subscribe

මම, මගේ ප්‍රතිරූපය සහ සසර දුක – 1..

මම, මගේ ප්‍රතිරූපය සහ සසර දුක – 1..

ම.. යනු කුමක් ද.. සැබැවින් ම මමෙක් ලෝකයේ සිටියි ද.. මම යන මෙය හට ගත්තේ කෙසේ ද… යන මෙම ගැටලුව පවා සම්බුදු වරයෙකුගේ පහළ වීමෙන් තොරව ලෝකයේ වෙන කිසිවෙකුගේ සිත තුළ හට නො ගන්නා විරූ දෙයකි. අප එසේ පවසන්නේ, ‘මම‘ යන මේ සංකල්පනාව සැකයකින් තොරව ම බරපතල ලෙස සෑම සාමාන්‍ය පුද්ගලයෙකු ගේ ම මනස තුළ දැඩිව බැසගෙන, නො සැලී, නොමිදී පවතින නිසා ය. තමා තුළ විද්‍යමාන මමත්වය සැක කිරීමට ලක් කරනු ලබන්නේ, යම් මට්ටමකට හෝ මුහුකුරා ගිය ප්‍රඥාවකින් යුතු තැනැත්තෙක් පමණි.

භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය පෙන්වා දෙමින්, ‘මම යනුවෙන් යමෙක් නොමැති බව‘ පැවසූ විට ඇතැමෙක් තමාව ම දක්වමින් “මම කියා කෙනෙක් නැත්නම්, මේ සිටින්නේ කවු ද..? යනුවෙන් ප්‍රශ්න නගති. මෙසේ ‘මමෙක් නැත“ යන මෙම අදහසට පවා අසෘතවත් පුහුදුන් පුද්ගලයන්ගේ සිත්හි ඉඩකඩ මාත්‍රයක් හෝ නැත.

ලෝකයෙහි මම යනුවෙන් යමෙක් නැති නම්, ඒ ඒ පුද්ගලයාට මම යනුවෙන් යමක් තේරෙන්නේ ඇයි, දැනෙන්නේ ඇයි, හැගෙන්නේ ඇයි, සිත තුළ නැගි නැගී එන්නේ ඇයි.. ‘මම මම‘ කියා ම සිතෙන්නේ ඇයි, යන්න විමසිය යුතු කරුණකි…

ඇත්ත වශයෙන් ම ගත හොත් යම් කිසි පුද්ගලයෙකුට ‘මම කියා සිතෙනවා‘ යනුවෙන් ගැනීමෙහිම දෝශයක් තිබේ. මන්ද යත් ‘මම‘ යන මේ සංකල්පනාව යම් කිසි පුද්ගලයෙකුට එසේ ත් නො මැති නම් යම් කිසි මමෙකුට සිතෙන්නා වූ හැඟෙන්නා වූ සංකල්පනාවක් නොවේ. මම යන සංකල්පනාව පවා මමෙකුට හෝ පුද්ගලයෙකුට අයත් නැති හටගත් සංස්ඛාර ධර්මයකි.

4minute___i_my_me_mine_cube_by_dg_artist-d4nfvmiමෙය මදක් තේරුම් ගන්නට බලමු. මමත්වය යනු මානසික ධර්ම‍යක් නිසා එහි හටගත් ස්වභාවය බොහෝ දෙනෙකුට පහසුවෙන් තේරුම් ගත නො හැකිය. නමුත් භෞතික ධර්මයන්ගේ හටගත් ස්වභාවය ඇතැම් විට අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි ය.

ගසක හටගැනීම ගැන සිතන්න. ජනක ශක්තියෙන් යුතු බීජයක් පොළොවෙහි වැටුණු විට, හිරු එළිය ජලය ආදී බාහිර සාධකයන් මැනවින් ඇති කල්හි එයින් පැලයක් හටගනී. මෙය කිසිවෙකුගේ බලපෑමකින් තොරව, හේතු ප්‍රත්‍යයන්ගේ සමවායයෙන් සිදු වන ක්‍රියාවලියකි. එහි මමෙකුගේ බලපෑමක් නැත. හේතු සහිත වූ කල්හි බීජයකින් ශාකයක් හට ගනී. හේතු රහිත වූ කල්හි ශාකයක් හට ගැනීමට ඉඩක් නැත. එසේ හටගත් ශාකයක පැවැත්ම ද හේතු සහිත වූ කල්හිම වෙයි. හේතු රහිත වූ කල්හි නො වෙයි.

මෙසේ ම කය නො එසේ නම් රූපය ද, හේතු සහිත වූ කල්හි පවතින හේතු රහිත වූ කල්හි නිරුද්ධ වී යන ධර්මයකි. රූපයෙහි පැවැත්මට එක් ප්‍රත්‍යයක් වනුයේ ගන්නා ආහාරය යි. ධර්මයෙහි එය කබලිංකාර ආහාරය ලෙස දැක්වේ.

මමත්වය සහිත පුද්ගලයෙකු කබලිංකාර ආහාර නො ගෙන සිටිනවා යැයි සිතමු. එවිට එම සිරුර ක්‍රමයෙන් දුර්වල වී ගොස් අවසානයේ දී විනාශ වී යයි. දැන් මමත්වය රහිත රහතන් වහන්සේ නමක් කබලිංකාර ආහාරය නො ගෙන සිටිනවා යැයි සිතමු. එවිට එම කය ද ක්‍රමයෙන් දුර්වල වී ගොස් අවසානයේ දී විනාශ වී යයි. මේ අනුව අපට පැහැදිලි වන කරුණක් වන්නේ මමත්වය තිබුණා හෝ නොතිබුණා හෝ වේවා රූපය යනු කබලිංකාර ආහාරය ඇති කල්හි පවතින කබලිංකාර ආහාර නැතිවීමෙන් නැති වී යන ධර්මයක් බවයි. එනම් රූපය යනු මමත්වයෙන් ස්වායක්ත වූ ලෝක ධර්මයකි. එසේ ම හැඩයෙන් පැහැයෙන්, ප්‍රමාණයෙන් එකිනෙක වෙනස් වුව ද, රූපය යනු සියලු රූපී සත්වයිනට පොදු වූ පොදු ධර්මයකි. එහි පරම වශයෙන් ගත හැකි පුද්ගලිකත්වයක් හෝ පුද්ගලත්වයක් නොවේ. එය ලෝකයේ ලෝක ධර්මයකි..

මේ ස්වභාවය වේදනාවට ද මෙසේ ම ය. වේදනාව මම ලෙස සළකන සාමාන්‍ය පුද්ගලයෙකුගේ කයත් යම් පහසකුත් කයෙහි දැනීමත් එකට පවතින විට කායික වේදනාවක් හටගන්නේ ය. එසේ ම මමත්වය දුරු කළ රහතන් වහන්සේ නමකගේ කයත් යම් පහසකුත් දැනගැනීමත් එකට පවතින විට ද කායික වේදනාවක් හටගන්නේ ය. එසේ ම එම කරුණු වෙන් වූ විට එම හට ගත් වේදනාව නැතිව යයි. මෙසේ වේදනාව යනු ද, මමත්වයෙන් ස්වායක්ත වූ හටගෙන නිරුද්ධ වී යන ලෝක ධර්මතාවයක් පමණි. එය සියලු සතුන් හට පොදු වූ දෙයකි. එහි පරම වශයෙන් ගත හැකි පුද්ගලිකත්වයක් නොවේ. පුද්ගලත්වයක් ද නොවේ. එය ලෝකයේ ලෝක ධර්මතාවයක් ම පමණි.

සඤ්ඤා චේතනා විඤ්ඤාණ ආදී අනෙකුත් මානසික ධර්මතා සියල්ල ද එසේ ම වූ හටගෙන නිරුද්ධ වී යන ලෝක ධර්මයන් ය. ඒවායෙහි මගේ යැයි ගත හැකි පුද්ගලිකත්වයක් හෝ පුද්ගලත්වයක් නොවේ.

දැන් අපි පුද්ගලයින් ගේ සිතෙහි උපදින මම නම් වූ හැඟීම දෙසට යොමු වෙමු. ඇත්තෙන් ම මම යන මෙය ද හේතූන්ගෙන් හටගත්තා වූ තවත් එක් සංස්ඛාර ධර්මයක් පමණි. මමත්වය ප්‍රහාණය නො කළ සියලු සත්වයන් තුළ මෙම මම නම් ධර්මය තිබේ. එනම් එය ද පොදු ධර්මයකි.

කුමන අයුරකින් කල්පනා කළ ද ඒ සෑම විට ම ඔබට මම කියා ම සිතෙන්නේ ඇයි ද යන්නට දැන් පිළිතුරක් ලැබී තිබිය යුතු ය..

එසේ වන්නේ යම් අයෙක් විසින් සිතා මතා සිතන නිසා නොව, මමෙකුට අයිති වූ කිසියම් මම නම් වූ හැඟීමක් නිසා ද නොව, ‘මම‘ යන සංස්ඛාර ධර්මය හේතූ ප්‍රත්‍යයන්ගෙන් සෑම අරමුණක් පාසා හටගන්නා නිසා ය.

මෙයින් සාමාන්‍ය කිසිවෙකුට පළා යා නො හැකිය. සිතා සිතා කල්පනා කොට ගැලවී යා ද නො හැකි ය.

උදාහරණ ලෙස රූපය යන මෙය හේතූන් නිසා හටගත් ධර්මතාවයක් බව අප කලින් දැක්වූයෙමු. දැන් මේ රූපය යන ධර්මතාවයෙන් කිසියම් සාමාන්‍ය අයෙකුට ගැලවී යා හැකි ද..? දිව ගොස් බේරිය හැකි ද..? කිසියම් භෞතික උපක්‍රමයකින් රූපය ගලවා ඉන් නිදහස් විය හැකි ද..? නො හැක්කේ ය. මන්ද යත් එය කිසිවෙකුට අයත් දෙයක් නොව, එය ලෝකයෙහි හටගත් පොදු ධර්මතාවයක් නිසාවෙනි.

මෙසේ ම මම යන හැගීම ද හේතූන් නිසා හටගන්නා වූ මමත්වය දුරු නො කළ සියල්ලන්ට පොදු වූ සංස්ඛාර ධර්මයකි. එනිසා ය එය මමත්වය දුරු නොකළ සියල්ලන් තුළ තිබෙන්නේ, විද්‍යාමාන වන්නේ. සිතිවිල්ලක් පහළ කරගත් පමණින් එයින් මිදිය නො හැක්කේ ද එය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංඛත ධර්මයක් නිසාම ය.

තව ද එක් එක් පුද්ගලයාට පුද්ගලික වූ මමත්වය යනුවෙන් යමක් කිසි තැනක නොවේ. තවත් අයුරකින් පවසනවා නම් ඒ ඒ පුද්ගලයාට ආවේනික වූ පුද්ගලිකත්වයක් ලෝකයෙහි නොමැත. ඇත්තේ සියලු දෙනා තුළ හටගත් පොදු ධර්මතාවයකි. එහි අඩු වැඩි භාවයන් හේතූන් යෙදී ඇති අයුරින් වෙනස් වීම පමණක් සිදු වේ.

කිසිවෙකුට අයත් නොමැතිව හටගන්නා වූ මේ මමත්වය නම් වූ කේවල සංස්ඛාරයට හේතුව කුමක් ද..? සක්කාය දිට්ඨිය ඇති වීමට හේතුව පැහැදිලි කරන බුදු වදන ඇසුරින් එය තේරුම් ගත හැකි ය.

සක්කාය දිට්ඨියෙහි හට ගැනීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

අවිජ්‌ජාසම්‌ඵස්‌සජෙන, භික්‌ඛවෙ, වෙදයිතෙන ඵුට්‌ඨස්‌ස අස්‌සුතවතො පුථුජ්‌ජනස්‌ස උප්‌පන්‌නා තණ්‌හා; තතොජො සො සඞ්‌ඛාරො.

මහණෙනි, අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හට ගත් වේදනාවෙන් පහස ලැබූ අසෘතවත් පෘතග්ජනයාට තණ්හාව උපන්නේ වෙයි. ඒ සංස්ඛාරය ඒ හේතුවෙන් හටගත්තේ ය.

ඒ සංස්ඛාරය කියා මෙහි දක්වා ඇත්තේ සක්කාය දිට්ඨිය යි. මේ අනුව සක්කාය දිට්ඨිය නම් වූ සංස්ඛාර ධර්මය හට ගනු ලබන්නේ කුමන හේතුවක් නිසා ද..? අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගත් වේදනාව නිසා උපදින තෘෂ්ණාව හේතු කොටගෙන ය.

මෙසේ ම මම යන හැගීමෙහි, මම යන මඤ්ඤනාවෙහි, ප්‍රාථමික ම තත්වය වන “වෙමි“ යන්න ද, එහි ම ද්විතියික ස්වභාවය වූ ‘මේ මම වෙමි‘ යන්න ද, මේ අයුරින් ම හට ගන්නා ආකාරය බුදු රජාණන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක.

අත්‌ථි, භික්‌ඛවෙ, මනො, අත්‌ථි ධම්‌මා, අත්‌ථි අවිජ්‌ජාධාතු. අවිජ්‌ජාසම්‌ඵස්‌සජෙන, භික්‌ඛවෙ, වෙදයිතෙන ඵුට්‌ඨස්‌ස අස්‌සුතවතො පුථුජ්‌ජනස්‌ස ‘අස්‌මී’තිපිස්‌ස හොති; ‘අයමහමස්‌මී’තිපිස්‌ස හොති;

මහණෙනි. මනස ඇත, ධර්මයන් ඇත, අවිද්‍යා ධාතුව තිබේ. අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් පහසලැබූ අස්සෘතවත් පෘතග්ජනයාට “වෙමි“ යනුවෙන් ද වෙයි. ‘මේ මම වෙමි‘ යනුවෙන් ද වෙයි.

වෙමි යන මෙය මමත්වයෙහි මූලිකම ස්වරූපය යි… මෙම ප්‍රාතමික වූ වෙමි යන මඤ්ඤානාව විහිද ගොස් පරිපූර්ණ වශයෙන් ම මගේ යනුවෙන් ප්‍රතිරූපක් ගොඩ නැගෙන ගන්නා ආකාරයත් එතුළින් සසර දුක වැඩෙනා ආකාරයත් මී ළඟ කොටසින් විමසා බලමු..

1 Comment

  1. mehi dhewana kotasa thibeda?

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: