subscribe

කලල් විල මත – සුපිපි සියපත – 01

කලල් විල මත – සුපිපි සියපත – 01

නන්ත ඤාණ වූ කරුණා නිවාස වූ සුසමාහිත වූ ධර්මරාජ වූ නිරංගණ වූ ලෝකහිත වූ නිවන්පරතෙරට පත් වූ ඒ සම්බුදුරජාණන් වහන්සේට ද,
පරමෝත්තම වූ, සසර සංවර කාරක වූ ශ්‍රී සද්ධර්මයට ද,
ගුණසාගර වූ, කෙලෙස් අංගණ රහිත වූ ආර්ය සංඝයාට ද නමස්කාර වේවා..!!!

බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයෙහි විශ්මයකි.

කෙලෙසුන්ගෙන් තෙත බරිත වූ පුහුදුන් ලෝකය නැමති කලල් විලමත, පරමපාරිශුද්ධ වූ සුදෝසුදු සම්බුදු සියපතෙහි විකසිත වීම සැබැවින් ම-සැබැවින් ම අසිරියකි.

කල්ප සියගණනකටත් දුර්ලභ වූ ඒ සම්බුදු කුසුමෙහි ගුණ රුව ගැන අසන්නට ලැබීම පවා මනුලොව ඉපදුණු අයෙකුට මහත් ම භාග්‍යයකි. පමණ කළ නො හැකි ලාභයකි.

අප මහබෝසතාණන් වහන්සේ සම්බුදු කුසුමක්ව විකසිත වනු පිණිස දීපංකර සර්වඥයන් වහන්සේ ගේ පාදමූලයෙහි දී නියත විවරණ ලබා, කල්ප අසංඛ්‍ය සතරකුත් කල්ප ලක්ෂයක අති දීර්ඝ කාලයක් දසපාරමී දම් පුරමින් සසර මරු කතර ගෙවා වැඩි සේක. එසේ පැමිණි ගමනේ දී විවරණ සිරි ලැබුම පිණිස මුණ ගැසුනු ලෝකනාථ වූ සම්මාසම්බුදු රජාණන් වහන්සේලා ගැන අසිරිමත් විස්තර ත්, ඒ විශ්මිත යුගයන්හි දී අප මහබෝසතාණන් වහන්සේ ගේ චරිතාපදානයනුත් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

නරශ්‍රේෂ්ඨ වූ ඒ බුදු රජාණන් වහන්සේලා ගැන විස්තර අසා-කියවා මහත් ශ්‍රද්ධා භක්තිය උපදවා ගැනීමෙන්, අපමණ පුණ්‍ය ඵල නෙලා ගන්නට ඔබට හැකි වනු ඇත. ඒ සියලු පින්ඵල අමා නිවනින් සැනසෙන්නට ම හේතු වාසනා වේවා!!!


මින් කල්ප අසංඛ්‍ය සතරකුත් කල්ප ලක්ෂයකට පෙර (මින් අපරිමෙය්‍ය කල්පයෙහි) වරමණ්ඩ නමින් කල්පයක් ඇති විය.

එම කල්පයෙහි පිළිවෙලින් තණ්හංකර, මේධංකර, සරණංකර යන ලොව දිනූ තථාගතයන් වහන්සේලා මිනිසත් පියසෙහි ජනිතව අපමණ දෙව් මිනිසුන් හට අමා සුව සළසා දී දස දහසක් ලෝ ධා කම්පා කරවමින් පිරිනිවන් පා වදාළ සේක.

ඉන් අනතුරව එම කල්පයේ දී ම දඹදිව් තලයෙහි සියලු සැපතින් සමෘධිමත් වූ අමරවතී නම් නගරයක් වූයේ ය. එම නගරයෙහි මවුපිය දෙපසින් සුජාත වූ කුලපරපුරෙන් සුපිරිසිදු වූ සුන්දර රූ ඇති, දැකුම්කළු වූ, ප්‍රසාදය ඇති කරවන සුලු, සුමේධ නම් වූ බ්‍රාහ්මණයෙක් වාසය කළේ ය. ඔහු ඉතිහාසය භාෂාව ආදී නොයෙක් ශාස්ත්‍රයන් සහිතව ත්‍රිවේධයෙහි පාරප්‍රාප්ත විය. එසේ ම ඔහුට මව් පිය පරපුරෙන් දායාද වූ නොයෙක් කෝටිගණන් ධන සම්පත් තිබිණි.

දිනක් ඒ සුමේධ පණ්ඩිතයා‍ණෝ හුදෙකලාව සිටිමින් මෙසේ කල්පනා කළේ ය.

෴ නැවත නැවත උපදින්නට සිදු වීම දුකකි. ශරීරය බිඳීගොස් මරණයට පත්වීම ද දුකකි. ජරාවෙන් මැඩී ජීවත් වීම ද දුකකි.

෴  මම ඉපදීම ස්වභාව කොට ගෙන සිටිමි. වයසට යෑම ස්වභාව කොටගෙන සිටිමි. ලෙඩවීම ස්වභාව කොටගෙන සිටිමි. මරණය ස්වභාව කොටගෙන සිටිමි. එනිසා අජර වූ අමර වූ නිර්භය වූ නිර්වාණය සොයන්නෙමි.

෴  නොයෙක් කුණපවලින් පිරිනු මේ කුණු කය හැර දමා අපේක්ෂා රහිතව නිවන් පුරය සොයා යන්නෙම් නම් ඉතා හොඳය.

෴ යම් මාර්ගයකින් නිවන කරා යන්නෙම් ද, ඒ නිවන් මග අනිවාර්යයෙන් ම ඇත්තේ ය. ඒ මග නො තිබෙන්නට හේතු නැත්තේ ය. භවයෙන් මිදීම පිණිස ඒ මාර්ගය සොයන්නෙමි.

෴ යම් සේ දුක ඇති කල්හි සැපයකුත් ඇද්ද, එසේ ම භවය ඇති කල්හි විභවයකුත් කැමති විය යුතු ය.

෴ යම් සේ උෂ්ණය ඇති කල්හි, එයට වෙනස් වූ සීතලකුත් ඇද්ද, එසේ ම රාග ද්වේශ මෝහ යන තුන් ගිනි ඇති කල්හි නිවන කැමති විය යුතු ය.

෴ යම් සේ පාපය ඇති කල්හි කුසලයකුත් ඇද්ද, එසේ ම ඉපදීම ඇති කල්හි නො ඉපදීමකුත් කැමති විය යුතු ය.

෴ යම් සේ අසුචි ගෑවුණ මිනිසෙක් දිය පිරුණු විලක් දැක ඒ විල සොයා නොයයි නම් එය ඒ විලෙහි දෝශයක් නොවේ. එසේ ම කෙලෙස් මල සෝදා දැමිය හැකි අමාවිල ඇති කල්හි ඒ අමාවිල සොයා නොයන්නේ නම්, එය ඒ විලෙහි දෝශයක් නොවේ.

෴ යම් සේ සතුරන් විසින් වටලන ලද මිනිසෙකුට පලා යන්නට නිසි මාර්ගය ඇති කල්හි, ඒ මාර්ගය සොයා නොයයි නම්, එය ඒ මාර්ගයේ දෝශයක් නොවේ. එසේ ම කෙලෙස් සතුරන් විසින් වටලන ලද විට, පලා යන්නට නිවන් මග ඇති කල්හි, ඒ නිවන් මග නොසොයයි නම්, එය ඒ නිවන් මාවතේ දෝශයක් නෝවේ.

෴  යම් සේ රෝගී මිනිසෙකුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු ඇති කල්හි, ඒ රෝගයට ප්‍රතිකාර කරවා නොගනියි නම්, එය ඒ වෛද්‍යවරයාගේ දෝශයක් නොවේ. එසේ ම කෙලෙස් ලෙඩින් දුකට පත්ව හාත්පසින් පෙලෙමින් සිටින විට, ඒ ලෙඩට පිළියම් කරන අනුත්තර වෛද්‍යවරයා සොයා නොයයි නම්, එය ඒ ආචාර්යවරයාගේ දෝශයක් නොවේ.

෴ යම් සේ මිනිසෙක් තමන් ගේ ගෙලෙහි බැඳි මලකුණ පිළිකුල් කොට අත්හැර දමා සැපවත් ව, ස්වාධීනව නික්ම යන්නේ ද, එසේ ම නොයෙක් කුණපයන් ගෙන් පිරුණු මේ කුණුකය හැරදමා අපේක්ෂා රහිතව නිවන් පුරය බලා නික්ම යන්නෙමි.

෴ යම් සේ ස්ත්‍රී පුරුෂයෝ වැසිකිලියෙහි අසුචි පිළිබඳව අපේක්ෂා රහිතව, ප්‍රයෝජන රහිතව අත්හැර දමා නික්ම යයි ද, එසේ ම නොයෙක් කුණපයන් ගෙන් පිරුණු මේ කුණුකය, මල බැහැර කොට හැරදමා යන වැසිකිලි කුටිය මෙන් අපේක්ෂා රහිතව, ප්‍රයෝජන රහිතව අත්හැරදමා නිවන් පුරයට නික්ම යන්නෙමි.

෴ යම් සේ නැව් හිමියෝ සිදුරු වූ දිය වැගිරෙන බිඳුණු නැව අපේක්ෂා රහිතව, ප්‍රයෝජන රහිතව අත්හැර දමා යත් ද, එසේ ම සිදුරු නවයක් ඇති නිරන්තරයෙන් අසූචි වැගිරෙන මේ සිරුර, නැව් හිමියන් දිරාගිය නැවක් අත්හරින්නාක් මෙන් අත්හැරදමා නිවන් පුරය සොයා යන්නෙමි.

෴ යම් සේ මිනිසෙක් වටිනා භාණ්ඩ රැගෙන සොරුන් සමග යන විට, භාණ්ඩ සොරා ගනු ඇතැයි බියෙන් ඒ සොරුන් මඟහැර දමා අපේක්ෂා රහිතව යන්නේ ද, එසේ ම මේ කය මහා සොරෙකු වැනි ය. කුසල් දහම් පැහැර ගනු ඇතැයි යන බියෙන් මේ කය හැරපියා අපේක්ෂා රහිතව නිවන් පුරය බලා යන්නෙමි.

මෙසේ ගිහිගෙදරින් නික්මී නිවන් සොයා යෑමේ ආනිශංස කල්පනා කළ සුමේධ බ්‍රාහ්මණයාණෝ මහා ධන සම්පත් දෙස බලා මෙසේ ද සිතූහ.

මේ මහා ධන සම්පත් කිසිවක් මාගේ මව් පිය මුතුන් මිත්තන් රැගෙන නොගියහ. මම මේ සියල්ල රැගෙන යන්නට කටයුතු යොදමි.

එසේ සිතා ඒ මහා ධන සම්පත් සියල්ල දුගී මගී යාචකාදීන්හට දන් දී, දෙව් පුරයක් බඳු වූ අමරවතී නගරයෙන් නික්ම හුදෙකලාව ම හිමාල වනය කරා ගමන් කළේ ය.

—මතුසම්බන්ධ යි.

Comments are closed.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: