subscribe

වාද නොකරනු පිණිස – ධර්මයෙහි පර්යාය ලක්ෂණය හඳුනා ගනිමු

වාද නොකරනු පිණිස – ධර්මයෙහි පර්යාය ලක්ෂණය හඳුනා ගනිමු

දණ්ඩපාණී නම් ශාක්‍යයා එක්තරා අවස්ථාවක දී බුදු රජාණන් වහන්සේ ගෙන් මෙසේ විමසීය.

”ශ‍්‍රමණයන් වහන්ස, ඔබ කුමන වාදයකින් යුතු වන්නේ ද..? කුමක් ප‍්‍රකාශ කරන්නේ ද..?”

මෙම ගැටලුවට භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්නේ, දණ්ඩපාණී ශාක්‍යයා ගේ නළල රැළි නැංවෙන ආකාරයේ පිළිතුරකි.

”ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප‍්‍රජාවේ, යම් ආකාරයක වාදයකින් යුතු අයෙක්, ලෝකයේ කිසිවෙක් සමග විවාද නො කර සිටිත් ද, යම් කරුණකින් කාමයෙන් වෙන් වී වාසය කරන, කෙසේ ද කෙසේ ද යන සැකය දුරු කළ, කුකුස් සිඳින ලද, සියලු භවයන් කෙරෙහි තණ්හාව දුරු කොට සිටින, ඒ ආශ‍්‍රව රහිත බ‍්‍රාහ්මණයා කෙරෙහි සඤ්ඤාවන් බැසගෙන නො පවතිත් ද, ඇවැත්නි මම එබඳු වාදයක් ඇත්තෙම් වෙමි. එසේ ප‍්‍රකාශ කරන්නෙක් වෙමි.”

මෙම ගම්භීර ප‍්‍රකාශය තුළ මෙම ලිපියට මුල්වන ඉතා වටිනා දහම් කරුණක් ගැබ්ව තිබේ. එනම් භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය තුළ හොඳින් පිහිටි තැනැත්තා ලෝකයේ කිසිවෙකුත් සමග වාද නො කරන බව යි. වාදයට හේතුවන කෙලෙස් සහගත සඤ්ඤාවන් ඔහු තුළ ලැගගෙන නො පවතින බව ද මෙයින් පැහැදිලි වේ. එයම ඉතා හොඳින් තහවුරු වන තවත් ප‍්‍රකාශයකි මේ.

”නාහං භික්ඛවේ, ලෝකේන විවදාමි, ලෝකෝව මයා විවදති. න භික්ඛවේ ධම්මවාදී කේනචි ලෝකස්මිං විවදති”

”මහණෙනි, මම ලෝකයා සමග විවාද නො කරමි. ලෝකයා ම මා සමග විවාද කරයි. මහණෙනි, ධර්මවාදී තැනැත්තා ලෝකයේ කිසිවෙක් සමග විවාද නො කරයි.”

මෙසේ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය දැනගත් තැනැත්තා ලෝකයේ කිසිවෙකුත් සමග වාද නො කරන නමුත්, ඒ ධර්මය ම වාදය පිණිස අවියක් කර ගත් බොහෝ දෙනෙක් අතීතයේ ද සිටියහ. වර්තමානයේ ද සිටිති.

ධර්මය වාදයට යොදා ගන්නේ ඇයි..

ඇතැම්හු වාදය දහම් අවබෝධයට හේතු වෙතැයි වරදවාගෙන වාද කරති. තවත් පිරිස් විවිධ පටු අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා වාද විවාද කරනු පෙනේ. ධර්ම සාකච්ඡුාව වැනි උතුම් ක‍්‍රියාවන් පවා ඇතැම් විට වාදවිවාද වලින් ම කෙළවර වනු දක්නට ලැබේ. මෙසේ එවැනි කරුණු පවා වාද විවාද දක්වා ව්‍යාප්ත වනුයේ කරුණු කිහිපයක් තේරුම් නො ගැනීම නිසා බව පෙනී යයි.

මූලික ම හේතුව ලෙස සැලකිය හැක්කේ තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබූයේ කුමන අරමුණක් පිණිස ද යන්න වටහා නො ගැනීම යි. තවත් විශේෂ කාරණයක් වන්නේ ධර්මයෙහි පර්යාය ලක්ෂණය පිළිබඳව පැහැදිලිතාවක් බොහෝ දෙනෙකු තුළ නො මැති වීම යි. තවත් නොයෙකුත් කරුණු තිබිය හැකි’මුත් මෙම කරුණු දෙක පිළිබඳව හෝ කිසියම් පැහැදිලි බවක් ඇතිකරගතහොත් වාදයන් ගෙන් මිදී ධර්මයේ සාරය කරා යන්නට එය ඉවහල් වනු ඇත.

”මහණෙනි මේ බඹසර වාසය තිබෙනුයේ, ජනයා රැුවටීමට නොවේ, ජනයා නැලවීමට නොවේ. ලාභසත්කාර කීර්ති ප‍්‍රශංසා පිණිස නොවේ. ‘මෙසේ වාදයෙන් මිදෙන්නෙමු’ යන කරුණ පිණිස නොවේ. (වාදයන් ගෙන් ජයග‍්‍රහණ කිරීම පිණිස කරුණු දැන ගැනීම පිණිස නොවේ යන්න යි.) ජනයා මා මෙසේ දැනගනිත්වා යන කරුණ පිණිස ද නොවේ. එනමුත් මහණෙනි මේ බඹසර ජීවිතය සංවරය පිණිස, කෙළෙස් ප‍්‍රහාණය කිරීම පිණිස, විරාගය පිණිස නිරෝධය පිණිස ගතකරනු ලැබේ.”

තථාගතයන් වහන්සේ ගේ මේ ප‍්‍රකාශය අනුව බඹසර ජීවිතය කුමන අරමුණක් උදෙසා පවතී ද යන්න පැහැදිලි වේ. ඒ අනුව උතුම් බඹසර ජීවිතය ගැන වදාළා වූ ධර්මය ද ඒකාන්ත වශයෙන් ම පවතින්නේ, සංවරය පිණිස, අකුසල් ප‍්‍රහාණය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස ය. මෙකරුණ හොදින් තේරුම් ගෙන සිත තුළ දරාගත හොත්, එමගින් ධර්මය නිවැරදි ඉලක්කය උදෙසා ම පුරුදු කිරීමේ භාග්‍ය උදාවෙනු ඇත.

පර්යාය ලක්ෂණය යනු කුමක් ද..

බුදුරජුන් ගේ ධර්මය කුමක් පිණිස ද යන්න පිළිබඳ කරුණු දැක්වීම එපමණකින් නවතා, දැන් ධර්මයේ පර්යාය ලක්ෂණය යනු කුමක් ද යන්න ගැන අවධානය යොමු කරමු. ඇත්ත වශයෙන් ම කියන්නේ නම්, ධර්මය සම්බන්ධයෙන් බොහෝ පටලැවිලි වාද විවාද ආදිය ඇතිවන්නේ ධර්මයෙහි ඇති මෙම සුවිශේෂී ලක්ෂණය තේරුම් නො ගැනීම නිසා ය.

”ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ.” ”භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් පර්යායන් ගෙන් ධර්මය ප‍්‍රකාශ කළ සේක.” යන මෙම පාඨය ත‍්‍රිපිටකය පුරා අපට බොහෝ තැන්වල මුණ ගැසේ. මෙයින් අදහස් වන්නේ බුදු රජාණන් වහන්සේ නොයෙක් ක‍්‍රමවලින්, නොයෙක් ආකාරවලින්, විවිධ පැතිකඩයන් ඉස්මතු කරමින් ධර්මය දේශනා කළ බව යි. දැන් සංයුත්ත නිකායේ සළායතන වර්ගයට අයත් පංචකංග නම් සූත‍්‍රයෙහි සංගායනා කොට තිබෙන මේ සිදුවීම දෙස අවධානය යොමු කරමු.

එක්තරා අවස්ථාවක පංචකංග නම් වඩුකාර්මිකයා උදායී තෙරුන් වෙත පැමිණ මෙසේ විමසා සිටියේ ය. ස්වාමීනි උදායි තෙරුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා කීයක් දේශනා කොට තිබේ ද…?

”පින්වත, භාග්‍යවතුන් වහන්සේ වේදනා තුනක් දේශනා කොට තිබේ. සැප වේදනාව, දුක් වේදනාව, දුක්සැප රහිත වේදනාව යනුවෙනි” එවිට පංචකංග, උදායි තෙරුන්ට මෙසේ පැවසීය.

”ස්වාමීනි උදායි තෙරුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වේදනා තුනක් දේශනා කොට නැත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ වේදනා දෙකකි. සැප වේදනාව, දුක් වේදනාව යනුවෙනි. ස්වාමීනි, යම් සැප දුක් රහිත වේදනාවක් තිබෙනවා ද, මෙය ශාන්ත වූ ප‍්‍රණීත වූ සැපයට ම ඇතුළත් කොට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදි.”

පංචකංග ගේ අදහස පිළි නොගත් උදායි තෙරුන් වහන්සේ තම අදහස සත්‍ය බව තහවුරු කිරීමට ත්, එය පිළිනොගත් පංචකංග තමන් ගේ මතය තහවුරු කිරීමටත් තුන් වතාවක් දක්වා ම තම තමන් ගේ අදහස් ඉදිරිපත් කළෝ ය. එනමුත් එකඟත්වයකට පත් වන්නට නො හැකි විය. අනතුරු ව මෙම සංවාදය අසා සිටි ආනන්ද ස්වාමීන් වහන්සේ එය බුදුරජාණන් වහන්සේ වෙත සැළකර සිටියහ. එවිට බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් දේශිත ධර්මයේ පර්යාය ලක්ෂණය පැහැදිලි වන අයුරින් මෙසේ වදාළ සේක.

ආනන්දය, උදායි භික්ෂුව විසින් පවසන ලද, පවතින්නා වූ ම දහම් ක‍්‍රමය (පර්යාය) පංචකංග විසින් නො පිළිගන්නා ලදි. ආනන්දය, උදායි භික්ෂුව ද පංචකංග විසින් පවසන ලද ඇත්තා වූ ම දහම් ක‍්‍රමය (පර්යාය) නො පිළිගත්තේ ය.

ධර්මය දේශනා කළේ පර්යාය වශයෙනු යි…

”ආනන්දය, මා විසින් පර්යාය වශයෙන් වේදනා දෙකක් ද දේශනා කරන ලදී. මා විසින් පර්යාය වශයෙන් වේදනා තුනක් ද දේශනා කරන ලදී. මා විසින් පර්යාය වශයෙන් වේදනා පහක් ද දේශනා කරන ලදි. මා විසින් පර්යාය වශයෙන් වේදනා හයක් ද දේශනා කරන ලදී. මා විසින් පර්යාය වශයෙන් වේදනා දහ අටක් ද දේශනා කරන ලදී. මා විසින් පර්යාය වශයෙන් වේදනා තිස් හයක් ද දේශනා කරන ලදි. මා විසින් පර්යාය වශයෙන් වේදනා එකසිය අටක් ද දේශනා කරන ලදි.”

මේ අනුව පෙනී යන්නේ වේදනාව නම් වූ ධර්මය බුදු රජාණන් වහන්සේ විවිධ පැතිකඩයන් ඔස්සේ දකිමින්, විවිධ ක‍්‍රමයන් ගෙන් විස්තර කොට ඇති බව යි. පර්යාය ලක්ෂණය යනු එය යි. ඉන්පසු තථාගතයන් වහන්සේ මෙසේ ද දේශනා කළ සේක.

ආනන්දය, මෙසේ මා විසින් ධර්මය පර්යාය වශයෙන් දේශනා කරන ලදී. ආනන්දය මෙසේ මා විසින් පර්යාය වශයෙන් දේශනා කරන ලද ධර්මය ඇති විට, යම් කෙනෙක් එකිනෙකා ගේ යහපත් වචනය, යහපත් ප‍්‍රකාශය අනුමත නොකරත් නම්, නො පිළිගනිත් නම්, ඔවුන් විසින් මෙය කැමති විය යුතු යි. එනම් හට ගත් දබර ඇතිව, හටගත් කලහ ඇතිව, විවාද කරමින්, එකිනෙකාට වචන නැමති සැත්වලින් විදගනිමින් වාසය කරන්නේ ය’ යන මෙය යි.

ආනන්දය, මෙසේ මා විසින් ධර්මය පර්යාය වශයෙන් දේශනා කරන ලදි. ආනන්දය මෙසේ මා විසින් පර්යාය වශයෙන් දේශනා කරන ලද ධර්මය ඇති විට, යම් කෙනෙක් එකිනෙකා ගේ යහපත් වචනය, යහපත් ප‍්‍රකාශය අනුමත කරත් නම්, පිළිගනිත් නම්, ඔවුන් විසින් මෙය කැමති විය යුතු යි. එනම් සමගි ව සතුටු වෙමින් වාද නො කරමින් කිරි සහ දිය එක් වූවාක් මෙන් එකිනෙකා දෙස ප‍්‍රිය ඇසින් බලමින් වාසය කරන්නේ ය යන මෙය යි.”

සත්‍ය මෙය ම පමණ ද..?

දැන් මෙය මදක් විමසා බලමු. මෙම සූත‍්‍ර පාඨයන් කියැවීමෙන් පැහැදිලි වන්නේ, බුදුරජාණන් වහන්සේ එක ම කරුණ පවා විවිධ අකාරවලින් දේශනා කරන බව යි. එහි දී එසේ දේශනා කරනු ලබන කරුණුවලින් එකක් අල්ලාගෙන එය පමණක් සත්‍ය වේ අනෙකුත් සියල්ල අසත්‍ය වේ, (ඉදමේව සච්චං මෝඝ මඤ්ඤන්ති) යන නිගමනයට බැස ගත හොත් සිදු වන්නේ කුමක් ද..?

එවිට සිදු වන්නේ, එම දහම් කරුණ ම ඊට වෙනස් පර්යායකින් විස්තර කරනු ලබන අවස්ථාවක් හෝ පුද්ගලයෙක් මුණ ගැසුණු විට, එම විස්තර දෙකෙහි පරස්පරතාවයක් පෙනී යෑම යි. ඉන් පසු සිදු වන්නේ තමන් ගත් මතය ම සනාත කිරීම පිණිස වාද විවාද කිරීම යි. සියලූ අර්බුධ ඉන් පසු හටගනී.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියෙහි දී අද මෙන් ම භික්ෂූන් වහන්සේලා ත් ගිහි උපාසක පින්වතුනුත් ධර්ම සාකච්ඡුාවෙහි යෙදුනාහ. එවැනි අවස්ථාවන් වල දී කිසියම් ධර්මකරුණක් මුල් කොට ගෙන එක් එක් භික්ෂූන් වහන්සේ තම තමන් වහන්සේලාට වැටහෙන පරිදි ඒ දහම් කරුණ විස්තර කළ ස්ථාන තිබේ. උදහරණ වශයෙන් මහාගෝසිංගසූත‍්‍රයේ සහ මජ්ෙක්‍ධ් සූත‍්‍රයෙහි එන සිදුවීම් ගත හැකි ය. එසේ තම තමන් ගේ අදහස ප‍්‍රකාශ කොට ඉන්පසු සියල්ලෝ ම එක්ව බුදු රජාණන් වහන්සේ වෙත ගොස් සිදුවූ සියල්ල ප‍්‍රකාශ කොට බුදුරජුන් ගේ අදහස් විමසති. ඒ බොහෝ අවස්ථාවන්වල දී එම ප‍්‍රකාශයන් පිළිබඳ ව බුදු රජුන් ගේ පිළිතුර වන්නේ මෙය යි. ”සබ්බේසං වෝ භික්ඛවේ සුභාසිතං පරියායේන.මහණෙනි, සියල්ලන් ගේ ම අදහස් පර්යාය වශයෙන් සුභාශිත වේ” යන්න යි. මේ අයුරින් විවිධ පැතිකඩයන් ඔස්සේ දකිමින්, පර්යාය වශයෙන් සිදු කරනු ලබන සුභාෂිත ධර්ම විවරණයන්, එකිනෙකා සියල්ලෝ සතුටින් පිළිගන්නෝ නම්, අනුමෝදන් වන්නෝ නම්, කිසිදු අයුරකින් වාද විවාද හට නො ගනී. නමුත් මෙයින් සියල්ලෝ ම පවසන සියල්ල නිවැරදි යැයි කිසි විටෙකත් අදහස් නොවේ…

මේ ගැනත් සිතන්න

තවද ත‍්‍රිපිටක ධර්මය හැදෑරීමේ දී, මෙම පර්යාය ලක්ෂණය තේරුම් නොගෙන එය සිදු කරන්නට යෑමෙන්, ඇතැම් කරුණු එකිනෙකට පරස්පර ලෙස පෙනී යන්නට ඉඩ තිබේ. එවැනි අවස්ථාවල නොදැනුවත් භාවය නිසා ම, සූත‍්‍ර දේශනාවල ම ඇති ඇතැම් කරුණු පැටලිලි සහිත ය යනාදී වශයෙන් ප‍්‍රකාශයන් නිකුත් කරන්නට ත් ඇතැම් අය පෙළඹෙති. එසේ නො දන්නා නො තේරෙන කරුණු ගැන මත පළ කරන්නට යෑමෙන් අකුසල් රැුස් කර ගනිති.

ඇත්තෙන් ම සිදු ව ඇත්තේ එවැනි පැටලීමක් නොවේ. එක ම කරුණ භාග්‍යවතුන් වහන්සේ වෙනස් වෙනස් පුද්ගලයන් අරභයා විවිධ පර්යායන් ගෙන් විස්තර කොට තිබීම යි. එනිසා සූත‍්‍ර දේශනා හැදෑරීමේ දී එක්තැනක ඇති කරුණක් ගෙන මෙය පමණක් ම නිවැරදි ය යන නිගමනයට නො යා යුතු ය. ඒ වෙනුවට මෙය ද නිවැරදිය යන නිගමනයට යි යා යුත්තේ. එවිට තවත් ස්ථානයක එම දහම් කරුණ ම ඊට වෙනස් ආකාරයකට විස්තර කරනු ලබන විට, ගැටුමක් ඇති නොවේ. එහිදී එය ද නිවැරදි ය යන නිගමනයට කිසිදු ගැටලූවකින් තොර ව අපට එළැඹිය හැකි ය.

එසේ ම සූත‍්‍ර දේශනාවන් නුවණින් විමසීමේ දී, ඒ ඒ ස්ථානයේ සඳහන් ව ඇති කරණු, ඒ ඒ අයුරින් ම ශ‍්‍රද්ධාවෙන් පිළිගෙන නුවණින් විමසන්නේ නම්, කිසිදු ගැටලූවක් ඇති නොවේ. දේශනා සියල්ල ම පිළිබඳව හොඳ අධ්‍යනයකින් තොරව, නො එසේ නම් දේශනා ගැන හොඳ අවබෝධයක් ඇති කලණ මිතුරෙකු ගේ උපකාරයකින් තොර ව යම් දහම් කරුණක් ගැන මෙය මේ අයුරින් ම පමණක් වේ. වෙනත් අයුරකින් නො වේ, යනා දී නිගමනයන්ට එළැඹීමෙන් වළකින්න. මෙය ද පර්යාය වශයෙන් සුභාෂිතයකි. මෙය ද පර්යාය වශයෙන් සුභාෂිතයකි යන නිගමනයට එළැඹීමෙන් කිසිදු අර්බුධයක් ඇති නොවේ.

කරුණු මේ අයුරින් ම ගත යුත්තේ මූලික බුද්ධ දේශනාවන් සම්බන්ධයෙන් ම පමණක් බව ද අවධාරණයෙන් සිත තබා ගත යුතු විශේෂ කරුණකි. මක්නිසා ද පර්යාය වශයෙන් සියල්ලෝ ම විස්තර කරනු ලබන සියල්ල යහපත් ය යන වැරදි අදහස් ඇතැම් කෙනෙකුට ඇති විය හැකි නිසා ය. වර්තමානයේ දී එක ම ධර්ම කරුණක් සම්බන්ධයෙන් කිහිප දෙනෙකුන් විසින් කිහිප අයුරකින් විස්තර කරනු ලබන්නේ යැයි ගනිමු. එවිට කළ යුත්තේ කුමක් ද..? ඒ සියල්ලම වෙන වෙනම මූලික බුද්ධ දේශනා සමග ගලපා බැලීම යි. එවිට පර්යාය වශයෙන් සිදු කරන එම ප‍්‍රකාශ සුභාෂිත ද නැද්ද යන්න නිගමනය ඇති කරගත හැකි වනු ඇත. සුභාෂිත වන්නේ නම් එය සතුටින් අනුමෝදන් වීමටත් සුභාෂිත නො වන්නේ නම් ඒ කෙරෙහි උපේක්ෂා සහගත වී ගැටුමකින් තොර ව බැහැර කිරීමටත් එවිට හැකි වනු ඇත.

“මහාමේඝ“ පුවත් පතේ පළ වූ ලිපියකි….

2 Comments

  1. sadu…..sadu…..sadu !!!!!!

  2. මේක ගැන මම හොය යොය හිටියේ…. ගොඩාක් වටිනවා ත්‍රිපිටක අධ්‍යයනයට…
    බොහොම ස්තුතියි මේ වගේ වැදගත් දුර්ලභ ලිපි පල කරන එකට..
    මම අද තමයි මෙතනට ආවේ… වෙලාව ලැබුනම එන්න හිතාගෙන ඉන්නවා..

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: