subscribe

සදහම් සයුරෙන් දිය දෝතක්… (සිව්වන දිගහැරුම)

සදහම් සයුරෙන් දිය දෝතක්… (සිව්වන දිගහැරුම)

සර්පයාද බැහැර කෙරුව – දිරා ගියපු හැවක් ලෙසින්…. ~ 01
(සුත්ත නිපාතයේ උරග සූත්‍රය ඇසුරෙනි…)

අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පන්සාළිස් වසරක් පුරාවට දෙව් මිනිසුන්ගේ සසර දුක් නිවාලන්නට දේශනා කරන ලද ශ‍්‍රී මුඛ බුද්ධ දේශනා දහ අට දහසකට ආසන්න ප‍්‍රමාණයක් සූත‍්‍ර පිටකයේ සඳහන් වෙයි. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය යන නිකාය ග‍්‍රන්ථවල ඒ අතිඋතුම් බුද්ධ වචනය වැඩසිටින්නේ සරත් කල වළා පහවූ අහසෙහි විරාජමානව බබලන හිරු මඬල පරිද්දෙනි. සසර කතරෙහි මංමුලා වූ ලෝ සතුනට ඒ බුදුවදන් අමා වැස්සක්ම බඳු විය. එතුළින් සසර දුක සදහටම නිවාගත් දෙව් මිනිසුන් අපමණය.

වරෙක සක් දෙවිඳුන් ‘එක් බුදු වදනක් තුළ මරුන් පැරදූ රහතුන් දහසක් වැඩසිටින සේකැ’යි ප‍්‍රකාශ කළ බවක් සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ සඳහන්ව තිබේ. එබැවින් අප මේ (සසරින් එතෙර වීම ම සිත්හි ලා) පරිහරණය කරන බුද්ධ දේශනා කොතරම් ම පරම ගම්භීර දැයි යන්තමින් හෝ සිතාගත හැකිය. ගෞතම සම්මා සම්බුදුරජුන් වැඩ සිටි එකල එක් සතර පද ගාථාවක් ශ‍්‍රවණය කිරීමෙන් ම සසරින් එතෙර වූ බුද්ධිමත් දෙව් මිනිසුන් ගැන පවා අපට අසන්නට ලැබේ. එබැවින් සෑම බුද්ධ වචනයකම පාහේ අන්තර්ගත වන්නේ සදාකාලික සැප ඇති ඒ අමා නිවනට පමුණුවන අතිශය විස්මයජනක පරම සත්‍යයයි!

දැන් ඔබ ඉගෙන ගන්නට යන්නේ ගාථා සහිත දේශනාවකි. එය ඛුද්දක නිකායේ සුත්ත නිපාතය නම් පාරිශුද්ධ ග‍්‍රන්ථයට අයත් උරග සූත‍්‍රය යි. සුත්ත නිපාතය වග්ග හෙවත් කොටස් පහකින් යුක්ත වේ. එහි පළමු වර්ගය වන උරග වර්ගය ආරම්භ වන්නේ මෙම උරග සූත‍්‍රයෙනි. එනම්, සුත්ත නිපාතය ආරම්භ වන්නේ උරග සූත‍්‍රයෙනි. උරග සූත‍්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින්ම වදාළ ගාථා දහ හතක් අඩංගු වේ.

මේ ගාථා සියල්ලේම ඇති විශේෂත්වය නම් සෑම ගාථාවකම අවසාන පේළි දෙක ‘සෝ භික්ඛු ජහාති ඕරපාරං – උරගෝ ජිණ්ණමිව තචං පුරාණං’ වශයෙන් යෙදී තිබීමයි. උරගයා යනු සර්පයා ය. සර්පයෙක් උගේ දිරා ගිය පැරණි හැව (මහත් පිළිකුලෙන් යුතුව) බැහැර කරන්නේ යම් සේ ද, ඒ භික්ෂුව ද (සසර නම් වූ) මෙතෙර බැහැර කරමින් (නිවන නම් වූ) එතෙරට ම යයි යන්න මෙහි අර්ථය යි. අපූරු උපමා මෙන්ම ගැඹුරු අර්ථ ද ඇතුළත් මෙම දෙසුම ගාථාවෙන් ගාථාව දැන් විමසා බලමු.

1.1 ගාථාව :
යෝ උප්පතිතං විනේති කෝධං…

මෙම ගාථාව දේශනා කිරීමට හේතු වූ කතා ප‍්‍රවෘත්තිය මෙයයි. මෙය විනයේ පිටකයේ මෙන්ම ධම්මපද අටුවාවේ ද, සුත්ත නිපාත අටුවාවේ ද සඳහන් වන සිදුවීමකි.

එකල අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ අලව් නුවර අග්ගාලව චේතිය නම් ස්ථානයේ ය. එසමයෙහි භික්ෂූන් වහන්සේලා කුටි සෑදීම පිණිසත්, වෙනත් අවශ්‍ය කටයුතු සඳහාත් නිතර නිතර ගස් සිඳලීම කරති. එසේ නොමැති නම් අන් අය ලවා හෝ ගස් සිඳුවති. දිනක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් අවශ්‍යතාවයකට ගසක් සිඳින්නට සූදානම් විය. එම ගස වෘක්ෂ දේවතාවෙකු අධිගෘහිත එකකි. තමන්ගේ වාසස්ථානය අහිමිවෙතැයි සිතූ ඒ දේවතාවා ගසෙන් බිමට බැස ඒ භික්ෂුවට මෙසේ පැවසීය.

”ස්වාමීනී, තමන්ට වාසස්ථානයක් සාදා ගනු පිණිස මාගේ වාසස්ථානය අහිමි නොකරනු මැනැව.”

එහෙත් ඒ භික්ෂුව දේවතාවාගේ කීම ගණන් ගත්තේ නැත. උන්වහන්සේ ගස සිඳලීමට පටන් ගත්තේය. එම ගසෙහි දේවතාවාට කර්මානුරූපව පහළ වූ දරුවෙකු විය. භික්ෂුව ගස සිඳිද්දී එම දරුවාගේද අතක් කැපී ගියේය. මෙයින් මහත් සේ කෝපයට පත් දේවතාවට අර භික්ෂුව එතැනදීම මරා දමන්නට සිතිණ. එහෙත් දැඩි කෝපය පාලනය කර ගත් ඔහු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සිදුවීම සැළ කර සිටියේය.

”දෙවිය, ඔබ ඒ භික්ෂුවගේ ජීවිතය තොර නොකිරීම යහපත්මයි. යම්හෙයකින් ඔබ ඒ භික්ෂුවගේ ජීවිතය තොර කළේ නම් ඔබට බොහෝ පව් සිදුවනු ඇත. එබැවින් ඔබ සිදු කළේ යහපත් දෙයකි” යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. අනතුරුව අසළ පිහිටි වෙනත් වෘක්ෂයක් මත තම විමානය සාදා ගන්නා ලෙස ද වදාළ සේක. එම දේවතාවා හට කෝපය දුරු කිරීම ගැන ප‍්‍රශංසා කළ භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාරත්නය වදාළ සේක.

යෝ උප්පතිතං විනේති කෝධං – විසටං සප්පවිසං’ව ඕසධේහි
සෝ භික්ඛු ජහාති ඕරපාරං – උරගෝ ජිණ්ණමිව තචං පුරාණං

සිරුර පුරාම පැතිරී ගිය සර්ප විසක් (දක්ෂ වෛද්‍යවරයෙකු විසින්) මනාකොට බෙහෙත් යොදා ඉවත් කරන්නේ යම් සේ ද, ඒ අයුරින්ම තම සන්තානයේ උපන්නා වූ ක්‍රෝධය දුරුකරගත යුතුය. ඒ භික්ෂුව, සර්පයෙකු උගේ දිරා ගිය පැරණි හැව (මහත් පිළිකුලෙන් යුතුව) බැහැර කරන අයුරින් ම, (සසර නම් වූ) මෙතෙර බැහැර කරමින් (නිවන නම් වූ) එතෙරට ම යයි.

සිතක උපදින්නා වූ ක්‍රෝධය තමන්ට ද අනුන්ට ද අයහපත පිණිසම පවතී. එයින් සිදුවන යහපතක් නම් නැත. එහෙත් ක්‍රෝධයේ ආදීනව නුවණින් යුක්තව මෙනෙහි කොට, එය තම සිතින් උදුරා දමන්නේ නම් එය තමන්ට මෙන්ම අන් අයට ද හිත සුව පිණිස පවතී. භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාවෙහි ක්‍රෝධය දුරු කිරීම පිණිස අපූරු උපමාවක් වදාළ සේක. එනම් දරුණු විසක් පැතිරුණු කෙනෙක් බෙහෙත් යොදා එම විස මර්ධනය කරන පරිද්දෙන් ක්‍රෝධය දුරු කළ යුතු බවයි. මෛත‍්‍රිය නමැති මහාර්ඝ ඖෂධය භාවිතයෙනි ක්‍රෝධය දුරු කළ යුත්තේ. ක්‍රෝධය දුරු කළ සිත කොතරම් පිවිතුරුද!

Comments are closed.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: