන්න හැකියාව ඇති කෙනෙකුට පමණයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ පංචසේඛබල වඩන්න කියලා. ඒ වගේම උන්වහන්සේ අනුස්සති භාවනා පුරුදු කරන්නත් තම ශ්‍රාවකයන්ට කියා දෙනවා.

දේවානුස්සතිය හැටියට විස්තර කරනවා චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිතාවසවත්තිය ආදි දිව්‍යලෝකවල සිටින දෙවිවරුන් ගැන සිත පහදවාගන්න කියා. ඒ දෙවිවරුන් මිනිස් ලෝකයේ සිටිද්දී ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, පඤ්ඤා කියන සේඛ බල දියුණු කිරීමෙන් දිව්‍යලෝකවල ඉපදුනා. දෙවිවරුන් තුළ තිබෙනවා නම් සේඛ බල ධර්මයක්.

ඒවා තමා තුළත් තිබෙනවා යළිත් මෙනෙහි කරන්න පුළුවන්කමක් ඇතිකර ගන්න කියනවා. එයට තමයි දේවානුස්සති භාවනාව කියන්නේ. එහෙම නැතුව මේ ජීවිතයේදී ලෝකයේ තිබෙන ඇදකුද සොයමින් ඉඳලා රටේ තිබෙන සියලුම ප්‍රශ්න කල්පනා කරමින් කාලය ගෙවල, නා නා දේට ඇලීම් ගැටීම් ඇතිකරගෙන ඉඳලා අවසාන මොහොතේදී ඒ සියලුම දේ බැහැර කරලා සුගතියේ සිත පිහිටුවා ගන්න යම් කෙනෙක් කියනවා නම් එය මෙහෙමයි ඇතුළත් වන්නේ.

ඔබ මෙසේ සිතන්න. යම් පුද්ගලයෙක් ජීවත් වෙලා සිටිද්දී තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගන්නේ නැතුව, ඇදකුද සෙවීමටම ධර්මය අසන, ධර්මයේ හැසිරෙන අයට නොයෙක් අකටයුතුකම් කරන, ධර්මයේ හැසිරෙන්නන් අපහාසයට ලක්කරන චරිතයක් නම් මරණාසන්න මොහොතේදී කුසලයක් උපදවා ගනියි කියලා කෙසේ සිතන්නද? සෑම දෙයකටම වාගේ එයටත් පුරුද්දක් අවශ්‍යයි. මේ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ ජීවත්ව සිටියදීයි අප මරණාසන්න මොහොතට සුදානම් විය යුත්තේ. බිය සැක නැතිව මරණයට මුහුණ දිය හැකි වන්නේ එවිටයි.

එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ ළඟට අවුරුදු 120 ක් වයසැති බ්‍රාහ්මණයෙක් ආවා. භාග්‍යවතුන් වහන්සේ ඔහුට කියනවා ඔබ දැන් අවුරුදු 120 ක් ගෙවලා ඉවරයි. නමුත් තමන්ට කරගත් දෙයක් නැහැ. දැන්වත් ඔබ යම් කිසි පිනක් කරගන්න කියලා. එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නැහැ. ඔබගේ මරණාසන්න අවස්ථාවේදී කුසල සිතක් ඇතිකර ගන්න කියලා. උන්වහන්සේ වදාළේ ඔබගේ මේ අවසාන කාලයේදි පින් කරගන්න කියලයි.

ඔබ නිතරම තේරුම් ගන්න ඕන ඔබගේ සිතේ ස්වභාවය.

යම් පුද්ගලයෙක් සිතේ සමාධියක් ඇතිකර ගන්න භාවනාවක යෙදෙන අවස්ථාවක, ගෙවල් දොරවල් අතහැරලා දුරක ගිය විට, නොසිතූ ලෙස කරදරයක් වූ විට, ඉතා වේගයෙන් තමා ඇලුම් කළ දේට සිත යනවා. ඒ දෙය කෙරෙහි සිත පිහිටනවා. මෙවැනි ස්වභාවයෙන් යුතු සිතක ලෙහෙසියෙන් කුසලයක් පිහිටන්න පුළුවන්කමක් නැහැ. අවසාන මොහොතේ කුසල් සිතක් උපදවා ගන්නවා කියන සිහිනයක සිටීම තමයි අපේ සිහින අතර තිබෙන බොළඳම සිහිනය. මෙවැනි සිහිනයක පැටලී සිටිම මෝහය හෙළිකරන්නක්.

භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය කිසිවෙකුට සමකළ නොහැකියි. ඒ අවබෝධය තුළින්ම උන්වහන්සේ දේශනා කළා උපදින හැම ආත්මයකම මනුස්ස ලෝකයේම උපදින්න ලැබෙන්නේ නැහැ කියා.

එක අවස්ථාවක උන්වහන්සේ වදාළා මහණෙනි මේ ලෝකයේ ලස්සන හොඳ පහසුකම් සහිත පරිසරය තිබෙන්නේ ඉතාම අඩුවෙන්. නමුත් කටුක රළු මංමාවත් තිබෙන දුෂ්කරතා තිබෙන තැන් බහුලයි. ඒ වගේම මේ ලෝකයේ සුගතියට යන පිරිස ස්වල්පයයි. ධර්මයට සිත යොමු නොකරන අය බහුලයි.

ඒ වගේම උන්වහන්සේ වදාළා ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා කියන සේඛබල දියුණුකර ගන්න කියලා. සේඛ බල දියුණු කරගත් පුද්ගලයාට මරණාසන්න මොහොතේ කුසල් සිතක් ඇතිකර ගන්න පුළුවන් වේවි. නමුත් කුසල් කිසිවක් නොකර සිට අවසාන මොහොතේ කුසල් සිතක් ඇතිකර ගනිත්වා කියන කතාව පදනමක් නැති දෙයක් සිදු කිරීමට අතිශයින්ම අමාරු කටයුත්තක්.

ඒ නිසා ඔබ තේරුම් ගන්න මරණාසන්න මොහොතේ දී කුසල් සිතක් ඇතිකර ගැනීමට අවශ්‍ය කරුණු කාරණා තමන් තුළ තිබිය යුතුයි. යම් කෙනෙක් සත්ත්ව හිංසනයෙන් වැළකිලා සොරකමින් වැළකිලා, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, සුරාපානයෙන් වැළකිලා සීලයක් පුරුදු කරනවා නම් එය ජීවිතයට වාසියක්. ඒ වගේම මරණාසන්න මොහොතේ ඒ ගැනම සිතමින් කුසල් සිතක් ඇති කර ගත හැකියි. තමන්ගේ සිතේ හටගත් යම් යම් බන්ධන ඇද්ද ඒ බන්ධනයන්ගෙන් සිත මුදාගන්න පුළුවන්කම තිබෙන්නේ කුසලයටයි. අපි සිතමු යම් කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතයේ කොතැනක හෝ කළ අකුසලයක් මතක් වෙන්න පුළුවන්.

අප කාටත් මරණය පොදු දෙයක්.මරණ අවස්ථාව කොතැනදී කොයි ආකාරයට සිදුවේවිද දන්නේ නැහැ. එය අනපේක්‍ෂිත අවිනිශ්චිත වේලාවක සිදුවෙන්න පුළුවන්. මේ නිසා ජීවිතය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ දේශනා හොඳින් අසා දැනගෙන සිටියොත් කම්පනයකින් තොරව මෙය ලෝක ස්වභාවය ලෙස හඳුනාගෙන එයට මුහුණ දෙන්න පුළුවන්. ඒ ආකාරයට ජීවත්වෙලා සිටිද්දී කුසල් වැඩීමට වෙර වීරිය කරන අයට අවසාන මොහොතේදී කුසලයේම පිහිටන්න උපකාරි වෙනවා.

එහෙම නැතුව ජීවත්වෙලා ඉන්න සුළු කාලයේදි කිසි වැඩකට නැති දේවල් කරමින් සිට අනේ මට අවසාන මොහොතේදි මොනවා වෙයිද දන්නේ නෑ. අවසාන මොහොතේදී මොන සිතක් පහළ වේවිද දන්නේ නෑ සිතමින් නොසිට සුගතියෙහි රැකවරණය ලබා ගැනීමට නිශ්චිත ඉලක්කයට ඔබ පැමිණිය යුතුයි.

~~කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

සටහන – නයනා නිල්මිණි

‘බුදුසරණ’ පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්

Comments are closed.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: