subscribe

උත්තම පූජා…!!!

උත්තම පූජා…!!!

අසතියෙන් ජීවිතය ගත කරන සෑම මොහොතක දීම අපි නිවනින් ඈත් වෙන්නේ සිතා ගන්නටත් බැරි තරම් වේගයෙන්. කෙතරම් දහම් දැනුමක් තිබුණත්, කෙතරම් ධර්මය කථා කළත්, අන් අයට ධර්මය දෙන්නට මූලික වෙලා කටයුතු කළත්, යම් කිසි කෙනෙක් බහුලව කල් ගෙවන්නේ අසතියෙන් නම්, එයා ඉන්නේ මාර වසඟයේ. මාර වසඟයේ සිටින කෙනා ගමන් කරන මාවත යොමු වී තිබෙන්නේ ඉපදෙන මැරෙන සංසාරයට ම මිසක් වෙන දිසාවකට නොවෙයි. ඒ නිසා සෑම මොහොතක ම සිහිය පිහිටුවා ගැනීම අතිශයින් වැදගත් වෙනවා. එහෙම නූනොත් ධර්මය මුණ ගැසීමෙන් ලැබුණු ලාභය නො දැනීම අහිමි වෙලා යන්ට සුවිශාල ඉඩ කඩක් තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය කෙනෙකු ගේ ජීවිතයට මුණ ගැසීම කියන්නෙ කොයිතරම් නම් දුර්ලභ දෙයක් ද කියල බොහෝ පිරිසකට නිවැරදි හැඟීමක් ඇත්තේ නැහැ. ධර්මය මුණ ගැසීම දුර්ලභ බව දැනගෙන හිටියත්, ඒ ගැන සැබෑ හැඟීමක් තිබෙන්නේ ඉතාම සුලු පිරිසකට පමණ යි. මොකද ධර්මය මුණ ගැසීමේ දුර්ලභ බව යම් කිසි කෙනකුට හොඳින් තේරුනොත් ප්‍රමාදය තුළ කල් ගත කරන්නට එයා මොහොතක් වත් කැමති වන්නේ නැහැ.

ඔබටත් මටත් තවත් බොහෝ පිරිසකටත් ලෝකයේ පරම දුර්ලභ දෙය වන ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය මුණ ගැසී තිබෙනවා. නමුත් ඒ ධර්මයෙන් සැබෑ ප්‍රයෝජනයක් ගන්නේ අපි අතරින් කීයෙන් කී දෙනාද..? ඇත්ත වශයෙන් ම කියනවා නම් අතේ ඇඟිලි ගානටත් වඩා අඩු පිරිසක් පමණ යි.

බලන්න ඇතැම් අයට බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය කිසිඳු අයුරකින් මුණ ගැසෙන්නේ නැහැ. එවැනි පිරිස් අතර බුද්ධිමතුන් සිටියත්, ධර්මය මුණ නො ගැසීම හේතුවෙන් ඉපදෙන මැරෙන සංසාරයේ ම යන්නට ඒ උදවියට සිදු වෙනවා.

ධර්මය මුණගැසුණත් ප්‍රමාදයට පත් වීම හේතු කරගෙන නැවතත් දුක්ඛිත සංසාරයට වැටෙන පිරිසුත් මේ ලෝකයේ සිටිනවා. ඉපදුණු මිනිසුන් අතර අවාසනාවන්ත ම පිරිස ලෙස මම නම් දකින්නේ අන්න ඒ පිරිස යි. ඒ අය ක්ෂණය අහිමි කරගෙන සතර අපා දුකින් නිදහස් නොවීම මේ ජීවිතය කෙළවර කරනවා.

ඒ නිසා ධර්මය මුණ ගැසුණත් අපි ප්‍රමාදයට පත් වෙලා ඉන්නේ මොන මොන දේවල් ඔස්සේ ද කියල නුවණින් කල්පනා කරල බලන්ට ඕන. භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් ප්‍රමාදයට වැටෙන ආකාරය ඒ උතුම් ‍ධර්මය තුළ ඉතා හොඳින් පෙන්වා දී තිබෙනවා.

ඒ අතරින් වර්තමානයේ බොහෝ පිරිසක් ගොදුරු වී තිබෙන දෙයක් තමයි කම්මාරාමතාවය. ඒ කියන්නේ අප්‍රමාදී වීම පිණිස යෙදවිය යුතු කාලය, යම් යම් වැඩකටයුතු ඔස්සේ ම ගෙවමින්, ඒ වැඩකටයුතුවල ඇලී වාසය කිරීම. බොහෝ පිරිසක් මේ කම්මාරාමතාවයට විවිධ මාවත් ඔස්සේ හසුවී ගොස් තිබෙන ආකාරය ඉතාම පුදුම සහගත යි. මැඩලන්නට දුෂ්කර ම දේ බවට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ගේ සිරි මුව මඩලින් ම වදාළ මාර බලයේ සියුම් භාවය ඒ තුළිනුත් ඉතා ම හොඳට පැහැදිලි වෙනවා.

දහම් අවබෝධය පිළිබඳ විශේෂ හැඟීමක් නැති නාමික බෞද්ධ පිරිස් නම්, කම්මාරාමතාවයෙන් කල් ගෙවීම අරුමයක් නොවෙයි. සසර පැවැත්ම දිගින් දිගටම පැවතීම පිණිස ඒ දේ නිරායාසයෙන් ම සිදු වෙන දෙයක්. නමුත් ධර්මය අවබෝධ කරන්නට ඕනෑ කියන අදහසේ සිටින සැබෑ ධර්මය මුණ ගැසුණු උදවිය පවා ඉතා අවාසනාවන්ත ලෙස මේ අර්බුදයට ගොදුරු වී තිබෙනවා. ඒ සාමාන්‍යයෙන් නොසිතන ක්‍රම ඔස්සේ යි.

වර්තමානයේ දහම මුණ ගැසුණු බොහෝ පිරිසක් තමන් අප්‍රමාදීව දහමේ හැසිරීම පසෙක තබා, අන් අයව අප්‍රමාදයට පත් කරවීමේ කර්මයේ ඇලී වාසය කරනවා දකින්නට පුලුවන්. ඒ දේ හරියට කිසියම් වටිනා ඖෂධයක් සැමවිට ම අන් අයට පානය කරන්නට කියා බලකරමින් සිටීමක් වගෙයි. නමුත් එය පානය කරන අය දකින්නට ලැබෙන්නේ ඉතාම කළාතුරකින්.

ධර්මය අන්අයට ලබා දීම කියන්නේ, මෙලොව ඇති උතුම්ම දානය බව බුදු සමිඳුන් ම යි වදාළේ. ඒ නිසා අපි හැමෝම, පුලු පුළුවන් අයුරින් අන් අයට බුදු සමිඳුන් ගේ සැබෑ පණිවුඩය රැගෙන යන්නට උත්සාවත් වීම අවශ්‍යයි. නමුත් ඒ දේ සිදු විය යුත්තේ තමන් ප්‍රමාදී වී සසර සයුරේ ගිලෙමින් නො වෙයි. මොකද මඩෙහි ගිලෙන ඇතෙකුට තවත් ඇතෙක් ව ගොඩ ගන්නට බැහැ. ඇතැම්විට දෙදෙනා ම මඩේ ගිලී යන්නට ඉඩ තිබෙනවා.

ඒ නිසා ධර්මප්‍රචාරක කටයුතු සිදු කරන විට ඉතාමත් ප්‍රවේසම් වන්නට ඕනා. ඉතා හොඳින් සිහිය පවත්වමින් ම එම කටයුතු කරන්නට අවශ්‍ය යි. නැතිනම් විශාල අනතුරක වැටෙන්නට ඉඩ තිබෙනවා. මන්ද විශේෂයෙන් ම ධර්ම ප්‍රචාරය කියා අන්තර්ජාල වැනි තැන්වල සැරි සරන විට, ඉන්ද්‍රිය අසංවරය අසතිය සහ අනවශ්‍ය දේවල් ඔස්සේ කාලය ගත කිරීම විශාල ලෙස සිදු විය හැකි යි. ඒ අයුරින් ගෙවී යන්නේ මේ උතුම් ධර්මයෙන් ප්‍රයෝජන ලබන්නට තිබෙන වටිනා කාලය බව නිතර ම සිහි කළ යුතු වෙනවා. එනිසා තමන් ගැන නොබලා අන් අයව හදන්නට ගොස්, අවසානයේ තමන් වැනසී නො යන්නට නම් ධර්මප්‍රචාරයේ නියැලීමේ දී සුවිශේෂී සිහියක් තම තමා ම පැවැත්වීම අත්‍යාවශ්‍ය යි.

ඒ වගේ ම ඇතැම් උදවිය, ආමිස පූජාවන් සහ පින්කටයුතු ආදියෙහිම පමණක් ම යෙදෙමින් ජීවිතය ගත කරනවා දැක ගන්නට පුලුවන්… ආමිස පූජාව සසරේ සැප ලබාදෙන ඉතා වටිනා දෙයක් බව පැහැදිලි යි. අප ගේ ධර්මස්වාමී වූ ඒ අසිරිමත් ශාස්තෘන් වහන්සේව සිහිකරමින් එවැනි කටයුතු නිතර නිතර සිදු කිරීම ඉතා හොඳයි. නමුත් එපමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.

ඇතැම් උදවිය ආමිස පූජාවන්ට ඉතා උද්‍යෝගයෙන් සහභාගී වුවත් බණ භාවනාවන්ට දක්වන්නේ ඉතා උදාසීන භාවයක්. එවැනි අය ඉක්මණින් ධර්මමාර්ගයෙන් ඉවතට විසිවෙන්නට ඉඩ තිබෙනවා. පින් කම් අවස්ථාවන් හි දී ඒවාට සම්බන්ධ වී අනෙක් අවස්ථාවන් වල දී කල් ගෙවන්නේ සාමාන්‍ය ලෙස අසතියෙන් නම් ඔහුට සසර ගමනට ම උරුම කම් කියන්නට යි සිදු වන්නේ.

දයාබර යාලුවේ…

ඔබට මතක ද එදා…උපවත්තන සාලවනෝද්‍යානයේ සොඳුරු යමා සල් රුක් අකලට මල් පුබුදුවා ඒ සුවඳ මල් සිරි සිරුර මත වගුරුවද්දී, අහසින් දිව්‍යමය මන්දාරව කුසුම් ඇද හැලෙද්දී, ඒ මහා මුනිවරයා අනඳ හිමියන් අමතා සිදු කළ අසිරිමත් ප්‍රකාශය..?

ආනන්ද, මේ යමා සල්රුක් අකාලයේ පිපුණු මලින් මුළුමනින් ම ගැවසී තිබෙනවා. ඒ මල් තථාගතයන් වහන්සේට පූජා පිණිස තථාගත ශරීරය මත වැගිරෙනවා, හාත්පසින් වැගිරෙනවා. දිව්‍යමය වූ මන්දාරව පුෂ්ප තථාගතයන් වහන්සේට පූජා පිණිස තථාගත ශරීරය මත අහසින් ඇදහැලෙනවා. දිව්‍යමය සුවඳ සඳුන් තථාගතයන් වහන්සේට පූජා පිණිස තථාගත ශරීරය මත අහසින් ඇදහැලෙනවා.දිව්‍යමය තූර්යවාදන, දිව්‍යමය සංගීතය තථාගතයන් වහන්සේට පූජා පිණිස අහසේ වැයෙනවා.

නමුත් ආනන්ද මෙපමණකින් තථාගතයන් වහන්සේට සත්කාර කළා වන්නේ නැහැ. ගරුකාර කළා වන්නේ නැහැ. බුහුමන් දැක්වූවා වන්නේ නැහැ. පූජා පැවැත්වූවා වන්නේ නැහැ. ආනන්දය යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ ධම්මානුධම්ම පටිපන්නව තථාගත ශ්‍රාවකයන්ට සුදුසු ප්‍රතිපදාවෙන් යුතු ව ධර්මයට අනුව හැසිරෙමින් ජීවිතය ගත කරනවා නම්, ඔහු පරම පූජාවෙන් තථාගතයන් වහන්සේට සත්කාර කරනවා. ගරුකාර කරනවා. බුහුමන් දක්වනවා. පූජා පවත්වනවා. ඒ නිසා ආනන්ද, ‘අපි ද ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුතු වන්නෙමු, ශ්‍රාවකයන්ට සුදුසු ප්‍රතිපදාවෙන් යුතු ව ධර්මයට අනුව හැසිරිමෙන් ජීවිත ගත කරන්නෙමු ‘යි කියා, ආනන්ද එසේ ම ඔබලා විසින් හික්මිය යුතු යි. “

බලන්න දයාබර යාලුවනේ, තථාගතයන් වහන්සේ සිය ශ්‍රාවකයින් ගෙන් සැබැවින් ම අපේක්ෂා කළ දෙය කෙතරම් අසිරිමත් ද ..? එසේ නම් අප විසිනුත් වහා වහා කළ යුතු වන්නේ ධම්මානුධම්ම පටිපදාවේ ම යෙදීම නො වේද ..?

ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙනවා කියා කියන්නේ වෙන දෙයක් නොවේ, සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම ම යි. ඉතින් බෝධිපාක්ෂික ධර්ම නොවඩා වෙන කුමක් කරමින් සිටියත්, අපට සැබෑ නිවන් මග විවර වන්නේ නැහැ. බෝධිපාක්ෂික ධර්ම වැඩීමකින් තොරව නිවන් මගක් ඇත්තේ ද නැහැ.

සංසාරයේ යන්නට නම් විවිධාකාර මාවත් තිබෙනවා. නමුත් අමා නිවන කරා වැටී ඇත්තේ එක ම එක මාවතක් පමණයි. සසර කරා ම යොමුවුණු අටෝරාශියක් වංක ඇති අනන්ත මාවත් අතුරින් අමා නිවන කරා යොමු වූ සොඳුරු මාවත සොයා ගැනීමත්, එය අනුගමනය කිරීමත් අතිශයින් ම සියුම් නුවණක් ඇති, මහා වීරිය ඇති උත්තමයින් විසින් ම සිදු කරනු ලැබූ දෙයක්. ඒ උතුමන් අතරට අපිත් එක් වන්නට නම්, අපටත් සුවිශාල කැපවීමක්, සිහියක් නුවණක් පවත්වන්නට සිදු වෙනවා. නො එසේ නම් නිවන් මගෙහි වෙනුවට සසරට වැටුණු මාවත්වල නො දැනීම පියවර තබන්නට අපටත් සිදු වේවි..!

ඒනිසා අපි මේ කරුණ ඉතා හොඳින් තේරුම් ගනිමු. තේරුම් ගෙන ධර්මප්‍රචාරයේ යෙදෙන අතරම, අනෙකුත් පුණ්‍ය කටයුතුවල යෙදෙන අතරම, ඒ සියල්ලට වඩා ප්‍රමුඛත්වයක් ලබා දී නිවන් මග ම වඩන්නට උත්සාහ කරමු. භාග්‍යවතුන් වහන්සේට පරම පූජාවෙන් පූජා පවත්වන්නට පිළිවෙතින් පෙළගැසෙමු…එය එසේ ම වේවා..!

සදා සැනසිල්ල වේවා !

Comments are closed.

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: